මහලු මඩමේ දිවි ගෙවන ඈ අපේ අම්මාය

 

 

වැඩිහිටි නිවාස පිරී ඇත්තේ නැති බැරි මිනිසුන් මතම යැයි කිව නොහැක. වැඩිහිටි නිවාසවල බොහෝ ඇති හැකි අය ද පිරී සිටිති. සමහරු වැඩිහිටි නිවාසවල කල් යැවූව ද ඔවුහු කෝටි ප්‍රකෝටිපති දේපළ ඇති මවුපියන් ය. එක්කෝ දේපළ ලියාගන්නට ගොස් වූ අරගලයක ප්‍රතිඵලයකින් මොවුන් වැඩිහිටි නිවාස වෙත යොමු වී ඇත. නැතිනම් දරුවන්ගේ ගුණ යහපත්කම්හි අඩුපාඩුවක් මත ඒ මග උරුම වී ඇත. මේ කොයි හැටි වෙතත් ඔවුහු තනිකම අසරණකම දැඩි සේ අත් විඳිති. දේපළ හා මිල මුදල් බොහෝ දේ තීරණය කරන බව සාමාන්‍යයෙන් කියන මතයකි. එහෙත් දේපළ තියෙද්දීත් වැඩිහිටි නිවාස උරුමවීම එසේ ගත් විට කරුමයක් ද ?  
 මතුරට ධම්මාලංකාර නාහිමියන් කොළඹ අහස යට පවත්වාගෙන යන මෙත්සරණ වැඩිහිටි නිවාසයේ එවැනි කතාවක් වෙත යොමු වෙමු.  


 මේ කතාව අපට කීවේ ධම්මාලංකාර නායක හාමුදුරුවෝ ය.  


 “මේ කියන අම්මා නැති වෙලා වැඩි කාලයක් නෑ. හැබැයි ඒ කතාව මටත් හරි අමුතුයි. මොකද, මේ වගේ දේවල් වෙන්නේ...? කියලා මම තවමත් කල්පනා කරනවා. බුදුදහමට අනුව කර්මය, කර්මඵලය වෙන්න ඕන භෞතිකව මොන දේවල් රැස් කර ගත්තත්, යද්දි ගෙනියන්න භෞතික දේවල් ඉතිරි වෙන්නෙ නෑ. සමහර විට බැඳීම් ඇති කරන් හදපු දරුවො වත් මරණයට ගොඩ වෙන්නෙ නෑ. වැඩිහිටි නිවාසය ඇතුළෙ අම්මල මිය යනවා. දරුවො ආපු නැති මරණ අපි අනන්තවත් දැකලා තියෙනවා. කොතැනක හෝ අපේ අයට වැරදිලා.

   
 “මේ වැඩිහිටි නිවාසයේ හිටියා, මල් හාමිනේ කියලා අම්මා කෙනෙක්. හරිම සිරියාවන්ත කෙනෙක්' පිරිසුදුව ඉන්න දන්නවා. හුඟක් ආගම දහමට ළැදිව කටයුතු කළා. වැඩිහිටි නිවාසයට දානයක් ගෙනාවම සමහරවිට දාන ගේන අයට පින් අනුමෝදන් කරන්නත් මේ අම්මා කටයුතු කළා. අවුරුදු 90 ක් විතර වෙනකල් ඇය ජීවත් වුණා.  


 ඇත්තටම මේ අම්මාට එක දරුවෙක් ඉන්නවා කියලා තමයි අපි දැනගෙන හිටියේ. ඒ දරුවා පුතෙක්. එයා එංගලන්තෙ පදිංචි වෙලා හිටියෙ. මේ පුතා ඉඳහිට මට කතා කරනවා. අම්මාගේ ලෙඩ දුක්, සැප සනීප අහනවා. ඒ අම්මාටත් කතා කරනවා.  


 හැබැයි තව පුතෙක් ඉඳපු බව මේ අම්මා මට කියලා තිබුණේ නෑ. දවසක් දානයක් දෙන්න කිරිබත්ගොඩ පැත්තෙ කට්ටියක් මේ නිවාසයට ආවා. එදා දානෙ දෙන්න ආපු නඩේ හිටපු කෙනෙක් මාව හම්බවෙන්න ආවා.  
 “හාමුදුරුවනේ, අර පේන අම්මා මෙහෙට ඇවිත් ගොඩක් කල්ද ?” මල් හාමිනේ පෙන්වලයි මෙයා එහෙම ඇහුවෙ.  
 “ඔවු... දැන් අවුරුදු හත අටකට වැඩියි..” ආපු මනුස්සයා ටිකක් කල්පනා කළා.  
 “හාමුදුරුවනේ.. ඒ අම්මාගේ ගම අසවල් ප්‍රදේශය නේද ? එයාගේ පුතෙක් එංගලන්තෙ ඉන්නවා නේද ?” කියලා හරියටම ඇහුවා.  
 “මම ඔවු කිවුවා...”  


 “හාමුදුරුවො දන්නෙ නැද්ද.. මේ අසවල් කොම්පැණිය අයිති මහත්තයාගේ අම්මානේ. මම ඒ කොම්පැණියෙ වැඩ. මහත්තයාගේ ගෙදර පොඩි පොඩි ඉලෙක්ට්‍රික්, ජලනළ වැඩ වලට මාව ගෙදර යවනවා. එහෙදි මේ අම්මා තමා ගෙදර හිටියෙ. මහත්තයාගේ නෝනයි, බබාලයි මේ අම්මායි..’  
 “අර සේවක මහත්තයාගෙන් මම ඇහුවා තවම ඔයා ඒ ආයතනයේ වැඩද කියලා..  
 “එයා ඔවු කිව්වා...”  


 “හාමුදුරුවනේ.. මම අපේ සර්ගෙන් ඇහුවා ‘සර් අම්මා කෝ ළඟදි දැක්කෙ නෑනේ කියලා...”  
 ඒ වෙලාවේ සර් මට කිවුවා.. අම්මා නැතිවුණා අවසන් කටයුතු කුරුණෑගල නෑදෑ ගෙදරක කළා කියලා.   
 ඇත්තටම අම්මා නැති වුණා කියලා සර් කිවුවට අපට එහෙම ආරංචියක් ආවේ නෑ.”  
 සේවක මහතා කීවේ රටේ කීර්තිමත් කොම්පැණියක අයිතිකාර පුතෙකුගේ කතාවකි.  
 මේ කාරණය ඇසුවට පස්සෙ මම මල් හාමිනේ ළඟට ගියා. හාමුදුරුවො වදාළහ.  
 “අම්මේ.. අම්මාට පුතාල දෙන්නෙක් ඉන්නවා නේද ? අසවල් කොම්පැණිය කරන පුතා ගැන අම්මා මට කියලා නෑනේ....”  
 ඒ අම්මා ගත් කටටම කිවුවා “ඒකා මගේ පුතෙක් නෙවී. ඌ මට ගැහුවා ඌ තමයි මාව පැන්නුවේ කියලා...”  
 පස්සෙ මම හේතුව හොයලා බැලුවා. ඒ අම්මාට වඩාත් කාරුණිකව කතා කරලා, එහෙම වෙන්න හේතු වුණු පසුබිම බැලුවා.  
 එතකොට මේ අම්මා කියනවා,   


 “අපේ හාමුදුරුවනේ.. මගේ පළවෙනි විවාහයේ මනුස්සයා අකාලෙ මළා. එයාගෙන් ලැබුණු පුතා තමයි එයා කියලා.  
 මම ඒ දරුවාව කොළඹ ලොකු ඉස්කෝලෙකට දාලා ඉගැන්නුවා. විශ්ව විද්‍යාල ඉගෙන ගන්න රටත් ගියා. ලංකාවට ආවට පස්සෙ තමයි එයා ඔය ආයතනය පටන් ගත්තෙ. කෙටි කාලෙකින්ම ඒක දියුණුවට පත් වුණා.  
 මේ පුතා පාසල් යද්දි මම දෙවැනි විවාහයක් කර ගත්තා. ඒකෙන් ලැබුණු පුතා තමයි එංගලන්තෙ ඉන්නෙ.  
 දෙවැනි විවාහයේ මගේ මහත්තයාටත් බිස්නස් තිබුණා. ඒ දේපළ අයිති වෙන්න ඕනෑ දෙවැනි පුතාටනෙ. කොහොම හරි ඒ පුතා රට ගියා. දෙවැනි විවාහයේ මහත්තයාත් නැති වුණා.  
 ඊට පස්සෙ පළවෙනි විවාහයේ පුතා ලංකාවට ආවම නිතරම කළේ දෙවැනි විවාහයේ මහත්තයාට අයිති දේපළ එයාට ලියන්න කියන එක.  
 ’‘අම්මෙ.. අරක මට දෙන්න. මේක ලියන්න කියනවා...”  
 “ඇත්තටම එයා හරි කපටි වැඩ පිළිවෙළක් ගෙනිච්චෙ. මම හිටියේත් ඒ පුතා ළඟ. පොඩි පුතා එංගලන්තෙ ගියා. ලොකු පුතා (පළමු විවාහයේ පුතා) විවාහ වුණා. ගෑනු කෙනාත් ඒ වගේම කපටියි. එයාට ඕනෑ වුණෙත් පොඩි පුතාට අයිති විය යුතු දේපළ ටික කොහොම හරි අර ගන්න. එක කුසේ උපන්නත්, මේ අය කවදාවත් අයියාමලෝ සහෝදරකමක් තිබුණෙ නෑ. විවාහ දෙකක නිසා වෙන්නත් ඇති.”  
 මල් හාමිනේ කියන්නීය.  


 “පොඩි පුතාට අයිති වෙන කිසිම දේපළක් මම ලොකු පුතාට ලිවුවේ නෑ. එහෙම කළා නම් ඒක වරදක් කියලා මට හැඟුණා.  
 මේ හේතුව මුල් කරගෙන ලොකු පුතා සහ පවුල මට ගොඩක් වෙනස්කම් කළා. මගේ වයසවත් තකන්නේ නැතිව ගෙදර වැඩ ගත්තා. දරුවෝ බලන්න, ගේ සුද්ද කරන්න, උයන පිහන වැඩ කර ගත්තා. සමහරදාට අසනීප වුණාම දොස්තර මහත්තයෙක් චැනල් කරලා පෙන්නුවෙ නෑ. කවුරු හරි එක්ක ආණ්ඩුවේ රෝහලකට යවනවා. දවස් තුන හතරක් ආණ්ඩුවේ ඉස්පිරිතාලෙ කවදාවත් පුතාල මාව බලන්න ආවෙ නෑ. ඉස්පිරිතාලෙන් දෙන බත් එක කාල තමයි හිටියේ. මේ විදියට මට බොහෝම දුර්වල සැලකිලි කළා. එයාට හොඳට යමක් කරන්න සල්ලි භාගේ තිබුණත් කළේ නෑ.  
 දවසක් ලොකු පුතාගේ පුංචි දරුවෙක් මගේ කාමරේ ලිස්සලා වැටුණා.  
 “ආච්චි ... ආච්චි... කියාගෙන එද්දි වතුර ටිකක් වැටිලා තිබිලා එතැනදි ලිස්සා වැටුණා.  
 දරුවා පොඩ්ඩක් සීරිලා තුවාල වුණා විතරයි. මේක වුණු වෙලාවෙ ලේලි මට කෑ ගහල අතින් පයින් ගැහුවා, ළමයාව වැට්ටුවා කියලා.  
 එදා දවල් පුතාත් ගෙදර ආවා. ඇත්තම කියනවා නම් ලේලි කෝල් කරලා ලොකු පුතාව ගෙන්නුවේ.  
 ලොකු පුතා ආපු ගමන් කීවේ... “උඹ අපෙන් ගන්න ඕන පලිය ළමයින්ගෙන් ගන්නවා නේද ?” කියලා. එයත් මට පාරවල් කීපයක් ගැහුවා.  
 ඊට පස්සෙ මම කාටවත් නොකියා ගෙදරින් එළියට බැස්සා. මහ මඟට..  
 ඔහෙම යද්දි තමයි මේ වැඩිහිටි නිවාසෙට මං ආවෙ.  


 මල් හාමිනේ මහ මඟට වැටී දින ගණනක් බස් හෝල්ට් ගානේ උන්නාය. සමහර දාට නිරාහාරව ඉන්නට වූවාය. දැඩි ගින්දරවන් අවු රශ්මියයටත්, රාත්‍රියට අධික සීතලේ වෙවුලමිනුත් දින කීපයක් කොළඹ අවට විසුවාය.   
 එසේ සිටින අතරතුර වැඩිහිටි නිවාසයේ පිහිට ඇයට ලැබිණි.  
 මල් හාමිනේ තොරතුරු විමසද්දී ඇය වැඩිහිටි සෙවණට කීවේ එංගලන්තයේ වාසය කරන පුතු ගැන පමණි. පසුව හාමුදුරුවෝ එංගලන්තයේ සිටින පුතුට කතා කළහ.   
 ’‘අම්මා ගැන තොරතුරක් ඇසීමෙන් පුතාට යම් සතුටක් දැණිනි.   
 “හාමුදුරුවනේ, අම්මාව බලාගන්න. මම අම්මාව බලන්න ලංකාවට ආවම එන්නම්..”  
 ඊට වඩා දෙයක් රට ඉන්න පුතා කිවුවේ නෑ. මේ විදියට අවුරුදු කීපයක් ගත වුණා. එක දවසක් රට ඉන්න පුතා ඇවිත් අම්මාව බලලා ගියා.  
 වැඩිහිටි නිවාසයට පොඩි මුදලකුත් පරිත්‍යාග කළා. අම්මටාත් ඇඳුම් වගයක්, කන බොන ජාති ටිකක් එහෙම ගෙනැත් දුන්නා.  
 එයා ආයෙත් එංගලන්තෙ ගිහින් අවුරුදු ගාණක් යනකල් ආවෙ නෑ.  
 දවසක් මේ මල් හාමිනේ අම්මාට බොහෝම අසනීප වුණා. අපි ඇයව කොළඹ රෝහලේ නතර කළා. වයසත් වැඩි නිසා මල් හාමිනේ දවසින් දවස එන්න එන්නම ලෙඩේ නරක අතර පෙරළුණා.  
 මම මේ ගැන එංගලන්තෙයේ ඉන්න පුතාට කතා කරලා කිවුවා.  
 එයා කිවුවා. “හාමුදුරුවනේ මම කොහොමත් අනිද්දා ලංකාවට එනවා. ඒ ආවම අම්මාව බලන්න එන්නම් කියලා.”  
 පුදුමේ කියන්නෙ මහත්තයෝ මල් හාමිනේ අම්මා අනිද්දා කිවුව දවස වෙනකල් හිටියා. එදා උදේ පුතා ඇවිත් ලංකාවට ගොඩ බහිද්දිම ඒ අම්මා මේ ලෝකය හැර ගියා.  
 ඒ අම්මාගේ මූණ බලන්නවත් අර දරුවාට බැරි වුණා.   
 මේ තමයි, පවු වැඩෙන, පවු ගෙවෙන විදිය. එදා මම අර පුතාට කතා කළා.  
 “මහත්තයෝ මල් හාමිනේ අම්මා නැති වුණා කියලා.   


 පුතා මට කිවුවා.  


 “හාමුදුරුවනේ. අම්මාගේ මිනිය දවසක් තියා ගමු කියලා. ඒ අනුව අපේ අනෙක් පන්සලේ බණ මඩුවේ මල් හාමිනේ අම්මාගේ මිනිය දවසක් තැන්පත් කරන්න සූදානම් කළා.”  
 මිනිය පන්සලට ගෙනාවම අර පුතා මට කතා කරලා පන්සලට ආවා.  
 ඒ පන්සල තිබුණ වත්ත ළඟ කුණු කානු සහ කසළ ගොඩ ගැසීමක් නිසා දුගඳ හැමීමක් තිබුණා. එතැන දුගඳ නිසාද මන්දා පුතා ඇවිත් මිනිය බලලා ගියා.  
 “මේ පන්සල වටේ හරි ගඳයි නේද හාමුදුරුවනේ කිවුවා. එදා විනාඩි 15 - 20 ක් වගේ පන්සලේ ඉඳලා ගිය මේ පුතා අවසන් කටයුතු කරන වෙලාවෙවත් ආවෙ නෑ.  
 අවසන් කටයුතු වෙලාව පමාවෙන නිසා පුතා දීලා ගිය අංකයට මම කෝල් ගත්තා. ඒ අංකය වැඩ කළේ නෑ. පසුව ගත්තා. ඒත් නාද වුණත් එයට කතා කළේ නෑ.  
 ඒ අයට අම්මාව එපමණටම එපා නම්, අපි වෙන මොනවා කරන්නද මහත්තයෝ.  
 පසුව අපි එකතු වෙලා මල් හාමිනේ අම්මාගෙ අවසන් කටයුතු කළා.  


 මල් හාමිනේ අම්මා දරුවන් දෙදෙනෙක් තම කුසින් වැඩූ දයාබර අම්මා කෙනෙකි. ඒ අම්මා මුළු ලෝකයක් දරුවන්ට පෙන්වූවත්, ඒ ලෝකයේ හරි මාවතක් ඒ දරුවෝ නොදුටූහ.  
 ඇගේ අවසන් කටයුතුවලට එක් දරුවෙක්වත් ළඟපාත නැතිව මල් හාමිනේ අම්මා නිහඬවම යන්නට ගියා.  
 පැමිණි දරුවා වුව අම්මාගේ දේහය බලන්නට පැමිණ විමසුවේ පරිසරයේ පැවැති කුණු දුගඳ පමණි. ඒ දරුවන්ට තමන්ගේ හදවතේ කිළිටි බවත්, හදවතේ දුගඳත් දැනුණේ නැත.  
 කොම්පැණිය හිමි පුතා මරණයට ආවේම නැත. දේපළ, දරුවන්, ධනය, මේ කවරක් තිබුණත් අනාගතයේ දවස ඇත්තටම අවිනිශ්චිතය.  
 මල් හාමිනේ අම්මාගේ කතාව නිශ්චය කර දෙන්නේ මේ ලෝකයේ සියලු දේම අවිනිශ්චිත බවය.   
 මහ මැදුරෙන් මහ මඟටද මහ මගින් වැඩිහිටි නිවසට ද ගලා ගිය මල් හාමිනේ මාතාව අද නැත. එහෙත් මල් හාමිනේ මාතාවගේ කතාව ඇති ආදරණීය අම්මලා තව බොහෝ ඇත. දරුවන්ට රට රාජ්‍ය පමණක් නොව මහ මැදුරු උරුම කළත් ගුණයක් නැත්නම් ඒ කවුරු කවුරුත් වළපල්ලට ය. මවුපියෝ ද එමගම ය. 

 

 

 සටහන   
 අසංක ආටිගල