

අපේ පරිවර්තන සාහිත්‍යය විවිධ වූ පිමි පනිමින් වර්ධනය වූ සහ තවමත් ප්‍රවර්ධනය වෙමින් පවතින අත්‍යවශ්‍ය සාහිත්‍යාංගයකි. එයට සැලකිය යුතු දිගු ඉතිහාසයක් තිබේ. මේ ඉතිහාසය තුළ පරිවර්තන කෘති සඳහා වු ඉල්ලුම මෑත කාලයේදි හොඳටම ඉහළ ගිය වසන්ත සමයයක් පවා එළැඹ තිබුණි.පරිවර්තකයකු යනු කැපී පෙනෙන හාදයකු ලෙස සම්භාවනාවට ලක්වන තත්වයක් විය. මේ ඉහළ ඉල්ලුම නිසාම එයට අවාසනාවන්ත කාලයක්ද උදා වී ඇත ලෙසකි. මුල් යුගයේ සිදුවූ පරිවර්තනය කලාවකි. මනා කැපවීමෙන් ගැඹුරු අධ්‍යයනයකින් යුතුව කළ සද්කාර්යයක් ලෙස පැවැතියෙකි. නමුත් පුරාණයේ මෙන් නොව මෑත කාලීනව ඩිජිටල් පරිවර්තක උපාංග සහ AI හෙවත් කෘත්‍රිම බූද්ධි පරිවර්තක සහායකයන්ගේ අතපෙවීමත් සමග එහි ගුණාත්මක භාවයේ අඩුලුහුඬු කම් ගැන විවේචන එල්ලවෙමින් පවතී. එසේවුව තවමත් පරිවර්තන කෘති සඳහා හොඳ ඉහළ ඉල්ලුමක් අපේ පාඨක ලෝකය තුළ පවතී.ඒ සූර මනා කැපවීමකින් යුතු සැබෑ සාහිත්‍යමය පරිවර්තකයන් අතළොස්සකට පින්සිදුවන්නටය.
මුල් යුගයේ සකු මගධ පාලි බසින් හෙළයට පෙරැළුණ අපේ පරිවර්තන සාහිත්‍යයේ මුල් තැනක පන්සිය පනස් ජාතක පොත ද පවතී.එය සිංහලයට නැගුණේ පාලි ජාතකඅට්ඨකතාව පාදක කරගනිමින් 14 වැනි සියවසේදි කුරුණෑගල පණ්ඩිත පරාකමබාහූ රජ දවසේ බව ප්‍රකටය. එදා සිට අද දක්වාම භාවිතයට ගැනෙන මෙය පරිවර්තන සාහිත්‍යයේ පරිවර්තනයක් සිදුකළ කඩ ඉමක් ලෙස සැලකිය හැකිය. එතැන් සිට මේ දක්වා අපේ පරිවර්තන සාහිත්‍යය විවිධ පරිණාමීය අවස්ථා පසුකරමින් දිගු ගමනක් පැමිණ තිබේ.
19 සියවස මූල් කාලයේ අපේ සාහිත්‍ය කරුවෝ විශ්ව සාහිත්‍යයේ අභාසය ලැබ සිය නිර්මාණ ඉදිරිපත් කළ අතර ඒ මුල් කෘති මුළුමනින්ම පරිවර්තනයට පෙලැඹුණේ නැත. පියදාස සිරිසේන ,කුමාරතුංග මුනිදාස , ඩබ්ලියූ. ඒ සිල්වා, මාර්ටින් වික්‍රමසිංහ වැනි වියතුන් නිදසුන්ය.
පසුකාලීනව අනුවාද සහ අනුවර්තන සමග පරිවර්තන රැසක්ම කලඑළි බසින්නේ විශ්ව සාහිත්‍යයේ රසයෙන් මෙරට සහෘදයන් හද කුළු ගන්වමිනි. ඒ හැම කෘතියකම මුල් පොත කියැවීමේ, ලේඛක තතු සොයා යාමේ, සාහිත්‍ය පිපාසාව පාඨකයන් තුළ මතුකරමින් දිගු සොයා යාමක මුල් පියවර ඔසොවමිනි. මේ කාලයේ පරිවර්තන දායකත්වය සැපැයූ බොහෝ දෙනා මැනැව දෙබසම දත්, මුල් කෘතිය හා ලේඛකයා මෙන්ම ඔහු විසූ කාලසීමාව , ඒ මුල්කර ගත් පරිසරය එහි භූදේශපාලනික හා සංස්කෘතික මායීම් ගැන දැනුමෙන් පවා යුතු වූවා මෙන්ම ලේඛකයා ලියූ රිද්මයද කතාවේ ගලා යාමද නොබිඳ එය අපේ බසින් චතුරව කියන්නට සමත් වූ හෙයින්ම ඒ කෘති පාඨකයන් සිත් වහා ඇදබැඳ ගත්තේය.
මේ අනුවාද අතර ලන්ඩන් පළමු පෙළ උපාධිධාරි ගුරුවරයකු වූ ඊ. ආර් එරත්න අනුවාදිත ඩිකන්ස් කතාවක් වන රෝමාගේ වාසනාව,තාගෝර් කෙටිකතා සහ ජීව භාෂාව නම් අනුවාදිතද ඇතුළත් පාඨ ග්‍රන්ථය කැපී පෙනෙයි .මේ අතරට මහානාම රාජපක්ෂයන් කළ මහොෂධය,ජී.බි සේනානායකයන් කළ රණරාළ,අයි.ඇම් .ආර්.ඒ ඊරියගොල්ලයන් කළ මනුතාපය,කේ.බී සුගතදාසයන් විසින් තිළිණ කළ විප්‍රයෝගය සහ දේවතාපය බඳු ග්‍රන්ථ ද එක්ව ඇත.
මුල්කාලයේ පරිවර්තන ග්‍රන්ථ මගින් සිදුවූ සාහිත්‍යමය ප්‍රබෝධයට ගුණසේන සමාගමේ ප්‍රකාශන ප්‍රධානියා ව සිටියදි පෙන්ගුවින් සමාගම අනුව යමින් ‘ලිහිණි පොත්’ ව්‍යාපෘතිය ආරම්භ කළ, මුල් ම සිංහල කෙටිකතාවේ හිමිකරු ලෙසද විවාදාත්මක වී. ඩී. ද ලැනරෝල් මහතා ඉහළ දායකත්වයක් ලබාදුනි.සමන් ප්‍රකාශන ආයතනයද අමුතු ප්‍රමාණයේ නවමූ පෙනුමැති සොඳුරු පොත් රැසකටම උපත දුන්නේය.
උදා තරුව’, ‘හිරෝෂිමාවේ මල්’, ‘ගලිවරය’, ‘රවින්ද්‍රනාත් තාගෝර්’, ‘නයිට්වරුන්ගේ වීර කථා’, ‘හැම්ලට්’, ‘කළු දළ මල’, ‘බළල් බිල්ල’, ‘ඔතෝමිය’වැනි සුවිශේෂ කෘති කිහිපයක් තිළිණ කළ හියුබත් දිසානායක. ග්‍රීක දේව කතා සමූහයක් ඇතුළත් ‘යවන පුරාණය’. බහිරව දඟය, ගැමි පැටික්කි, කළු නදිය, චීන ලේඛක යංෂුද්ගේ නවකතාවක් වන ‘රම්‍ය භූමි’, ඇතුළු වටිනා සාහිත්‍ය දායකත්වයක් ලබා දුන් දීගොඩ පියදාස,චින ලමා කතා එකතුවක් කළ සමන් තිලකසිරි, ගුණදාස ලියනගේ වැනි ද්වීභාෂා නිපුණයන්ගෙ බලපෑම ඒ අතර සුවිශේෂීය.
මේ අතර අපේ පරිවර්තන සාහිත්‍යයේ නව හැරවුම් ලකෂ්‍ය ලෙස හැඳින්විය හැකි කැපි පෙනෙන නිර්මාණ සමුච්චයක් එළි දැක්වු කිහිප දෙනෙකුම දක්නට හැකිය.
ඒ අතර ප්‍රධානියෙකි ඒ .පි ගුණරත්නයන්. කලා ලොව අංශ කිහිපයකම දක්ෂයකු වූ ඒ.පී ගුණරත්නයන් වෙනස්ම ආරක කතා ශානරයක් අපේ සාහිත්‍ය ලෝලීන් වෙත මුල් වරට රැගෙන ආවේය.
ඒ 1913 වසරේ ලෙනාඩ් වුල්ෆ් විසින් ඉංග්‍රීසි බසින් ලියන ලද The Village in the Jungle නවකතාවෙහි විශිෂ්ට සිංහල පරිවර්තනයක්, ඒ. පී. ගුණරත්නයන් විසින් 1949 වසරේ දී ‘බැද්දේගම’ ලෙස පළ කිරීමත් සමගිනි. ඒ. පී. ගුණරත්නයන් කැලෑවට වඩාත් ඇලුම් කළේ ය. ඒ නිසා ආර්. එල්. ස්පිටල්ගේ කැලෑ පරිසරය පසුබිම් කර ලියූ ‘වනසරණ’ (Savage sanctuary) කෘතිය ද, ‘මැකී ගිය දඩමං , සුදු ගෝනා’ කෘති ද පරිවර්තනය කළේ ය.මේ වන විට පරිවර්තනයට ලක්ව තිබූ එකම වනකතා කෘතිය වුයේ ජෝන් ස්ටීල් ගේ ‘වනප්‍රවාහය’ Jungle Tide, ග්‍රන්ථයයි.ඒ පරිවර්තනය කළල් ඇල්ලේ ආනන්දසාගර හිමියන් විසින් සිදුකර තිබුණි.
රොඩ්නි ජොන්ක්ලාස් ගේ ‘වාලම්පූරි’ නවකතාව ද ඒ. පී. ගුණරත්නයන් ගේ පරිවර්තනයකි.ආතර් වේල් නම් ඉංග්‍රීසි ජාතික ලේඛකයා පරිවර්තනය කළ චෙං එන් නම් චීන ජාතික ලේඛකයා ලියූ The Monkey නම් කෘතිය ඔහු “වානරයා” ලෙස පළ කරමින් 1960 වසරේ හොඳම පරිවර්තනයට හිමි සාහිත්‍ය ත්‍යාගය ද හිමි කරගත්තේය.
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් පවා ඔහුගේ පුළුල් භාෂා දැනුමේ සහාය ඇතිව ප්‍රංශ ගත්කරුවන්ගේ කෘති (ප්‍රංශ කෙටිකතා නමින් පළ විය) හා රුසියන් ගත්කරුවන්ගේ කෘති කීපයක් (රුසියන් කෙටිකතා නමින් පළ විය) පළ කිරිමට පියවර ගත්තේය.
ප්‍රංශ ජපන් චීන කතා මෙන්ම ඉන්දියානු කතාද මෙරට සාහිත්‍යයට මේ සමකාලීනව එක්විය. රුසියානු සාහිත්‍යය මේ අතර දැඩි බලපෑමක් කිරිමට සමත් වූයේය. ඒරට බස උගෙන ඒරටෙන්ම විවාහ වි දශක තුනකට ආසන්න කාලයක් මොස්කව් හි ජීවත් වෙමින්, 25 වසරක් සාහිත්‍යකරණයේ නිරත වූ දැදිගම වි.රුද්‍රිගු සූරින්, හැඟීම් වැහෙන සිංහල බස යස අපූරුවට යොදා මතක හිටින පරිවර්තන රැසක් තිළිණ කර දුන්නේය. ඔහු රුසියානු සහ සෝවියට් පොත් 250ක් පමණ පරිවර්තනය කර තිබෙි. ඒවා අතර දේශපාලන න්‍යාය, විද්‍යාව, ළමා කතා සහ ප්‍රබන්ධ යනාදී විවිධ ක්ෂේත්‍ර ඇතුළත්ව ඇති අතර අපේ පරිවර්තන ක්ෂේත්‍රයේ වැඩිම දායකත්වයක් දුන් තනි මිනිසා ඔහුය.
රුසියානු පරිවර්තන රැසක් සමග ලෝක සාහිත්‍යයේ සම්භාව්‍ය ග්‍රන්ථ රාශියක් සිංහල පාඨකයන්ට ස්වභාෂාවෙන් කියැවීමේ වරම ලබා දුන් තවත් විශිෂ්ටයකු වන්නේ සිරිල් සී.පෙරේරා සූරීන්ය. තෝල්ස්තෝයි ගේ ‘යුද්ධය හා සාමය’ ගොගොල්ගේ ‘මළමිනිස්සු’ ප්ලෝබෙයාර්ගේ ‘එමා බෝවාරි’ දොස්තොවුස්කිගේ ‘කර්මසොව් සහෝදරයෝ’, හා ‘අපරාධය සහ දඬුවම’ ෂොලොහොව්ගේ ‘පෙරුළු නැවුම් පස’ වැනි බරසාර කෘති මෙන්ම හෙමිංවේ ගේ ‘මහල්ලා සහ මුහුද’ ආතර් සී. ක්ලාක්ගේ ‘ගැඹුරු මුහුද’ බෲනෝ ආප්ටිස්ට්ගේ ‘වෘකයන් අතර නග්නව’ වැනි කෘති රැසක් ඔහු දායාද කළේය. ඔහුගේ 'එමා බෝවාරි' පරිවර්තන කාර්යය යනු කුමක් ද? යන්න සම්බන්ධයෙන් සිංහල ලේඛකයන්ට සිරිල් සී.පෙරේරා සූරීන්ගෙන් ලද මාර්ගෝපදේශක කෘතියක් වැනි වෙයි.
තවත් විශිෂ්ට පරිවර්තකයකුගේ දායකත්වය අපට ලැබෙන්නේ මේ අතරය.ඒ මුනිදාස සෙනරත් යාපා සූරීන් ය. මුලින්ම අයිරිෂ් ජාතික මහා කවියා වූ ඔලිවර් ගෝල්ඩ්ස්මිත් ගේ එකම නවකතාව වන ‘ද විකාර් ඔෆ් වේක්ෆීල්ඩ්’ කෘතිය සිංහලට නැඟීමට ඔහු පෙලඹිණ.ඉන්පසු සිංහලට නැඟුණු ලෝක පූජිත මහා ලේඛක ටොල්ස්ටෝයිගේ ප්‍රථම කෘතිය ලෙස ‘ඇනා කැරනිනා’ඔහු අතින් පරිවර්තනය විය. මුල් කෘතිය කියවා, සිනෙමා පටය නරඹා ඇති වූ උද්‍යෝගයෙන් කැලඹි ඒ නිර්මාණය ස්වකීය කර ගත් අපූරු ග්‍රන්ථයක් ලෙස මුනිදාස සෙනරත් යාපා සූරීන් කළ “අපරාජිත බිස්මාකය” නම් ග්‍රන්ථය දැක්විය හැකිය. ‘අපරාධය හා දඬුවම’, රෝම ලලනායනය’ මල්ගුඩි ව්‍යාඝ්‍රාණය, මෙන්ම කාමසූත්‍රයද සිංහලයට නැගූ ඔහු ඩේල් කානගි ගේ ජිවිතය දිනන මග කියු ග්‍රන්ථ කිහිපයක්ද තිළිණ කළේය. මේ සියල්ල අතර වඩාත් කැපී පෙනෙන දායකත්වය වූයේ ඔහු කළ ‘සදර්ථවාහිනී’ නම් ඉංග්‍රිසි සිංහල ශබ්දකෝෂයයි.
පරිවර්තකයන් දෙදෙනකු සමගියෙන් සමාදානයෙන් එක්ව නිර්මාණ දායකත්වයට කැපවූ අපූරු දුලබ අවස්ථාවක්ද අපේ පරිවර්තන සාහිත්‍යය තුළ දක්නට ලැබේ. ඒ උරාපොල හේමාලෝක හිමි සහ හේමපාල විජයවර්ධන දෙපළය. මේ සුසංයෝගය මගින් අපට විශ්ව සාහිත්‍යයේ අපූර්වතම නිර්මාණයන් වූ “ගසක කඳූළු” සහ “සාර භූමි” තිළිණ වී තිබේ.
කේ.ජී කරුණාතිලක සූරින් මේ සැමදෙනා අතර මෑත යුගය දක්වා වෙනස්ම විශ්ව සාහිත ග්‍රන්ථ රැසක් පාඨකයන් වෙත ගෙන ආ විශේෂ චරිතයක් ලෙස කැපී පෙනේ. වඩාත් ජනප්‍රිය වූ රයිඩර් හැගාර්ඩ්ගේ ‘ටාර්සන්’ පොත් පරිවර්තනයට පෙර මුල් කාලයේ ‘බිම්ගෙයි සිරකරුවා’කෙටි කතා සංග්‍රහය, අබිරහස් මන්දිරය හා වෙනත් ප්‍රංශ කෙටිකතා,වැලිකතරක අතරමංව සහ වෙනත් ශ්‍රේෂ්ඨ ජගත් කෙටි කතා, මෙන්ම කෆ්කාගේ ‘රූප විපර්යාසය’, ද ‘දණ්ඩන කඳවුර සහ වෙනත් කෙටිකතා’ද , මෝපසාංගේ ‘ඉවට්’ සහ ‘ඉටි බෝලය’ ද ගෝර්කිගේ ‘මකාර් චූද්‍ර’ ද ඔහු ගේ පරිවර්තන අතර කැපී පෙනුණි. ඇලෙක්සැන්ඩර් ඩූමාස් ගේ මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා වැඩිම ආකර්ෂණයක් ලද පරිවර්තන අතරින් ප්‍රමුඛය.මේ වන විට වැඩිම පොත් සංඛ්‍යාවක් පරිවර්තනය කළ විශිෂ්ටතමයා ලෙස ඔහු තබා ඇති වාර්තාව සම කිරිමට මෙතෙක් කිසිවකු හෝ සමත් ව නැත.
පසුකාලිනව නාට්‍යවේදින් වන සුගතපාල ද සිල්වා,හෙන්රි ජයසේන, රන්ජිත් ධර්මකීර්ති, ඇතුළු පිරිසකගේ සරු දායකත්වය පරිවර්තනයට ලැබුණි. රන් රෝස නම් වු සාහිත්‍ය රසැයුම සිංහලයට නගමින් සහ ජැක් ලන්ඩන් ගේ අනර්ඝ කතා අපට සමීප කළ ආරියවංශ රණවිරයන්ද මේ සද් කාර්යයෙහි ප්‍රබල දායකයෙකි. අප්‍රිකානු සාහිත්‍යය කරා අප ළං කරමින් චිනූවා අචෙබේ මුලින්ම අපට හඳන්වාදුන් සූර පුවත් පත්කලාවේදී සහ ලේඛක දයාසේන ගුණසිංහයන්ද අමතක කළ නොහැකිය. ආරියදාස සෝමතිලකයන් පසුව අචෙබේ ගේ ප්‍රධාන කතා ත්‍රිත්වයම අපේ පාඨකයන්ට තිළිණ කර දීමට දායක විය.පසුව මේ කතා වෙනත් කිහිප දෙනෙකු ප්‍රකාශක ඇරියුමින් නැවත පරිවර්තන කරන්නට යෙදීම
පරිවර්තන සාහිත්‍යයට දිරි දුන් ලේඛිකාවන් අතර සුමනා සපරමාදු ,අනුලද සිල්වා,සෝමා පෙරේරා ,අයිලීන් සිරිවර්ධන,ධර්මා එස් සමරනායක වැනි පුරෝගාමි චරිත දක්නට හැකිය.ෆොන්ටමාරා, මහාමාරිය, චේ දිනපොත ,වැනි විශිෂ්ට පරිවර්තන ගණනාවක්ම එක් කළ ද්වි භාෂා නිපුණියක වූ මාලනි ගෝවින්නගේ ඒ එඅතර කැපී පෙනෙන්නියකි. වංග බසින් කෙළින්ම සිංහලයට පොත් පරිවර්තනය කළ සූර සාහිත්‍යවේදිනියක වන චින්තා ලක්ෂ්මි සිංහාරච්චි ද මේ සාහිත්‍ය කලාපය සරුසාර කරවන්නට දැඩි ලෙස සහාය වූ තැනැත්තියකි.
මෑත කාලයේ පරිවර්තන ගැන කතා කරන විට යස පරිවර්තන ගණනාවක් තිළිණ කළ චුලානන්ද සමරනායකයන්ට ද සුවිශේෂි තැනක් හිමිවේ . බොහෝ ග්‍රන්ථ වල අසංක්ෂිප්ත පරිවර්තන තිළිණ කිරිමෙන් සේනාරත්න විරසිංහයන්ද මුල් තැන සිටියි. සෝවියට් කතා කාලාවෙන් ඔබ්බට අප ගෙන යන්නට සමත් වු පරිවර්තකයන් අතරට ගාමිණි වියන්ගොඩ,සමන් වික්‍රමාරච්චි,අභය හේවාවසම් බඳු සූර පරිවර්තකයෝ අයත් වෙති.මෙහිදී ලතින් ඇමෙරිකානු සාහිත්‍ය ලාංකික පාඨක ප්‍රජාවට හඳුන්වා දුන්නෝ ගාමිණි වියන්ගොඩයෝය.ඔවුහු ගබ්රියෙල් ගාර්ෂියා මාර්කේස්,ඉසාක් බෂෙවිස් සිංගර්,ඉසබෙල් අයියන්දේ වැනි ලේඛක ලේඛිකාවන්ගේ ජනප්‍රිය නවකතා කිහිපයක්ම පරිවර්තනය කළෝය. කරුමක්කාර කතාවක්,රාග රිද්ම,කොලරා කාලේ ආලේ වැනි කෘති මෙහිලා ප්‍රමුඛ කොට ගිණිය හැකිය.
20 සියවස මුලදී පාඨක ප්‍රබෝධය භින්නව පොතපතින් ඔවුන් ඈත්ව සිටි සමයක නැවත සාහිත්‍ය තුළ ප්‍රබෝධයක් මතුකර කියැවීම සඳහා පාඨකයන් ආකර්ෂණය කර ගන්නට සමත් මාදිලියේ කතා රැසක් පරිවර්තනය කර දෙමින් මෙතෙක් ගැඹූරු අධ්‍යයනයට පමණක් සීමා වී තිබු යටත් විජිත යුගයේ ලංකාව සහ ඒ යුගයේ මිනිසුන් මෙන්ම පරිසරය ගැන වන ගහනය ගැන කියැවෙන දඩයක්කරුවන්ගේ සහ වතුවගාකාර සුද්දන්ගේ දිනපොත් ලෙස ලියැවුණු සාහිත්‍යයක් රට තුළ පැතිර ගියේය. එයට මූලික වුයේ සරත්චන්ද්‍ර ජයකොඩි ලේඛකයා වුවද සැබෑ ලෙසම එය පාඨකයන් අතර උන්දමාදයක් තරමට ප්‍රබල කර වූයේ භාෂා කිහිපයක ප්‍රාමාණිකයකු සහ පාර්ලිමේන්තු කතා පරිවර්තකයෙකු ලෙසද ප්‍රවීණත්වය ලද ප්‍රේමචන්ද්‍ර අල්විස් වියතුන් කරන ලද පරිවර්තන හේතුවෙනි.ඒ.පී .ගුණරත්නයන්ගෙන් පසු පරිවර්තන කලාව තුළ එවන් පරිවර්තනීය වෙනසක් සිදුකළ වෙනකෙක් නැති තරම්ය.
පසුව සුජිව දිසානායක, ටි. අන්ද්‍රාදි, වැනි පිරිස සමග බොහෝ පිරිසක් මේ කතා පරිවර්තනයට අත තැබූහ.බොහෝදෙනා මේ කතා ශානරය උමතුවක් මෙන් වැලඳ ගත්තා පමණක් නොව ඒ සඳහාම කැප වු ප්‍රකාශන ආයතනද බිහිවෙනු දක්නට ලැබුණි. පසුව එය බොහෝ පිරිස් හිතුමතයේම අනුකරණය කළහ. මෑත කාලයේ ගූගල් සහ කෘත්‍රිම බුද්ධිය යොදා මෙවන් ඉතිහාස ගත තොරතුරු ඇතුළත් ග්‍රන්ථ ගෙඩි පිටින් පරිවර්තනය කර වෙළෙඳපොළ තුළ ඇති ඉඩ ඩැහැ ගැනිමට සහ මේ ශානරයේ සිය නම සටහන් කර ගැනීමට සමහරු උත්සාහ ගත්හ.
රංජිත් කුරුප්පු නැවතත් වෙනස්මාදිලියේ කතා ශානරයක් අපට හඳුන්වාදෙන්නට සමත් වුවෙකි. ඔහු පරිවර්තනය කළ කාන්තාරයේ කුසුම සුවිශේෂි පන්නයේ කතා රටාවක් සහිත සාහිත කලාපයකට පාඨකයා ඇද දැමිමට සමත් විය.ඉන්පසු මෙවන් ස්ත්‍රිවාදි ශෝකාලාප සහිත දිරිය නවකතා පරිවර්තන රැල්ලක්ද මතුවිය. එසේම චේතන් භගත් වැනි අපේ අසල් වැසි රටේ නව සාහිත්‍යයේ පුරෝගාමියකු හඳුන්වාදෙමින් දිලිප ජයකොඩි,තවත් රැල්ලකට මුලපිරීය.
ලෝක සාහිත්‍යයේ මෑත කාලීන ප්‍රබලයන් රැසක් අපවෙත හඳුන්වා දෙන්නට සිය පුවත්පත් කලාවෙන් ඉසිඹු ලැබ පරිවර්තන කාර්යයට අත ගැසූ රෝහණ වෙත්තසිංහයන් අතින්ද කැපි පෙනෙන දායකත්වයක් ලැබි තිබේ. විවිධ රටවල විශිෂ්ට ලේඛක ලේඛිකාවන් පිරිසකගේ අපූර්වතම කතා රැසක් ඔහු අතින් සිංහලයට පරිවර්තනය වී ඇත.
විද්‍යා ප‍්‍රබන්ධ කථා කලාව ආරම්භ කළ බවට වඩාත් ප‍්‍රසිද්ධියට පත් වූ ජූල්ස් වර්න් ගේ ‘ලීග 20,000ක් මුහුද යටට’, පෘථිවිය මැදට ගිය ගමනක්, ලොව වටා දින 80කින් සහ ‘පොළොවේ සිට සඳ බලා’ කෘති පිරවර්තනය වීමත් සමග ලංකාවේ විද්‍යා ප්‍රබන්ධයන්ට ආකර්ෂණය වීම ඇරැඹිණි. ඒ සමගාමීව ජේ ඊ ගුණසේකරයන් විසින් උභය ජීව ,සහ "කුංචනාද" කතා පරිවර්තන මගින් සෝවියට් විද්‍යා ප්‍රබන්ධ ලේඛක ඇලෙක්සැන්ඩර් බෙලායෙෆ් හඳුන්වාදෙන ලදි.
සිංහලට පෙරැළුණ විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍ය ශානරය වඩාත් ප්‍රබල ලෙස ප්‍රචලිත වුයේ ආතර් සී.ක්ලාක්ගේ ග්‍රන්ථ පරිවර්තනය කළ එස්. එම් බන්දුසීලයන් හේතුවෙනි.දැන් මේ නව ප්‍රබන්ධ කලාවට අයත් පතපොත ද බහුල ව පරිවර්තනය වෙමින් තිබෙනු දැකිය හැකිය.ඇසිමෝව්, රේ බ්‍රැඩ්බරි,ෆෙඩ්රික් පෝහල් ඇතුළු ප්‍රවීණයන්ගේ ග්‍රන්ථ එකතු වීමත් සමග මීට වසර කිහිපයකට පෙර සිට පරිවර්තන සාහිත්‍යය සඳහා වසන්තය උදා වී තිබුණි.අලුත් පරිවර්තකයන් මෙන්ම අලුත් පරිවර්තන පොත් රැසක් විවිධ සාහිත්‍ය ශානර ඔස්සේ කලඑළි බැසීමත් සමගිනි.නමුත් ඉක්මන් ප්‍රසිද්ධිය සහ වෙළෙඳ ලාභ බලාපොරොත්තුවෙන් ආප්ප බාන්නාක් මෙන් තරගකාරිව කඩිමුඩියේ සිදුකෙරෙන වත්මන් පරිවර්තනවල අන්තර්ගතය භාෂාවේ පොහොසත්බව මුල් නිර්මාණයේ ජීව ගුණය රඳවා ගැනීම අතින් ඉපැරැණි පරිවර්තකයන් සතු වූ බුහුටි බව - සූර බව ගිලිහි ගොස් ඇති බවට නැගෙන චෝදනා මැද ඒ , කී වසන්තය මිලිනව යමින් ඇති සෙයකි.
2025 ඔක්තෝබර් මස 08
1572
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1366
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
489
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මෙි උදාවෙන්නේ පරිවර්තන සාහිත්‍යයේ මළගම ද?