කෝකටත් තෛලය රාජ්‍යයද?


කොවිඩ් වසංගතයේ ඩෙල්ටා ප්‍රභේදය විසින් නිර්මාණය කරනු ලැබූ තුන්වැනි කොරෝනා රැල්ල යම් ආකාරයකට සමහන් වෙමින් තිබේ. මාසයකටත් අධික කාලයක් රට තුළ බලපත්වා තිබූ නිරෝධායන ඇඳිරි නීතිය අද සිට (ඔක් 01 දින සිට) ඉවත් කරන බව මේ වන විටත් ප්‍රකාශ වී ඇත.

රටේ ජනගහනයෙන් සියයට 53 පමණ පිරිසට එන්නත් ලබාදීමට රජයට හැකි වී තිබෙන බවද මෙහිදී සඳහන් කළ යුතුම කරුණකි. බලාපොරොත්තු නොවුණ ආකාරයේ ව්‍යසනයකින් රට අර්බුදයට ලක් වෙද්දී එම අර්බුදයේ ගැටලුකාරීත්වය රටේ අනෙක් සෑම ක්ෂේත්‍රයකටම බලපාන බව පැහැදිලි කාරණයකි. ඒ අනුව මේ වසංගතයේ බලපෑම සමාජයේ සෑම ක්ෂේත්‍රයකටම බරපතළ ආකාරයෙන් බලපෑම් කර ඇති බවද සත්‍යයකි. එහෙත් මේ තත්ත්වය සමහන් කරන්නට රජය පැත්තෙන් සහ රාජ්‍ය ආයතන (සෞඛ්‍ය ක්ෂේත්‍රයද ඇතුළත්) පද්ධතිය පැත්තෙනුත්, ජනතාවගේ පැත්තෙන් ලැබුණු සහයෝගය ඉතාමත් සාර්ථක ආකාරයෙන් පැවති බව මගේ අදහසය.

මේ ලිපියේ ආරම්භයක් ලෙසින් කොවිඩ් වසංගතය පිළිබඳව සඳහන් කළාට මෙවර කිවිදා දැක්මෙන් මා සාකච්ඡා කරන්නේ ඒ ගැටලුව ගැන නොවේ. මා මෙවර කතා කරන්නේ අපේ රටේ දේශපාලනයේ පසුගිය වසර 72 ක් පුරා නිදහස් ශ්‍රී ලංකාවේ විවිධ ආකාරයෙන් තේරුම් කරන රාජ්‍යයේ වපසරිය කුමක්ද යන කාරණය ගැනය.

මේ මාතෘකාව කතා කළ යුත්තේ හුදු තාර්කික කෝණයෙන් මේ ප්‍රශ්නය වැදගත් යැයි සිතෙන නිසා පමණක් නොවේ. මේ දිනවල රටේ මතුවී තිබෙන සහල් ප්‍රශ්නය, සීනි ප්‍රශ්නය, කෙරවළපිටියේ යුගදනවි බලාගාරය පිළිබඳ ප්‍රශ්නය වැනි ප්‍රශ්න ගණනාවක්ම අවසාන වශයෙන් රැඳී තිබෙන්නේ රාජ්‍යයේ වපසරිය කුමක්ද යන ගැටලුව සමගය. එපමණක්ද නොවේ. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පතන, වරාය නගර පනත වැනි නීති කෙටුම්පත් පිළිබඳ විවාදයේදී ද මතුවුණේ මේ ප්‍රශ්නයමය.

රාජ්‍යයේ තරම කොපමණද යන ගැටලුව බරපතළ ආකාරයෙන් මතු වූයේ 1977 වෙළඳපොළ විවෘත වීමත් සමගය. 1977 සිදු වූ ආර්ථික පදනමේ බරපතළ වෙනස්කම මගින් රාජ්‍යයේ වපසරිය පිළිබඳව එතෙක් පැවති මතයට විශාල අභියෝගයක් ඇති කළ බව පැහැදිලි සත්‍යයක්ය.

එහෙත් බිම් දේශපාලනයේ තත්ත්වය එසේ වූවාට අපේ රටේ සමහරුන්ගේ මනසේ දේශපාලනයේ තත්ත්වය එසේ වූයේ නැත.

විශේෂයෙන්ම සම්ප්‍රදායික වාමාංශයත්, ජ.වි.පෙ. වැනි නව වාමාංශයත් යන දෙඅංශයම සිටියේ රජයේ කාර්යභාරය සමාජයේ බොහෝ ක්ෂේත්‍රවල පැවතිය යුතු යැයි සිතන තර්කයකය. මා මෙය කියන්නේ වාමාංශික ව්‍යාපෘතිවල අයට අපහාසයක් ලෙසින් නොවේ. සාම්ප්‍රදායික වමේ තර්කයේ පදනම වෙන්නේම තනි පක්ෂයක් රජය අල්ලා ගැනීමත් (නිර්ධන පංති ආඥාදායකත්වය) එසේ බලය අල්ලා ගැනීමෙන් පසුව රජය විසින් ජනතාවගේ සියලු ක්ෂේත්‍රවල යම් වගකීමක් දැරීමත්ය. 1970 දශකයේ උච්චතම තත්ත්වයට පත්වූ මේ තර්කය 1977 භූ දේශපාලනය තුළ වෙනස් වූවාට වාමාංශික මනසේ දේශපාලනය ඒ ලෙසින්ම 1977 පසුවත් පවතින බව අපට පෙනී යන ඉතාමත් තීරණාත්මක දේශපාලන තත්ත්වයක් බව මගේ නිරීක්ෂණයයි. ‘‘ඇඳුමෙන් ටයිටැනික් වූවාට සමහරුන්ගේ සිත තියෙන්නේ තවමත් මනමේ ආකෘතියේ’’ යැයි සමහරුන් පසුගිය කාලයේ සදය උපහාසයෙන් කතා කළේ මේ බිම සහ මනසේ දේශපාලනයේ වෙනස පිළිබඳවය.

1977 පසු පසුගිය වසර 45 පුරාවටම මෙරට සමාජයේ දේශපාලන ආර්ථිකය (Political Economy) භෞතික වශයෙන් ‘‘වෙළඳපොළ විවෘත වූ සමාජයක්’’ ලෙසින් සහ ‘‘සීමාසහිත රාජ්‍යයක්’’ ලෙසින් පැවති බව සහ පවතින බව සත්‍යයක්ය. එය එසේ වුවත් මතවාදී තලයේ බරපතළ පිළිගැනීමක් තියෙන්නේ ‘සීමා සහිත වෙළඳපොළක් සහ විශාල රාජ්‍යයක්’ තිබෙනවා වැනි අදහසකටය. වී කෙටීමේ සිට ගුවන් සේවයක් දක්වා සියලු වැඩ රජය විසින් කළ යුතු යැයි හැඟීමක් සමාජයේ තිබෙන්නේ මේ හේතුව නිසාය.

මේ තත්ත්වයට හේතුව කුමක්ද යන කාරණය පිළිබඳව කදිම ශාස්ත්‍රීය විමර්ශනයක් මහාචාර්ය නිර්මාල් රංජිත් විසින් වෙනත් කාරණයක් අරභයා කළ අධ්‍යයනයකින් ගළපා ගත හැකිය. නිර්මාල්ගේ ලිපියේ එක් තර්කයක් වන්නේ ‘‘1977 එජාපයේ ජයග්‍රහණය විශාල එකක් වුවත්, ඒ මගින් බරපතළ ලෙසින් ආර්ථිකය වෙනස් කරමින් විවෘත වෙළඳපොළ ක්‍රමයක් හඳුන්වා දුන්නත් සහ වසර 17ක් පුරා තමන්ගේ පාලනය පවත්වා ගැනීමට ඒ පක්ෂයට හැකියාව තිබුණත්, නිදහස් වෙළඳපොළ ක්‍රමය මුල් කරගත් ඒ ව්‍යාපෘතියට සමාජයේ බුද්ධිමය ආධිපත්‍යයක් හිමිකර ගැනීමට හැකියාවක් නොතිබුණු බවය.’’

(ලංකාවේ නව ප්‍රති ජාතිකවාදී චින්තනයේ දස වසක් කෘතියේ පෙරවදන අවධාරණය මගේ)
මට හිතෙන හැටියට 1994 සිට ඒ පැරණි එජාප ව්‍යාපෘතියට එරෙහිව වෙනත් බලවේග ගණනාවක්ම රටේ පාලන බලය ලබා ගත්තත් තවමත් රටේ බුද්ධිමය ආධිපත්‍යය තිබෙන්නේ සියල්ල රාජ්‍යයෙන් කළ යුතුවා යැයි සිතන තැනකය. අධ්‍යාපනය නිදහස් ලෙසින් රජයේ වියදමින් කිරීමට සියලු දෙනා එකඟ වන තත්ත්වයක එසේ නිදහස් අධ්‍යාපනයට වියදම් කළා සේම උපාධිධාරීන්ට රැකියා ලබාදීමත් රාජ්‍යයේ වගකීම ලෙසින් සලකන සමාජයක් බිහි වී තිබෙන්නේ මේ බුද්ධිමය ආධිපත්‍යය පිළිබඳ ගැටලුව නිසාය. මෙතනදී මා කියන දේ වැරදියට තේරුම් නොගත යුතුය. අධ්‍යාපනය රජයෙන් ලබාදෙන දෙයක් වීම වැදගත් කාරණයකි. එහෙත් ඒ නිදහස් අධ්‍යාපනයෙන් බිහිවෙන උපාධිධාරියා බලා ගන්නටත් බදු ගෙවන්නාට භාර දීම නිවැරදි නොවන බව මගේ යෝජනාවය.

රාජ්‍යය යනු සියලු දේ සපයා දෙන කෝකටත් තෛලය වගේ විය යුතු බවට වෙන මේ තර්කය මුලදී මතු වුණේ වාමාංශික ව්‍යාපාර වෙතින්ය. දැන් මේ තර්කය ගෙනියන්නේ මා මිත්‍ර ධම්ම දිසානායක වැනි අතලොස්සක් වූ වාමාංශික බුද්ධිමතුන් විසින්ය. ඒ අයගේ ප්‍රමාණය අතලොස්සක් වුවත් මේ මතයට තිබෙන ඓතිහාසික සම්බන්ධය සහ සමාජ ප්‍රාග්ධනය (Social Capital) තරමක් විශාලය. ඒ වගේම අපේ රටේ තරුණ වාමාංශික දේශපාලනය (ජ.වි.පෙ./පෙ.ස.පෙ./අන්තරය) අවංකවම තවමත් සිතා සිටින්නේ මේ රාජ්‍ය කේන්ද්‍රීයවාදය අපට තිබෙන හොඳම විසඳුම කියාය. ඒ තරුණ ව්‍යාපාර පිළිබඳව සමහරුන්ට තිබෙන දේශපාලන වෛරයක් මට නැත. එහෙත් ඒ අයගේ ජවසම්පන්න තරුණ දේශපාලන ශක්තිය වැය වෙන්නේ ඉතාමත් පසුගාමී දේශපාලන භාවිතාවකට බව මගේ අදහසය. අපේ රටේ ආර්ථිකයේ සිට අනෙකුත් සියලු ක්ෂේත්‍රවල ප්‍රතිසංස්කරණ සිදු කරන්නට නොහැකි වී තිබෙන්නේ මා ඉහතින් සඳහන් කළ ‘වෙළඳපොළට විරුද්ධ මතවාදී ආධිපත්‍ය නිසා සහ තරුණ වාමාංශය ඒ මතවාදී ආධිපත්‍යයේ ප්‍රධාන ප්‍රකාශකයා වීම’ නිසාය.

මෙහි ඇති තවත් අවධානය යොමු කළ යුතු කාරණයක් වන්නේ වාමාංශික නොවන දේශපාලන කඳවුරුවලද සමහරුන්ද සිටින්නේ වෙළඳපොළට විරුද්ධ මතවාදී ආධිපත්‍යයේ සිරවී බවයි. 1994 සිට මේ දක්වා බලයේ සිටි ශ්‍රීලනිපය, එ.ජා.ප.ය සහ වත්මන් ආණ්ඩුවේ සමහර දේශපාලන පක්ෂ නායකත්වයත් දක්වාම විසිරී පවතින පළල් පරාසයක මේ මතවාදය පවතින බව ඉතාමත් පැහැදිලිය. රජයෙන් සියල්ල කළ යුතුය යන පදනම මත සිට ප්‍රතිපත්ති තීරණ ගන්නට බලකෙරෙන්නේ මේ තත්ත්වය නිසාය.


සහල් සහ සීනි ප්‍රශ්නය
පසුගිය සති කීපයේ ඇදී ගිය සහල් සහ සීනි පිළිබඳ ප්‍රශ්නවල එක කොණක් තිබෙන්නේත් මේ තත්ත්වයට ගැටගැසිලාය. සීනි යනු සියයට 80ක් පමණ ආනයනය කරන වෙළඳ භාණ්ඩයකි. එය ආනයනය කරන්නේ රජයේ ආයතන විසින් නොව පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයන් විසින්ය. රජය කරන්නේ ආනයනයේ බදු අයකර ගැනීම පමණක් වන අතර ඒ සීනි පාරිභෝගිකයාට මූලික වශයෙන් ලබා දෙන්නේ ද විවෘත වෙළඳපොළ තුළින්ය. වෙළඳපොළේ මිල නියාමනය කරන්නට කියා රජයට කළ හැක්කේ තමන් අය කරන බදු මුදල අවම කිරීම, ඩොලරයට ගෙවන දේශීය මුදල් අගය ස්ථාවරව පවත්වාගෙන යාම සහ පාරිභෝගික අධිකාරිය යටතේ සීනි ව්‍යාපාරිකයන් හා පාරිභෝගිකයන් අතර මිල එකඟතාවක් පවත්වාගෙන යාමය. ඒත් සමහරුන් කල්පනා කරන්නේ රාජ්‍යය සීනි පොලිසියක් පවත්වාගෙන යා යුතුවා වැනි ආකාරයකින්ය. රජයට සීනි ව්‍යාපාරය කරගෙන යාමේ ආකෘතියක් ද නොමැති තත්ත්වයක මේ වෙළඳපොළ මැදිහත්වීම කළමනාකරණය කරනවා හැරෙන්නට සීනි පොලිසි දැමීමේ හැකියාවක් නැත. යම් හෙයකින් මේ ව්‍යාපාරය වෙතින් ව්‍යාපාරිකයා පන්නා දමන ආකාරයේ ක්‍රියාමාර්ගයක් වෙතට ගමන් කරන්නට හැකියාවක් නොමැති බව තේරුම් ගැනීම මෙහිදී ඉතාමත් අවශ්‍යය.

සහල් ප්‍රශ්නයේ වර්තමාන තත්ත්වය මේ වන විට හැමෝටම පැහැදිලිය. මවිසින් මේ තීරු ලිපියේම මීට සති 02 කලින් පැහැදිලිව ඒ පිළිබඳව ලියුවා මතකය. සීනිවලට වඩා සහල් ප්‍රශ්නය තවත් සංකීර්ණය. සීනිවලදී මෙන් නොව සහල්වල නිෂ්පාදකයාද අපේය. ඒ කියන්නේ වී වගාව කරන ගොවියාය.

පාරිභෝගිකයාද අපේය. ඒ කියන්නේ රටේ ප්‍රධාන ආහාරය ලෙසින් බත් කන ජනතාවය. ඒ වගේම වී මිලදීගෙන එය සහල් බවට පත් කර වෙළඳපොළේ පහසුවෙන් අපට සහල් ලබා දෙන ව්‍යාපාරිකයාද අපේය. එදා අපේ රටේ වෙළඳ පොළේ තීරණාත්මක ව්‍යවසායකයෙක්ය. දැන් මේ ත්‍රිකෝණයේ (නිෂ්පාදකයා - ව්‍යාපාරිකයා - පාරිභෝගිකයා) රජයේ කාර්යභාරය වන්නේ මේ තිදෙනාටම ස්වකීය ක්‍රියාදාමයන්හි පහසුකම් සපයන්නා ලෙසින් සිටීම මිස මේ තිදෙනාගේ රාජකාරිය කරන්නට යාම නොවේ. නිදහස් වෙළඳපොළ ක්‍රමය නොපිළිගන්නා රටක නම් රජයේ සාමූහික ගොවිපොළේ වී වගා කරන්නටත්, රජයේ සමුපකාරයෙන් වී මිලදී ගන්නටත් රජයේ වී මෝලෙන් වී කොටන්නටත් රාජ්‍ය තොග ගබඩාවේ සිට ඒවා විකුණනන්ටත් හැකියාව ඇත. මිලදී ගැනීම වෙනුවට සහල් සලාකයක් පාරිභෝගිකයාට ලබා දෙන්නටත් එවැනි දේශපාලනයකට හැකියාව ඇත. එහෙත් අපේ ආර්ථික මොඩලය වන්නේ විවෘත වෙළඳපොළ බැවින් මේ එකක්වත් රජයෙන් සිදු කරන්නට හැකියාවක් නැත. මේ තත්ත්වය පිළිගන්නේ නැතිව සහල් මාෆියාවන්ට යටත් වෙනවා යැයි චෝදනා කිරීමේ තේරුමක් නැත. මාෆියාවක් කෙසේ වෙතත් සහල් සම්බන්ධ සියලු දේ - ගොවිතැන/වී මිලදී ගැනීම/වී කෙටීම/සහල් ප්‍රවාහනය/සහල් විකිණීම/සහල් මිලට ගැනීම යන සියලු දේ - රාජ්‍යය අවකාශයේ  තිබෙන දේ නොව පෞද්ගලික නිදහස් අවකාශයේ තිබෙන දේය. රජය කළ යුත්තේ මේ පෞද්ගලික වපසරිය නෛතිකව සහ සාධාරණව පවත්වාගෙන යාම සඳහා පහසුකම් සැපයීමත්, යම් ආකාරයක නියාමනයක් සැළසුම්සහගතව පවත්වාගෙන යාමත්ය.


රාජ්‍යයේ වපසරිය
මේ රටේ ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ (Reforms) සිදු කිරීම පසුගිය ජනාධිපතිවරණයේ අංක 1ට පත්වූ දේශපාලන කාරණයක් විය. ගෝඨාභය රාජපක්ෂ මහතා වෙතට ලබා දුන් ජනවරමේ එක් පැහැදිලි දෙයක් වූයේ මේ ප්‍රතිසංස්කරණ කරන්නට ශක්තිමත් නායකත්වයක් එතුමන් තුළ පවතින බවයි. මේ කොවිඩ් වසංතයෙන් පසු මේ රටේ සිදුවිය යුතු දේශපාලන ප්‍රතිසංස්කරණවල එක් ප්‍රධාන කාරණයක් විය යුත්තේ රටේ දේශපාලන ආර්ථිකයේ විය යුතු ප්‍රතිසංස්කරණ යෝජනා කිරීම පමණක් නොව රාජ්‍යයේ වපසරිය පිළිබඳව සමාජයේ පවතින සමහර වාමාංශිකවාදී මතවාදී ආධිපත්‍යය නිසි පරිදි ආමන්ත්‍රණය කිරීමයි. එසේම රාජ්‍යය යනු කෝකටත් තෛලය ලෙසින් පැවති කාලය අවසන් යැයි නිශ්චිතව හා තාර්කිකව සමාජය තුළ ස්ථාපිත කිරීම මේ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ මූලිකම කාරණය බව පිළිගැනීම වැදගත්ම කාරණයයි.

රාජ්‍යය සියලු ව්‍යාපාර නඩත්තු කළ යුතු යැයි මනසේ තබාගෙන විවෘත වෙළඳපොළ අවකාශයේ පිහිටෙන් දිවිගෙවන වාමාංශික මතවාදය මගින් සිදු කරන්නේ අපේ රටේ දේශපාලන ආර්ථික ප්‍රගමනය හා ප්‍රතිසංස්කරණ පසුපසට තල්ලු කිරීම බව මගේ අදහසයි. ප්‍රතිසංස්කරණ වෙනුවෙන් මතවාදී ආධිපත්‍යය ජයග්‍රහණය කිරීම ඉතාමත් අසීරු නමුත් අවශ්‍ය කාරණයක් බව මේ සතියේ මගේ කිවිදා දැක්මය.

 


(*** මහාචාර්ය - චරිත හේරත්)