මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරීමේ සීමා අයිතිය ඉල්ලා කළ හඬ නැගීමක් වශයෙනි. පැය 8ක් වැඩකිරීම පිළිබඳ සංකල්පය මතුවී ආවේ කාල් මාක්ස් සහ එංගල්ස් ඉදිරිපත් කළ අදහස් සමගය. මෙම වකවානුව වන විට යුරෝපයත් ඇමෙරිකාවත් කාර්මිකරණය වෙමින් කර්මාන්ත සහ කම්කරුවන් වර්ධනය වෙමින් පැවතිණ. ඒ වනවිටත් එම කම්කරුවෝ පැය 10 සිට 18 දක්වා වැඩ කළහ.
මාක්ස් - එංගල්ස් දෙදෙනා විසින්ම පර් යේ ෂණාත්මකව කරන ලද අධ්‍යයන අනුව එළැඹි නිගමනය නම් කම්කරුවකු ලබන වැටුප අනුව වැඩ කළ යුත්තේ පැය 8ක් පමණක් බවය. කම්කරුවා එම පැය 8 සේවය කරන්නේ තමන්ගේ ජීවිතය ගැට ගසා ගැනීමටය. එතැනින් පසු සේවය කරන කාලය තම හාම් පුතා පෝෂණය කිරීම වෙනුවෙන්ය, යන මතය සංකල්පයක් වශයෙන් වර්ධනය වන්නට පටන් ගත්තේය. එම සංකල්පය පදනම් කරගෙන ඇමෙරිකාවේ කම්කරුවන් පැය 8ක සේවා සීමාව ඉල්ලා කළ අරගලය පැවැතියේ මැයි මාසයේය. බලයේ සිටි අය කම්කරුවන්ගේ එම අරගලය දැඩි ලෙස මර්දනය කළහ. මේ මර්දනය නිසා ඇතැම් කම්කරුවෝ මිය ගියහ. ඇතැම්හු සිරභාරයට ලක් වූහ. තවත් අය දිවි නසා ගත්හ.
මේ තත්වය සැලකිල්ලට ගෙන 1894දී ජාත්‍යන්තර කම්කරු කොංග්‍රසය කැඳවූ ෆෙඩ්රික් එංගල්ස් එහිදී තීන්දු කළේ මැයි මස පළමුවැනි දා ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස සැමරිය යුතු බවය. මෙම තීරණය අනුව මැයි මස පළමු වැනිදා ජාත්‍යන්තර කම්කරු දිනය වශයෙන් සැමරීම යුරෝපයේ ඇමෙරිකාවේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල් පුරා ක්‍රියාත්මක විය. ජාතික ව්‍යාපාරය තුළ රටවල් නිදහස ලබන අවස්ථාව වන විට කම්කරු පන්තිය එම ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වන විට ඔවුහු මැයි දිනය සැමරීමට පටන් ගත්හ. ශ්‍රී ලංකාවේද මෙම සැමරීම ඒ අනුව ආරම්භ විය. ඒ 1923 දීය. 1935 දී ලංකා සම සමාජ පක්ෂය පිහිට වූ අතර එම පක්ෂය ද මැයි දිනය සැමරීම ආරම්භ කළේය. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු වඩාත් වේගවත්ව අපේ රටේත් මැයි දින සැමරුම් වර්ධනය විය.
මුල් කාලීනව මෙරට පැවැති මැයි දින සැමරුම්වල නායකත්වය ගත්තෝ කම්කරුවෝමය. එය විශේෂත්වයකි. කොමියුනිස්ට් පක්ෂය ලංකා සම සමාජ පක්ෂය වැනි පක්ෂවල මේ තත්වය විශේෂයෙන් දක්නට ලැබුණි. පිලිප් ගුණවර්ධන මහතා රැස්වීමට සහභාගී වුවද එහි නායකත්වය ගත්තෝ කම්කරු නායකයෝය. එබැවින් එය කම්කරුවාගේ දිනයක් බව අවධාරණය කෙරිණ. 1956 එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා බලයට පත්වූ පසු මැයි දිනය නිවාඩු දිනයක් බවට පත් කළේය. එහෙත් එතැනින් පසු සිදු වූයේ කම්කරු දිනය දේශපාලන පක්ෂ නායකයන් විසින් මෙහෙයවනු ලබන දිනයක් බවට පත් වීමය. වාමාංශික පක්ෂ බොහොමයකත් මේ තත්වය පසුකාලීනව වර්ධනය වූ අතර ජනතා විමුක්ති පෙරමුණත් පක්ෂයක් ලෙස කම්කරු සැමරුම්වල යෙදුණ ආකාරය දැකිය හැකිය.
කෙසේ වෙතත් 1977න් පසුව මැයි දිනයේ වැදගත්කම ටිකෙන් ටික අඩු වී ගිය ආකාරයක් දැකිය හැකිය. කම්කරු අමාත්‍යාංශයේ වාර්තාවලට අනුව 1977 වන විට මෙරට වෘත්තීය සමිති සාමාජිකයෝ විසි ලක්ෂයක් සිටියහ. ඒ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ජේ.ආර්. ජයවර්ධන මහතාට රටේ පාලනය බාර දෙනවිට පැවැති තත්වයයි. එහෙත් අදවන විට මේ රටේ වෘත්තීය සමිති සාමාජිකයන් සිටින්නේ ලක්ෂ දෙකක් පමණි. අද බොහෝ ආයතනවල කම්කරුවෝ බොහෝ දෙනෙක් කිසිම වෘත්තීය සමිතියක් නියෝජනය නොකරති. රජයේ සේවයේ මෙන්ම පෞද්ගලික අංශයේද මේ තත්වය දැකිය හැකිය. රජයේ සංස්ථා පෞද්ගලිකකරණය කර එම සංස්ථා පසුකාලීනව විකුණා දැමීමත් කම්කරු වෘත්තීය සමිති මර්දනය වීමට විශේෂයෙන් බලපෑ බව පෙනේ.
මේ අනුව අද වන විට අපේ රටේ ප්‍රබල කම්කරු පන්තියක් දැකිය නොහැකිය. අපේ රටේ පමණක් නොව මෙය ලොව පුරා පවත්නා තත්වයකි. වර්තමානය වන විට ඇමෙරිකාවේ වෘත්තීය සමිති නොමැති තරම්ය. 2009න් පසු මේ දක්වා ඇමෙරිකාවේ රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩිවීමක් ලැබී නැත. එහි කර්මාන්ත අංශය කඩා වැටී තිබේ. ඇමෙරිකාවේ පමණක් නොව යුරෝපයේ ද ආර්ථිකය මූල්‍ය ක්ෂේත්‍රය මත පදනම්ව ඇත. මේ තත්වය තුළ කම්කරු පන්ති දුර්වලවීම නිසාම කම්කරු දින සැමරීමට ඔවුන්ට ඇති උනන්දුවද අඩු වී තිබේ.
කෙසේ වෙතත් ඉතිහාසයේ සිට මේ දක්වා කම්කරුවන්ට තම බොහෝ අයිතීන් දිනා ගැනීමට හැකි වූයේ ඒ වෙනුවෙන් කළ සටන් හා කැපවීම් නිසාම බව අපි අපි අමතක නොකළ යුත්තෙමු. අපේ රටේ පැය 8 සේවාව ඇතුළු බොහෝ වෘත්තීය අයිතීන් මෙරට කම්කරුවන්ට ලබාගත හැකිවූයේ 1946 වැඩවර්ජනයේ ප්‍රතිඵලයක් වශයෙනි. අද අප කම්කරුවන් ලෙස භුක්ති විඳින අතිකාල දීමනා, රජයේ නිවාඩු, වෙළෙඳ නිවාඩු ආදි සියල්ලක්ම දිනාගත හැකි වූයේ කම්කරු සටන් නිසාය. මේ කිසිවක් බන්දේසියක තබා ලබා දුන් ඒවා නොවේ. රජයේ මෙන්ම පෞද්ගලික අංශයේ ද අද භුක්ති විඳින කම්කරු වරප්‍රසාද කම්කරුවන් කළ සටන් නිසාම දිනාගත් ඒවා බව අමතක කළ යුතු නැත. එදා කම්කරුවන් සටන් කළ කර්මාන්ත ක්ෂේත්‍රයේ මෙන්ම කෘෂිකාර්මික ක්ෂේත්‍රයේද අද වන විට වර්ධනයක් දැකිය නොහැකිය. වර්ධනය වී ඇත්තේ සේවා ක්ෂේත්‍රය පමණි. සේවා ක්ෂේත්‍රය තුළ ප්‍රබල වශයෙන් වෘත්තීය සමිතිවල මතුවීමක් දැකිය නොහැකිය.
එදා කම්කරු අයිතීන් වෙනුවෙන් ප්‍රබලව හඬ නැගූ පිරිසක් අද පාලන බලයට පත් වී සිටිති. ජාතික ජන බලවේගය මැතිවරණයට පෙර ජනතාව ඉදිරියේ පොරොන්දු ගණනාවක් ලබා දුන්නේය. එහෙත් එම ඇතැම් පොරොන්දු ඉටුකිරීමට නොහැකිව ආණ්ඩුව පසුවෙයි. දූෂණය නැතිකරන බව මාලිමා ආණ්ඩුවේ ප්‍රධාන සටන් පාඨයක් විය. එහෙත් ආර්ථිකය බංකොලොත්වීමට හේතුව දූෂණය නොවේ. මේ බංකොලොත්වීමට එක් හේතුවක් වූයේ බදු ක්‍රමයයි. 1977න් පසු අපේ රටේ ආනයනය කරන ප්‍රමාණය අපනයනය කරන ප්‍රමාණය මෙන් දෙගුණයකි. 77 සිට මේ දක්වා එය වෙනස් නොවුණ එකම අවුරුද්දක්වත් නැත. මේ නිසා ඩොලර් ලැබෙන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් අපේ රටින් පිටතට ගලා යයි. සංචාරක ක්ෂේත්‍රයේ යම් දායකත්වයක් දැකිය හැකි වුවත් එයින් ලැබෙන ඩොලර් ප්‍රමාණය සතුටුදායක නොවේ. ඩොලර් නැතිවන විට කරන්නේ පිට රටින් ණය ගැනීමය. ඉන් පසු ණය ගෙවා ගැනීමට නොහැකි තත්වයකට පත් වේ. රට බංකොලොත්භාවයට පත් වූයේ ඒ පරිසරය තුළය.
දූෂණය පිටුදකින බව මහජනයාට තේරෙන භාෂාවෙන් කියා එය නැතිකරන බවට මාලිමා ආණ්ඩුව පොරොන්දු දුන්නත් ආර්ථික අර්බුදය ඇතිවීමට සැබෑ හේතුව තේරුම් ගත් බවක් හෝ ජනතාවට තේරුම් කර දුන් බවක් නොපෙනේ. ආණ්ඩුවට මාස හයක් ගතවී ඇතත් නිෂ්පාදන ආර්ථිකයේ වර්ධනයක් අත්පත් කර ගැනීමට තවමත් නොහැකි වී ඇත්තේ මේ නිසාය. විද්‍යාත්මක හේතු නිවැරැදිව තේරුම් නොගෙන ජනතාව ආකර්ෂණය කරන පොරොන්දු ලබාදීමෙන් පමණක් අර්බුදය විසඳා ගත නොහැක.
නව ලිබරල් ආර්ථිකය අසාර්ථක බවට ලෝක මතයක් දැන් තහවුරු වී හමාරය. කර්මාන්ත දියුණු නොකර රටක ආර්ථිකයක් ශක්තිමත් කළ නොහැක. ගෝලීය දකුණේ රටවල් බ්‍රික්ස් සංවිධානය පිහිටුවා ගනිමින් අලුත් ආර්ථික රටාවකට මාර්ගය සකස් කරන්නේ ඒ නිසාය. මේ තත්වය තේරුම් ගැනීම ශ්‍රී ලංකාවට ඉතාම වැදගත්ය. මේ කාරණා සැලකිල්ලට නොගෙන වර්තමානයේ රටක් පාලනය කිරීම දුෂ්කරය. එවැනි තත්වයක් යටතේ කම්කරුවන්ගේ සැබෑ ප්‍රශ්නවලට පිළිතුරු දීම කළ නොහැකිය. ආර්ථිකය ශක්තිමත් නොකර ජනතාවගේ ගැටලු විසඳන්නේ කෙසේද?
මෙරට ආර්ථිකය අද ක්‍රියාත්මක වන්නේද මූල්‍ය ක්ෂේත්‍රය පදනම් කරගෙනය. මේ ක්‍රමය තුළ සාමාන්‍ය කම්කරු ජනතාව ළඟ මුදල් ගැවසෙන්නේ නැත. රක්ෂණ සමාගම්, වාණිජ බැංකු, ලීසිං ආයතන වැනි මූල්‍ය ආයතනවල වෙනසක් පවතී. කර්මාන්ත කඩා වැටී තිබේ. රටට ඩොලර් සොයා ගැනීමට යම් ප්‍රමාණයකට හෝ තවමත් ක්‍රියාත්මක වන්නේ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ආරම්භ කළ කර්මාන්ත කිහිපයක් පමණි. කාර්මිකකරණය පිළිබද අවධානයක් අපේ රටේ තවමත් දක්නට නැති තරම්ය. එහෙත් අද ලෝකයේ ආර්ථික වර්ධනය අත්පත් කරගෙන ඇත්තේ කාර්මිකකරණය දියුණු කළ රටවල්ය. මේ කාරණා සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් කතා කරන්නේත් නැත. විපක්ෂයේ මන්ත්‍රීවරුන් කතාකරනේත් නැත.
මා ඇමැතිවරයකුව සිටින කාලයේ එවකට ජනාධිපතිවරයාව සිටි මහින්ද රාජපක්ෂ මහතා සමග වාද විවාද කළේ එවකට ක්‍රියාත්මක වූ බදු ප්‍රතිපත්ති මතය. බදු සමා ලබා දීම සම්බන්ධවය. අවසානයේ ඒ බර වැටෙන්නේ පාරිභෝගිකයා මතටය. එම ක්‍රමය තුළ ධනපතියා හරි හම්බ කරගෙන රජයට ආදායම් නොදී පැහැර හරියි. අඩු තරමේ එබඳු සංවාදයක්වත් අද දැකිය නොහැකිය. එවැනි පසුබිමක් යටතේ පාලකයන් කම්කරු ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්නේ කෙසේද? ආර්ථිකය පවත්වාගෙන යන මූල්‍ය ක්ෂේත්‍ර තුළ එකම එක ශක්තිමත් වෘත්තීය සමිතියක්වත් නැත. වෘත්තීය සමිති ඇතිකිරීමට එම මූල්‍ය සමාගම්වල ප්‍රධානීන් ඉඩ දෙන්නේ ද නැත. ධනය රැස්වී තිබෙන්නේ එතැනය. ඩී.එස්. සේනානායක මහතාගේ සමයේ සිට බණ්ඩාරනායක මහතාගේ පාලන කාලය දක්වාම මෙරට ආර්ථිකයේ කර්මාන්ත ක්ෂේත්‍රයේ වර්ධනයක් දක්නට ලැබිණ. එකල මොනතරම් කර්මාන්ත මෙරට බිහිවූවාදැයි ඉතිහාසය අධ්‍යයනය කිරීමෙන් පෙනේ. රෙදි පිළි කර්මාන්තය, වානේ කර්මාන්තය, ටයර් කර්මාන්තය ඉන් කිහිපයකි. ඒත් ඒ කිසිවක් අද නිසි ලෙස ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නැත. ඒ වෙනුවට සේවා ක්ෂේත්‍ර කෙරෙහි නැඹුරු වී තිබේ. ග්‍රාමීය කාන්තාවන් ගෘහ සේවය සඳහා පිටරට යැවීමට සිදුවී ඇත්තේ මේ නැඹුරුව නිසාය. එහෙත් 1977ට පෙර ගෘහ සේවයට කාන්තාවන් රට යැවීමක් සිදුවූයේ නැත. අද මෙරටට ඩොලර් ගෙනෙන ප්‍රධාන මාර්ගය බවට කාන්තාවන් පිටරට යැවීම පත්ව තිබේ. අපට ඒ මත යැපෙන්නට සිදු වී තිබේ.
මෙබඳු පරිසරයක් තුළ කම්කරු ජනතාවගේ අයිතීන් වෙනුවෙන් හඬක් නැගීමට ඇති ඉඩකඩ සීමා වී තිබේ. වෘත්තීය සමිති නායකයන් කිහිප දෙනකු මාධ්‍ය හමුවේ පෙනී සිටියත් ඒ කිසිම වෘත්තීය සමිතියකට ප්‍රමාණවත් බලපෑමක් කළ හැකි සාමාජිකයෝ පිරිසක් නොසිටිති. මෙබඳු සමාජ දේශපාලන පරිසරයක කම්කරු දිනයක් ගැන කතා කිරීම කම්කරු අයිතීන් වෙනුවෙන් පෙනී සිටීම කෙරෙහි වන අවධානය ගිලීහී යමින් තිබේ. අද කම්කරු දිනය සැමරීම අතීත සම්ප්‍රදාය සිහි කිරීමක් පමණි. එය අතීත සැමරුම් උදෙසා පහන් දැල්වීමකට සමානය.
(*** සාකච්ඡා සටහන - ගාමිණී කන්දේපොළ)