IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


සමහර විදේශ තානාපතීන් සීමාව ඉක්මවා මට බලපෑම් කළා

(සුනිල් ජයසිරි ලන්ඩන් නුවර සිට)

ඇතැම් මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය රට තුළ තිබෙන නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය වැරැදි ආකාරයෙන් භාවිත කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳ බොහෝ අසත්‍ය තොරතුරු ලෝකයට යන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලන්ඩන් නුවරදී පෙරේදා (17) පැවසීය.

ලබා දෙන නිදහස යහපත් මිනිසුන් විසින් යහපත් ලෙස භුක්ති විඳිද්දී අයහපත් මිනිසුන් එය අයහපත් ලෙස භාවිත කිරීම සමස්ත මානව සමාජයටම බරපතළ ප්‍රශ්නයක් වී ඇතැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

මහනුවර ඇතිවූ සිදුවීමේදී ඇඳිරි නීතිය, හදිසි නීතිය දමමින් රජය අවශ්‍ය පියවර ගනිද්දී මෙරට සිටින තානාපතිවරුන් ඒ සම්බන්ධයෙන් විවේචන එල්ල කරමින් හා සීමාව ඉක්මවමින් කටයුතු කළ බවකී ජනාධිපතිවරයා ඒ කිසිවකට නොසැලී තීන්දු තීරණ ගත් නිසා සිදුවීමට ගිය විශාල විනාශයක්  වළක්වා ගැනීමට හැකිවූ බව ද කීවේය.

ලන්ඩන් නුවර සංචාරයක නිරත වී සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් හමුවූ අවස්ථාවේදීය.

එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේ ද කියා සිටියේය. 

“ඔබ සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක්. පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීමට පැමිණි අවස්ථාවේ එක්සත් රාජධානියේ සිටින ශ්‍රී ලාංකිකයන් වන ඔබව හමුවීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. වැඩබලන මහ කොමසාරිස්තුමා සඳහන් කළ ආකාරයට මෙහි සිටින ලක්ෂ හතරකට ආසන්න වූ ශ්‍රී ලාංකිකයන්ගේ නියෝජිත පිරිසක් වශයෙනුයි මම මේ සන්ධ්‍යාවේ ඔබව දකින්නේ. සියලු දෙනාටම එකම ස්ථානයක කතා කිරීමට, සාකච්ඡා කිරීමට අවස්ථාවක් නොලැබුණත් ඒ සියලු දෙනා නියෝජනය කරන ඔබ වෙනුවෙන් මේ අවස්ථාවේ මේ හමුවීම මා ඉතාමත් වැදගත් කොට සලකනවා. 

ඔබ එක්සත් රාජධානිය තුළ වෘත්තිකයන් වශයෙන් වෘත්තීන්වල, ව්‍යාපාරිකයන් වශයෙන් විවිධ ක්ෂේත්‍රවල සේවය කරනවා. එයින් එක්සත් රාජධානියට ඔබ සේවයක් කරනවා වගේම ඔබේත් මගේත් ආදරණීය මාතෘභූමිය වෙනුවෙන් ඒ කරන සේවාවේ ගෞරවය ඔබ ලබා දෙනවා. විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන් ලෝකයේ කුමන රටක කුමන ආකාරයේ යහපත් වූ සේවාවක සිටියත් ඔවුන්ගේ පෞද්ගලික ජීවිතයේ සාර්ථකත්වය තවත් පැත්තකින් ඔවුන් සිටින රාජ්‍යයේ සාර්ථකත්වය එමෙන්ම ආදරණීය මවුබිම වෙනුවෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔවුන්ගේ සේවාව තුළ ඔවුන් පෙන්වන විවිධ හැකියාවන්, දක්ෂතාවන්, විශිෂ්ටත්වයන් පෙන්නුම් කිරීම අපි කවුරුත් දකින දෙයක්. 

ශ්‍රී ලාංකිකයන් ලෝකයේ සෑම ක්ෂේත්‍රයකම උගතුන්, බුද්ධිමතුන්, විද්‍යාඥයන්, විශේෂඥයන්, බහුශ්‍රැතයන් විවිධ ක්ෂේත්‍රවල විද්වතුන් වශයෙන් කටයුතු කරනවා. එසේ කටයුතු කිරීම මගින් අපේ ආදරණීය මාතෘභූමියට ඒ සියලු දෙනා ලබා දෙන්නාවූ ගෞරවය අපිට කිසිවිටකත් අමතක කරන්න පුළුවන්කමක් නැහැ. ලෝකයේ විවිධ රටවල්වල විවිධ ජාතීන් අතරේ ශ්‍රී ලාංකිකයන් සැමවිටම කැපී පෙනෙන හැකියාවන් සහ දක්ෂතාවන් පෙන්නුම් කරනවා. දීර්ඝ කාලයක් සිටින ශ්‍රී ලාංකිකයන්ට ශ්‍රී ලංකා රජයේ ගෞරවය අපි පිරිනමනවා. 

ඔබ මෙහි ජීවත් වූවත් අපගේ මාතෘභූමිය පිළිබඳ තොරතුරු ඔබ දන්නවා. නමුත් කොතෙක් දුරට නිවැරැදි තොරතුරු ඔබ වෙත ගලා එනවා ද යන්න පිළිබඳව ප්‍රශ්නයක් තිබෙන බව මම දකිනවා. අදත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් මා හමුවීමට පැමිණ සිටියා. බොහෝ වේලාවට පෞද්ගලික සහ සංවිධාන වශයෙන් හමුවී කතා කරනවා. එම සාකච්ඡා මගින් මා අවබෝධ කරගත් කරුණක් වන්නේ, මොනතරම් වැරදි තොරතුරු ඔබ අහනවා ද දකිනවා ද කියන කාරණාව.

අන්තර්ජාලයෙහි තිබෙන ප්‍රකාශන, ප්‍රවෘත්ති තුළ පැහැදිලි ලෙසම සියයට 75කට වඩා තිබෙන්නේ සත්‍යයෙන් තොරවූ දේවල්. අසත්‍ය වූ දේවල්. නිමල් සිරිපාල ඇමතිතුමාත් මමත් අද සාකච්ඡා කිහිපයකම එකට වාඩි වුණා. ඇමැතිතුමාත් ළඟ සිටි නිසා සමහර දේවල්වලට මට සාක්ෂි ඉදිරිපත් කිරීමට හැකියාව ලැබුණා. 

පසුගිය දිනවල අපේ රටේ මහනුවර ප්‍රදේශයේ ඇතිවූ සිංහල - මුස්ලිම් ගැටුම්වලදී සිදුවූ සිද්ධීන් සහ එම පසුබිම් පිළිබඳව සත්‍යයට වඩා කොතරම් අසත්‍ය දේ පැතිර ගොස් තිබෙනවාද. එමෙන්ම රජය කළ කාර්යයන් පිළිබඳව නිවැරැදි තොරතුරු මොනතරම් අඩුවෙන් වාර්තාවී තිබෙනවාද. වැරැදි තොරතුරු මොනතරම් වේගයෙන් විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන්ට ලැබී තිබෙනවා ද කියන කාරණාව මම දැකපු දෙයක්. ඔබ සමහරවිට ඔබේ මවුපියන්ට, ඥාතීන්ට, මිත්‍රයන්ට දිනපතා දුරකතනයෙන් කතා කරනවා ඇති. 

අන්තර්ජාලය හරහා කතා කරනවා ඇති. නමුත් සත්‍යය යටපත්වී අසත්‍යය ඉස්මතුවී අසත්‍යය වේගයෙන් සමාජය තුළ ගලා යාමයි මම දකින්නේ. රටේ සිදුවන දේ පිළිබඳ නිවැරැදි තොරතුරු නොලැබීම සහ නොදැකීම. රජය සිදුකරන කටයුතු සම්බන්ධයෙන් හරිහැටි අවබෝධයක් නොතිබීම වැනි කරුණු ගණනාවක් මම දකිනවා. නව තාක්ෂණික මෙවලම් නිර්මාණය කළ සැබෑ මානවවාදී විශිෂ්ටයන් සහ විද්‍යාඥයන් යහපත් සමාජයක පැවැත්ම, ස්ථාවරත්වය සහ අනාගතය සඳහායි එම මෙවලම් නිර්මාණය කර තිබෙන්නේ. එහෙත් ඒවා මොනතරම් දුරට අයහපත් ලෙස භාවිත වනවාද කියන කාරණය අද අපේ රටට පමණක් නොවේ මුළු ලෝකයම දකින දෙයක්. 

සමාජ වෙබ් අඩවි ඇමෙරිකා එක්සත් ජනපදයට බරපතළ ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. ලෝකයේ රටවල් ගණනාවකට එම තත්ත්වය ඇතිවී තිබෙනවා. මහනුවර ඇතිවූ සිදුවීමේදී පැය කිහිපයක් තුළ අපි රජය විදියට ඇඳිරි නීතිය දැම්මා. හදිසි නීතිය දැම්මා. ත්‍රිවිධ හමුදාව යෙදෙව්වා. සමාජ වෙබ් අඩවි සම්පූර්ණයෙන්ම වසා දැම්මා. දැඩි විරෝධතාවන් මැද තානාපතිවරුන්ට අපේ රටේ සිටින සමහර අයට ලොකු අමාරුවක් හැදුණා මේවා අපි කරන කොට. සමහර අය චෝදනා ස්වරූපයෙන් කතා කරන්න ගත්තා. විදේශීය තානාපතිවරු සීමාවෙන් එහා කතා කරන්න ගත්තා. ඒ කිසිම දෙයකට අපි සැලුණේ නැහැ. බය වුණේ නැහැ. ගන්න තිබුණු තීන්දු තීරණ අපි නිසියාකාරව ගත්තා. රටක් විදියට සිදුවීමට ගිය විශාල විනාශයක් අපිට වළක්වා ගන්න පුළුවන්කම ලැබුණා.

එක්සත් ජාතීන්ගේ අනු සංවිධානයක් ඒ දිනවල වාර්තා කළා ඇමෙරිකාවටත් බැරි වූ දේ ශ්‍රී ලංකා රජය සමාජ වෙබ් අඩවි වසා දැමීම ඉතා විශිෂ්ට විදියට සිදු කළා කියා. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් තවත් අනු සංවිධානයක් කියා සිටියා, මහනුවර සිදුවීමේදී ශ්‍රී ලංකා රජය කළ දේ මියන්මාරයේ පළමුවැනි සිදුවීම ඇතිවූ අවස්ථාවේදී මියන්මාරය කළා නම්, මියන්මාරයේ අද සිදුවන මහා ඛේදවාචකය ඒ රටේ අද සිදුවෙන්නේ නැහැ කියා. 

ජාත්‍යන්තර සංවිධාන සියල්ලම අපි කළ දේ නිවැරදියි කිව්වා. අපේ රටේ මවුපියන්, ඒ වැඬේ ඉතාමත් හොඳයි කියා කිව්වා. මගෙන් ඉල්ලා සිටියා පුළුවන්නම් හැමදාටම වෙබ් අඩවි වසා දමන්න කියා. ළමයි හදා ගන්න බැහැ කියා. අ.පො.ස සාමාන්‍ය/පෙළ හා අ.පො.ස උසස්/පෙළ ලියන ළමයින්ගේ මවුපියන් මට කතා කළා, ටෙලිග්‍රෑම් එව්වා, ලිපි එව්වා ඒ වැඬේ ඉතාමත් හොඳයි කියා. අපි යහපත් සමාජයක් ගොඩනගන්න ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, මූලික අයිතිවාසිකම් එහි තිබෙන අගයන් අපි සෑම කෙනෙක්ම දන්නවා. 

මේ සියලු දේවල්වලින් ලබා දෙන නිදහස යහපත් මිනිස්සු යහපත් ලෙස භුක්ති විඳිද්දී අයහපත් මිනිස්සු ඒවා අයහපත් ලෙස භාවිත කරනවාද යන ප්‍රශ්නය මුළු සමස්ත මානව සමාජයටම බරපතළ ප්‍රශ්නයක්වී තිබෙනවා. තාක්ෂණය සහ මිනිසාගේ නිදහස දියුණු සමාජයකට දීමේදී දියුණු මිනිසුන් යහපත් ලෙස සිය ඥානයෙන්, ප්‍රඥාවෙන් සහ නුවණින් ඒවා භුක්ති විඳිනවා වගේම අයහපත් ලෙස ඒවා භාවිත කරන අය කොතෙක්ද කියා අප දකින දෙයක්. මේ තත්ත්වය අද ඊයේ ඇතිවූ දෙයක් නොවන බවත් ඔබ දන්නවා. 

බුදුන් වහන්සේ බුද්ධත්වය ලබන අවස්ථාවේ මහා භාරතයේ සමාජය තුළ තිබුණු සංකීර්ණ ස්වභාවය ඔබ හොඳින් කියවා ඇතැයි මා විශ්වාස කරනවා. එමෙන්ම මහම්මත්තුමා, ක්‍රිස්තුන්වහන්සේ උන්වහන්සේලා බිහිවූ සමාජ පසුබිම පිළිබඳ යම් අවබෝධයක් ඔබට තිබෙනවා. අනගාරික ධර්මපාලතුමා, හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා බුදු දහම රැක ගැනීම වෙනුවෙන් අතිමහත් වූ මෙහෙවරක් ඉටු කළා. අවසානයේ රට තුළ ඇතිවුණු විවිධ අර්බුදකාරී තත්ත්වයන් නිසා හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා ඇමරිකාවට ගියා. අනගාරික ධර්මපාලතුමත් රට දාලා ඉන්දියාවට ගිහිල්ලා ශ්‍රී ලාංකිකයන් ඉන්න රටේ පැත්තටවත් ඔළුව දාගෙන නිදාගන්නේ නැහැ කියලා කිව්වා. 

ඒ මොකද එදා ඒ සමාජයේ තිබුණු පිරිහීම නිසා. අපේ රටේ ඇතැම් අය හිතනවා දේශපාලන ඝට්ඨන තිබෙන්නේ අපේ රටේ විතරයි කියලා. බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍යතුමිය තෙරේසා මේ මැතිණිය පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවට ආපු රාජ්‍ය නායකයන් හමුවෙන්න නියමිතව තිබුණේ අද දහවල් 12.00 ට පමණ. නමුත් පාර්ලිමේන්තුවේ තිබුණු තත්ත්වයත් එක්ක හදිසියේම එම හමුව අවලංගු කළා.

නිමල් සිරිපාල ද සිල්වා ඇමතිතුමයි මමයි පසුගිය මාසේ ජපානයේ ගිය අවස්ථාවේ ජපන් අග්‍රාමාත්‍යතුමාගේ නිල නිවසේ සාකච්ඡාවලට ගියා. ඒ යනකොට 2000 ක් විතර ජපන් අගමැතිතුමාගේ අග්‍රාමාත්‍ය කාර්යාලය ඉස්සරහ ජපන් අගමැතිතුමාට ඉල්ලා අස්වෙන්න කියලා බෝඞ් උස්සගෙන ඉන්නවා. මම බැලුවා මේ ලංකාවේ කට්ටියක්වත් වැරදිලා එහේ ගිහිල්ලද කියලා. ඒ නිල සාකච්ඡා අවසන් වෙලා ආපසු එන විට 5000 ක් විතර බෝඞ් උස්සගෙන ඉන්නවා. වර්තමානයේ සෑම රටකම වගේ මෙවැනි දේශපාලන ගැටුම්, ආර්ථික ගැටුම් තිබෙනවා.

රජයක් විදියට අපේ ආදරණීය මාතෘභූමිය වෙනුවෙන් කළ යුතු කළ හැකි වගකීම් නොපිරිහෙලා වගකීමකින් ඉෂ්ට කරනවා. සියලු ජාතීන්ගේ සමගිය ගොඩනගන්න, සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව තුළ සැබෑ සහජීවනයක් ඇති කරන්න, සැබෑ සමගියක් ඇති කරන්න, ගැටුම්වලින් තොර සමාජයක් ගොඩනගන්න, නැවත යුද්ධයක් ඇති නොවන විදියට කටයුතු කරන්න අපි කටයුතු කරනවා.  

අපේ රටේ ඇතැම් මුද්‍රිත මාධ්‍ය සහ විද්‍යුත් මාධ්‍ය ආයතන රට තුළ තිබෙන නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය කොතරම් වැරදි විදියට භාවිත කරනවද කියන ප්‍රශ්නය අපි දකිනවා. සත්‍යයෙන් තොර දේවල්. ගැටුම් සහගත දේවල් නිතරම ඒවායේ ප්‍රචාරය වෙනවා. මාධ්‍යයේ තිබිය යුතු ගුණාත්මකභාවය කොතෙක් දුරට ඔවුන් රකිනවාද කියන ප්‍රශ්නය තිබෙනවා. ඒ නිසයි මම කියන්නේ අයහපත් දේ සමාජයට දීම නිසා රටේ ඇතිවෙන පසුබෑම් වෙනුවෙන් ඒ සෑම අංශයකම කෙනෙක් ඒ වගකීම ගත යුතු වෙනවා.

අපේ මාතෘභූමියේ අනාගතය සඳහා දැනට අවසන් කර ඇති සහ කරගෙන යන ආර්ථික සැලසුම් පැහැදිලිවම ජයග්‍රහණ අත්කරගෙන තිබෙනවා. රටේ සංවර්ධන කටයුතුත් ඉතාමත් වේගයෙන් කරගෙන යනවා. ඒවායේ කිසිදු අඩුපාඩුවක් නැහැ. ඒවගේම පසුගිය අවුරුදු තුනහමාරක කාලය තුළ අන්තර්ජාතික වශයෙන් අපි ලබා ඇති ජයග්‍රහණ රාශියක් තිබෙනවා. 

ඔබ දන්නවා මම 2015 එක්සත් රාජධානියට ආවා. 2015, 2016 වර්ෂවල සම්පූර්ණයෙන් කැප වුණේ ජාත්‍යන්තර වශයෙන් අපෙන් ඈත් වෙලා තිබුණු රටවල් වල හොඳ හිත දිනා ගැනීම සඳහායි. අපේ විදේශ ප්‍රතිපත්තිය තුළ අපි කිසිම කෙනෙක් අමනාප කරගෙන නැහැ. සෑම කෙනෙක්ම අපේ හිතවතුන්. මිත්‍රයන්. සෑම කෙනෙක්ම අපිට සලකනවා. යුරෝපය, අමරිකාව, මහ බි්‍රතාන්‍ය වගේම චීනය, ඉන්දියාව, රුසියාව, ජපානයත් මැද පෙරදිග රටවලුත් අපේ මිත්‍රයෝ. 

නිදහසින් පසු ලංකාවේ අන්තර්ජාතික සබඳතා මේ තරම් ශක්තිමත්ව තිබුණු කාලයක් මම දකින්නේ නැහැ. මෙය මම ජනාධිපති නිසා කියනවා නෙවෙයි. ඒ මොකද බොහෝ වෙලාවට ලෝකයේ තිබුණු දේශපාලන බලකඳවුරු දෙකෙන් එක් පාර්ශ්වයක හොඳ හිත දිනා ගැනීමත් අනික් පාර්ශ්වය ඈත් වීමක් තමයි අතීතයේ සිටම සිදුවුණේ. පනහේ දශකය හැටේ දශකය වගේ කාලය තුළ ලෝකයේ දේශපාලන බලකඳවුරුවාදය ඉතාමත්ම ප්‍රබලයි. ඇමරිකා එක්සත් ජනපදය සහ ධනවාදී රටවල් එක පැත්තකින් ඒවගේම සෝවියට් සමාජවාදී සමූහ ආණ්ඩුව ඇතුළු කොමියුනිස්ට් රටවල් තවත් පැත්තකින්. 

ඒ කාලයේ බලකඳවුරුවාදය තුළ අපි වගේ පුංචි රටවල්වලට ලෝකයේ තැනක් තිබුණා. එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ වුණත් අපේ පුංචි රටවල්වල ඡන්දයට වැඩි වටිනාකමක් තිබුණා. 

ලෝකය තනි බලයකට යටත් වීමත් සමග ඉරාකය, ලිබියාව වැනි රටවල් මුළුමනින්ම කඩාදමනු ලැබුවා. ඉරාකයේ අදත් මොනතරම් මිනිස්සු මැරෙනවද කියලා ඔබ දන්නවා. මේ වන විට ලක්ෂ විස්සකට වැඩිය ඉරාකයේ මිය ගිහින් තිබෙනවා. ලිබියාව රටවල් තුනකට කැඩිලා තිබෙනවා. ඉරාකය රටවල් තුනකට කැඩිලා තිබෙනවා. ඒවායේ ප්‍රතිඵල නිසා තමයි අද තිබෙන ජාත්‍යන්තර ත්‍රස්තවාදය කියන එක නිර්මාණය වුණේ කියලා අපි නම් විශ්වාස කරන්නේ. 
ඒක නිසා මේ බලවතුන්ගේ තිබෙන බලවත්කම් එක්ක ජනගහනය අඩු වුණාම භූමියෙන් පුංචි රටක් වුණාට ශ්‍රේෂ්ඨ ජාතියක් විදියට ගෞරවාන්විත ජාතියක් විදියට අපි සෑම විටම ජාත්‍යන්තරය ඉදිරියේ අපේ ප්‍රතිපත්තීන් තුළ රැඳීසිටිය යුතු වෙනවා. ඒ තුළ අපිට ලෝකයේ සෑම කෙනෙක්ම දිනා ගන්න පුළුවන්. මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් තුළ බලකඳවුරු වාදයෙන් බැහැරව විශේෂයෙන්ම නොබැඳි ප්‍රතිපත්තීන් තුළ. 

අපේ රජය මූලික වශයෙන්ම ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කරගෙන තිබෙනවා. අපිට සෑම කෙනෙක්ම සලකනවා. සෑම කෙනෙක්ම උදව් කරනවා. අපි සුබවාදී ලෙස අපේ රට දිහා බැලිය යුතුයි. මාධ්‍ය තුළ පළවෙන අයහපත් දේ සහ අසුබවාදී දේ ප්‍රතික්ෂේප කරමින් රටේ අනාගතය සඳහා අපේ මාතෘභූමියේ හෙට උපදින දරුවන් වෙනුවෙන් හොඳ රටක් හදන්න අපි සැමවිටම කැපවීම් කළ යුතු වෙනවා. යැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය. 

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (6)

සමහර විදේශ තානාපතීන් සීමාව ඉක්මවා මට බලපෑම් කළා

Chanak Los angeles Thursday, 19 April 2018 06:42 AM

මෛත්‍රීපාල සිරිසේන ලෙස 2015 ජනවාරියේ ජයග්‍රහණයෙන් පසු ප්‍රථම වරට ලන්ඩනයට පැමිණි අවස්ථාවේ මෛත්‍රීගේ පැය එක හමාරක පමණ සුහද හමුව අවසන් කර පිටත්ව යද්දී පවා ඔහුගේ හමුවට පැමිණෙන පිරිස ඇතුළු වී අවසන්ව නොතිබිණ. ඒ තරම් විශාල පිරිසක් ඔහු හමුවීමට පැමිණිය හ. නමුත් වසර 3 කට පසු අද වන විට තම ක්‍රියා පිළිවෙත මත සියළු ජනතාවගේ පිළිකුලට භාජනය වී තිබෙන තරම මෙවර සුහද හමුවේ දී දකින්නට ලැබුනේ රටේ නායකයා හමුවීම විදෙස් ගත ප්‍රජාව මේ තරම් ප්‍රතික්ෂේප කිරීමෙනි.

:       0       0

dasun Friday, 20 April 2018 05:26 AM

මෙතුමා දැන් කියනවා විදේශ තානාපතිවරුන් එතුමාට බලපෑම් කරාට ගණන් නොගෙන වැඩ කරා කියලා. ගිය ආණ්ඩුව එහෙම කරලා යුද්ධය කරලා කොටින්ගෙන් රට බේරාගත් එකට ඔය තානාපති කාර්යාලම විවේචන එල්ල කරාම මෙතුමාගේ කට්ටියම තමයි ඔය විදේශ උන්දලාගේ සහය අරන් ආණ්ඩුවක් පෙරලුවේ. එතකොට හොඳයි තමන්ට රිදෙනකොට නරකයි.

:       0       2

rahulFriday, 20 April 2018 09:06 AM

ඔය දිවට ඇට නැත...

:       0       0

sanath Friday, 20 April 2018 08:13 AM

අපේ රටේ තිබුණු යුද්ධයත් එක්ක ඕක විහිළුවක්...

:       0       0

de silva berlin Friday, 20 April 2018 12:12 PM

එහෙම ඇඟිලි ගහන පුද්ගලයින්ට විරුද්ධව ක්‍රියාමාර්ගයක් නොගත්තේ මොකද?

:       0       0

Saththaya Sunday, 22 April 2018 02:56 AM

අනේ පව් මෙතුමාගේ පක්ෂය. රට වැසියාට මොනා වුනත් පක්ෂය බේරා ගන්න බැරි වුනානේ.

:       0       219

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

‘ලූනූ බිකටත් පොර බදින්නේ නැතිව රට හදන්න එක්වන්න‘
2025 මැයි මස 02 292 3

ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක


‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 1510 9

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා



වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 952 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1204 23

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 7427 8

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 470 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 120 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1144 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site