IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


රෑට ඇඳ තෙත් කළේ තනිකම් දෝෂයෙන්ද?

 

 

ගෝනගල ගමේ එක්තරා ස්වාමි කෙනෙකු එම ගමේ හා අවට ගම්වලද ප්‍රසිද්ධව සිටියේ ඕනෑම අමනුස්ස හෝ දේව දෝෂයන්ට සහනය ලබාදෙන පුදුම බලයක් ඇති ස්වාමි කෙනෙකු ලෙසය. එම නිසා බොහෝ ඈත ප්‍රදේශවලින් ද ජනතාව මෙම ස්වාමි ගැන දැනගත් වහාම ස්වාමි සොයා එන්නේ තම දුක් කරදරවලට එකම විසඳුම එතුමා පමණක් බව විශ්වාස කරගෙනය.   


කිරි ගහට ඇන්නා වාගේ සාස්තර කීම, අංජනම් බැලීම, හාස්කම් සිදුකිරීම, දෙවියන් උදෙසා යාතිකා කිරීම, ප්‍රේත දෝෂල අමනුෂ්‍ය දෝෂ, නිවෙස්වලට කර ඇති හූනියම්ල අණවින, කොඩිවින ඉවත් කිරීම හා මෙකී නොකී ඕනෑම දෙයකට ස්වාමි නම් දැරූ අයෙකි.   


එසේම ග්‍රහදෝෂවලට සහනය ලබාදීම, කනප්පු වහන්සේ මගින් සොරුන් අල්ලා දීම, රෝගීන් සුවපත් කිරීම, නොයෙක් නැකැත්වලට සුභ වේලාවන් ලබාදීම වැනි දේ සඳහා ද මෙම ස්වාමි ප්‍රසිද්ධ නමක් දරයි. එසේම ස්වාමි ගිනි පෑගීමට ද විශේෂ දක්ෂතාවයක් දක්වයි. දහවල් කාලයේදීත් සවස් කාලයේදීත් දෙවියන් උදෙසා පූජාවන් පැවැත්වීම ද ස්වාමිගේ සිරිතකි. මෙවන් වූ විශ්මිත දේ කරන ස්වාමි තමන්ව විශ්වාස කරගෙන පැමිණෙන මිනිසුන්ගෙන් විශාල මුදලක් අය කිරීමට ද පසුබට වන්නේ නැත.   


අනුත්තරාට වයස අවුරුදු දහනවයකි. කටුගස්තොට නගරයේ ජීවත් වන අනුත්තරාලාගේ පවුලේ අයටද ස්වාමි බැහැදැකීමට යාමට සිදුවූයේ අනුත්තරාට නින්දේදී සිහිනෙන් වරින් වර මූත්‍රා පිටවීමේ රෝගයක් හටගත් නිසාය. විවිධ දේ කළ ද මෙම රෝගය සුව නොවුණි. ඇයගේ වැඩිහිටියෝ ඇය ස්වාමි ළඟට ගෙන ආවෝය. උදෑසනම ආහාරවත් නොගෙන ආ ඔවුන් බොහෝ වේලාවක් යනතුරු පෝලිමේ සිටියහ. මල් හා සුවඳ දුම්වලින් පරිසරයම සුවඳවත් වීය. බෙර හඬ තලමින් සීනුව නාද කරමින් ස්වාමි දේවාලය තුළ පූජාවක් සිදුකරයි. මහා හයියෙන් ශබ්ද නගා කරන දේවාරාධනාව ඉතා බියකරුය. විටෙක කුතුහලය දනවන්නකි.   


දේවාරාධනාව අවසන් වූ පසුව ස්වාමි දෙවියන් සමඟ කතා කරනුයේ නොතේරෙන භාෂාවකිනි. විශාල තිරයකින් දේව මන්දිරය ආවරණය කර ඇත. අනුත්තරාගේ වාරය එළඹිනි.   
මේ දැරිවිගේ අධ්‍යාපනය ගැන අහන්න නේද ආවේ” ස්වාමි ඇසුවේය. ‘‘නැහැ ස්වාමි නින්දෙන් දුවට ඇතිවෙන ලෙඩක් ගැන අහන්නයි.” අනුත්තරාගේ මව පවසයි.   
‘‘ඒක හොඳ කරලා දෙන්න පුළුවන්. මොනවද තියෙන රෝග ලක්‍ෂණ” ස්වාමි විමසුවේය. ‘‘දුවට නින්දෙන් මූත්‍රා යනවා. ඒ නිසා දුව ඉන්නේ නිතරම කල්පනා කර කර. එයාගේ අධ්‍යාපනයටත් ඒක බාධාවක්. අනාගතයට බලපාන නිසා ඒක හොඳ කරගන්නයි ඕනෙ” අනුත්තරාගේ මව පැවසුවේ ඉතා භක්ති සම්පන්නව අත්දෙකම එකට එකතු කර වැඳගෙනය.   
ස්වාමි නොතේරෙන භාෂාවකින් දෙවියන්ට යමක් පැවසුවේය. ඉන්පසු ’’දරුවට තනිකම් දෝෂයක් බලපාලා තියෙනවා. බදාදා දවසක දෙවියන්ට පූජාවක් තියන්න ඕනේ කියලා කඩවර දෙවියන් කියනවා. ඉන්පසුව පේනයෙන් කියන දේ කරන්න ඕනේ” ස්වාමි අනුත්තරාගේ පවුලේ අයට කීවේය.  


අනුත්තරාගේ දෙමව්පියෝ එයට කැමැති වූහ. ‘‘කීයක් වගේ වියදම් වෙයි ද ස්වාමි” අනුත්තරාගේ පියා ඇසීය. ‘‘ඒක දෙවියන් තමයි කියන්නේ කීයක් යයිද කියලා. අපි අහමු දෙවියන්ගෙන්” ස්වාමි නැවත දෙවියන් සමඟ නොතේරෙන භාෂාවෙන් කතා කළේය. ‘‘හ්ම්... තිස්පන්දහක්’ ස්වාමි හිස සොලවමින් පැවසීය.   
අනුත්තරාට රෑ නින්දෙන් මූත්‍රා පිටවීම ඇයට මානසික පීඩාවක් ඇති කරන්නක් විය. උස් මහත් වූ අනුත්තරාට එය විශාල ලජ්ජාවකි. දියණියට බලපා ඇති තනිකම් දෝෂය ඉවත් කිරීම සඳහා ස්වාමි කිවූ කඩවර පූජාව හා පේනය බැලීමටත් අනුත්තරාගේ මාපියෝ ඒ සඳහා දිනයක් හා වේලාවක් ද වෙන්කර ගත්හ.   
දේව පූජාව සඳහා බඩු ලැයිස්තුවේ ඇතුළත්ව තිබෙන සියලු බඩු ලැහැස්ති කෙරුණි. රාත්‍රී දහයට පමණ පූජාව පැවැත්විණි. මහා ගිනි ජාලාවක් දල්වා මහ හයියෙන් කෑ ගසමින් ස්වාමි සැමගේ කුතුහලය හා භීතිය දනවන අයුරින් යාතිකා කරයි. එයට සහය දක්වන අයෙක් බෙර හඬ තලයි. පැය තුනක කාලයක් පැවති පූජාව හමාර විය.   


‘‘දැන් ඉතින් හොඳට නිදාගන්න පුළුවන්. ආයෙත් මූත්‍රා පිටවෙන්නෙ නෑ නින්දෙන්” අලුයම වනවිට ස්වාමිගේ දේවාලයෙන් පිට වූ පිරිස නිවස එනවිට උදෑසන විණි.   
නමුත් පසුදා අනුත්තරාට නින්දෙන් මූත්‍රා පිටවිනි. දින තුනක් පමණ තත්ත්වය බලා එම දින කීපයේදීම පුරුදු පරිදි නින්දෙන් මූත්‍රා යෑම සිදුවූ නිසා අනුත්තරා කැටුව මාපියෝ ස්වාමි සොයා ගියේය. ‘‘ස්වාමි අපේ දුවට ඊයේ රෑත් පුරුදු විදියටම මූත්‍රා ගියා නින්දෙන් දුවට සුවයක් වෙලා නෑ” අනුත්තරාගේ මව කනගාටුවෙන් පැවසුවාය.   


‘‘පත්තිනි මෑණියන්ට භාරයක් වෙන බවට පොරොන්දු වුණා නේද ඒක කළේ නෑනේ. ඒකටත් දිනයක් දාගන්න වෙයි” ස්වාමි ගණනකටවත් නොගෙන අනුත්තරාගේ දෙමාපියන්ට පැවසීය. ‘‘අනේ ස්වාමි අපිට ඒ වගක් කීවේ දැන්නේ. එතකොට ඒකටත් වියදම් කරන්න වෙයි ද අපිට” අනුත්තරාගේ මව විමසීය. ‘‘ඔව් ඒකටනම් වැඩිය යන්නේ නෑ. රුපියල් අටදහක් වියදම් වෙයි. පළතුරුවලටයි අනිත් අඩුම කුඩුම වලටයි මගේ ගාස්තුවත් එක්කම” ස්වාමි නැවත කීය. ‘‘හ්ම් ඒකත් කරමුකො එහෙනම්” අනුත්තරාගේ පියා එකඟ වූයේ වෙන කළ යුතු යමක් නොමැති නිසාය.   
සතියකින් පමණ පත්තිනි මෑණියන්ට පූජාවක් තබා භාරයක් වීමට තිදෙනාම පිටත් වුනේ ස්වාමිගේ දේවාලය වෙතය. එදින සවස පත්තිනි මෑණියන්ට අනුත්තරා වෙනුවෙන් පූජාවක් පැවත්වීය. ‘‘දැන් මේ දේව දියණියට යහපතක් සෙතක් සහනයක්ම උදාවෙනවා ඒකාන්තයි” ස්වාමි කීවේය.   


විශාල මුදලක් වැය කර පූජාවන් සිදු කළද තම දියණියගේ තනිකම් දෝෂය දුරු නොවීම නිසා අනුත්තරාගේ දෙමාපියන් බෙහෙවින්ම මානසික පීඩාවට පත්විය. මුදල් වියදම් වුවද දියණියට යහපතක් වූවානම් හිතට සහනයකි. නමුදු දෝෂය එලෙසම තිබියදී මුදල් පමණක් වියදම් වී ඇත. සිදුවූ යහපතක්ම නැත. තව තවත් මුදල් වැය කර මෙවැනි දේ කිරීමෙන් වැඩක් නොමැති බව වැටහුණි. නමුදු ස්වාමි ගැන අසන්නට ලැබුණු දේවල්වලින් කිසිඳු ප්‍රයෝජනයක් තමනට සිදුනොවූ බව නම් පැහැදිලිය. දැන් කුමක් කරම්දැයි අනුත්තරාගේ දෙමාපියන් කල්පනා කරති. වරින් වර ස්වාමි සොයා යාමටද නොහැකිය. ස්වාමි තව තවත් පූජාවන් සිදු කළ යුතු බව පැවසුවහොත් එයට මුදල් ද නොමැත.   


මෙසේ කාලය මාස කීපයක් ගෙවුණි. මේ කාලය දක්වාම අනුත්තරාගේ නින්දෙන් මූත්‍රා පිටවීමේ නැවතීමක් සිදු නොවුණි. එම නිසා අනුත්තරා බොහෝ මානසිකව පීඩා වින්ඳාය. මෙය අනුත්තරාගේ පියා ඔහුගේ මිතුරෙකු හට පැවසීය. මේ හේතුව නිසා තම දියණිය ඉතා මානසික පීඩාවකට පත්ව ඇති බවත් කරපු කිසිම දේකින් ඵලක් නොවුනු බවත් ඔහු තම මිතුරාට පැවසුවේ ඉතාම කනගාටුවෙනි. මේ නිසාම නිරන්තරයෙන්ම නිවාඩු ලබා ගැනීමට සිදුවූ බවත් පැවසුවේය. තම දියණිය අධ්‍යාපන කටයුතු සඳහා තිබුණු උනන්දුව ද මේ නිසාම අත්හැර ඇති බව ද පැවසීය. තම කුළුපගම මිතුරා පත්වී ඇති මානසික ගැටලුවට එකම විසඳුම ඇත්තේ ශ්‍රී ලංකා ස්වාපන විද්‍යාවේදීන්ගේ සංගමයේ වත්මන් සභාපති මනෝ චිකිත්සක, වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා ළඟ බව පැහැදිලි වූ මිතුරා අනුත්තරාගේ පියාට අනුත්තරාව වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතාට යොමු කරන ලෙස පැවසුවේය.   


එලෙස අනුත්තරා වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා වෙත යොමු කෙරුණි. නොයෙක් ආකාරයෙන් අනුත්තරාගේ රෝගය සුව කිරීමට කටයුතු කළ බවත්, ස්වාමි කළ සියලු දේත් අනුත්තරාගේ වැඩිහිටියෝ විද්‍යාකුලපති මහතාට පැවසූහ. අනුත්තරාගේ සියලු විස්තර විමසා බැලූ වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා අනුත්තරාගේ රෝගය කුමක්දැයි ඔවුන්ට පැහැදිලි කර දුන්නේ මෙසේය.   
Bet Wetting නම් වූ තත්ත්වයක් තමයි දියණියට ඇති වී තිබෙන්නේ. මෙය සමහර දරුවන්ට ඇති වන තත්ත්වයක්. මෙය හොල්මන් හෝ තනිකම් දෝෂ නිසා ඇති වන්නක් හෝ දෙවියන්ට කන්නලව් කර සුව කරගත හැකි තත්ත්වයක් නොවේ.   


දැඩි අසහනයට පත්වී සිටි අනුත්තරාට වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතාගෙන් විසඳුම් ලැබුණි. අනුත්තරාගේ රෝගය සුවපත් විය.   


මෙහිදී ස්වාමි පිළිබඳව ද වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා මෙසේ පැවසුවේය. මොහු මායා රෝගියෙකි. මොහු කරන්නේ අසරණ වී දේව පිහිට සොයා එන මිනිසුන්ව රවටා තම ගතමනාව ලබා ගැනීමකි. මොහුට ඇති දේව වරමක් හෝ බලයක් නැත. මොහු සොයා යන්නන් මිථ්‍යාව පසුපස යන්නන් වශයෙන් හඳුන්වන්න පුළුවන්. මෙසේ වන්නේ ඔවුන්ගේ නොදැනීම නිසායි. ස්වාමි සිදුකරන අමුතු දේවල් නිසා මිනිසුන් සිතුවේ ස්වාමිට පුදුම බලයක් ඇතියි කියායි. ඒ මුලාවූවන් නිසා හෙතෙම විශාල ලෙස මුදල් ගරාගත්තේය. එම නිසා යම්කිසි රෝගයක් ඇති විට වෛද්‍යවරයෙක් වෙත ගොස් උපදෙස් ලබාගැනීම යහපත් වගේම මිථ්‍යා විශ්වාස නිසා මෙවැනි මානසික රෝගී පුද්ගලයන් කරා ගොස් තව තවත් මානසික පීඩාවන්ට පත්වී විනාශ නොවන්න, වෛද්‍ය විද්‍යාව තුළ සියලු රෝගවලට ප්‍රතිකර්ම තිබෙනවා. නැවත මෙවැනි මෝඩ වැඩ කරන්න එපා යැයි විද්‍යාකුලපති මහතා සියලුදෙනාටම පැවසීය.   

 


හබරාදුව නිමල් අල්ගෙවත්ත



අදහස් (0)

රෑට ඇඳ තෙත් කළේ තනිකම් දෝෂයෙන්ද?

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31334 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13544 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11004 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 119 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 942 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site