IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


විලියම් ශේක්ස්පියර් නම් විශ්වීය ලේඛකයා

සංචින්තා

මහාකවි විලියම් ශේක්ස්පියර් ඉංග්‍රීසි  බසින් ලියූ ශ්‍රේෂ්ඨතම ලේඛකයා ලෙස ද ලෝකයේ පහළ වූ අත්‍යුත්කෘෂ්ට නාට්‍යකරුවා ලෙස ද පිළිගනු ලැබේ. එංගලන්තයේ “ජාතික කවියා” ලෙස සැලකෙන ඔහු BARD OF AVON යන විරුදාවලියෙන් ද හැඳින්වේ. (ඇවොන් යනු ඔහු උපන් ස්ථානයයි.) 1564 අප්‍රේල් 23 වැනි දින බෞතීස්ම කරන ලද ඔහු (ඔහුගේ උපන් දිනය ගැන නිශ්චිත සඳහනක් නැත.) 1616 අප්‍රේල් 26 වන දින අභාවප්‍රාප්ත විය.

සිය වස් ගානක් බ්‍රිතාන්‍යයන්ගේ යටත් විජිතයක් ව පැවති ලංකාවේ වෙසෙන අපට ශේක්ස්පියර් අමුත්තෙක් විය හැකි නොවේ. ඇත්ත වශයෙන් ම අදත් බොහෝ පාසල්වල වාරාවාසාන ප්‍රසංගයන්හිදී ශේක්ස්පියර්ගේ නාට්‍ය රඟ දක්වනු ලැබේ.

ශේක්ස්පියර් ගේ ඔතෙ‍ලෝ (OTHELLO) නාට්‍යය ටෝනි රණසිංහ විසින් සිංහලට පරිවර්තනය කරන ලද අතර මැක්බත්, හැම්ලට් වැනි නාට්‍ය බොහෝ විට ලංකාවේ නාට්‍ය වේදිකාවේ අදත් රඟ දක්වනු ලැබේ. ශේක්ස්පියර් සිංහලට පරිවර්තනය කළ අය අතර වී.ඩී. ද ලැනරෝල් (රෝමියෝ ජුලියට් සහ වෙනත් කතාත්) ගාමිණි ද සිල්වා (මැක්බත්) හා ප්‍රේමසිරි මාහිංගොඩ ද වෙත්.

ඔවුන් නාට්‍යවල එන බොහෝ කියුම් හා යෙදුම් ද අපට හුරු ය. නිදර්ශනයක් වශයෙන්, “මිනිහා මස් රාත්තල ම ඉල්ලනවා.”, “‍අපේ ජීවිතය රඟ මඬලක නාට්‍යයක් වගෙයි.” ගෙන හැර දැක්විය හැකිය. එමෙන් ම, ප්‍රේමවන්තයන් හඳුන්වාදීමට “හරියට රෝමියෝ ජුලියට් වගෙයි” යන යෙදුම ද ප්‍රකට ය. තවත් යෙදුම් රාශියක් අපේ ජන වහට එක්වී තිබේ. “බියගුල්ලෝ මරණයට පෙර කිහිපවරක් ම මැරෙති. නිර්භීත පුද්ගලයා මැරෙන්නේ එක් වරක් පමණි.” (ජුලියස් සීසර් නාට්‍යයෙන්). “නමක ඇති උජාරුව කුමක් ද? රෝසමල කිනම් නමකින් හැඳින්වුවද එක ම සුවඳ ය.” (රෝමියෝ සහ ජුලියට් නාට්‍යයෙන්) “දිලිසෙන සියල්ල රත්රන් නොවේ.” (වැනිසියේ වෙළෙන්දා) “මේ ලියුම හරියට ග්‍රීක් වගෙයි.” (ජුලියස් සීසර් නාට්‍යයෙන්) “කිරුළ පලන් හිස හැමවිට ම අසහනයෙනි.” (හෙන්රි IV නාට්‍යයෙන්) යන යෙදුම් ඒ අතර ප්‍රකට ය.

සංගීතය මෙන් ම සාහිත්‍යය ද විශ්ව භාෂාවක් වෙයි. ලෝකයේ මොනයම් ම රටක මොනයම් ම බසකින් හෝ වේවා රචිත සම්භාව්‍ය නවකතාවක සිංහල පරිවර්තනය කියවන විට එහි එන සිද්ධි හා අවස්ථා අපට නුහුරු නොවන බව හැඟෙන්නේ ඒ නිසා ය. මනුෂ්‍ය හැඟීම් ද චර්යා රටාව ද ජාති, ආගම් හා දේශ සීමාවන්ගෙන් ඔබ්බට යයි. විලියම් ශේක්ස්පියර් අපේ ම වන්නේ ඒ නිසා ය.

ශේක්ස්පියර් පිළිබඳ මේ කෙටි සටහන මා ලියන්නේ ඔහු නාට්‍යකරුවකු වශයෙන් දක්වන සුවිශේෂි ගුණාංග කිහිපයක් ඉස්මතු කරනු පිණිස ය. බොහෝ විචාරකයන්ගේ අදහස නම් ඔහුගේ කලා කුසලතාවේ උච්චතම අවස්ථාව දැකගත හැකි වන්නේ ඔහුගේ ශෝකාන්ත නාට්‍ය වලින් බව ය. ශේක්ස්පියර් ගැන ගැඹුරු අධ්‍යයනයක් නොකළ අය පවා හැම්ලට් නාට්‍යයේ හැම්ලට්ගේ ආත්ම භාෂණය (SOLILOQUY) TO BE OR NOT TO BE. THAT IS THE QUESTION. “මියෙම් ද නොමියෙම් ද ප්‍රශ්නය එයයි” යන්න කටපාඩමින් දනිත්. ඔහුගේ ශෝකාන්ත නාට්‍යවල එන හැම්ලට්, මැක්බත්, ඔතෙලෝ, ලෙයාර් වැනි චරිත අදත් ලොව පුරා ප්‍රචලිත ය.

ඉහත සඳහන් කළාක් මෙන් ම හැම්ලට් අපට හමුවන්නේ ආත්ම භාෂණයේ යෙදෙමින් තීරණ ගැනීමට අසමත් පුද්ගලයකු ලෙස ය. ඒ ශේක්ස්පියර් ගේ නාට්‍ය කලාවේ එක් ප්‍රමුඛ අංගයකි. එහෙත් ඔහුගේ ඔතෙලෝ, ලෙයාර් යන නාට්‍යවලින් අප හමුවට එන කතා නායකයෝ අවසානයේ අපේක්ෂා භංගත්වයට පත්වන්නේ තීරණ ගැනීමේ අසමත් බව නිසා නොව සාවද්‍ය විනිශ්චයන් නිසා ය. ශේක්ස්පියර්ගේ නාට්‍යවල මේ අංශය අපේ විමසීමට භාජනය විය යුත්තේ ඒ සැබෑ විනිශ්චය නිසා කතා නායකයා තමන් විසින් ම තමන් විනාශ කර ගන්නවා පමණක් නොව තමන් ආදරය කරන අන් සියලු දෙනා ම විපතේ හෙළන නිසා ය. ෆ්රෑන්ක් කර්මෝඩ්ට (FRANK KERMODE) අනුව ඒ කුරිරුකම කතා නායකයාට පමණක් නොව, ප්‍රේක්ෂකයන්ට ද කිසිම බුරුලක් නොදෙයි. කර්මෝඩ් මේ කියන්නේ ප්‍රේක්ෂකයන් පීඩාවට පත්වන බවක් නොවේ. මට හිතෙන හැටියට ඔහු කියන්ට තැත් කරන්නේ මනුෂ්‍ය චිත්ත ස්වභාවයක් වන ක්‍රෑරකම ශේක්ස්පියර් විසින් සෞන්දර්යාත්මක ලෙස ද සිත් කාවදින ලෙස ද වේදිකාවේ නිරූපණය කරන බව ය.

සිය ‍ශෝකාන්ත නාට්‍යවලදී ශේක්ස්පියර් මිනිස් සිතේ ස්වභාවය එනම්, සැකය, ඊර්ෂ්‍යාව, ක්‍රෑරකම, නොතිත් ආශාව නිරූපණය කරයි. ඉන් ඇතිවන විපාකය ද නාට්‍යානුසාරයෙන් ගෙන හැර දක්වයි. ඔහුගේ ප්‍රබලතම නාට්‍යයක් ලෙස සැලකෙන මැක්බත් නාට්‍යයේ දී මැක්බත් හා ඔහුගේ  බිරිය යසස්කාමය විසින් කෙතරම් නොමඟ යවන්නේ ද යත් නීත්‍යනුකූල රජු ඝාතනය කර රජකම බලෙන් පැහැර ගැනීමට පෙලඹෙත්. අවසානයේ සිදුවන්නේ තමා කළ අපරාධයෙහි විපාකයක් ලෙස තමා ද විනාශවීම ය.

සංකීර්ණ තේමාවක් රැගත් ඔතෙලෝ නාට්‍යයේදී එය බිරිය කෙරෙහි අනවශ්‍ය සැකයක් උපදවා ගන්නා ඔතෙලෝ අවසානයේදී ඇය ඝාතනය කරයි. ඔහුගේ ඒ සැකයට හේතු වන්නේ සිය බිරිය සමඟ අනියම් සබඳතාවක් ඇති කර ගැනීමට උත්සාහ කරන ඉයගෝ ගේ මුසාබස් ඇසීම ය.

සිය සමකාලීන නාට්‍යකරුවන් මෙන් ම ශේක්ස්පියර් ද ග්‍රීක හා ලතින් කෘති ආශ්‍රයෙන් සිය නාට්‍ය සකස් කර ගත් බව විද්වතුන්ගේ මතයයි. එහෙත්, ඒවා අමු අමුවේ ම කොපි නොකර ඒ කතා වස්තු ප්‍රේක්ෂක උනන්දුව ඇතිවන ලෙස ඉදිරිපත් කිරීමට ද කතා තේමාවේ අනේකවිධ පැතිකඩ ප්‍රේක්ෂකයන‍්ගේ අවධානයට යොමු කිරීමට ද ශේක්ස්පියර් උත්සාහ කළේ ය. විද්වතුන්ගේ මතය නම් මේ දක්ෂතා­ෙව් ප්‍රතිඵලය වන්නේ ඔහුගේ කෘති එහි අන්තර්ගතයට කිසිදු හානියක් නොවන ලෙස අන් බසකට පරිවර්තනය කිරීමට ද ඒවාට නව අර්ථකථන සැපයීමට ද හැකි වන බව ය. ඔහුගේ කෘති කිහිපයක් සංස්කරණය කළ සෙඩ්රික් වොට්ස් (CEDRIC WATTS) විද්වතාගේ මතයට අනුව “ශේක්ස්පියර් තමා ආභාසය ලැබූ කතා වස්තු ගළපා ගැනීමේදී ඊට පෙර නොවූ විරූ පරිදි භාෂාමය පරිපූර්ණත්වයක් ද වඩාත් විචිත්‍ර චරිත නිරූපණයක් ද විදහා දක්වයි.”

පශ්චාත් කාලීන වේදිකාවට හා සාහිත්‍යයේ ඔහුගේ කෘති බොහෝ සේ බලපෑවේ ය. චරිත නිරූපණය, කතා වස්තුව, භාෂාව යන අංශයන්හි නාට්‍යමය ශක්‍යතාව ඔහු නව දිශානතියකට යොමු කළේ ය. ඔහුට පෙර “ආත්ම භාෂණ රීතිය” යොදා ගන්නේ චරිතය හෝ සිද්ධි පිළිබඳව වැඩි විස්තර ඉදිරිපත් කිරීම සඳහා පමණි. එහෙත් ශේක්ස්පියර් සිය චරිත විශ්ලේෂණය සඳහා ආත්ම භාෂණය යොදා ගත්තේ ය.

ඔහුගේ කෘති පශ්චාත් කාලීන කාව්‍යය කෙරෙහි ද ඉමහත් බලපෑමක් කළ බව විද්වතුන‍්ගේ මතයයි. ඒ බලපෑම කෙතරම් ප්‍රබල වීද යත් ජෝර්ජ් ස්ටෙයිනර් (GEORGE STEINER) නම් විචාරකයාගේ මතය අනුව කෝල්රිජ් ගේ සිට සියලු ම දෘශ්‍ය කාව්‍යවලට ඔහුගේ කෘතිවල සෙවණැල්ල වැටී තිබේ.

ශේක්ස්පියර් ගේ ආභාසය ලැබූ නවකතාකරුවන් ලෙස තෝමස් හාඩි, විලියම් ෆෝක්නර් හා චාර්ලිස් ඩිකන්ස් ප්‍රමුඛ ස්ථානයක් ගන්නා බව විචාරක මතයයි. ඇමෙරිකානු නවකතාකරුවකු වන හර්මන් මෙල්විල් ගේ “මොබි ඩික්” නම් නවකතාවේ කපිතාන් අහබ් ගේ චරිතය ලෙයාර් ගේ චරිතයෙන් ආභාසය ලැබූ බව කියනු ලැබේ.

ශේක්ස්පියර් ගේ ආත්ම භාෂණ රීතියෙන් ඉමහත් ආභාසයක් ලැබූ ලේඛකයන් ලෙස ජේම්ස් ජොයිස් හා වර්ජිනියා වුල්ෆ් ප්‍රමුඛ ස්ථානයක් ගනිත්. අපේ ම නවකතා කිහිපයකට ද ඒ ආභාසය ලැබී තිබේ. සිරි ගුනසිංහ ගේ හෙවනැල්ල සහ ඉන්පසු කෘති කිහිපයකට ම අඩුවැඩි වශයෙන් ආත්ම භාෂණ රීතියේ ආභාසය ලැබී ඇති බව කිව යුතු ය

 



අදහස් (0)

විලියම් ශේක්ස්පියර් නම් විශ්වීය ලේඛකයා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 699 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site