67වැනි රාජ්‍ය සාහිත්‍ය උළෙල පසුගියදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදි පැවැත්විණි. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂාත්‍රයෙන්ම ලියැවුණු විවිධ සාහිත්‍ය කෘති රැසකට එහිදී සම්මාන පිරිනැමුණු අතර බොහෝ දෙනා බලා සිටි නවකතා අංශයෙන් රාජ්‍ය සහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවේ එරික් ඉලයප්ආරච්චි ගේ ‘සුනඛ ආර්යා’ (ඇස්. ගොඩගේ ප්‍රකාශන) නවකතාවයි. 

රංජිත් ජයසිංහ නමැති මියගිය ඉංග්‍රීසි පුවත්පත් කලාවේදියකුගේ දෙමළ වැන්දඹු බිරිඳ ප්‍රියා නම් වූ පුවත්පත් කලාවේදිනියකගේ හුදෙකලා දිවි පෙවෙත වටා මෙම නවකතාව දිගහැරේ. 
එරික් ඉලයප්ආරච්චි අද්‍යතන සිංහල සාහිත්‍ය වංශය තුළ නොමැකෙන පරිච්ඡේදයක් ලියමින් සිටින සාහිත්‍යවේදියෙකි. ඔහුගේ ලේඛනාවලිය ඊට හොඳම නිදසුනකි. මේ සංවාදය රාජ්‍ය සම්මානයට පාත්‍ර වූ ‘සුනඛ ආර්යා’ පිළිබඳවය.

 

ප්‍රශ්නය 

 කීර්තිමත් ඇමෙරිකානු නවකතාකරුවකු සහ විචාරකයකු වන ෆ්‍රෑන්ක් ලෙන්ට්‍රිකියා එක් අවස්ථාවකදී කියනවා ඔහු නවකතාවක් රචනා කිරීමේදී වැඩි අවධානය යොමු කරන්නේ වාක්‍ය සංවිධානය කිරීම කෙරෙහි කියල. ‘සුනඛ ආර්යා’ ඔබේ දහතුන්වැනි නවකතාව. ‘බගන්දරා’ නවකතාවෙන් ආරම්භ වුණු ඔබේ නවකතාකරණය මේ දක්වා වැඩි අවධානයක් යොමුකර තියෙන්නෙ කිනම් කාරණයක් කෙරෙහි ද?

මම නවකතාවලින් සවිඥානකව හෝ අවිඥානකව උත්සාහ කර තියෙන්නේ සමාජය සහ එහි උගුරේ ඇනෙන කටුව දකින්නයි. උගුරේ කටු ඇනෙනවා කියලා කෑම නොකා ඉන්න බැහැ. මෙහෙම ජීරණ පද්ධතිය ගැන කතා කරන්නේ සමාජයේ ජීරණ පද්ධතිය හා ලේඛකයාගේ ආත්මීය ස්නායු පද්ධතිය නවකතාවේ සාහිත්‍යය මගින් සම්බන්ධ කරන නිසයි. නවකතාවේ සාහිත්‍යය කියන්නේ කුමක් ද යන කාරණය මට කවදත් වැදගත් කාරණයක් වුණා. එය ශානරීය ලේබල් ගැසීමෙන්වත්, දෘෂ්ටිවාදී වුවමනා එපාකම් වෙනුවෙන්වත්, නව සාහිත්‍යය හා මාධ්‍ය ධනවාදයේ නිෂ්පාදන යන්ත්‍රවලට අමුද්‍රව්‍ය සපයන මාර්ග පාදා ගැනීමෙන්වත් දිනා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. නවකතාවේ සාහිත්‍යයේ නොවරදින ලකුණ තියෙන්නේ මහා නවකතාව තුළයි. ඒ නවකතා‌ව තුළ තියෙන්නේ ප්‍රියමනාප හෝ අප්‍රිය අමනාප ලෝකයක් තුළ වාසය කරන මනුෂ්‍යයාගේ ආත්මීය පරම සාරය නැති නම් ‘ස්පිරිට්’ එකයි. නොයෙකුත් කාරණා නිසා වර්තමාන සමාජය පැරැණි සමාජයට වඩා සංකීර්ණයි, ව්‍යාකූලයි. එ් නිසා අද නවකතාවේ සාහිත්‍යයත් සංකීර්ණයි, ව්‍යාකූලයි.

 

'සුනඛ ආර්යා’ ප්‍රබන්ධය ගොඩනැගෙන්නෙ ඉංග්‍රීසි පුවත්පත් කලාවේදියකු වන රංජිත් ජයසිංහ ගේ වැන්දඹු බිරිඳ ප්‍රියා කේන්ද්‍රීයව. ඇයත් පුවත්පත් කලාවේදිනියක්. ඒ වගේම මෙහි ආනන්ද සමරසේකර කියන මහා ලේඛකයා; මේ චරිත ගොඩනගද්දි ඔබට සැබෑ චරිත බලපා ඇති බවක් හැඟෙනවා. ඔබ මේ නවකතාව ලියන්නෙ හෙමිංවේ කියන විදිහට ඔබ දන්නා දෙයට සියයය දහයක් බොරු එකතු කිරීමෙන් ද? මොකද ප්‍රබන්ධය කියන්නෙ සත්‍යයම නෙවෙයි.

මේ දැන් මෙතැන’ කියන ලෝකය තේරුම් ගැනීමේ රාමුවක සිට ලියැවෙන අලුත් නවකතාවක සැබෑ චරිතවල සේයා තියෙන්නට පුළුවන්. අපේ රටත් නාරායන්ගේ ‘මල්ගුඩිය’ වගේ, නැතිනම් ජේම්ස් ජොයිස්ගේ ‘ඩබ්ලීනය’ වගේ කුඩා එකක්. එනමුත් නවකතාවකදී කිසිම චරිතයක් සැබෑ ලෝකයේ චරිතයක් වෙන්නේ නැහැ. ඔය කාරණාව මගේ ‘ලලිත සමය’, ‘නකුලමුනි’ වගේ නවකතා සම්බන්ධයෙනුත් නැඟුණා. නවකතාවක චරිතයක ආත්මීය පරම සාරභාවය උපදින්නේ නවකතාවේම සන්දර්භය හා සෙසු චරිත ඇසුරෙන්. ‘සුනඛ ආර්යා’ නාගරික නවකතාවක්. නගරය ගොඩනැගී ඇති අනේකජාති හා අනේක - ආත්මීයතාවෙන් සමන්විත චරිතවලින්. එහි අසමබර ව්‍යසනකාරී වකවානුවක දී නවකතාවේ දියුණු ධනේශ්වර චරිත දෙක මුහුණ දෙන විපත්තිදායක තත්ත්වය හා නොමැරී ජීවත් වන්නන් මැද ජීවත් වීමට ප්‍රියා නම් දෙමළ ජාතික ඉංග්‍රීසි ලිබරල් පුවත්පත් කලාවේදිනිය ගන්නා වෑයමත්, නගරය ඇය තුළ ඇගේ පරම ආත්මීය සාරය රැක ගන්නා ආකාරයත් කියැවෙනවා. නගරයක් චරිතයකට ඇතුළු වීම තුළ එම නගරයේ ජීවත් වූවන්ගේ අවතාර චරිතයට ඇතුළු වෙනවා. අපි ජනතාවාදී දෘෂ්ටියකින් තවමත් කියවන දොස්තොයෙව්ස්කිගේ ‘අපරාධය සහ දඬුවම’ නවකතාව තුළත් පීටර්ස්බර්ග් නගරය මහා චරිතයක කාර්යභාරය ඉටු කරනවා. පීතර්බූගය කියන්නේ මහා පීටර් ඉතා සැලසුම්ගතව ඉදි කළ ජ්‍යාමිතික නගරයක්. රැස්කොල්නිකොව් කියන නීති ශිෂ්‍යයා ආත්මීය වශයෙන් ඒ ජ්‍යාමිකත්වය සමඟ ගැටෙමින් සිටිනවා. ව්‍යාකූල සමාජය ජ්‍යාමිතිකත්වය තුළ රැඳෙන්නේ නැහැ. පොරොව ඉස්සෙනවා.

 

 ඇතැම් සැබෑ චරිතවල සේයාවන් නවකතාවට ගෙනෙන ඔබ, මෙරට ප්‍රසිද්ධ නවකතාකරුවෙක් වගේම නාට්‍යකරුවෙක් නවකතාවට ගෙනෙන්නේ සැබෑ නමින්මයි

කෙනකුට සත්‍යයේ සේයාවක් ‘සුනඛ ආර්යා’ තුළ පෙනෙන්නට පුළුවන් වුණත් ඒ සත්‍යය පවතින්නේ අපට අත්‍යාසන්න අයුරින් එහි පිළිබිඹු වන සමස්ත සමාජ සත්‍යය තුළයි. එහි තියෙන්නේ කවර මොහොතක හෝ බෝම්බයකින් සුනුවිසුනු වීමේ ඉරණමට ලක්වුණු නගරයක අවතාරගත දිවා-රාත්‍රි ආත්ම‍යයි. එහි චරිතවලට තමන්ගේ සාමාන්‍ය ජීවිත ගෙනයාම සඳහා සාහිත්‍යය, සංස්කෘතිය, වාම බුද්ධිය, මනුෂ්‍යයා, සත්වයා, පත්තරය, මහපාර, නගර සැලසුම වගේ බොහෝ දේවල් වුවමනා වෙනවා. සිංහල හා දෙමළ බුද්ධිමය කුටුම්භය වුවමනා වෙනවා. මේ බිඳුණු පැරැණි පවුලේ කතාවක්.
ඔබ කියන්නේ සයිමන් චරිතය විය හැකියි. ඔහු වැනි චරිතයක් පය ගසන ස්ථානය කිසියම් සංස්කෘතික ආරාමයක් විය යුතුයි. මේ නවකතාවේ ඔහු ඉන්නේ පිටස්තරයෙක් ලෙස වුණත් ඔහු පය ගසන ස්ථානයේ උසස් සංස්කෘතික මට්ටම ඔහු තනිව නිවේදනය කරනවා. තමා පමණක් නොව අනෙකා, ඔහුගේ භාෂාව හා ඔහුගේ නිවෙස යන සියල්ල ඔහු මෙසේ යැයි කියනවා. ඒ අපට අහිමි වූ විසිතුරු නගරයක විසිතුරු මිනිස්සු. නොපැතලි නගරයක නොපැතලි මිනිස්සු.

 

 මිලාන් කුන්දේරා කියනවා ‘‘මගේ නවකතාවල චරිත මට නොලැබුණ හැකියාවන්’’ බව. මේ නවකතාවේ චරිත ගැන ඔබ කියන්නේ කුමක් ද?

කුන්දේරාව පුනරුච්චාරණය කළහොත් මෙහෙම කියන්න පුළුවන්, ‘අපට නැති වී ගිය නාගරික හැකියාවන්’ මේ නවකතාව තුළ තියෙනවා. මගේ නවකතාවල මුල පටන් තිබුණේ සමාජීය නිමිති. සමාජයට තිබූ හැකියාවන් වගේම නොතිබුණු හැකියාවන් කියලා කියන්නට පුළුවන්. නමුත් ඒවාට සමාජයක් මුහුණ දෙනවා කියන්නේ සුළුපටු දෙයක් නෙවෙයි. දසදහසක් ජීවිත පිළිබඳ ප්‍රශ්නයක්. චෙක් ලේඛක මිලාන් කුන්දේරාට වඩා සිංහල නවකතාකරුවාගේ තත්වය වෙනස්. ඔවුන්ගේ නැගෙනහිර යුරෝපීය ආත්මීයත්වය ස්ටැලින්වාදය තුළ මහත් පීඩනයකට ලක් වුණා. බොරිස් පැස්ටනැක්ගේ අප්‍රකට ඡායාරූපයක් තියෙනවා. එහි බොරිස් පැස්ටනැක් ඉස්පිරිතාලේ ලෙඩකුට ගෙනයන කෑම පිඟාන රෙදි කෑල්ලකින් ඔතා ගෙන ඉන්නවා වගේ යමක් රෙද්දකින් ඔතා ගෙන බලා ගෙන ඉන්නවා, බොහොම ව්‍යාකූල විදිහකට. ඔතාගෙන ඉන්නේ ‘ඩොක්ටර් ෂිවාගෝ’ නවකතාව! මව්බිමේ අවසර නැති නිසා ඉතාලියේ මුලින් මුද්‍රණය කරපු ෂිවාගෝ නවකතාව!
අපි නොයෙක් අවස්ථාවල සමාජීය වශයෙන් පීඩනයට භාජනය වුණාට අපේ ආත්මීයත්වය මර්දනය කෙරුණේ නැහැ. ඒ නිසා තමයි ‘යළි උපන්නෙමි’, ‘හැත්තෑවෙ කොලනිය’, ‘බව තරණය’ වැනි නවකතා මුද්‍රණය වුණේ. ‘චැටර්ලි ආර්යාවගේ පෙම්වතා’වත් මෙහේ මර්දනය වුණේ නැහැ. ඉතින් සිංහල ලේඛකයා ආත්මීයත්වයේ නිදහස පිළිබඳ ප්‍රශ්නයකට මුහුණ දුන්නේ නැහැ. කුන්දේරාගේ නවකතාවෙදි කලක් දරුණු මර්දනයට ලක්වූ චෙක් ආත්මය හා එහි පුද්ගලික ගාම්භීර්යය ගිනිකන්දක් වගේ පුපුරා යනවා. චෙක් මනුෂ්‍යයාගේ ආත්මගතයම මහා සෞන්දර්යයක් ලෙස විමුක්තිය ලබනවා. එයම දේශපාලනික වෙනවා.

 

සැබෑ චරිත ඇසුරේ ලියැවෙන කවකතාවක නවකතාකරුවාගෙ සීමාවන් මොනවා ද?

මගේ නවකතාවල සැබෑ චරිත සිටිනවා නම් ඒවා පවතින්නේ සමාජ බලවේගයන්ගේ සංගෘහිත හැටියට. අපගේ වැනි රටවල සමාජ බලවේග නිරූපණය කරන්නේ ඒවාට කැපවුණු චරිතවන නිසා සමාජය ගැන කතා කරන විට එවැනි චරිතයක් සිහිපත් වීම සිදු වන්නට පුළුවන්. එනමුත් සමාජයක හෝ සමාජ බලවේගයක සුවිශාලත්වය නියෝජනය කිරීම පුද්ගලයා ඉක්මවා දුවන දෙයක්. මගේ ‘නකුලමුනි’ පුද්ගලාරෝපණය කළ අවස්ථා තිබුණා. එහෙම නම් කොහොම ද ‘ඊක්වල් මියුසික්’ වගේ පොතක් වික්‍රම් සෙත් වගේ නවකතාකරුවෙක් ලියන්නේ?

 

සුනඛ ආර්යාව නැත්නම් ප්‍රියා; වීදි සුනඛයන්ට ආහාර දීම ඇගේ දෛනික චර්යාවේ අනිවාර්යය අංගයක්. ඇගේ එම ක්‍රියාව මගින් වීදි සුනඛයන්ගේ හැසිරීම්, උන්ගේ චර්යාවන් සමීප ලෙසින් පාඨකයාට දැනෙනවා.මේ චර්යාවන් ඔබේ නිරීක්ෂණයන් ද?

මෙවැනි සත්ව සත්කාරවල යෙදෙන බොහෝ දෙනෙක් ඉන්නවා. මේ නවකතාවේ ප්‍රධාන කරන්නට වුවමනාව තිබුණේ ශිෂ්ට මනුෂ්‍යයා, ඔහුගේ හෝ ඇයගේ ශිෂ්ටත්වයට තර්ජනය එල්ල වූ විට නැවත සත්ව ලෝකය වෙත යාම සහ උන් ඔවුන් පිළිගැනීම. ශිෂ්ට ගැහැනියකට වෙනත් දෙයක් සමාජය විසින් ඉතුරු කරනු නොලැබීමේ ව්‍යසනයයි මේ! ‘ඔඩිසි’ වීර කාව්‍යයේ විසි වසරකට පසු ඔඩිසියස් ආපසු නිවෙසට ආ විට ඔහු හඳුනා ගන්නේ ‘ආගෝස් ’ කියන බල්ලා පමණයි. මහාභාරතයේ යුද්දෙන් පසු යුධිස්තිරගේ ගමනාන්තයේ දී ඉතුරු වන්නේ නමක් නැති සුනඛයෙක් පමණයි. ඉන්ද්‍ර දෙවියෝ යුධිස්තිර මෝක්ෂයට කැඳවා ගෙන යන්නට රන් යුද අස්රියෙන් හිමාලයට වඩිනවා. ඉන්ද්‍ර කියනවා බල්ලෝ මොක්ෂෙට ගෙනියන්න බැහැ කියලා. යුධිස්තිර මෝක්ෂයට යාම ප්‍රතික්ෂේප කරනවා. තමා මත යැපෙන, මෙහෙම කැපවුණු සත්වයෙක් අත්හැර දැමීම බ්‍රහ්ම ඝාතනයකට සමානයි කියනවා. මං පාරාදීසියට එන්නේ නැහැයි කියනවා. ඉන්ද්‍ර දෙවි මනුෂ්‍යයා වෙනුවෙන් පවත්වන අවසන් පරීක්ෂණය එයයි. යුධිස්තිර සමත් වෙනවා. සුනඛයා යුක්තියේ දෙවියන් වන අතර යුධිස්තිර දිව්‍ය පීතෘ වෙනවා. නවකතාවේ ප්‍රියා චරිතය මාතා නම්, ධර්මයේ දෙවියන් වන්නේ සුනඛයා. ඇය සුනඛ ආර්යාව වන්නේ ඒ තේරුමෙන්.

 

 ප්‍රියා දෙමළ වීම නිසා ඇය පෙළෙන හීනමානය නිසාද ඇගේ සැමියා රංජිත් සහ ආදිත්‍යා අතර ඇති සම්බන්ධය දිහා උපේක්ෂාවෙන් බලන්නේ?

එය නවකතාවේ තීරණාත්මක මොහොතක්. අන්තර් වාර්ගික මනුෂ්‍ය සම්බන්ධතාවන්ගේ බිහිසුණු යථාර්ථය එම අවස්ථාවෙන් නිරූපණය වීම සතුටක්. ඒ වගේම ප්‍රියා සහ රංජිත් දෙදෙනාගේ ඉහළ පාන්තික හා ඉහළ සංස්කෘතික මට්ටම ඊට හේතු වනවා විය හැකියි.

 

 ප්‍රියා, කැසෙන්ඩ්‍රාගේ නිවසෙදි දකින ඡායාරූපවලින් (මත්ද්‍රව්‍ය පාවිච්චි කරන තරුණයන්ගේ හා ඒවා විකුණන ගුබ්බෑම්වල පින්තූර වැනි) කියන නූතන උතුරේ දෙමළ මිනිසාගේ කතාවත්, දකුණේ මිනිසාගේ කතාවත් සමානයි නේ ද?

කුඩා මිනිසාගේ යථාර්ථය! ගොගොල්ගේ මහා සාහිත්‍යයේ දී ඔවුන් හිමකබාය නැති වුණු මිනිසුන්. මිෂෙල් ෆූකෝ කියන්නේ එක ‌ඓතිහාසික වකවානුවක ප්‍රංශ තරුණයාට තිබුණේ තේරීම් දෙකයි. ප්‍රංශ කොලනියකට යනවා ද? එහෙම නැති නම් ඉතින් යුද්දෙට යනවා ද?

 

ආනන්ද සමරසේකර චරිතයෙන් ඔබ මෙරට ජාතිකවාදී ලේඛකයන්ට ගෙනෙන්නේ විවේචනයක්.?

ජාතිවාදය අන්‍යෝන්‍ය වශයෙන් හතුරු ලෙස හඳුනා ගන්නා දෙපාර්ශ්වයටම කරන්නේ හානියක්. විශේෂයෙන් එහි බුද්ධිමය ස්ථර හායනය වී යනවා. සාහිත්‍ය අර්ථයෙන් ඉන් නැපෝලියානු චරිත බිහි කරන්නේ නැහැ. නවකතාව තුළ ඒ ලේඛක චරිතයේ ප්‍රතිපාර්ශ්වය ලෙස අපිට ‘ලෝඩ් බයිරන්’ කවියා පිළිබඳ සාකච්ඡාව හමු වෙනවා.

 

 ඔබ මීට දස වසරකට පෙර මෙරට නව පුස්තක සංස්කෘතියට විවේචනයක් ගෙන එමින් පුවත්පත් සාහිත්‍ය අතිරේකයකට ලියනවා නව පුස්තක සංස්කෘතියේ අපේක්ෂාවෙන්නේ ලේඛකයා ටැන්ටලුස් කෙනෙකු බවට පත්කිරීම බව. ඒ වගේම ලේඛකයෝ සිය සුතනඹුන් නමැති පුද්ගලික අනුභූතීන් රස අහරක් ලෙස උයා පිහා ග්‍රන්ථ ප්‍රකාශනය නමැති බොජුන් මේසය මත තබන බව. ඔබටත් මේ පුස්තක සම්මාන ලැබී තියෙනවා. දස වසරකට පසුත් ඔබගේ එම විවේචනය එලෙසින්ම ද?

සම්මාන කතිකාව නැගී එන සාහිත්‍ය ධනවාදය ඔස්සේ සිංහල සාහිත්‍යය තුළටම පැමිණ තියෙනවා. මෙතනදි වැදගත් වන්නේ ලේඛකයාගේ අනන්‍යතාවයි. අද නිහඬ විචාරයක තත්වයකට එය පැමිණ ඇති නිසා සම්මාන නිර්දේශයන් නිතරම වැරැදි සාහිත්‍ය මාදිලි හා ප්‍රමිති හැටියට පොලා පනිනවා. එම නිසා සමාජජාල විචාරකයින්ගේ හෝ සුපිරිතරු විනිසුරුවන්ගේ තත්වයට පත් නොවීමේ අභියෝගය සම්මාන මණ්ඩලවලට තියෙනවා.