IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ලාංකේය සිනමාවෙි අවසාන නිළිය මාලිනී

සංචින්තා

 

පසුගිය දශක දෙක තුළදී මාලිනී ෆොන්සේකා ගේ සමාජ-දේශපාලන ප්‍රතිරූපය ලියැවුණේ දුර්දාන්ත රාජපක්ෂ ව්‍යාපෘතිය සමග අනන්‍ය කරමිනි. එහෙත් ඒ අවාසනාවන්ත දේශපාලන තෝරාගැනීම නිසා ඇය ජැක්සන් ඇන්‍තනී වර්ගයේ ඉරණමකට ලක් නොවූ අතර ඉන් ඇයට සිදු වූ කැළල මකා දමන තරමින් මාලිනියගේ සිනමා-කලා ප්‍රභා මණ්ඩලය බලවත් විය.

මාලිනියගේ භෞතික කාය ඉකුත් වී තිබියදීත් අද ඇය පිළිබදව යශෝරාවයන් මිස අයස් පරිභවයන් පළ නොවන බව පැහැදිලිය. ඊට හේතු වුණු ලාංකේය සිනමා මහජන පරිමණ්ඩලය තුළ දශක කිහිපයක් පුරා ඇය විසින් සලකුණු කෙරුණු අසහායත්වය කුමක්ද ?

සිනමාව යනු ප්‍රාග්ධනය හා කාර්මිකරණයේ වර්ධනය මත ගොඩනැගුණු කලාවකි. එ'නිසාම සංස්කෘතික කර්මාන්තය තුළ ආධිපත්‍යය පවත්වා ගනිමින් සංස්කෘතික ප්‍රතිරූප නිෂ්පාදනය ඉහළින්ම සිදුකළ ක්ෂේත්‍රයක් ලෙසත් සිනමාව නම් කළ හැකියි. නූතනත්වයේ පරිණත අවදිය තුළ සංස්කෘතික ප්‍රතිරූපයන් ප්‍රභා මණ්ඩලයෙන් යුතුව ඉදිරිපත් කිරීමටත් සිනමාව ශක්‍යතාවයෙන් යුතු විය. ඒ අනුව එක්තරා ආකාරයකින් සිනමාවේ නළු නිළියන් නව දිව්‍යමය පහළ වීමක් ලෙස නූතනත්ව සිනමා යුගය තුළ මූර්තිමත් කිරීමක් දක්නට ලැබුණි.

රුක්මණී දේවී වැනි ප්‍රතිරූපයක් යනු ලාංකේය සිනමාවට අදාළව එවැනි නිදර්ශනයකි. ඇයව කළු සුදු පැහැයෙන් දීප්තිමත් වූ රිදී තිරය තුළ නිරූපණය කෙරුණේ ප්‍රේක්ෂයාට ළගා කර ගත නොහැකි දුරස්ථ වස්තුවක් ලෙසයි. විශේෂයෙන්ම ඇය පෙනී සිටි චිත්‍රපටිවල තිබූ දකුණු ඉන්දීය සිනමා ආභාසයත් නූර්ති,ටීටර් වැනි අපරිණත නාට්‍ය ශෛලීන්ගේ අනුකරණයනුත් නිසා එම දුරස්ථ බව වඩා කැපී පෙනුණි.

එහෙත් නිළි ජනප්‍රියත්වයෙන් රුක්මණි යගේ අනුප්‍රාප්තිකයා වැනි වූ හා එම ජනකාන්ත බව අඛණ්ඩව පවත්වා ගත් මාලිනී ෆොන්සේකා යනු රුක්මණිලාගේ යුගයේ සිනමාවට ඔබ්බෙන් සංස්කෘතික ප්‍රතිනිෂ්පාදන කාර්ය වඩා වර්ධනීය තලයකට එස වූ රංගවේදිනිය වන්නීය.

සිනමාවේ නූතනත්ව යුගය තුළ රංග ප්‍රතිරූප නරඹන ප්‍රේක්ෂකයෝ නළු නිළියන් සමග ප්‍රාථමික අනන්‍යකරණයක් පවත්වා ගත්හ. එය එක්තරා අයුරකින් කැඩපතක් තුළ වන රූපය ස්වීයකරණය කරගැනීමක් වැනිය. ඉන් සමාජ අනන්‍යතාව ප්‍රතිනිෂ්පාදනය වීම සදහා සිනමාවේ නළු-නිළි ප්‍රතිරූප ආධාරකයක් වේ. නිදර්ශනයක් ලෙස 'ස්ත්‍රිය' නම් වූ සමාජ අනන්‍යතාව ගතහොත් එය ගොඩනැගීම සඳහා එවක සිනමා තිරයේ නිළි ප්‍රතිරූපය තීරණාත්මක කාර්යභාරයක් කරනු ලැබීය. සංකීර්ණ ලෙස කියන්නේ නම් සිනමාවේ නූතනත්ව යුගය තුළ පැවති අදාළ රංග ප්‍රතිරූප බාහිර සමාජයේ වූ සමාජ අනන්‍යතාවන්ගේ ප්‍රක්ෂේපණයක් වනවාට වඩා සමාජ සංස්කෘතික භූමිකා එම සිනමා රංග රූපයන්ගේ ප්‍රක්ෂේපණයන් යැයි කිව හැකිය.

අපගේ මාතෘකාවට අනුව කිවහොත් පශ්චාත් යටත් විජිත ලංකාවේ සිංහල දකුණේ තරුණ ස්ත්‍රිය නිර්මාණය වීම සඳහා මාලිනී ෆොන්සේකා නම් වූ නිළි පෞරුෂය තීරණාත්මකව දායක වූ බවයි. ඇය 'සන්සුන්' ගැමි තරුණියගේ සිට නාගරික කෙළිලොල් තරුණිය දක්වා වන පරාසයක ස්ත්‍රිය පිළිබද මිථ්‍යාව ප්‍රතිනිෂ්පාදනය කිරීමට දායක විය. මෙහිදී මිථ්‍යාව යනු ව්‍යාජය යන්න නොවෙයි. සමාජ වතාවන් හා අනන්‍යතාව නිර්මාණය වීමට අවශ්‍ය වන ප්‍රබන්ධයන් යන තේරුමයි. එහිදී බාහිර සමාජයේ ස්ත්‍රී පැවැත්ම සම්බන්ධ අමුද්‍රව්‍ය සිනමා යන්ත්‍රය විසින් නිමැවුමක් බවට පත් කර සමාජයට මුදා හරින අතර එම රංග-රූප සමග අනන්‍ය වන ප්‍රේක්ෂිකාව සිය සමාජ රූපය ක්‍රමික පරිවර්තනයකට ලක් කර ගනියි. සමාජ සංස්කෘතියේ විෂය අනන්‍යතාවක් යනු සීමිත හා පාර්ශ්වීය ගොඩනැංවීමක් මිස ස්වාභාවික ඝනීභූත උරුමයක් නොවෙයි. එය අදාළ යුගයක ආර්ථික-සංස්කෘතික සමාජ බලවේගයන්ගෙන් ද ඛණ්ඩාංක ගත කෙරෙයි. 

සරලව කිවහොත් 60 හා 70 දශකයන්ගේ ලාංකේය සිංහල දකුණේ තරුණ ස්ත්‍රියගේ රූපය හා අනන්‍යතාව නිර්මාණය වීමට මාලිනී ෆොන්සේකා නම් වූ තනි සිනමා ප්‍රතිරූපය සෑහෙන ප්‍රමාණයකින් දායක වී ඇත. එවක පෙම්වතිය නම් වූ ආත්මීය භූමිකාවට අයත් භාව විමෝචනයන්,අංග පුලාවන්,විලාසිතාමය සැරසීම්,හැගීම් ප්‍රේරණයන් සේම බාහිර සමාජ සාධක සමග එම පෙම්වතියන් ගනුදෙනු කළ ආකාරයන් ද නිර්මාණය වීම සඳහා මාලිනී ෆොන්සේකා නම් වූ රංගවේදිනිය ජනකාන්ත කැඩපතක් ලෙස දායක වී ඇති බව පැහැදිලිය. 'සූරයා' චිත්‍රපටි ඇතුළු ලෙනින් මොරායස් ගේ සිනමාවලිය, 'තුෂාරා' ඇතුළු යසපාලිත ගේ සිනමාවලිය, සේන සමරසිංහ ගේ 'කස්තුරි සුවඳ' , කේ.ඒ.ඩබ් පෙරේරා ගේ 'හිඟන කොල්ලා' ඇතුළු ජනකාන්ත සිනමා නිර්මාණ රැසකින් මාලිනී ෆොන්සේකා ඉදිරිපත් කළ නිළි ප්‍රකාශනයන් විසින් ඇය ලාංකේය- (සිංහල) පෙම්වතිය නිෂ්පාදනය කිරීමට කළ දායකත්වය නව කියැවීමකට ලක් කළ හැකිය.

අනෙක් අතින් මාලනී ෆොන්සේකා යනු ලංකාවේ විකල්ප සංස්කෘතික නූතනවාදී ධාරාවක ඇවිද ගිය රංගවේදිනියක් ලෙස ද හැදින්විය හැකිය.එය එක්තරා අයුරකින් ලංකාවේ විකල්ප සංස්කෘතික බුද්ධිමය ක්ෂේත්‍රය තුළ නිළි සලකුණ ලෙස හදුනාගන්නා ස්වර්ණා මල්ලවාරච්චි ලද ඉඩ ප්‍රස්ථාව සමග සමාන්තර හෝ ඇතැම් විට එක ඉක්මවා යන ප්‍රමාණයේ ඇසුරකි. සිය රංගන ජීවිතයේ ආරම්භය සලකුණු වන 'අකල් වැස්ස' සමගින් මාලිනියට මුණගැසෙන්නේ සුමන ආලෝකබණ්ඩාර හා එස් .කරුණාරත්න ඇතුළු සාංදෘෂ්ටික විරෝධාකල්පය පෙරටුකරගත් ලාංකේය සංස්කෘතික පෙරටුගාමී ධාරාවකි. එහිම විකාශනයක් ලෙස ධර්මසේන පතිරාජ ඇතුළු වාමගාමී විකල්ප සංස්කෘතික බුද්ධිමය අවකාශයේ ඇසුරද මාලිනී ෆොන්සේකාට හිමි වනු පෙනෙයි. 'එයා දැන් ලොකු ළමයෙක්' සහ විශේෂයෙන්ම 'බඹරු ඇවිත්' හා සොල්දාදු උන්නැහේ' යන චිත්‍රපටි තුළ මාලිනී ෆොන්සේකා දියත් කළ රංගනයන් එම ඇසුරේ ඵලයන් බව පැහැදිලිය. 'නිධානයේ අයිරින්' හා 'බැද්දේගම පුංචි මැණිකා' තුළින් ඇයට ලෙස්ටර්-තිස්ස ඇතුළු ප්‍රබුද්ධ සංස්කෘතික චින්තන ධාරාවක් මුණගැසීම ද ඇයගේ රංග පරාසයේ පුළුල් බව දක්වන තවත් සාක්ෂියකි.

සැලෝලයිඩ් නූතනත්වය තුළ සිනමා නිළියකගේ සමාජ නිෂ්පාදනීය භූමිකාව ඇසුරෙන් කියනවා නම් මාලිනී ෆොන්සේකා යනු ලාංකේය සිනමාවේ 'අවසාන නිළියයි' !



අදහස් (1)

ලාංකේය සිනමාවෙි අවසාන නිළිය මාලිනී

m. saman perera Wednesday, 04 June 2025 01:23 PM

ඇත්තටම එයා නිළි රැජිණක්, ඔබට නිවන් සුව ලැබේවා...!

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 699 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site