කවියට නිර්වචන දීම අන්ධයන් අලියාගේ හැඩය කියනවා වගේ වැඩක්


රාජ්‍ය සාහිත්‍ය සම්මානය ඇතුළු විවිධ සම්මානාදියෙන් මීට පෙරද පිදුම් ලබා ඇති ලක්ශාන්ත අතුකෝරල නූතනයේ අපට සිටින ප්‍රතිභාසම්පන්න කවියෙකි. අමාවකේ සඳක් සිඹිමි, යටි වියන, වැසි ඉසෙන ඉසව් ආදිය ලක්ශාන්තගේ කාව්‍ය කෘතිවලින් කිහිපයක් පමණි. ලක්ශාන්ත අතුකෝරල කවියා පරිවර්තනය කළ ‘සිපුම් සීරුම් කෙනිත්තුම්’ කෘතියට මෙවර ‘2020 හොඳම පරිවර්තිත පද්‍ය’ සඳහා වන රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි විය. මතුදැක්වෙන්නේ එම සම්මානනීය කෘතිය පදනම් කොටගෙන ලක්ශාන්ත අතුකෝරල සමඟ අප කළ සංවාදයක සටහනකි.

 

• සිපුම්, සීරුම් කෙනිත්තුම් පරිවර්තිත පද්‍ය එකතුව හරහා ඔබ අපේ පාඨක ලෝකයට නැවුම් කාව්‍යමය අත්දැකීමක් එකතු කරනවා. මේ පද්‍ය තෝරා ගැනීම්වලදී ඔබේ වින්දන ලෝකයට ගෝචර වූ විශේෂ කාරණා මොනවාද?
ප්‍රධාන වශයෙන්ම මේ පද්‍ය පරිවර්තනයේදී මා වැඩිපුරම ආකර්ෂණය වුණේ කමලාදාස්ගේ කවි තුළ ඇති අදීන දෘෂ්ටියට බව කිව යුතුයි. ඇය කාන්තාවගේ ප්‍රේම-විරහ හැඟුම් කලාපයේ විසිරුණු වැහි බිඳු සහ වියළිපත් මතුපිටින් අතගෑමෙන් ඔබ්බට ගිහින් එතැන ගැඹුරට කනිමින් පස්වලින් වැසීගිය සෙල් පතුරු වැනි යමක් මතු කරනවා.

පුරුෂයන් සහ ස්ත්‍රීන් අතර ශාරීරික වගේම හැඟීම් විලාසමය වශයෙනුත් වෙනස්කම් තිබෙනවා. ගැහැනියගේ අවංක දැක්ම සමාජ සායම් නොතවරාගෙන ඉදිරිපත් කළ ලේඛිකාවක් තමයි කමලාදාස්.

ඇය කවි ලිව්වේ දශක ගණනාවකට ඉහතදී වුවත් මානව සබඳතා ජාලය පුළුල් වී ඇති මේ යුගයට ඇගේ කවි මනාව පෑහෙන බව මට සිතුණා. මේ යුගයේ ඇතැම් අව්‍යාජ කාන්තා හැඟීම් නිරූපණයට කමලාගේ කවි කණ්ඩ එහෙම පිටින්ම යොදාගන්න පුළුවන් බව මම නිරීක්ෂණය කළා.


• පරිවර්තන හා අනුවර්තන පද්‍ය සාහිත්‍යයට අපේ කවියේ ආරම්භක යුගයේ පටන් දිගු ඉතිහාසයක් තිබෙනවා. පරිවර්තිත පද්‍ය කලාව අපේ ස්වතන්ත්‍ර පද්‍ය කලාවට කරන බලපෑම කෙබඳුද?
කිසිම සැකයක් නෑ. විශාල බලපෑමක් කරනවා. වෙනත් බොහෝ රටවල කවිය සාහිත්‍යය තුළ තරමක් ඉහළින් සැලකෙනවා. එසේම කවිය නිතරම වර්ධනය වෙනවා. අනෙක් පැත්තෙන් කවිය කියන්නේ සංගීතය වගේ වින්දන මූල කලාවකට වඩා වෙනස් එකක්. මා හිතනවා එයින් ප්‍රබල ලෙස අදහස් සන්නිවේදනය කෙරෙනවා කියලා. විශාල කාලයක් තිස්සේ ලියැවුණු කාව්‍යමය මිනිස් හැඟීම් සාගරයක් වෙනත් භාෂාවල මිදී කැටි ගැසී තිබෙනවා. මේ සියල්ලෙන් ලබාගත හැකි දැනුම සහ සිතිවිලි පරාසය ගැන අමුතුවෙන් කිව යුතු නැහැ. ඒ බලපෑම තමයි හැම අතින්ම අපගේ ජීවන දෘෂ්ටිය පුළුල් කිරීම.

කොදෙව්ගත සමාජයේ සීමිත ජීවිත ඉසව්වෙන් එහාට ඒ කවි අප ගෙන යනවා. රටින් රට පරිසරය, ජීවන පසුබිම්, සංස්කෘතිය වගේ දේවල් එකිනෙකට වෙනස්. භාෂා වෙනස්වීම් නිසා සන්නිවේදනයට නිරායාසයෙන්ම දේශසීමා වැන්නක් පැනවෙනවා. හැබැයි මේ හැම රටකම ජීවත් වන්නේ කවි ලියන මනුෂ්‍යයන්.

ඒ හැම දෙනෙකුටම දැනෙන්නේ සමාන මානව හැඟීම් සහ භාවයන්. ආදරය, වියෝගය, ශෝකය, ප්‍රහර්ෂය, විරෝධාකල්ප ආදී මේ සියලු හැඟීම්වලට සීමා නැහැ. ඒ අර්ථයෙන් ඒවා පොදු මානව වේදයිතයන් ලෙස සලකන්න පුළුවන්. මෙන්න මේ අදහස් සංසරණයට ඇති බාධා ඉවත් කිරීමට වීසා ලබාදීමක් වගේ දෙයක් තමයි පරිවර්තනයේදී සිද්ධ වෙන්නෙ.


• ඇත්තටම වෙනස් බසකින් පළවන කාව්‍යයක් එහි ජීව ගුණය රැකෙන පරිදි තවත් බසකට පරිවර්තනය කළ හැකිද?
කළ හැකියි වගේම කළ යුතුයි කියලයි මා නම් සිතන්නේ. එය කවියේ අරුත වෙනත් බසකට පෙරළනවා වැනි සරල කාර්යයක් නොවෙයි. ඒත් භාෂාමය, සමාජමය, සංස්කෘතිකමය වෙනස්කම් නිසා යම් යම් සියුම් තැන් පරිවර්තනයට හසු කරගත නොහැකි බවත් මම පිළිගන්නවා. කවිය කියන මාධ්‍යයේ සුවිශේෂත්වය තමයි එය ඍජු ප්‍රකාශන ක්‍රමයක් නොවීම. කවියා කියන්නේ හෝ අඟවන්නේ හෝ නොපවසා පවසන්නේ කුමක්ද කියන කරුණ ඉතා නිරවුල්ව වටහා ගැනීම පරිවර්තන කාර්ය සිතියමේ වැදගත්ම ලක්ෂ්‍යය කියා මම සිතනවා. ඒ සඳහා කවියා ගැනත්, ඔහුගේ පසුබිම, ආකල්ප සහ ලේඛන විධි ගැනත් හැකිතාක් දැන සිටීම වැදගත්.

ඊළඟට කවි තුළ ඇති ව්‍යංග්‍යාර්ථ සහ ධ්වනිතාර්ථ වැනි දේ පරිවර්තනයේදී ද එසේම රඳවාගත යුතු වෙනවා. කෙටියෙන් කිව්වොත් මුල් කවියට කිසිදු වෙනසක් පරිවර්තනයේදී සිද්ධ වෙන්න බෑ. එය මා තදින් විශ්වාස කරන දෙයක්. පරිවර්තිත කවිය තුළ තිබිය යුත්තේ පරිවර්තකයි. කියවූ කවියක් මිස ඔහුද රචනයෙන් දායක වූ කවියක් නොවෙයි. කවියක ඇති රිද්මය සහ ගැස්ම පවා පරිවර්තනයේදී රැකගැනීමට යත්න දැරිය යුතු බවයි මා නම් විශ්වාස කරන්නේ.

ඔබ කියූ ජීව ගුණය යන කරුණට මෙය ඉතාම වැදගත්. මේකට ඉතා සරල උදාහරණයක් දක්වන්න පුළුවන්. සුගායනීය බව ඉස්මතු වන ඉංග්‍රීසි ළමා කවියක් ගනිමු.

Row, row, row your boat
Gently down the stream
Merrily, merrily, merrily, merrily
Life is but a dream

මේ අදහස ඒ රිද්මයටම ගැයීමට හැකි වන පරිදි සිංහලට හැරෙව්වොත් අර මුල් කවියෙන් ළමා මනසේ ඇති කරන උද්වේගය සහ ජීව ගුණය පරිවර්තනයේදීත් පරිස්සම් කරගත යුතු බවයි මගේ අදහස.
පදින්නකෝ - ඔරුව ඔබේ
හෙමින් - ගඟ දිගේ
සතුටින් - සතුටින් - ජීවිතය
සිහිනයක් වගේ


• කවිය අද වනවිට ඉහළම නිර්මාණාත්මක තලයක් පිළිබිඹු කරන බව පැහැදිලියි. විදේශීය කවියන් එදා කවියට දුන් නිර්වචන එක්ක බලද්දී අද කවිය ඔබ හඳුනාගෙන තිබෙන්නේ කොහොමද? කවියකට නිර්වචන දිය හැකිද?
කවියට නිර්වචනදීම අන්ධයන් අලියාගේ හැඩය කියනවා වගේ වැඩක්. විවිධ අය තමන්ට හසුවුණ තැන ආශ්‍රය කරගෙන නැත්නම් තමන්ට කවිය දැනෙන ආකාරය ගැන අදහස් පවසා තිබෙනවා. ඒ බොහෝ අදහස් ප්‍රබලයි. ඒ අදහස් පවා හරිම කාව්‍යාත්මකයි. මූලික වශයෙන් කවිය කියන්නෙ විශාල දෙයක් බවත් ඉතා පුළුල් දෙයක් බවත් දැන සිටීම තමයි වඩාත් වැදගත් වන්නේ. විශේෂයෙන්ම නිර්මාණාත්මක ලෙස කරන අදහස් සන්නිවේදනය කවියේ කාර්යයක්. භාවෝද්දීපනය කිරීමේ හැකියාව කවියට තියනවා.
තවදුරටත් කිව්වොත් එය භාෂාව වෙහෙසී නින්දට ගියාම දකින සුබ සිහිනයක් වගේ කියලා හිතන්න පුළුවන්.

ඉංග්‍රීසි කවියකු වූ හොරස් ස්මිත් වරක් කවිය හැඳින්වූයේ ‘භාෂාවේ සංගීතය මගින් සන්නිවේදනය කරන හැඟීම්වල සංගීතය’ යනුවෙනි. පෝල් එන්ගල් නම් ඇමෙරිකානු කවියා කවිය දුටු විදිහත් මතකයේ රැඳෙන සුළුයි. ‘කවිය අදහස්වලින් අස්ථි ද, හැඟීම්වලින් රුධිරය ද, ස්නායුද ලබයි. ඒ සියල්ල එක්ව රඳවන්නේ මුදු සවිමත් වදන් සම මගිනි’ කියලයි ඔහු කීවෙ. කවිය ගැන ඇති මෙවැනි නිර්වචන සහ අදහස් ලක්ෂ ගණනක් ඇති. ඒ හැම එකකටම පාහේ මාත් එකඟයි. කවිය ඒ තරම් පුළුල්.


• ඔබ සසල කළ නූතන ලෝකයේ විශිෂ්ට කවියන් කවුද? එසේ වීමට හේතු මොනවාද?
බිංදු වශයෙන් ගණන් කර පෙන්වන්න බැරි ගංගාවක් කිව්වොත් නිවැරැදියි. එවැනි කවි, වගේම කවියන්, කිවිඳියන්, ඊළඟ තලයේදී ගීතවල, සිතුවම්වල, මූර්තිවල, චිත්‍රපටවල සහ වෙනත් කලා කෘතිවල තිබී හමු වූ කවි ජීවිතයේදී මුණ ගැසුණ, ඇසුරු කළ අය තුළින් දුටු කවි... එහි සීමාවක් නෑ. ‘ජලාලුද්දීන් හක්කනි’ හෙවත් රූමිගේ කවි අතර සිට ලංකාව දක්වාම ගලා එන ගඟුලක් ඒක. බොහොම සීතළ සිංහල කවි දියවැලුත් එහි කොතෙකුත් ඇති.


• අවසන් වශයෙන් ඔබේ ස්වතන්ත්‍ර කවිය පැත්තට හැරුණොත් අත්දැකීමට අනුකූලව ඔබ මවන කවි බස ඉතා ප්‍රබලයි. කවියක භාෂාව තීරණය කෙරෙන්නෙ කොහොමද?
මානව භාෂාව කියන්නේ මනුෂ්‍ය වර්ගයාගේ සහජ උරුමයක්. ‘ලෙව් විගොට්ස්කි’ වගේ මනෝවිද්‍යාඥයන්

අනාවරණය කරලා තියෙනවා. භාෂාව සහ චින්තනය අතර අන්‍යොන්‍ය සම්බන්ධය පදනම් කරගෙන මිනිසුන් සමාජ, සංස්කෘතික වශයෙන් සංවර්ධනය වන බව. කවියක භාෂාව තමයි ප්‍රමුඛවම එය රසිකයා වෙත ගෙන යන වාහකයා. අත්දැකීමට, කථකයාට ගැළපෙන බස් වහරක් යොදාගැනීම බොහෝ විට කවියට ආලෝකයක්. ඇතැම් විට බසේ නිරවුල් බවම කවියට ආලෝලනයක් වෙනවා. ඇතැම් විට බසේ සාමාන්‍ය භාවිතයෙන් බැහැරවීමෙනුත් අපූර්වත්වය ඇති කරන්න පුළුවන්. ඒ නිසා කවියට නිශ්චිත භාෂා ස්වරූපයක් නිර්ණය කරන්න අසීරුයි.

(*** සංවාද සටහන - ගාමිණි කන්දේපොළ)