IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


මහාචාර්ය ලුඩොවයික්‌ සමයේ ඉංග්‍රීසි නාට්‍ය පුනරුදය

සංචින්තා

ලංකා විශ්වවිද්‍යාල කොලීජියේ (Ceylon University College) ඉංග්‍රීසි නාට්‍ය සංගමය (Dramsoc) බිහිවීමත්, එමගින් 1933 දී ක්‌වීන්ටරෝ සහෝදරයන්ගේ "Where Women Rule" නිෂ්පාදනයත්  සමඟ ඇරැඹි මහාචාර්ය ලුඩොවයික්‌ගේ සම්භාව්‍ය ඉංග්‍රීසි නාට්‍ය මාලාව හා නාට්‍ය පුනරුදයට මේ වසරට අසූපස්‌ වසරක්‌ සපිරේ. මේ ලිපිය පළ වන්නේ ඒ නිමිත්තෙනි.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගෙන් තොරව සිංහල නාට්‍ය කලාවක්‌, මහාචාර්ය සුබ්‍රමනියම් වින්‍යානන්දන්ගෙන් තොරව ලාංකේය දෙමළ නාට්‍ය කලාවක්‌ මෙන්ම මහාචාර්ය ඊ.එෆ්.සී (ලින්) ලුඩොවයික්‌ගෙන් තොරව මෙරට සම්භාව්‍ය ඉංග්‍රීසි නාට්‍ය සම්ප්‍රදායක්‌ පිළිබඳව ද කතා කිරීම උගහටය.

මහාචාර්ය ලුඩොවයික්‌ (1906 - 1985) මෙරට ඉංග්‍රීසි නාට්‍ය කලාවක්‌ බිහිකිරීම උදෙසා කළ මෙහෙය අපමණය. අනල්පය. අද්විතීය ය.

මහාචාර්ය ලුඩොවයික්‌ගේ පුරෝගාමීත්වයෙන් ලංකා විශ්වවිද්‍යාලය (University Of Ceylon) තුළ ක්‍රියාත්මක වූ ඉංග්‍රීසි නාට්‍ය සංගමය (Dramsoc) තුළින් ඔහු නිෂ්පාදනය කළ සම්භාව්‍ය ඉංග්‍රීසි නාට්‍ය මගින් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ප්‍රමුඛ සිංහල නාට්‍ය පරපුරක්‌ ද, රෙජී සිරිවර්ධනයන් ප්‍රමුඛ ඉංග්‍රීසි නාට්‍ය විචාරක පරපුරක්‌ ද, නළු නිළි පරපුරක්‌ මෙන්ම ඊට සමගාමී කාර්මික ශිල්පී, නිෂ්පාදන සහායක පරපුරක්‌ පමණක්‌ නොව උසස්‌ නාට්‍ය රසවින්දනයකින් හෙබි ප්‍රේක්‌ෂක සමූහයක්‌ ද බිහි විය.

එව්ලින් ෆෙඩ්රික්‌ චාර්ල්ස්‌ ලුඩොවයික්‌ 1906 ඔක්‌තෝබර් 16 වැනි දින ගාල්ලේදී උපත ලැබීය. ඔහු ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකි. (1912 - 1923) ඔහුගේ පියා ඊ.එෆ්.සී.ලුඩොවයික්‌ (ජ්‍යෙෂ්ඨ) 1908 සිට 1935 දක්‌වා රිච්මන්ඩ් විද්‍යාලයේ ආචාර්යවරයකු ලෙස සේවය කළ අතර, 1916 දී එහි ප්‍රධානාචාර්යවරයා (Head Master) ලෙස පත් විය. ඔහු රිච්මන්ඩ් පළමු පෙළ ක්‍රිකට්‌ කණ්‌ඩායම සඳහා  ක්‍රීඩා කළ දක්‌ෂ ක්‍රීඩකයෙක් ද විය. අපේ කතානායකයා ඔහුගේ ජ්‍යෙෂ්ඨ පුත්‍ර රත්නයයි.

අතිදක්‌ෂ සිසුවකු වූ ලුඩොවයික්‌ වසර කිහිපයක්‌ම ඉංග්‍රීසි සාහිත්‍යයට හා ආගමට පිරිනැමෙන ත්‍යාග දිනා ගත්තේය. 1923 වසරේ ලංකා යුනිවර්සිටි කොලීජියට ඇතූළත් වීම සඳහා  ශිෂ්‍යත්වයක්‌ ලද ඔහු එයින් පසු සිය පශ්චාත් උපාධි කටයුතු එංගලන්තයේ කේම්බ්‍රි- විශ්වවිද්‍යාලයේදී නිමකර 1933 වසරේදී ලංකා විශ්වවිද්‍යාල කොලීජියේ ඉංග්‍රීසි සාහිත්‍ය අංශයේ මහාචාර්යවරයා ලෙස පත් විය. 1942 සිට 1950 දක්‌වා ලංකා විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ පීඨාධිපති ලෙස කටයුතු කළේ ද මහාචාර්ය ලුඩොවයික්‌ය. මේ කාලය තුළදී ලංකා විශ්වවිද්‍යාලයේ ප්‍රථම උපකුලපති හා එහි පුරෝගාමියා වූ මහාචාර්ය ශ්‍රීමත් අයිවර් ජෙනිංග්ස්‌ගේ සමීපතමයකු බවට පත් වෙමින් විශ්වවිද්‍යාලයේ ශාස්‌ත්‍රීය ප්‍රගමනය උදෙසා මහඟු මෙහෙවරක්‌ ද ඔහු  අතින් සිදුවිය. මහාචාර්ය ලුඩොවයික්‌ ලංකා විශ්වවිද්‍යාලයේ සේවය කළ කාලය විසි තුන් වසරකි.

මහාචාර්ය ලුඩොවයික්‌ගේ අදහසක්‌ අනුව ඔහුගේ පුරෝගාමිත්වයෙන් ලංකා විශ්වවිද්‍යාල කොලීජියේ ඉංග්‍රීසි නාට්‍ය සංගමය (Dramsoc) බිහි වූයේ 1933 වසරේදීය. ඔවුන්ගේ පළමු නාට්‍ය නිෂ්පාදනය වූයේ ස්‌පාඤ්ඤ ජාතික ක්‌වීන්ටරෝස්‌ගේ "Where Women Rule" නාට්‍යයයි. එය කොළඹ රාජකීය විද්‍යාලයීය ශාලාවේදී  රඟ දැක්‌වීමත් සමඟ ලංකා විශ්වවිද්‍යාලයීය නාට්‍ය වංශය ආරම්භ විය. ( විශ්වවිද්‍යාල නාට්‍ය සංගමය හා නාට්‍ය වංශ කතාව ආරම්භ වී මේ වසරට වසර 85 ක්‌ සපිරෙයි ) මහාචාර්ය ලුඩොවයික්‌, ජෝර්- බර්නාඩ් ෂෝ, ෂෙරිඩන්, මෝලියර්, ශේක්‌ස්‌පියර්, යුජින් ඕනිල්, පිරෙන්ඩෙලෝ, නිකොලොයි, ගොගොල්, බර්ටෝල්ට්‌ බ්‍රෙෂ්ට්‌, ෂියොන් අනියු, ප්ලෝටස්‌, කාලෝ ගොල්ඩොනි වැනි විශ්ව සම්භාව්‍ය නාට්‍යකරුවන්ගේ නාට්‍ය මාලාවක්‌ ඉදිරිපත් කළේය. ඔහු  නිෂ්පාදනය කළ සම්භාව්‍ය ඉංග්‍රීසි නාට්‍ය සංඛ්‍යාව 20 කි. එය ලෙහෙසි පහසු කාර්යයක්‌ නොවේ.

(මේ නාට්‍ය නාමාවලිය නිරීක්‌ෂණය කිරීමේදී දක්‌නට ලැබෙන විශේෂ කරුණක්‌ නම් එක්‌ වර්ෂයකට එක්‌ නාට්‍යයක්‌ හෝ නිෂ්පාදනය කර තිබීමයි.)

මහාචාර්ය ලින් ලුඩොවයික්‌ගේ ඉංග්‍රීසි නාට්‍ය සම්ප්‍රදායේ ආභාසය හා උණුසුම විශ්වවිද්‍යාලයීය සිංහල සමිතිය වෙත පැතිර යැමෙන් ඔවුහු 1943 වසරේ මෝලියර්ගේ නාට්‍යයක අනුවර්තනයක්‌ "මුදලාලිගේ පෙරළිය" නමින් ජෝර්- රංග ශාලාවේ වේදිකා ගත කළහ. (මෙය පරිවර්තනය කරන ලද්දේ එදිරිවීර සරච්චන්ද්‍ර සහ ඒ.පී.ගුණරත්න විසිනි) විශ්වවිද්‍යාලයීය දෙමළ සංගමය ද දෙමළ භාෂාවෙන් නාට්‍යයක්‌ නිෂ්පාදනය කර රඟ දැක්‌වීය. එදිරිවීර සරච්චන්ද්‍ර ඇතුළු  සිසු සිසුවියන් පිරිසකගේ ඇරියුම වූයේ සිංහල නාට්‍යයක්‌ ද නිෂ්පාදනය කරන ලෙසය. මේ අනුව මහාචාර්ය ලුඩොවයික්‌ නිකොලොයි ගොගොල්ගේ "The Marriage" නමැති නාට්‍යයේ සිංහල පරිවර්තනයක්‌ "කපුවා කපෝති" නමින් නිෂ්පාදනය කර 1945 දී එය කොළඹ විශ්වවිද්‍යාලයේ ජෝර්- රාජ ශාලාවේදී වේදිකාගත කරන ලදී. මේ අනුව මහාචාර්ය ලුඩොවයික්‌ගේ මැදිහත්වීමෙන් විශ්වවිද්‍යාලය තුළ මහා නාට්‍ය පුනරුදයක්‌ ඇති විය. (1952 දී ඔහුගේ සහායට ජුබාල් නම් විදේශීය නාට්‍යකරුවකු ද පැමිණියේය)

මේ පුනරුදය තුළින් බිහි වූ සිසු සිසුවියෝ පසු කලෙක ලාංකේය වේදිකා නාට්‍ය ක්‌ෂේත්‍රයේ කැපී පෙනෙන චරිත බවට පත් වූහ.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, මහාචාර්ය ඈෂ්ලි හල්පේ, මහාචාර්ය රංජනී ඇල්ලේපොල (පසුව ඔබේසේකර) අයිරාංගනී මීදෙනිය (පසුව සේරසිංහ), අයිලින් සරච්චන්ද්‍ර, වින්සන්ට්‌ සේරසිංහ, සිදත් ශ්‍රී නන්දලෝචන, දයානන්ද ගුණවර්ධන, ඔස්‌මන්ඩ් ජයරත්න, ආතර් වැන්ලැංගන්බර්ග්, පර්සි කොලින් තෝමස්‌ වැනි උදාහරණ රැසක්‌ මේ සඳහා  ගෙනහැර දැක්‌විය හැකිය. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් සිය "පිං ඇති සරසවි වරමක්‌ දෙන්නේ" කෘතියේ සඳහන් කරන අන්දමට ප්‍රවීණ කලා විචාරක රෙජී සිරිවර්ධනයන්ට නාට්‍ය විචාරය ඉගැන්වූයේ මහාචාර්ය ලුඩොවයික්‌ය. ලුඩොවයික්‌ ඇසුරට පත් වූ මහාචාර්ය ගනනාථ අබේසේකර වැන්නෝ පසු කලෙක ජාත්‍යන්තර කීර්තියට පත් වූ ශාස්‌ත්‍රාලයීය උගතුන් බවට පත් වූහ. මේ පිරිසෙන් ගුරුහරුකම් ලත් දෙවැනි පරම්පරාවක්‌ ද බිහි වී ලාංකේය නාට්‍ය කලාව වර්ණවත් කළේය.

මහාචාර්ය ලුඩොවයික්‌ 1941 දී ඊඩිත් ගිම්රෝයි නම් හිට්‌ලර්ගේ ආක්‍රමණ නිසා අවතැන් වූ හංගේරියානු ජාතික යුවතියක්‌ හා විවාහ විය. ඊඩිත් ලුඩොවයික්‌ මැතිනිය නමින් ප්‍රකට වූ ඇය වෘත්තියෙන් මනෝ වෛද්‍යවරියක වුවත් තම සැමියාගේ නාට්‍ය සදහා ඇඳුම් නිර්මාණයෙන් හා වේදිකා සැරසිලි නිර්මාණයෙන් මහගු දායකත්වයක්‌ ලබා දුන්නාය. ඇය යටිනුවර මැණික්‌හින්නේ රැකියා විරහිත ගැමි යුවතියන් සඳහා නොමිලයේ පුහුණුව ලබාදෙන අත්කම් පාසලක්‌ පවත්වාගෙන ගියාය.

1948 න් පසු බොහෝ බර්ගර් ජාතික ශාස්‌ත්‍රාලයීය උගතුන් හා කලාකරුවන් ඕස්‌ට්‍රෙිලියාවේ හා එංගලන්තයේ පදිංචියට යැමේ ප්‍රවණතාවක්‌ ඇති විය. ශ්‍රීමත් අයිවර් ජෙනිංග්ස්‌ පේරාදෙණි සරසවි භූමියෙන් සමුගෙන එංගලන්තයේ පදිංචියට ගොස්‌ වසරක්‌ ඉක්‌මයන්නටත් මත්තෙන් 1956 වසරේදී ඔහුගේ මිතුරන් ආදරයෙන් ඇමැතූ "ලින්" හෙවත් මහාචාර්ය ලුඩොවයික්‌ හා ලින් ලුඩොවයික්‌ මැතිනිය එංගලන්තයේ පදිංචිය සඳහා  පිටත්ව ගියහ. මහාචාර්ය ලුඩොවයික්‌ පේරාදෙණිය භූමියෙන් සමුගන්නා වසරේ කළ අවසන් නාට්‍ය නිර්මාණය ජෝර්ඡ් බර්නාඩ් ෂෝ ගේ "Androcles and the Lion" ය. නාට්‍ය සම්ප්‍රදායෙන් නොනැවතී ඔහු ලියා පළ කළ ශාස්‌ත්‍රීය ග්‍රන්ථ සංඛ්‍යාව හතක්‌ පමණ වෙයි. ලංකා ඉතිහාසය හා බුද්ධ ධර්මය මේ ග්‍රන්ථ සඳහා  විෂය විය. පේරාදෙණියේ නාට්‍ය පුනරුදයක්‌ උදාකරමින් කලාවට හා අධ්‍යාපනයට වෙසෙස්‌ සේවයක්‌ කළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් කැලක්‌ බිහි කළ මේ මහ ඇදුරුතුමා 1985 ජූනි පළමුවැනිදා එංගලන්තයේදී අවසන් ගමන් ගියේය.

මහාචාර්ය ඊ.එෆ්.සී.ලුඩොවයික්‌ විසින් නිෂ්පාදිත සම්භාව්‍ය ඉංග්‍රීසි නාට්‍ය නාමාවලිය

* ක්‌වින්ටරෝ සහෝදරයන්ගේ "Where Women Rule" (1933)

*ෂෙරිඩන්ගේ "The Rivals" (1934)

* මෝලියර්ගේ "Imaginary Invlid" (1935)

* ක්‌වින්ටරෝ සහෝදරයන්ගේ "The Ladies From Alfaqueque Alfaqueque" (1936)

* කාලෝ ගෝල්ඩොනිගේ "The Servant Of Two Masters" (1937)

* ජෝර්- බර්නාඩ් ෂෝ ගේ "Arms and The Man" (1938)

* "Lady Precious Stream" (1939)

* විලියම් ශේක්‌ස්‌පියර්ගේ "The Merry Wives Windsor" (1940)

* ක්‌වින්ටරෝ සොහොයුරන්ගේ "Peace and quiet" (1941)

* යුජින් ඕනිල්ගේ "Marco Millions" (1942)

* ජෝර්ඡ් බර්නාඩ් ෂෝගේ "The simpleton of the unexpected Isles" (1943)

* ලුයිජි පිරැන්ඩලෝගේ "Right You Are" (1945)

* නිකොලොයි ගොගොල්ගේ "The Marriage" ඇසුරෙන් කපුවා කපෝති (1945)

* ප්ලෝටස්‌ගේ "The Twins" (1948)

* බර්ඩ්ගේ "Tobias and the angle" (1949)

* ඡේ.ඡේ.බර්නාඩ්ගේ "The Sulking Fires" (1949)

* බර්ටොල්ට්‌ බ්‍රෙෂ්ට්‌ගේ "The good woman of Setsuan" (1949)

* ෂියෝන් අනියුගේ "Antigan" (1950)

  සංස්‌කෘත නාට්‍යයක ඉංග්‍රීසි පරිවර්තනයක්‌ ලෙස "The little clay cart" (1950)

* ජෝරඡ් බර්නාඩ් ෂෝගේ "Androcles and the Lion" (1956)

මහාචාර්ය ලුඩොවයික්‌ගේ මුද්‍රිත කෘති නාමාවලිය

* Marginal Comments
* Childhood in Colonial Ceylon
* The Footprint of the Buddha (1958)
* The Story of Ceylon (1962)
* Understanding Shakespeare
* The Modern History of Ceylon (1966)


ලංකා විශ්වවිද්‍යාල කොලීජියේ (Ceylon University College) ඉංග්‍රීසි නාට්‍ය සංගමය (Dramsoc) බිහිවීමත්, එමගින් 1933 දී ක්‌වීන්ටරෝ සහෝදරයන්ගේ "Where Women Rule" නිෂ්පාදනයත්  සමඟ ඇරැඹි මහාචාර්ය ලුඩොවයික්‌ගේ සම්භාව්‍ය ඉංග්‍රීසි නාට්‍ය මාලාව හා නාට්‍ය පුනරුදයට මේ වසරට අසූපස්‌ වසරක්‌ සපිරේ. මේ ලිපිය පළ වන්නේ ඒ නිමිත්තෙනි.



අදහස් (0)

මහාචාර්ය ලුඩොවයික්‌ සමයේ ඉංග්‍රීසි නාට්‍ය පුනරුදය

ඔබේ අදහස් එවන්න

 

 
 

සංචින්තා

සාහිත්‍යයේ ස්ත්‍රී සමලිංගිකත්වය
2025 අප්‍රේල් මස 29 321 0

’’ පුංචි පැල්පතක් තුළට ඔබ මා සමඟ එනවානම් ඇ‌ලන් මම ඔබට මරණය තෙක් ආ‌දරය කරමි. දිවියතුරා අප දෙදෙනාගේ සන්තෝ‌ෂයට වෙනකිසිවකු අවශ්‍යය නැහැ ඇ‌ලන් ’’ - මේ වර්ෂ 1


වදනිසුරු ගම්ලත්හු
2025 අප්‍රේල් මස 15 251 0

මහාචාර්ය සුචරිත ගම්ලත් වනාහි මෑත කාලයේ සිංහලයෙහි පහළ වූ ලේඛකයන් අතර විස්‌මයජනක භාෂා නෛපුණ්‍යයක්‌ හා නිර්මාණ කාර්යශූරභාවයක්‌ ප්‍රකට කළ විද්වතෙකි.


පාදඩ ගැමියාට වෙඩි තැබූ අමරසේකර
2025 අප්‍රේල් මස 08 599 0

ලෙනාඩ් වුල්ෆ් (Leonard Woolf) හම්බන්තො‌ට ගම්දනව් තුළ කැරකෙද්දි ගුණදාස අමරසේකර ගාල්ලේ ඒ‌ වනවිට උපතලබා නැත. එනමුත් ඒ‌ අවුරැදු 20 තුළ එකල කිසිදු වෙනසක් සිදුවුයේ නැ


ගණනාථ ඔබෙිසේකර දුටු දුටුගැමුණුගේ හෘද සාක්ෂිය - 1
2025 අප්‍රේල් මස 01 363 0

මහාචාර්ය ගණනාථ ඔබෙිසේකරගේ කාබනික සිරුර දැන් අප අතර නැත. එහෙත් ගණනාථ ඔබේසේකර යනු ලංකාව බිහි කළ විශිෂ්ටත ම මානව විද්‍යාඥයාය. ඔහු උපත ලැබුවේ මතුගම දර්ගා


හඳගමගේ “රාණි“ චරිත ඝාතනය කළ මනස්ගාතයක්
2025 මාර්තු මස 11 1471 0

මේ වසරේ ජනවාරි 25 සිට මහජන ප්‍රදර්ශනය සදහා නිකුත් කෙරුණු රාණි සිනමාපටය ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ දරුණුතම භීෂණ සමයේ මවුවරුන්ගේ ජීවිතය ප්‍රතිනිර්මාණය කිරී


සුභාවිත ගීතයේ භාෂානන්දය අජන්තා රණසිංහ
2025 මාර්තු මස 04 629 1

ප්‍රවීණ ගීත රචක අභාවප්‍රාප්ත ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ සත්වැනි ගුණ සමරුව නිමිත්තෙන් පළවන ලිපියකි. සුකීර්තිමත් සුගේය පද රචක ආචාර්ය අජන්තා රණසිංහයෝ ස


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 359 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 93 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1122 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site