IMG-LOGO

2024 මැයි මස 15 වන බදාදා


“ශ්‍රී ලංකා ෆස්ට් දැක්මට සියලු ජාතීන්ගේ ශක්තිය ලැබෙනවා“

(අංජුල මහික වීරරත්න, අතුල බණ්ඩාර, මඩුකන්ද - සිතුම් චතුරංග, ගලේවෙල - මොහොමඞ් බුහාරුඩීන් සහ නාඋල - ඉන්දික අරුණ කුමාර)

“මේ අපේ ශ්‍රී ලංකාවයි” යන හැඟීම දකුණේ මෙන්ම උතුරේ සියලු ජනතාවට දැනෙන නිදහසේ ජීවත් විය හැකි ජාතික ආරක්ෂාව තහවුරු කරන ලද මාතෘභූමියක් ගොඩනගන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා වවුනියාවේදී පැවසීය.

“මාතෘභූමිය ලෝකයේ බබළවන ‘ශ්‍රී ලංකා ෆස්ට්’ දැක්ම සඳහා සියලු ජාතීන්ගේ ශක්තිය තමාට ලැබෙතැයි”ද ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා එහිදී අවධාරණය කළේය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම සඳහා වවුනියාවේ ජන රැලියට අමතරව මැදවච්චිය, කින්නියා, දඹුල්ල සහ මිනුවන්ගොඩදී ද ජල රැලි මෙදිනම පැවැත්විණි.

වවුනියාවේ ජන රැලිය ඇතුළු සෙසු ජන රැලි අමතා වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද පැවසීය.

“වවුනියාවේ ජීවත් වන ජාති ආගම් පක්ෂ බේදයෙන් තොරව සියලු පුරවැසියන්ගේ සෞභාග්‍ය තහවුරු කිරීමට මා ඇපකැප වෙනවා. යුද්ධය නිසා විපතට පත් වූ ජනකොට්ඨාස රැසක් සිටිනවා. මමද යුද්ධය නිසා ඇති වූ ක්‍රියාදාමය තුළ විපතට පත්වූ පවුලක සාමාජිකයෙක් වෙනවා. යුද්ධය නිසා පොදු ජනතාව රණවිරුවන් වගේම සමස්ත රටම විපතට පත් වුණා. ඔබ සැම දෙනාගේම දුක කණගාටුව හොඳින් මට අවබෝධ වෙනවා. ඒ දුක කණගාටුව දැනෙන පෞද්ගලිකවම ඒ වේදනාව කණගාටුව අත්දැකපු පුද්ගලයෙකු ලෙස දුකට පීඩාවට අසහනයට පත්වූ සෑම පවුලකම හැම සාමාජිකයෙකුගේම අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් සජිත් ප්‍රේමදාස  පෞද්ගලිකවම කැපවෙනවා.

ලෝකයේ ඕනෑම රටක් යුද්ධයකින් පසු සාමය නිර්මාණය වීමෙන් අනතුරුව පළමුව කරන දේ ජාත්‍යන්තර ආධාරක සමුළු පැවැත්වීමයි. රුවන්ඩාව - බුරුන්ඩි වගේ රටවල් අභ්‍යන්තර යුද්ධයෙන් පසු ජාත්‍යන්තර ආධාරක සමුළු පවත්වා යුද්ධය පැවැති ප්‍රදේශ වැඩි දියුණුවට පත්කරනවා. යුද්ධය අවසන් වුණේ 2009 මැයි මාසයේදීයි. දැනට වසර දහයකුත් මාස කිහිපයක් ඉක්ම වෙලා.

ලබන 16 වැනිදා මා ජනාධිපති ලෙස පත් කළ පසු මේ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් ගන්න පළමු පියවර වෙන්නේ උතුරු පළාත වෙනුවෙන් වෙනමම ජාත්‍යන්තර ආධාරක සමුළුවක් පවත්වන එකයි. ඉන් පසු නැගෙනහිර පළාත වෙනුවෙන් ද ජාත්‍යන්තර ආධාරක සමුළුවක් පවත්වනවා. ලෝකයේ සිටින ආර්ථික වශයෙන් ශක්තිමත් රටවල් මේ ප්‍රදේශවලට ගෙනල්ලා ජනතාවට සෙත සලසනවා. එය මගේ නායකත්වයෙන් පෞද්ගලික අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කර දැවැන්ත සංවර්ධනයක් මේ ප්‍රදේශයේ ඇති කරනවා.

රටේ ක්‍රියාත්මක වූ සුපුරුදු ක්‍රමය කුමක්ද? ජනාධිපති අපේක්ෂකයන් පැමිණ රැස්වීම් පවත්වා ජය ගෙන ජනාධිපති තනතුරට පත් වූ පසු ඡන්දය දුන් ජනතාව හා ජනාධිපතිවරයා අතර කිසිදු සම්බන්ධතාවක් නැති වෙනවා. නැවත ඒ සම්බන්ධය ඇති වන්නේ ජනාධිපතිවරණයකදීය.

ඒ නිසා ජාතික සංවර්ධනය වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධක බලකාය මා පිහිටුවනවා. කාර්ය සාධක බලකාය තුළ උතුර සංවර්ධන ජනාධිපති කාර්ය සාධක බලකාය ස්ථාපනය කරනවා. නැගෙනහිරත් පිහිටුවනවා.

රටේ සියලු පළාත්වල එවැනි ජනාධිපති කාර්ය සාධක බලකා පිහිටුවා ජනාධිපති ලේකම් කාර්යාලයේ නිර්මාණය වන යාන්ත්‍රණයෙන් එය ක්‍රියාත්මක කරනවා. මෙරට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දළ වශයෙන් 332ක් තිබෙනවා. හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම ජනාධිපති ඒකක පිහිටුවනවා.

බල ප්‍රදේශවල ජීවත් වන විවිධ ජාතීන්වලට විවිධ ආගම්වලට ජාති ආගම් කුලමල පක්ෂ පන්ති බේදයෙන් තොරව ජනාධිපති කාර්ය සාධක බලකා හරහා ජනාධිපතිවරයා ඍජුව සම්බන්ධ කරගත හැකි අලුත් යාන්ත්‍රණයක් හදනවා.

ජාතිය ආගම කුලය පන්තිය තරාතිරම නොතකා හැමදෙනාටම එක විදියට නීතිය ක්‍රියාත්මක කර, ආරක්ෂාව තහවුරු කරමින් ජීවත් වීමේ අයිතිය තහවුරු කරනවා.

කෘෂි ක්ෂේත්‍රයේ සියලු වගාවලට නොමිලේ පොහොර දෙනවා. වී වගාව එළවළු පළතුරු වගාව හේන් ගොවිතැන සුළු අපනයන භෝග වගාව තේ, පොල්, රබර් වගාව ආදී සියලු වගාවන්ට අංගසම්පූර්ණ නොමිලේ පොහොර දෙනවා.

නොමිලේ පොහොර දෙන්නේ රටේ ආහාර නිෂ්පාදනය ඉහළට ගන්නයි. ආහාර නිෂ්පාදනය ඉහළ යනවිට ජාතික නිෂ්පාදනය ඉහළට යනවා. ජාතික නිෂ්පාදනය ඉහළට යනවිට ජාතික ආදායම ඉහළ යනවා. ජාතික ආදායම ඉහළ යනවිට පොදු ජනතාවට එය බෙදී යනවා. ආදායම ඉහළ යනවිට පසුගිය ආණ්ඩු පටලවපු ණය මර උගුලෙන් මිදෙන්න හැකියාව ලැබෙනවා. එපමණක් ද නොවෙයි. රටේ ආහාර අවශ්‍යතාව අපටම සපුරා ගන්න හැකිවෙනවා. පිටරටින් රටට ආහාරපාන අවශ්‍ය නැහැ. ආනයනය වෙනුවට දේශීය ආහාර නිෂ්පාදනය තුළින් රට ලෙස අපේම ආහාර සපයාගෙන අපනයනය ද වර්ධනය කරගෙන අපනයන කේන්ද්‍ර කර ගත් ආර්ථික සංවර්ධනය ඇති කිරීමයි මගේ දැක්ම වන්නේ.

එතැනින් නතර නොවී මුළු වාරි ක්ෂේත්‍රයම මා ගොඩගන්නවා. ගොඩ වූ වැව් ටික මා ප්‍රතිසංස්කරණය කරනවා. අලුත් වාරි ශිෂ්ඨාචාරය වාරි උදාව නමින් ආරම්භ කර රටේ වැව් පද්ධතිය වගේම වවුනියාව ප්‍රදේශයේ වැව් පද්ධතිය පිළිසකර කරනවා. සුළු වාරිමාර්ග මධ්‍ය වාරිමාර්ග මහාමාර්ග ප්‍රතිසංස්කරණය කොට වාරි උදාව තුළින් මෙරට කෘෂි කර්මාන්තය දියුණු කර ගොවිතැන් කරන ජනතාවගේ අනාගතය රැක ගන්නවා.

මිරිදිය ධීවර කර්මාන්තය ගොඩනගමින් ස්වයං රැකියා ක්ෂේත්‍රය ශක්තිමත් කරමින් ග්‍රාමීය නාගරික ආර්ථිකය ශක්තිමත් කරනවා.

කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන් රාජ්‍ය ප්‍රතිපත්තිය තුළින්ම ශක්තිමත් කර දිය යුතුයි. සියලු සහන දෙනවා. ඒ වැඩපිළිවෙළ තුළ ජනතාවගේ ග්‍රාමීය නාගරික ආර්ථිකය තුළ මුදල් සංසරණය වර්ධනය කර අතමිට සරු ජන සමාජයක් බිහිකරනවා.

යොවුන් පරපුර වෙනුවෙන් අලුත් වැඩපිළිවෙළක් මා ක්‍රියාත්මක කරනවා. හැම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම නවීන පන්නයේ ජාත්‍යන්තර මට්ටමේ තාක්ෂණ විද්‍යාල නිර්මාණය කරනවා. මේ ප්‍රදේශයටත් නවීන පන්නයේ තාක්ෂණ විද්‍යාල නිර්මාණය කර ඩිජිටල් තාක්ෂණය, තොරතුරු තාක්ෂණය, පරිගණක තාක්ෂණය, රොබෝ තාක්ෂණය, ජීව තාක්ෂණය, ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාව යොවුන් පරපුරට නිදහසේ නොමිලේ නව තාක්ෂණය හැදෑරීමේ අවස්ථාව උදා කරනවා.

ඊට අමතරව මේ ප්‍රදේශයට තාක්ෂණ උද්‍යාන හදා ජාත්‍යන්තර තාක්ෂණ විද්‍යාලවලින් සමත්වන දරුවන්ට තාක්ෂණ උද්‍යානයෙන් ඩිජිටල් විප්පලවයෙන් තමන්ගේ ව්‍යාපාර ආරම්භ කරන්න අවස්ථාව උදා කර දෙනවා. ඒ ව්‍යාපාරය ආරම්භ කරන්න මූලික ප්‍රාග්ධනයද ඩිජිටල් විප්ලවයකට වචනයට සීමා නොකර එය මහ පොලොවේ යථාර්ථය කරන්න අවශ්‍ය පහසුකම දෙනවා.

පළාත් පාලන කොට්ඨාස මට්ටමෙන් කර්මාන්තපුර අරඹනවා. ඍජු විදේශ ආයෝජන ඒවාට රැගෙනවිත් යෞවන යෞවනියන්ගේ රැකියා ප්‍රශ්නයට විසඳුම් දෙනවා. කර්මාන්ත බිහිකරන්නේ කොහොමද කියා සජිත් ප්‍රේමදාසට පාඩම් අවශ්‍ය නැහැ. මොකද මගේ පියා තමයි කර්මාන්ත විප්ලවය හරහා ඇඟළුම් කර්මාන්ත 200 ආරම්භ කළේ.

දුප්පත්කම තුරන් කිරීම සඳහා තිබෙන සමෘද්ධි වැඩසටහන මා තවදුරටත් ශක්තිමත් කරනවා. සමෘද්ධි වැඩපිළිවෙළ හරහා දුප්පත් ප්‍රජාවට වැඩි වැඩියෙන් ශක්තිය දෙනවා. හැමදාම දුප්පත්කම මෙහෙම තිබෙන්න බැහැ. දුප්පත්කමින් ඔබ මිදෙන්න ඕනෑ. ඒ වෙනුවෙන් අනිවාර්යෙන්ම සමෘද්ධි වැඩසටහනට අමතරව රණසිංහ ප්‍රේමදාස මහතා ක්‍රියාත්මක කළ ජනසවිය වැඩසටහන ද මීට සමානව ක්‍රියාත්මක කරනවා.

මගේ පියා තමයි පාසල් යන දූ දරුවන්ට නිල ඇඳුමයි දිවා ආහාරයයි දුන්නේ. මගේ ප්‍රතිවාදි අපේක්ෂකයා නියෝජනය කරන දේශපාලන කණ්ඩායම තමයි පාසල් යන දුවා දරුවන්ගේ දිවා ආහාරය කපා හැරියේ. පාසල් දරුවන් වෙනුවෙන් මගේ පියාට අවසන් කරන්න බැරිවූ වැඩ කොටස තිබෙනවා. මා ඒ දේ ඊෂ්ට කරනවා.

ලබන 16 වැනිදා ජයග්‍රහණයෙන් පසු පාසල් දරුවන්ට නිල ඇඳුම් කට්ටල දෙකයි සපත්තු කුට්ටමයි දිවා ආහාරයයි දෙනවා.

ඊට අමතරව රටේම තිබෙන පෙර පාසල් අධ්‍යාපනය නොමිලේ අධ්‍යාපනයක් බවට පත් කොට ඒවායේ සිටින පාලිකාවන්ට ගුරුතුමියට සහාය පාලිකාවන්ට රජයේ අරමුදල්වලින් වේතන ගෙවා පෙර පාසල් අධ්‍යාපනය ශක්තිමත් කරනවා. පෙර පාසල් දරුවන්ටත් දිවා ආහාර දී මෙරට අධ්‍යාපනයට දැවැන්තම ශක්තිය දෙන්න කටයුතු කරනවා.

විශේෂයෙන්ම පාසල් පද්ධතියට දිය යුතු යටිතල පහසුකම් දෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රෝහල් පද්ධතිය ගොඩනගනවා. ග්‍රාමීය සෞඛ්‍ය මධ්‍යස්ථාන ශක්තිමත් කරමින් පවුල් සෞඛ්‍ය සේවා වැඩසටහන තවදුරටත් ශක්තිමත් කරනවා. රටේ උතුම්ම සම්පත වන දරු පරපුර හා මව් පරපුර සුරකින්න මා කටයුතු කරනවා.

කාන්තා ප්‍රඥප්තිය හරහා කාන්තා අයිතිය නීති ගත කරන්න කටයුතු කරනවා. කාන්තා අයිතිය රටේ නීතියක් බවට පත් කරනවා. කාන්තා මූලික පවුල්වලට දීමට තිබෙන ඉහළම සහයෝගය ඉහළම ශක්තිය දෙනවා. ග්‍රාමීය සංවර්ධනයට යටිතල පහසුකම් සංවර්ධනයට ජනාධිපති කාර්ය සාධක බලකා හරහා රටේ ජනාධිපතිවරයා ලෙස පෞද්ගලික අධීක්ෂණයෙන් හැම ග්‍රාමසේවා වසමකම වන හැම කුඩා ගම්මානයකම සිදුවන සංවර්ධනය නව තාක්ෂණය ඔස්සේ සොයා බලනවා.

විවිධ ජාතීන්ගෙන් සමන්විත ජන සමාජය තුළ සංහිඳියාව, එකමුතුභාවය, මිත්‍රශීලිත්වය ගොඩ නගන්නට යුක්තිගරුක ගුණගරුක ශිෂ්ට සම්පන්න ජන සමාජයක් නිර්මාණය කරන්නට ඕනෑ. ඒ උදෙසා සියලුම ආගම්වල දහම් අධ්‍යාපනය මා ශක්තිමත් කරනවා.

දහම් පාසල් ශාලා වැඩසටහන අද ජාතික වැඩසටහන ලෙස ක්‍රියාත්මක වෙනවා. 2025 වනවිට රටේ සියලුම දහම් පාසල් පද්ධතියට ඒ ශක්තිය දෙමින් දහම් අධ්‍යාපනය ප්‍රගුණ කරමින් යුක්ති ගරුක ගුණගරුක ශීලාචාර සුචරිත වූ දරු පරපුරක් පුරවැසි පරපුරක් නිර්මාණය කරනවා. මිත්‍රත්වයේ ගුණාංගය තුළින් රට සැබැවින්ම එක් සේසත් වූ රටක් බවට පත් කරන්නට මා කටයුතු කරනවා.

අනිවාර්යයෙන්ම 2025 වනවිට මෙරට සියලු පුරවැසියන්ගේ නිවාස ප්‍රශ්නය විසඳනවා. සැම කොට්ඨාසයකටම නිවාස ව්‍යපෘති දෙනවා. 2025 වනවිට රටේ සෑම පවුලකටම තමන්ගේ කියා භූමියක් තුළ නිවසක් හිමිකර ගැනීමේ සිහිනය මා සැබෑ කරනවා.

ජනතාවගේ ජන ජීවිතය ශක්තිමත් කිරීමේ ගමන මා ක්‍රියාත්මක කරනවා. ජනාධිපති කාර්ය සාධක බලකා හරහා රටේ සංවර්ධනය ගැන සොයා බලනවා. ඉතිහාසයේ කිසිම දවසක ක්‍රියාත්මක නොවුණු විප්ලවීය සංවර්ධන යුගය ක්‍රියාත්මක කිරීමට මට ශක්ති සම්පන්න සහ ජවසම්පන්න බව තිබෙනවා.

ජනතාවගේ පපුවට මේ අපේ ලංකාවයි. මේ අපේ මෘත භූමියයි යන හැඟීම ඇතිවිය යුතුයි. ඒකීය ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට නිදහසේ ජීවත් වෙන්න අභිමානයෙන් ජීවත් වෙන්න ජාතික ආරක්ෂාව තහවුරු කරමින් ජනතාවගේ ප්‍රාණය ශක්තිමත් කරන නව යුගයක් සඳහා ශ්‍රී ලංකා ෆස්ට් යන වැඩසටහන ක්‍රියාත්මක කරන්න ශක්තිය දෙන්න යයි ඉල්ලා සිටින බවද සජිත් ප්‍රේමදාස මහතා කීවේය”.

කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන් පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඞ් බදියුර්දීන් මහතා:-
“මේ මැතිවරණය උතුරු-නැගෙනහිර ජීවත්වන ද්‍රවිඩ, මුස්ලිම් ජනතාව ඉතාමත්ම හොඳින් සිතා බැලිය යුතු මැතිවරණයකි. ඉස්ලාම් නායකයන් පිළිබඳව සිංහල ප්‍රදේශවලට ගොස් බොරු ප්‍රචාර ගෙන යනවා. අහිංසක සිංහල සමාජය අතරේ ජාතිබේදය වපුරා රටේ ආරවුල් ඇති කිරීමට උත්සාහ ගන්නවා. මේ අවස්ථාවේදී ද්‍රවිඩ භාෂාව කතාකරන ජනතාව මැතිවරණයේදී ඉතා සුපරීක්ෂාකාරීව ප්‍රවේශමෙන් කටයුතු කිරීම අවශ්‍යයි.

සුළු ජාතීන්ගේ ඡන්ද සියයට 90ක් සජිත් ප්‍රේමදාස මහතාට දෙනවිට අපේ ජයග්‍රහණය කිසිවෙකුට වැළැක්විය නොහැකියි. එනිසා මේ මැතිවරණයේදී අප වෙනත් මැතිවරණ වගේ බෙදී ඡන්දය ප්‍රකාශය කිරීමට බැහැ.

සජිත් ප්‍රේමදාස මහතා පරාජය කිරීමට ඡන්ද වර්ජනයක් කරන බව කුමන්ත්‍රණකාරී කණ්ඩායමක් කියනවා. තවත් කණ්ඩායමක් මේ මැතිවරණයේ විකල්ප කණ්ඩායමකට ඡන්දය දිය යුතු බව ප්‍රකාශ කරමින් සිටිනවා. තවත් කණ්ඩායමක් මැතිවරණයේදී සුළුජාතීන්ට ඡන්දය දිය යුතු බව කියා සිටිනවා.

දඹුල්ල ජන රැලියේදී අදහස් දැක්වූ සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා :-
“ගෝඨාභයලා කළ දේ ලංකාව පමණක් නොව මුළු ලෝකයම දන්නවා. රට භීතියෙන් මුදවා වෙනස උදාකළේ කවුද?
යුද්ධ කළේ ඔහු හෝ අයියා හෝ නොව යුද හමුදාපති බව දැන් ගෝඨාභය ප්‍රසිද්ධියේම පිළිගෙන සිටිනවා. රාජපක්ෂ යුගයේ ජනතාවගේ මරණය සහ ජීවත් විය යුතු ද කියා තීරණය කළේ ඒ පාලකයින් බව කිව යුතුයි.

රාජපක්ෂ කල්ලිය නඩුවලින් බේරෙන්න ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වී සිටිනවා. සජිත් ආවොත් වැරැදිවලට සැබෑ දඬුවම ලැබෙන බව ඔවුන් දන්නවා”.

කෘෂිකර්ම වාර්මාර්ග ග්‍රාමීය කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ, සංචාරක සංවර්ධන වනජීවී හා ක්‍රිස්තියානි කටයුතු නියෝජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ මහතා, එක්සත් ජාතික පක්ෂ දඹුල්ල ආසන සංවිධායක ප්‍රියාන් විජේරත්න මහත්වරුද කතා කළහ.

 



අදහස් (0)

“ශ්‍රී ලංකා ෆස්ට් දැක්මට සියලු ජාතීන්ගේ ශක්තිය ලැබෙනවා“

ඔබේ අදහස් එවන්න

දේශපාලන

‘‘මේ රට විනාශයෙන් මුදවා ගැනීම අපේ අරමුණයි‘‘
2024 මැයි මස 01 2332 24

“මේ රට විනාශ කරපු මේ රට හිඟන තත්වයට ඇද දැමු දූෂිත පාලකයන් යටතේ පවත්වන අවසන් මැයි දින රැලිය මෙයයි. දූෂිතයන් යටතේ තවත් එක මැයි දිනයක්වත් මේ රටේ පැවැත්වෙන්


‘‘ජනපති වෙන්න පොහොට්ටුවේ ආශීර්වාදය අනිවාර්යයි‘‘
2024 මැයි මස 01 3145 17

එළඹෙන ජනාධිපතිවරයෙන් ජය ලබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආශිර්වාදය තියෙන අපේක්‍ෂාකයා. ජය ලබන ජනාධිපති අපේක්‍ෂකයා සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ


‘‘ජනතාව ඉන්නේ කොහේද කියා දැන් පේනවා‘‘
2024 මැයි මස 01 3554 10

ජනතාව සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග බව අද පැවති මැයි දින රැළියේදී සහතිකයක් ලැබුණා. ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා පුළුල් සංවිධානයක් ඇති


‘‘ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්න‘‘
2024 මැයි මස 01 2434 15

අසීරුවෙන් ආරක්ෂා කරගත් රටේ ආර්ථිකය තවදුරටත් ගොඩනැගීම සඳහා ජනතාව ගැන සිතා ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්නැයි සජබ ,ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලු පක්ෂවලට


තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 295 6

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1239 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 712 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2236 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1921 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site