IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


‘වැඩ බැරි ආණ්ඩුව ප්‍රශ්න යටගහනවා‘

(*** අංජුල මහික වීරරත්න)

තමන්ගේ පක්ෂ සාමාජිකත්වය රැක ගන්නට නොහැකි සමගි ජන බලවේගයේ මහ ලේකම්වරයා අනුන්ගේ පක්ෂ සාමාජිකත්වය රැක දෙන්නේ කෙසේදැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංග බණ්ඩාර මහතා මාධ්‍ය හමුවේදී ප්‍රශ්න කළේය.

එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවට එරෙහි වූ අයගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම හැකි නම් නතර කර පෙන්වන්නැයි කී රංග බණ්ඩාර මහතා අඥානයන් පක්ෂය හැර යනවිට උගතුන් බුද්ධිමතුන් පක්ෂය වටා ඒකරාශී වෙමින් සිටින බවද පැවසීය.
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී පාලිත රංග බණ්ඩාර මහතා මෙසේද පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ මහ මැතිවරණ ව්‍යාපාරය නිල වශයෙන් ආරම්භ කරනු ලැබුවා. පැය භාගයක් ඇතුළත රට පුරා රැස්වීම් සියයක් අමතන්නට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළා. නව තාක්ෂණය උපයෝගී කරගෙන ලෝකය, විශ්වය දකින නායකයන් සිටින එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය බවද ඒ අනුව ඔප්පු කළා.

සන්ධාන හදනවා කියා පක්ෂයක් හදා ගත්ත අය මැතිවරණ රැස්වීම් දහසක් අමතන බව කියමින් රට වටේ යනවා. එක්සත් ජාතික පක්ෂ නායකයා සිරිකොත පක්ෂ මූලස්ථානයේ සිට පැය භාගයක් ඇතුළත රට වටා රැස්වීම් සියයක් එකවර ඇමතුවා. මේ දෙදෙනාගේ බුද්ධිමත් බව මෙන්ම තාක්ෂණය ගැන දැනුම ඒ කාරණයෙන්ම අවබෝධ කරගත හැකියි.

රනිල් වික්‍රමසිංහ මහතා ගණදෙවි නුවණ ඇතිව නවීන තාක්ෂණය භාවිත කරමින් රට වටා රැස්වීම් අමතනු ලැබුවා. අනෙක් පුද්ගලයා පම්පෝරි ගසමින් රට වටේ යනවා. මොළය තිබෙන නායකයා කවුදැයි ජනතාව තේරුම් ගත යුතුයි. නගරාධිපති රැකියාවකට සුදුසු පුද්ගලයා රටක නායකත්වයකට එන්නට උත්සාහ කරනවා. මෙය විහිළුවක් පමණයි.

අපේ ආණ්ඩුව බඩුමිල අඩු කළා. ජනතාවගේ ආර්ථික බර අඩු කළා. එමෙන්ම ශ්‍රමය සඳහා සුදුසු වේතන දෙන්න අප කටයුතු කළා. රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය ශක්තිමත් කළා. වෘත්තීය අධ්‍යාපනය ශක්තිමත් කළා. නිරෝගී පරපුර බිහි කිරීම සඳහා ගැබිණි මව්වරුන්ට පෝෂණ මල්ලක් දෙන්න කටයුතු කළා.

අපට ඩීල් එකක් තිබෙන්නේ ජනතාව සමගයි. හොරුන්, කුඩුකාරයන් බේරා ගන්න ආණ්ඩුව සමග ඩීල් නෑ. ඒත් ජනතාවට හොඳ ආර්ථිකයක් සෞඛ්‍යයක් ලබාදීමට ඩීල් එකක් අපට තිබෙනවා.

මෙවර මහ මැතිවරණයේදී හොඳ වෘත්තිකයන් පිරිසක් ඉදිරිපත් කළා. එමෙන්ම නවකයන් සඳහා අවස්ථාව ලබා දී තිබෙනවා. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඒ කාරණය අවධාරණය කරමින් ප්‍රකාශ කළා.

මැතිවරණ කොමිසම මැතිවරණ ව්‍යාපාරය ඉතා හොඳින් ඉදිරියට ගෙන යනවා. නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා. එවැනි තත්ත්වය නිර්මාණය වූයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙන් ඉදිරිපත් කෙරුණු දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනය නිසයි. ඒ නිසා මැතිවරණ කොමිසමට ස්වාධීනව කටයුතු කරන්න ශක්තිය ලැබුණා.

මැතිවරණ කොමිසම ස්වාධීනව කටයුතු කරන ආකාරය බලා සිටින්නට බැරි විමල් වීරවංශ වැනි දේශපාලකයන් කොමිසමට දොස් නගමින් සිටිනවා. සියල්ලට ඉහළින් තිබිය යුත්තේ නීතියයි. එහෙත් ආණ්ඩුවේ කල්ලියට එවැනි සදාචාරාත්මක දේ ඔරොත්තු දෙන්නේ නැහැ.

ඔවුන් හැමදාම වැඩ කළේ බොරුව සහ මුසාව ඉදිරියේ තබා ගෙනයි. දන්සල් දේශපාලනය මොවුන්ගේ ප්‍රතිපත්තියයි. මැතිවරණ කොමිසම හරියාකාරව ක්‍රියා කරන නිසා අද මොවුන්ට දන්සල් දෙන්න බැහැ.

ඒත් පොලිස් කොමිසම අද වනවිට දියාරු වී තිබෙනවා. ස්වාධීන වැඩ කරනවා නම් එසේ කරන්නට නීති අප සම්පාදනය කර දුන්නා. එහෙත් පුද්ගලයන්ගේ වැරදි නිසා පොලිස් කොමිසම දියාරු වී තිබෙන බව කිව යුතුයි.

පොලිසිය අයාලේ යන බව පොලිස් නිලධාරීන්ම කියනවා.

අට මාසයක් පිරුණු ආණ්ඩුව කළ එකම දේ වන්නේ ජනතාව පීඩනයට පත් කරමින් රට මිලිටරිකරණයට නතු කිරීමයි. මේ ආණ්ඩුව හමුදා නිලධාරීන් යොදවා රටේ ප්‍රශ්න යටපත් කරන්නට උත්සාහ කරනවා. ඒ නිලධාරීන් මැනිං මාර්කට් එකට ගිහින් එහි සේවකයන්ට කන පැළෙන්න පහර දෙන්න කතා කරනවා. ඒ අතර ඩඩ්ලි සිරිසේන ළඟට ගිහින් ඇඹරෙනවා. ආණ්ඩුව මෙලෙස හමුදා නිලධාරීන් සෑම දෙයකටම යොදවන්නේ තමන්ගේ වැඩ බැරිකම වසා ගන්නයි.

රනිල් වික්‍රමසිංහ මහතා එදා භාර ගත්තේ මීටත් වඩා අමාරු රටක්. තමන්ගෙම අයියා මහන්සි නොකර රට කළ හැකි එක්සත් ජාතික පක්ෂයට රට කරන්නට සහාය දෙන්නැයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් මා ඉල්ලා සිටිනවා.


එක්සත් ජාතික පක්ෂ කෑගල්ල සංවිධායක ඩිලාන් අමරකෝන් මහතා:
සිරිකොතේ බලය අල්ලන බවට සමගි ජන බලවේගය වහසි බස් දොඩනවා. සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඉල්ලා සිටි වාරණ නියෝගය ප්‍රතික්ෂේප කරමින් අධිකරණය දුන් පිටු 23ක නඩු තීන්දුව කියවුවහොත් තවත් කිසි විටෙක එවැනි කතා කියන්නේ නැහැ.

සමගි ජල බලවේගය ලියාපදිංචි කළ ඔවුන්ගේ සැබෑ පාට වන්නේ නිල් පැහැයයි. එහෙත් ඒ අය එක්සත් ජාතික පක්ෂයට නෑකම් කීම සඳහා දිගටම කොළ පැහැයට සමාන පැහැයකින් ප්‍රචාරණ කටයුතු කරනවා.

මෙහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න සහ පාලිත රංග බණ්ඩාර මහතා ඒවාට දුන් පිළිතුරු මෙසේය.

ප්‍රශ්නය: දැන් තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ බෝඩ් ලෑල්ල පමණක් බව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කියනවා නේද?
පිළිතුර: ඒ හිතේ දුකට කියන කතා පමණයි. සැබෑ පාක්ෂිකයන් ඉන්නේ එක්සත් ජාතික පක්ෂය සමගයි. රිෂාඩ් බදියුදීන් සිටින පක්ෂයක ඉන්නේ නැතැයි වෙන්නප්පුවේ මන්ත්‍රීවරයකු පසුගිය දිනවල දිගින් දිගටම කිව්වා. දැන් ඔහුත් ඒ ගොඩටම වැටී සිටිනවා. හරීන් ප්‍රනාන්දු කාදිනල්තුමාට බැන වදිමින් ඉන්නවා. අපේ ළඟ අන්තවාදීන් නැහැ.

ප්‍රශ්නය: කෘත්‍යාධිකාරී මණ්ඩලය සඳහා අලුත් සාමාජිකයන් පත් කරනවාද?
පිළිතුර: අඩුපාඩුවක් තිබේ නම් අලුත් සාමාජිකයන් පත් කරනවා.

ප්‍රශ්නය: පළාත් පාලන ආයතන නියෝජිතයන් දෙදහසකට ආසන්න සංඛ්‍යාවක් සිටින පසුබිම යටතේ ඔවුන් සියලුම දෙනාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කළ හැකිදැයි රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රශ්න කර තිබුණා නේද?
පිළිතුර: තමන්ගේ පක්ෂ සාමාජිකත්වය රැක ගන්න නොහැකි රංජිත් මද්දුම බණ්ඩාර, අනුන්ගේ පක්ෂ සාමාජිකත්වය රැක දෙන්නේ කෙසේද? යකඩ මල්ලට ගුල්ලෝ ගැහුවා නම් හාල් මල්ල නොබලාම විසි කරන්නැයි කතාව තිබෙනවා. පක්ෂ ව්‍යවස්ථාවට එරෙහි වූ අයගේ සාමාජිකත්වය අහෝසි කිරීම හැකි නම් නතර කර පෙන්වන්න.

මුලදි අපෙන් ඉවත් වූ බොහෝ දෙනකු නැවතත් අප සමග එක් වී සිටිනවා. අධිකරණය වුවද තීන්දු දෙන්නේ පක්ෂ ව්‍යවස්ථාවට අනුකූල ආකාරයටයි.

 



අදහස් (2)

‘වැඩ බැරි ආණ්ඩුව ප්‍රශ්න යටගහනවා‘

Raveendra Wednesday, 01 July 2020 10:02 AM

අප නම් ඉතාම හොඳින් දන්නේ 225ටම වැඩ බැරි බවයි.. එය දශක කීපයකම සිට 225ම මනා ලෙසඔප්පු කර හමාරයි. එබැවින් මි උණ තදින්ම වැළදී ඇති මොවුන් අනිකුත් අයට වැඩ බැරි යයි කෙසේ පවසන්නේද?

:       0       41

Ranjith Wednesday, 01 July 2020 04:31 PM

රනිල් වික්‍රමසිංහ මහතා ගණදෙවි නුවණ ඇතිව නවීන තාක්ෂණය භාවිතා කරමින් රටවටා රැස්වීම් අමතනු ලැබුවා. ඇත්ත එම ගණදෙවි නුවණ නොතිබුණා නම් රැස්වීම් වලට එන ප්‍රමාණයත් පෙනෙනවානේ...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 48 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 434 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 873 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site