IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


මිහිපිට ඇති ප්‍රීතිමත් ස්ථානය ඩිස්නිලන්තය


තීම් පාක්, නොඑසේ නම්, තේමා උද්‍යානයක් යනු, විනෝදාස්වාදය සහ නෙතට රසඳුනක් මවන බොහෝ දේ ඇති ස්ථානයකි. ළමයින් වෙනුවෙන් තේමා කරගෙන නිර්මාණය වුව ද, මෙම උද්‍යාන යනු මුළු පවුලටම විනෝදය සහ ආස්වාදය ලැබිය හැකි සොඳුරුතම තෝතැන්නකි. එනයින් ගත් කල ඩිස්නිලන්තය යනු, පොඩිහිටියන්ට මෙන්ම වැඩිහිටියන්ට රිසි සේ සිතු සේ බොහෝ දේ නරඹා විනෝදාස්වාදය සහ සතුට ලැබිය හැකි, වඩාත් ආකර්ෂණීය ස්ථානයකි. තවත් විදිහකින් කිවහොත්, ඩිස්නිලන්තය යනු, මිහිපිට ඇති සැණකෙළි අසිරිය රැගත් සොඳුරුතම පාරාදීසය වේ. එහි ඇති සුවිශේෂත්වය වන්නේ වැඩිහිටියන් ළමුන් සමග එක්වී විවිධ ඉසව් වෙනුවෙන් සහභාගි වී ඒවා නරඹා විනෝදාස්වාදය ලබා ගැනීම වෙනුවෙන් වූ බොහෝ දේ කිරීමට ලැබෙන නිසාය. තවත් විදිහකින් කිවහොත්, ඩිස්නිලන්තය යනු, සොඳුරු මිහිරි දේ නරඹා, විවිධ ඉසව්වලට දායක වී ආස්වාදය ලැබිය හැකි වෙනමම ලෝකයක් බඳු උද්‍යානයකි. ඒ සිහින ලෝකයේ සැරිසැරීම යනු ජීවිතයේ ලබන දුර්ලභ අවස්ථාවක් වන්නේය. ඩිස්නි නාමය යටතේ ඇත්තේ, ‘ඩිස්නිලන්ත’ පමණක්ම නොවේ. ඩිස්නි චිත්‍රපට සහ සමරු නිර්මාණ ඇතුළු බොහෝ දේ ඇත.

ඩිස්නිලනත්ය මැවූ ඩිස්නි කවුද?

වෝල්ට් ඩිස්නි, උපත ලැබුවේ 1901 දෙසැම්බර් 5 වැනිදා ඇමෙරිකාවේ චිකාගෝහි, ඉලිනොයිස් නගරයේදීය. ‘ඩිස්නි’ සමාගම ලෝකයට දායාද කළ අපූරු නිර්මාණ ශිල්පියා ඔහුය. සජීවිකරණ ශිල්පියකු, චිත්‍රපට නිෂ්පාදකයකු සහ ව්‍යවසායකයකු වූ වෝල්ට් ඩිස්නි හට සජීවිකරණ නිර්මාණ කලාව සහ කාටුන් චිත්‍රපට නිෂ්පාදන කලාව වෙනුවෙන් පුරෝගාමී මෙහෙවරක් ඉටු කිරීමට හැකි විණි. 1928 දී ස්ටීම් බෝට් විලි යන ශබ්ද සහිත කාටුන නිර්මාණය ලෝකයට මුලින්ම හඳුන්වා දුන්නේ ඔහුගේ නිෂ්පාදනයක් ලෙසය. මුල්ම සජීවිකරණ චලන රූප නිර්මාණය හඳුන්වා දුන්නේ ද ඔහු විසිනි. ස්නෝ වයිට් ඇන්ඩ් ද සෙවන් ඩිවාර්ෆ්ස් (1937) එම චිත්‍රපටයයි. විනෝද උයනක් ලෙස ‘ඩිස්නිලන්තය’ නමින් සංකල්පයක් ලෝකයට ගෙන ආවේ ද ඔහුය. ‘වෝල්ටර් එලියාස් ඩිස්නි’ නම් වූ ඔහු නිර්මාණ කලාවේදී හැඳින්වූවේ වෝල්ට් ඩිස්නි නමිනි. හඬ නළුවකු ලෙස ද එදා හේ ප්‍රකට විය. ළමයින්ගේ සිනමා කලාවට මෙන්ම විනෝදාස්වාදය සඳහා වූ ‘ඩිස්නි උයන්’ වැනි වින්දනීය ලෝකය ඔහු හැඩ කළේ නෙතට වඩාත් ප්‍රිය උපදවන වර්ණයන් සහිතවය.

ඩිස්නි මැවූ වඩාත් ප්‍රකට වූ සජීවිකරණ සිනමා හා කාටුන් නිර්මාණ

ඩිස්නි චිත්‍රපට සමාගම නිර්මාණය කළ සජීවිකරණ කාටුන සිනමා නිර්මාණ අතර, පිනෝකියෝ, සූටෝපියා, වන් හන්ඩ්‍රඩ් ඇන්ඩ් වන් ඩැලිමේෂියන්ස්, සින්ඩරෙල්ලා, ස්නෝවයිට් ඇන්ඩ් ද ඩිවාර්ෆ්ස්, මොආනා, ඇලඩින්, ඩම්බෝ අතිශය ජනප්‍රිය වූ ඒවා මෙන්ම ඉහළ ආදායමක් ලැබූ නිර්මාණ වේ. මේ සියල්ල අභිබවා යමින්, 2024 කරළියට ආ සජීවිකරණ සිනමා නිර්මාණයක් ලෙස මුදාහැරුණ, ඉන්සයිඩ් අවුට් 2 (Inside Out 2) නිෂ්පාදනය කළේ පික්සර් ඇනිමේෂන් ස්ටුඩියෝස් සමාගම වෝල්ට් ඩිස්නි පික්චර්ස් සමාගම වෙනුවෙන් වීම ද විශේෂත්වයකි. ‘කමිං ඔෆ් ද ඒජ්’ චිත්‍රපටයේ සජීවිකරණ නිර්මාණය ලෙස Inside Out 2 නිර්මාණය කර ඇත.

ඩිස්නිලන්තය බිහි වූ හැටි

සැන්ටා මොනිකා කඳුවැටිය අයත් වන්නේ කැලිෆෝනියා - ලොස් ඇන්ජලීස් පළාතට අයත්, ලොස් ෆෙලිස් නමැති කඳුකර ප්‍රදේශයටය. මෙහි නැගෙනහිර කෙළවරට වන්නට, ග්‍රීෆිත් නමැති උද්‍යානය පිහිටා තිබේ. දිනෙක වෝල්ට් ඩිස්නි මෙම උද්‍යානයෙහි ඇති සතුන්වත්ත සහ තවත් ස්ථාන නැරැඹීමට ගියේ තම දියණියන් දෙදෙනා වන ඩියෑන් සහ ෂැරෝන් සමගය. දියණියන් දෙදෙනා විනෝදයෙන් ගත කරමින් සිටි අවස්ථාවේ ළමයින්ට මෙන්ම වැඩිහිටියන්ට එක සේ සතුටු විය හැකි ආකර්ෂණීය උද්‍යානයක් තැනීමේ අදහස ඩිස්නි හට ඇති වූයේ එහිදී යැයි සඳහන් වේ. පසු කලෙක එය මිකී මවුස් උද්‍යානය ලෙස නිර්මාණය කිරීමේ මූලික සංකල්පය අනුව ඔහුගේ ඩිස්නි නිෂ්පාදනාගාරයට යාබද ඉඩමක ආකර්ෂණීය බව රැගත් උද්‍යානයක් ලෙස පිහිටුවීමට ඔහුට හැකි විණි. ඔහු හිතුවාට වඩා මෙම සංකල්පය තව තවත් එහාට ගොස්, පසුව මෙම ‘ඩිස්නිලන්තය’ නිර්මාණය වීම එහි අවසන් ප්‍රතිඵලය දක්වා දුරදිග ගියේය. වෝල්ට් ඩිස්නි සමාගමට අයත් ප්‍රථම ‘ඩිස්නිලන්තය’ විවෘත කෙරුණේ, 1955 ජුලි 17 වැනිදාය. The happiest place on Earth නොහොත් පෘථිවියේ ප්‍රීතිමත්ම ස්ථානය යන තේමාව අනුව එදා එය ලෝකයට විවර වුණි. ලෝකයේ ප්‍රීතිමත්ම ස්ථානය එතැන යැයි හැඳින්වීම සහතිකෙන්ම ‘ඩිස්නිලන්තයට’ කදිමෙට ගැළපෙන්නකි. ළමා වැඩිහිටි හැමෝම තම ජීවිත කාලයේදී ලබන විස්මයජනක වූත්, ආස්වාදජනක වූත් අත්දැකීම එයම යැයි කිව හැකිය.

ලෝකයේ ‘ඩිස්නිලන්ත’ ඇති නගර

ලෝකයේ රටවල් පහක ඩිස්නිලන්ත 7ක් ඇතැයි සඳහන් වේ. වෝල්ට් ඩිස්නි වර්ල්ඩ් රිසෝට් (ෆ්ලොරිඩා), ඩිස්නිලන්ඩ් පාක් (කැලිෆෝනියා), ටෝකියෝ ඩිස්නිලන්ඩ් (ජපානය), ටෝකියෝ ඩිස්නි සී (ජපානය), හොංකොංහි ඩිස්නිලන්තය, ඩිස්නිලන්ඩ් පැරිස් (ප්‍රංශය), ඩිස්නිලන්ඩ් ෂැංහායි (චීනය) යන ස්ථානයන්හිදී ‘ඩිස්නිලන්ත’ තනා තිබේ. මේවා ඩිස්නි නාමයේ ප්‍රධාන ඩිස්නිලන්ත වන අතර, ඩිස්නි නාමය රැගත් උප ඩිස්නිලන්ත තේමා උද්‍යාන 12ක් පමණ ඇමෙරිකාවේ ඇතැයි සඳහන් වේ. මේවා මුදල් උපයන උල්පත් මෙන් වූ ස්ථාන වන්නේ ලොව නන් දෙසින් සංචාරකයන් පැමිණෙන නිසාය.

ජපානයේ ඇති ඩිස්නිලන්තය සහ ඩිස්නි සී (Disney Sea)

ඇමෙරිකාව, හොංකොං, ප්‍රංශය සහ චීනයේ ඇති ඩිස්නි පාරාදීසයන්ට වඩා ජපානයේ ඩිස්නිලන්තය සහ ඩිස්නි සී (Disney Sea) ලෝකයේ බොහෝ දෙනා අතර වඩා ජනප්‍රියව ඇති තේමා උද්‍යාන ලෙස සඳහන් කළ හැකිය. ඊට හේතුව ඩිස්නිලන්තයක් පමණක් නොව, ඩිස්නි සී හෙවත් ඩිස්නි මුහුද නමින් තේමා උද්‍යානයක් ද තිබීම නිසාය. ‘ඩිස්නි සී’ යනු අමුතුම ලෝකයකි. හැන්දෑවේ එහි පැවැත්වෙන ආලෝක සංදර්ශනය යනු ලෝකයේ වෙනත් කිසිම තැනකදී දක්නට නොලැබෙන අන්දමේ විචිත්‍රවත් සංදර්ශනයකි. එම අපූරු සංදර්ශනය පවත්වන්නේ ‘මධ්‍යධරණී වරාය’ නමින් ඇති ස්ථානයේය. එම මධ්‍යධරණී වරාය අවට ඇති ගොඩනැගිලි සහ එම කලාපය අලංකාර නගරයක චිත්‍රයක් මවයි.

මිස්ටීරියස් අයිලන්ඩ් (අද්භූත දූපත) වෙත යන සංචාරකයන්ට ත්‍රාසය කුතුහලය පිරි ආස්වාදයක් ලැබිය හැකිය.

මර්මේඩ් ලැගූන් (Mermaid Lagoon) යනු අතිශය වර්ණවත් සහ වෙනස් ආකෘතියේ ස්ථාන ඇති තැනෙකි.

ඇරබියන් කෝස්ට් - හෙවත් අරාබි වෙරළ කලාපය අරාබියානු හැඩයෙන් යුතු අලංකාර ගොඩනැගිලිවලින් සහ ක්‍රියාකාරකම් වෙතින් සමන්විතය.

ඒවාට අමතරව ලොස්ට් රිවර් ඩෙල්ටා, පෝට් ඩිස්කවර්, ඇමෙරිකන් වෝටර් ෆ්‍රන්ට්, ෆැන්ටසි ස්ප්‍රිංග්ස් ආදි ස්ථාන නැරැඹීමට නම් මුළු දවසම ප්‍රමාණවත් නොවේ. ‘ඩිස්නි සී’ වෙත පැමිණෙන අය ඒ අවට හෝටල වෙන් කරගන්නේ දින ගණනාවක් එහි නැවතී සිට අක්කර 176ක භූමියක පිහිටි සියලු විස්මය දනවන දේ නැරැඹීමේ ආසාව නිසාය.

ටෝකියෝ ඩිස්නිලන්තය

ටෝකියෝ ඩිස්නි සී සිට ඩිස්නිලන්තය වෙත යාමට ගත වන්නේ විනාඩි කිහිපයක් පමණි. මේ උද්‍යාන දෙක ඇත්තේ කිලෝමීටර 3ක පමණ දුරකිනි.

‘වර්ල්ඩ් බසාර්’ කලාපයේ ඇවිද යාමේදී ඔබට ගෙන දෙන්නේ ඇමෙරිකාවේ ගියාක් මෙන් වූ හැඟීමකි. වීදි දෙපස බොහෝ දේ නරඹමින් දවසම වුව ද ගත කළ හැකිය. මේ වීදි ඔස්සේ යන ළමුන් සින්ඩරෙල්ලාගේ මාලිගය නැරැඹීමට නම් අමතක නොකරයි.

ඇඩ්වෙන්චර් ලෑන්ඩ්

කැලිෆෝනියාවට නොගොස් එහි හැඩය දැක ගනිමින් බොහෝ දේ නැරැඹිය හැකිය. කැලෑවක් මැද පිහිටි නගරයක ආස්වාදය සහ ක්‍රියාකාරකම් සහිත ඉසව්වල ආස්වාදය එහිදී ලබාගත හැකිය.

වෙස්ටර්න් ලෑන්ඩ්

වෙස්ටර්න් ලෑන්ඩ් යනු බොහෝ ක්‍රියාකාරකම් ඇති තෝතැන්නකි. රෝලර් කෝස්ටර්, ටොම් සේවියර් දූපත, බිග් තන්ඩර් මවුන්ටේන්, ළමුනට මෙන්ම වැඩිහිටියන් අන්ද මන්ද කරවන බව නම් සැබෑය.

ෆැන්ටසි අයිලන්ඩ්

සිහින නගරයක් මෙන් වූ ෆැන්ටසි අයිලන්ඩ් කලාපය යනු සැබැවින්ම සුන්දර සිහිනයක් දකින්නාක් මෙන් වූ ස්ථාන ඇති තැනෙකි. සින්ඩරෙල්ලාගේ මාලිගය නරඹා පීටර් පෑන් වෙත යන ඔබට අහසේ පියඹා යමින්, තරු අත ගාමින්, සුරංගනාවියක් හමු වෙමින් දුටු දර්ශන ජීවිත කාලය පුරාම මතකයේ රැඳේවි. ඒ විතරක් නොවේ, එහිදී ද පිනෝකියෝ, බියුටි ඇන්ඩ් ද බීස්ට්, ෆැන්ටසි ලෑන්ඩ් ෆොරස්ට් තියටර් නරඹා ආස්වාදය ලැබීමට සහ විවිධ ඉසව්වලට දායක වී ආස්වාදය ලබා ගැනීමට දවසක් නම් මදිය.

ටූන් ටවුන්, ටුමෝරෝව් ලෑන්ඩ් වෙත යන ළමුන් එයින් පිටතට ඒමට නම් කිසි විටෙකත් කැමැති නොවේ. එතරම්ම සතුටක් සඳහා බොහෝ දේ ළමුනට එහි තිබීම ඊට හේතුවය.

ඩිස්නි පෙරහර සහ ගිණි කෙළි සංදර්ශන

ඩිස්නිලන්තය වෙත යන බොහෝ දෙනා රාත්‍රියේ 9.00ට එය වැසීමට පෙර රැඳී සිටින්නේ ඩිස්නි පෙරහරේ සිරි නැරැඹීමටය. ළමුන්ගේ කතාවල එන චරිත සියැසින් දැකගත හැකි ආලෝක රටාවලින් වර්ණවත් වූ මේ පෙරහර, මොන තරම් සොඳුරු ද යන්න වචනයෙන් නම් විස්තර කළ නොහැකිය. මේ පෙරහර අතරවාරයේදී සහ අවසන පෙර පැවැත්වෙන ගිනි කෙළි සංදර්ශන ද අතිශය රමණීය දසුන් මවයි. මේ සියල්ල නැරැඹීමට මේ ලෝකයේ සෑම දරුවකු හටම ඩිස්නිලන්තය වෙත යාමට අවකාශය ලැබේ නම් එය ඔවුනගේ ජීවිතයේ ලැබූ ඉහළම ආස්වාදය වේවි. එමෙන්ම හෙට දින ඔවුන් ලෝකයටම වඩාත් ආදරය කරාවි. ඩිස්නිලන්තය එතරම්ම සුන්දරය. අලංකාරය.


සඳුන් ගමගේ


 



අදහස් (0)

මිහිපිට ඇති ප්‍රීතිමත් ස්ථානය ඩිස්නිලන්තය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 241 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2094 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1596 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site