IMG-LOGO

2024 ජුලි මස 18 වන බ්‍රහස්පතින්දා


සාහිත්‍ය කප්පාදුවෙන් අසංවෙිදී සමාජයක් බිහිවුණා - කරුණාරත්න අමරසිංහ

සාමීචිය - 14

 

 

කරුණාරත්න අමරසිංහ බොහෝ දෙනා හඳුන්නන්නේ කවුරුන් හැටියට ද? ගුවන්විදුලි හඬනළුවකු,සිංහල සංස්කෘත,පාලි භාෂා විශාරදයකු, ගරුවරයකු, දේශකයකු, පරිවර්තකයකු, තිරපිටපත් රචකයකු,වැඩසටහන් සම්පාදකවරයකු,පූරකයකු ව⁣ශයෙන් විවිධ භූමිකා නිරූපණය කළ අමරසිංහයෝ  අද මෙකී නොකී රැකියාවලින් ඉසිඹුලත් නිදහස් මාධ්‍යවෙිදියෙක් වෙති. සැබෑ උගත්කමින් මෙන්ම නිසර්ග සිද්ධ ප්‍රතිභා ශක්තියෙන් පිරිපැසුණු අපේ ජාතියේ පිනට පහළ වූ මෙි නිහතමානී,භාෂාප්‍රේමී මාධ්‍ය චින්තකයා මතු පරපුරට සෙවණ සදන වනස්පතියකි."හිතක මතක" විත්ති කතා කෘතිය ඔහුගේ අභිනව සාහිත්‍ය ව්‍යායාමය යි.ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ,මාර්ටින් වික්‍රමසිංහ,මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර,මහගම සේකර ආදී ගලිවරයන් සෙවණේ   හැදී වැඩුණු    අමරසිංහයෝ යටකී සුධීමතුන් ඇසුරු කිරීමට තරම් සුදුර්ලභ වාසනාවන්තයෙක් ද වූහ.අනාගත පරපුර පිළිබඳ ගැඹුරු හැඟමකින් හා විදර්ශනාවකින් මුහුණුපොත ඔස්සේ පවා  විවිධ ලිපි පළ කරන ඔවුහු තරුණ මහලු කාගේත් ගෞරවාදරයට පත් වී සිටිති.ලංකාදීප මතුමහල සයිබර් සාහිත්‍ය අතිරේකයේ ආරාධිත  ලේඛකයකු  ද වන අමරසිංහයෝ "මතක හා මතය" නමින් සතිපතා ලිපියක් ද පළ කරති.මෙි වූකලි  භාෂාව හා සාහිත්‍ය අතර ඇති අවියෝජනීය බැඳීම පිළිබඳ  අමරසිංහයන් සමඟ කළ විශේෂ කතාබහකි.

 

මම

"හිතක මතක" විත්ති කතා පොත ඔබගේ අභිනව සාහිත්‍ය ව්‍යායාම⁣ය යි.මානවසිංහ,මාර්ටින් වික්‍රමසිංහ,සේකර,මහැදුරු සරච්චන්ද්‍ර වැනි පතාකයන් ඇසුරේ වැඩුණු ඔබ මෙි කෘතිය තුළින් මෙරට සහෘද පාඨක සමාජය වෙත එල්ල කරන ප්‍රඥාලෝකය අතිශය ප්‍රබලයි.අපේ සාහිත්‍ය ලෝකය එකලු කළ යටකී පුරෝගාමීන් ගැන ඔබෙි ආකල්පය කුමක්ද?

අමරසිංහ 

මගේ 'හිතක මතක' පොත අරයගෙන් මෙයාගෙන් අහගත්ත අතනින් මෙතනින් අහුලගත්ත තොරතුරු පුරවලා මගේ පූචානම කියා ගැනීමේ දොළ දුකෙන් පලිප්පු දාලා ගොතාපු විත්ති පොතක් නෙවෙයි. මේ පොතෙන් ඔබට මුණ ගැහෙන හැම පුද්ගල චරිතයක්ම මං ඉතාම ළැදිව ඉතාම ආදරෙන් ඉතාම කුලුපගව ඒ කියන්නෙ ඒ අයගෙ ගෙදර දොර නිතර ගැවසෙමින් ආශ්‍රය කළ උදවියයි. ඒ වගේම ඔවුන් තම තමන්ගේ ක්ෂේත්‍ර බැබළවූ අයයි. ඒ අය අතරින් ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් මාටින් වික්‍රමසිංහයන් සහ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් මගේ ජීවිතයත් චරිතයත් ඒකාලෝක කළ පහන් ටැම් හා සමානයි. මට කවදාවත් මාව 'මම' යන නමින් හඳුන්වන්න අයිතියක් නෑ. මගේ චරිත කාය අඹලා තියෙන්නෙ හුඟ දෙනෙක් එකතුවෙලා. ඒ අයගෙ ආවේශය ආභාසය හා ආලෝකය නොමසුරුව ප්‍රදානය කරලා. කරුණාරත්න අමරසිංහ කියන්නෙ එහෙම අඹාපු සාමූහික චරිතකායකට දීපු සංඥා නාමයක්. මට අයිති ඒ සංඥා නාමය පමණමයි.මගේ 'හිතක මතක' පොතේ එන චරිත ගැන ලියද්දි මම ඔවුන්ගෙ ගම රට ජාතිය ආගම ආදී තොරතුරු(Curriculum Vitae) හෙළි කිරීමට වඩා සැලකිලිමත් වුණේ ඔවුන්ගේ චරිතවලින් ලද හැකි අර මම කියාපු දුර්ලභ ආවේශයෙන් ආභාසයෙන් ආලෝකයෙන් බින්දු මාත්‍රයක් හරි ඔබටත් නොමසුරුව දායාද කිරීමටයි. ඒ හැම චරිතයක්ම එතරම්ම විශිෂ්ටයි. ප්‍රශස්තයි. අනන්‍යයි. අනනුකරණීයයි.

 

මම

භාෂාව සංස්කෘතික ජීවියෙක්. මෙි සංස්කෘතික ජීවියා උස්මහත් නොකර කිසිවකුට කිසිදු මාධ්‍යක නියැළෙන්න බැහැ.එහෙත් අද මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය බස නසන හැටි  දුටුවම භාෂා ප්‍රේමීයකු වන ඔබට මොකද හිතන්නේ?

අමරසිංහ 
 
භාෂා භ්‍රෂ්ටයන් හැටියට උග්‍ර විවේචනයට පරිහාසයට ප්‍රහාරයට ලක් කරන වර්තමාන මුද්‍රිත විද්‍යුත් මාධ්‍යවල නිරත තරුණ පරපුරට මම එක හෙළා දොස් පවරන්න සාප කරන්න අපහාස උපහාස කරන්න ඉක්මන් වෙන්නෙ නැහැ. මේ රටේ දිගින් දිගටම පාසල් පද්ධතියෙන් මග හැලෙන විශාල තරුණ පරපුරක් ඉන්නවා. එය උග්‍ර සමාජ ආර්ථික අධ්‍යාපනික උවදුරක දුර්විපාකයක්. භාෂාව සම්බන්ධයෙන් වැලඳී ඇති මේ මාධ්‍ය ව්‍යාධියේ රෝග නිදානය ඇත්තෙ 1977 මෙරටට උදා වුණු අවිචාර සමය තුළයි. එවක බිහිවුණු ආණ්ඩුවෙන් පාසල් පද්ධතියට ගුරු පත්වීම් දීමේදී අඩුවෙන්ම සැලකුවේ අධ්‍යාපන සුදුසුකමයි. සෙසු විෂයන්ට වගේම විශේෂයෙන් භාෂා සාහිත්‍යය විෂයටත් පත් කෙරු⁣ණෙ කලින් පාසල් පද්ධතියෙ හිටිය බහුශ්‍රැත මනා පුහුණුවකින් යුක්ත ගුරු පරපුරට අලගු තියන්නවත් බැරි අඳ බාල අල්පශ්‍රුත ගුරු පරපුරක්. සාහිත්‍යය හා ඉතිහාසය යන විෂයන් පාසල් පද්ධතියෙන් පිට මං කළෙත් මේ දේශපාලන අවිචාර සමයේදියි. අද මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රයේ විතරක් නෙමෙයි නවකතා කවි සින්දු ආදි නිර්මාණ ලේඛන කලා ක්ෂේත්‍රයේත් බහුලව ඉන්නෙ ඒ අබුද්දස්ස යුග ආදීනවයක් වශයෙන් පහළ වුණු අනාථ අසරණ පරපුරක්. ඉතින් උන්ව හෙළා දැකීමෙන් පමණක් රෝග නිවාරණයක් කළ හැකිද?

 


මම

සාහිත්‍ය කන්න දැයි ඇසූ දේශපාලනඥයන්  හිටපු  රටක අනාගත පරපුරේ චින්තන වින්දන ශක්තිය මොටවීම අරුමයක් නොවෙි. අද තිබෙන්නේ වින්දනය නිර්වින්දනය කළ සමාජයක්.එබඳු  සමාජයකින් රටට ලෝකයට බිහිවන්නේ  සහකම්පනය නැති විපරිත චරිත.මෙි සන්තෑසියට වගකිවයුත්තෝ කවරහුද?

අමරසිංහ 

ඒකාධිපති ව්‍යවස්ථාවකින් සර්ව බලධාරීවී සිටි ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති එක්තරා රාජ්‍ය සාහිත්‍ය උත්සවයකදී අවධාරණයෙන් ප්‍රශ්න කර සිටියේ සාහිත්‍යයෙන් කාර් එකක්වත් ගන්න පුළුවන්ද කියලයි. (සාහිත්‍යය කන්නද කියා නෙවෙයි.) මම ඔහුගේ ගර්හිත ප්‍රකාශය ගෙදර ගුවන් විදුලියෙන් අසා සිටියේ කෝපයෙන් දැවෙමිනුයි.එකල රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලයේ සභාපතිව හිටියේ මගේ විශ්වවිද්‍යාල සිංහල ආචාර්යවරයෙක් වූ මහාචාර්ය මිණිවන්.පී.තිලකරත්නයෝයි. ඔහු තම කතාවේදී ජේ.ආර්ගේ ප්‍රකාශය අනුමත නොකරමින් තම අදහස ප්‍රකාශ කිරීම ගැන මගේ හිතේ පැහැදීමක් ඇති වුණු හැටි මට අද වගේ මතකයි. ජේ.ආර්. ජනාධිපතිගේ ඒ අමනෝඥ ප්‍රකාශය විවෘත වෙළඳපළ ආර්ථික න්‍යායේ පළමු සංස්කෘතික ද්‍රෝහී ජඩ අඬ හැරයයි.

 


මම

ඔබ තුළ සංස්කෘත භාෂා රසකාමීත්වය උද්දීපනය  කිරීමට මානවසිංහයන් විශාල රුකුලක් වුණා.ඔබෙි සියලු ලේඛන හැඩගැන්වී තිබෙන්නේ ද සිංහල - සංස්කෘත මිශ්‍ර රසමුසු භාෂා හරඹයකින්.ලේඛකයකුට කාව්‍යාත්මක බස් වහරක් ඇත්නම් සහෘද  රසික පාඨක ආකර්ෂණය ද වැඩියි.ඔබ මුහුණුපොතේ පළකරන ඇතැම් රසවත් ලිපියක පවා භාෂාවෙි යටකී කාව්‍යාත්මක  ජීවගුණය රැකීමට වගබලා ගන්නවා.භාෂාවෙි රිද්මය අඛණ්ඩව පවත්වා ගැනීම ලේඛකයකුට කෙතරම් වැදගත් ද?

අමරසිංහ 

මුද්‍රිත විද්‍යුත් මාධ්‍යක්ෂේත්‍රයේ විතරක් නෙවෙයි සාහිත්‍ය නිර්මාණක්ෂේත්‍රයේත් අද භාෂාව භාවිත වෙන්නේ තම තමන් දන්නා භාෂාවට පමණක්ම සීමාවෙමිනුයි. සාහිත්‍යකරණය මාධ්‍යකරණය නිරන්තරයෙන් භාෂාව ප්‍රගුණ කරගනිමින් පෝෂණය කරගනිමින් වර්ධනය කරගනිමින් කළ යුතු කාර්යක්ය කියලා ඒ ක්ෂේත්‍රවල අය හිතන්නෙ නැහැ. භාෂාව ආකර්ෂණීය විදියට විසිතුරු අලංකාර විදියට භාවිත කරන්න ඕනැ නම් ඒ භාෂාව හොඳට සුඛනම්‍ය කරගන්න ඕනැ. හොඳට ඔපමට්ටම් වෙච්ච මුදු මොළොක් වචන මාලාවක් නැතුව ඒක කරන්න බැහැ. එතකොට තමයි භාෂාවෙ කාව්‍යමය ගුණයක් ඇති වෙන්නෙ. ඒකට හොඳම පිළියම තමයි අපේ සම්භාව්‍ය සාහිත්‍යය අතැඹුල වගේ දැනගෙන ඉඳීම. ඔබ කියන කාව්‍යමය ගුණය පිළිබඳ රහස ඇත්තෙ එතනයි. මේ කාරණය සාරාංශ කරලා කිව්වොත් මෙහෙමයි. තියුණු සංවේදී භාවයකින් යුතුව අපේ සම්භාව්‍ය කාව්‍ය භාෂාව හැදෑරිය යුතුයි. එතකොට ඔබට මේ කාව්‍යමය භාෂා රචන කෞශල්‍යය ඉබේම පහළ වෙනවා ඒකාන්තයි. භාෂා භූෂණයත් භාෂා දූෂණයත් සංසන්දනාත්මකව වටහාගන්න හොඳ නිදර්ශනයක් ඉදිරිපත් කරන්න කැමතියි. අපගේ විශිෂ්ට සම්භාව්‍ය සාහිත්‍ය කෘතියක් වන විද්‍යා චක්‍රවර්ති පඩිඳුන්ගෙ 'බුත්සරණ' නමැති ගද්‍ය කාව්‍යයෙහි රමණීය කාව්‍ය භාෂාවෙන් රචිත නාලාගිරි දමන වර්ණනාවයි මේ.

"ඈත ධූලින් වැසී ගිය ඇත් රජයැ. මෑත සවණක් ඝන බුදුරැසින් සැදී ගිය බුදු රජාණෝයැ. ඈත කෝපයෙන් රත්වැ ගිය යවට වැනි ඇස් ඇති ඇත් රජයැ. මෑත කරුණායෙන් තෙත්වැ ගිය නිල් මහනෙල් පෙති පරයන ඇස් ඇති බුදුරජාණෝයැ. ඈත එබු එබූ පයින් මහ පොළොව පළා පියන්නාක් සේ දිවන ඇත් රජයැ. මෑත එබු එබූ පයින් මිහිකත සනහ සනහා වඩනා බුදු රජාණෝයැ."

එෆ්.එම් දෙමුහුන් භාෂාව තම මව්බස කරගත් එකෙකුගේ කටින් කියවෙන කොට ඒ රමණීය කාව්‍යමය භාෂාවට යන කල මෙන්න බලන්න.

" ඈත ඩස්ට්වලින් කවර් වෙච්ච එලිෆන්ට් කිංය. මෑත සික්ස් කලර්ස් ෂයින් වෙන ලෝඩ් බුද්ධය. ඈත හොට් අයන් බෝල් අයිස් තියෙන එලිෆන්ට් කිංය. මෑත වෙට් බ්ලූ ලෝටස් අයිස් තියෙන ලෝඩ් බුද්ධය. ඈත ග්‍රවුන්ඩ් එක බ්ලාස්ට් කරන් රන් එක දෙන එලිෆන්ට් කිංය. මෑත ග්‍රවුන්ඩ් එකේ කූල් පිට වෝක් එකක් දාන ලෝඩ් බුද්ධය."

සංස්කෘත භාෂාවේ ආභාසය ඇතුව ප්‍රාණවත් මිශ්‍ර සිංහලයෙන් ලිවීමේ කුසලතාව ඇතිකර ගන්නත් විශේෂයෙන් අපේ පැරණි සම්භාව්‍ය ගද්‍ය සාහිත්‍ය පොතපත ළැදිව පරිශීලනය කිරීම අනිවාර්යයෙන්ම කළ යුත්තක්. අපේ පැරණි සම්භාව්‍ය ගද්‍ය සාහිත්‍ය කෘති වැඩිහරියක් ලියවිලා තියෙන්නෙ සංස්කෘත වචන මිශ්‍ර සිංහලයෙනුයි.

 

මම

කරුණාරත්න අමරසිංහ නමැති විශිෂ්ට ගුවන්විදුලි හඬනළුවා අපට කිසිසේත් ම අමතක කරන්න බැහැ.එමෙන්ම වැඩසටහන් නිෂ්පාදකයකු,නාට්‍ය පිටපත් රචකයකු,නිවෙිදකයකු,පරිවර්තකයකු,ලේඛකයකු හැටියට නමක් දිනාගත් ඔබ කලක් ගුරු වෘත්තියේ ද නියැලුණා.ගෙවී ගිය කලදවස ගැන දැන් මොකද හිතෙන්නේ?

අමරසිංහ 

 ගුවන් විදුලි මාධ්‍ය ශික්ෂණය මගේ ලේඛන කෞශල්‍යයත් හඬ රංගන කලාවත් පරිවර්තන පරිචයත් නිර්මාණාත්මකව පොහොසත් කරගන්න විශාල පිටිවහලක් වුණා. බොහෝ කලකට පෙර ගුරු වෘත්තියෙන් විශ්‍රාම ගියත් මම තවමත් ශිෂ්‍ය ගුරුවරයෙක්.

 

මම

මෙරට සිටින ඇතැම් විචාර විදූෂකයන් සිංහල භාෂාව අංගවිකල කරනවා.අද ජාතික  පුවත්පත්වල පවා පළ වන්නේ  සාවද්‍ය ව්‍යාකරණ සහිත ප්‍රවෘත්ති.ඇතැම් විශ්වවිද්‍යාල ඇදුරන්ට පවා  ව්‍යාකරණානුකූලව විශේෂාංග ලිපියාක්වත් ලියා ගන්න බැහැ.ද්විභාෂික උගතුන් වඳ වී ගිය සංස්කෘතික කාන්තාරයක අප අතරමං වෙලා නේද?

අමරසිංහ 

මේ ව්‍යාකරණ අන්ධභාවයටත් ද්විභාෂික වන්ධ්‍යභාවයටත් හේතුව මෙරට පාසල් පද්ධතියෙනුත් සාහිත්‍ය ක්ෂේත්‍රයෙනුත් බහුශ්‍රුත ප්‍රාඥ ද්විභාෂික ගුරු පරපුර හා ලේඛක පරපුර අතුරුදහන්ව යෑමයි.

 

මම

භාෂාව සංකේත සමුදායකින් ගහන මෙවලමක්. මෙය මූලික වශයෙන් සිදුවන්නේ ශබ්ද සහ රූප මාධ්‍යයෙන්.ශබ්ද භාෂාව හැඳින්වීමට භාෂණය යන පදයත් රූප භාෂාව හැඳින්වීමට ලේඛනය යන පදයත් යොදාගන්නවා.නමුත් සමාජ පරිණාමයට සමගාමීව මේ දෙවර්ගයම පොදු ව්‍යවහාරය තුළ කිසියම් වෙනසකට බඳුන් විය හැකියි. මේ පිළිබඳ යම් විග්‍රහයක් කළොත්?

අමරසිංහ 

ලේඛනය හා භාෂණය දෙකටම ආත්මය වෙන්නෙ භාෂාවයි. එහි ව්‍යක්ත භාවිතය දුක සේ ප්‍රගුණ කළ යුත්තක්. ඉබේ පහළ වෙන ශක්තියක් නෙමෙයි.

 

මම

වියරණ ඇදුරා සහ වාග්විද්‍යාඥයා අතර අන්‍යෝන්‍ය සහයෝගයක් තිබිය යුතුයි. මෙහිදී වියරණ ඇදුරාගේ ව්‍යවහාරික  ශික්‍ෂණයත් වාග් විද්‍යාඥයාගේ විද්‍යාත්මක ශික්ෂණයත් කුමන අාස්ථානයක තිබිය යුතුද?

අමරසිංහ 

භාෂාව පහළ වුණාට පස්සෙයි වියරණය පහළ වුණේ. මිනිස්සු නිදහසේ කතා කරන්න පටන් ගත්තා. ඒ ව්‍යවහාර විධි පරීක්ෂා කරලා මත ප්‍රකාශ කළ අය තමයි වාග් විද්‍යාඥයො. ඒ අනුව නීති රීති හදාපු උදවිය තමයි වෛයාකරණයො නැත්නම් වියරණ ඇදුරො. අදත් ඕකම තමයි සිද්ධ වෙන්නෙ. මළ භාෂාවක මිසක් මිනිස්සු කතා කරන ජීවමාන භාෂාවක වියරණය යුගයෙන් යුගයට වෙනස් වෙන එක පණ්ඩිතයන්ට වළක්වන්න බැහැ. ඒක අර්ථ විපරීත නොවෙන්න ගළපා ගැනීම තමයි ඥානවන්ත. විචාරවන්ත. ජීවිතයත් අනිත්‍ය කොට වියරණේ ගැන කවර කතාද! පරිණාම වාදයෙදි Survival of the Fittest (නොගැළපී නොපැවතිය හැකියි.) කියලා කිව්වෙත් ඕකමනෙ!

 

මම

වරක් මෙරට ශාස්ත්‍රාලයීය අධ්‍යාපනය දැඩි දෝෂදර්ශනයට ලක්කළ මහැදුරු සුචරිත ගම්ලත්  මෙබඳු සම්මුඛ සාකච්ඡාවකදී මා සමඟ පැවසුවේ මෙරට විශ්වවිද්‍යාලවල කලාපීඨ තනිකරම හරක්මඩු බවයි.අපේ සරසවි මෙතරම් පිරිහිමකට ලක්වුණේ ඇයි?

අමරසිංහ 

ගම්ලතුන් ඒ කතාව කිව්වෙ හේතු සාධක ඇතුවයි. පරම පරිහානියේ රෝග නිදානය ගැන තමයි ඔබයි මායි මුලදිම කතා කළේ.

 

මම

මාධ්‍ය සංස්කෘතිය තුළ  භාෂාව භාවිත  කිරීමෙිදී විවිධ ව්‍යාකූලතා මතුවෙනවා. අද තිබෙන්නේ  ජනප්‍රිය මාධ්‍ය සංස්කෘතියක්. භාෂාව ජුගුප්සාජනකයි.සිංහල සංස්කෘතියේ හැඩරුව හඳුනාගැනීමට ඉවහල් වන භාෂාව ම එය විකෘති කිරීමටත් යොදාගෙන තිබෙනවා.එෆ්.එම් කුරුල්ලන්ගේ මෙි විපරිත කූජනය ඔබට කොහොමද දැනෙන්නේ?

අමරසිංහ 

 මේ අතිඝෝර සංස්කෘතික ව්‍යසනය ගර්හිත ව්‍යවස්ථා ඒකාධිපතිත්වය කරණ කොට ගෙන වැලඳුණු මාරාන්තික විවෘත ආර්ථික පිළිකාවේම දුර්විපාකයක්මයි.



අදහස් (1)

සාහිත්‍ය කප්පාදුවෙන් අසංවෙිදී සමාජයක් බිහිවුණා - කරුණාරත්න අමරසිංහ

විරාජ් මහවෙල Wednesday, 10 July 2024 12:15 PM

සාහිත්‍ය කන්නදැයි කිසිවෙකු ඇසුවේ නැහැ. සමාවෙන්න අමරසිංහ මහත්මයා මම නම් ධර්මිස්ටර් ජයවර්ධනගේ ඒ කථාව එදාම ගුවන් විදුලියෙන් ඇසුවේ නැහැ.එහෙත් පසුවදා පුවත්පත් වලින් දුටුවා . ඔහු ඇසුවේ සාහිත්‍ය ඉගෙන ගෙන ලයිට් බිලක්වත් ගෙවන්න පුලුවන්ද කියායි , කාර් 1ක් ගැන නම් නොකී බව හොඳටම විස්වාසයි.ජේ.ආර් . සාහිත්‍යයේ අඟය නොදන්නා තඩි මෝඩයෙක් නොවේ . ඔහු බැද්දේගම නවකථාව ගැන කිහිප විටක්ම සඳහන් කළා තමාගේ කතාවලදී . ඔහු කෝච්චියේ මාල කැඩූ නුගත් ගැට කපන්නෙක් නොවේ.ඔහු නඩුවලට පෙනී සිටි නීතිඥයෙකි , නිකම්ම නිකම් නීති විභාගය සමත් වූ කෙනෙක් නොවේ.ඔහු ලතින් භාෂාව දැන සිටියේය, ඔහු සාහිත්‍යය පහත් කොට කතා කළේ . බුද්ධිමතුන් තමාගේ දුර්දාන්ත පාලනයට අවහිරයක් වන නිසාය.ඔහු සාහිත්‍යය සහ ඉතිහාසය පාසැල් අධ්‍යාපනයෙන් ඉවත් කළේ මාර්ටින් වික්‍රමසිංහ මහතා නිතරම සදහන් කළ මුල් සිඳගත් පරපුරක් බිහි කරලීමටය . අද වෙන විට එහි ප්‍රතිපල අපට පෙනේ. සශි ඔබ කියන කතාව සත්‍යකි . විශ්ව විද්‍යාල ඇදුරන්ට ව්‍යාකරණ බැරිය.හොදම උදාහරණය . සුනිල් ආරියරත්නයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

සාමීචිය

මෙි රටෙි පුරවැසියෝ යටත්වැසියෝ
2024 ජුලි මස 16 525 0

විභවි සංස්කෘතික ඇකඩමියේ පුරෝගාමී ක්‍රියාකාරයකු වූ ආචාර්ය සුනිල් විජේසිරි වර්ධනයෝ මෙරට බුද්ධිමය සංස්කෘතියේ කැපී පෙනෙන බුද්ධිමතෙක් වෙති.කලක් සරසවි


සාහිත්‍ය කප්පාදුවෙන් අසංවෙිදී සමාජයක් බිහිවුණා - කරුණාරත්න අමරසිංහ
2024 ජුලි මස 09 911 1

කරුණාරත්න අමරසිංහ බොහෝ දෙනා හඳුන්නන්නේ කවුරුන් හැටියට ද? ගුවන්විදුලි හඬනළුවකු,සිංහල සංස්කෘත,පාලි භාෂා විශාරදයකු, ගරුවරයකු, දේශකයකු, පරිවර්තකයකු, තිර


එදා අමරසේකර දුටු වල්පැළෑටිය අද පලබර තුරක්
2024 ජුලි මස 02 840 0

ප්‍රවීණ කිවිවර නන්දන වීරසිංහයෝ මෙරට සිටින විශිෂ්ටත ම කවීන් අතළොස්ස අතර ප්‍රමුඛයෙක් වෙති.


එක්ටැම් ගෙවල්වල ඉඳන් නවකතා ලියන්න බැහැ - ගුණදාස අමරසේකර
2024 ජුනි මස 18 640 0

අද මෙරට සිටින ජ්‍යෙෂ්ඨත ම ජීවමාන සාහිත්‍යසූරීහු වන්නේ ගුණදාස අමරසේකරයෝය.ඔවුහු සැබෑ උගත්කමින් මෙන්ම නිසර්ග සිද්ධ ප්‍රතිභා ශක්තියෙන් පිරිපැසුණු අපේ


මාස්ටර් මට සින්දුු නැති කැසට් එකක් දෙන්න !
2024 ජුනි මස 11 803 2

සංගීතයේ විශ්වභාෂී ගුණය සුවිශද කරමින් අගනා නිමැවූම් රාශියක් රසික ප්‍රජාවට දායාද කළ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයෝ සිංහල ගීතයේ සාම්ප්‍රදායික ආකෘතිය වෙනස


හතරවැනි තට්ටුවට ගිය කැරැලිකාර ලේඛකයා
2024 ජුනි මස 04 416 0

සමාජයේ සාම්ප්‍රදායික මතවාද පොඩිපට්ටම් කරමින් නූතනයට ඔබින අදීන මිනිසකු නිර්මාණය කරගැනීමට සාහිත්‍ය වෙනුවෙන් මුළු ජීවිතය ම කැප කළ ටෙනිසන් පෙරේරා මෙරට


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 125 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 992 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1874 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site