IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


කොරෝනා දෙවැනි රැල්ලට ආණ්ඩුව නිහඬයි

(***අංජුල මහික වීරරත්න)

කොරෝනා මර්දනය කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකා රජයට කොපමණ මුදලක් ලැබුණාද, එම මුදල්වලට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව ආණ්ඩුව වහා රටට හෙළි කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ දී ඊයේ (1) ප්‍රකාශ කළේය.

කොරෝනා දෙවැනි රැල්ල වළක්වා ගැනීම සඳහා ප්‍රමුඛ අවධානය ලබාදිය යුතු වුවත් ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව මෙතෙක් ගෙන ඇති පියවර කිසිසේත් ප්‍රමාණවත් නොවන බව ද වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේ පැවැති එ.ජා.ප. සන්නිවේදන බලකායේ විශේෂ හමුවකට එක්වෙමිනි.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

අද මේ රටේ තිබෙන විශාලම ප්‍රශ්නයක් වන්නේ දේශපාලනයේ සිටින දේශපාලනඥයින් ගැන ජනතාව තුළ විශ්වාසයක් නොමැතිවීමයි. දේශපාලනයේ නියැළී සිටින එක්කෙනෙක්වත් විශ්වාස කරන්න පුළුවන්ද කියා ජනතාව ප්‍රශ්න කරනවා. ජනතාව මුහුණ පා සිටින ආර්ථික ප්‍රශ්න, ඔවුන්ගේ අනාගතය, සෞඛ්‍ය වැනි ප්‍රශ්නවලට විසඳුම් තිබෙන්නේ කා තුළද කියා ජනතාව විමසා සිටිනවා. ජනතාවට මුහුණපෑමට සිදුව තිබෙන මේ සැබෑ ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන්නේ කෙසේද කියා අප සොයා බැලිය යුතුයි.

වර්තමානයේ අපට මුහුණපෑමට සිදුව තිබෙන විශාලම ප්‍රශ්නය වන්නේ සෞඛ්‍ය ප්‍රශ්නයයි. මේ සියල්ල ඇතිවුණේ කොරෝනා වයිසය නිසයි. කොරෝනා වයිරසය නොතිබුණා නම් මේ ප්‍රශ්න මීට වඩා වෙනස් වෙන්න තිබුණා. අපට මෙන්ම ලෝකයේ අනිකුත් රටවලට ද කොරෝනා වයිරසය අද පොදු ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා. එය රටවල්වලට පමණක් නොව සෑම පුද්ගලයෙකුටමත් බලපානවා.

අප හැම කෙනෙක්ගෙම යුතුකම හා වගකීම වී තිබෙන්නේ කොරෝනා වෛරසයේ දෙවැනි රැල්ල මෙරට පැතිරීම වළක්වාගැනීමයි. කොරෝනා දෙවැනි රැල්ල පැතිරුණහොත් රටේ ආර්ථිකයට මෙන්ම සමාජ වැඩකටයුතුවලට දැඩි බලපෑමක් එල්ලවෙනවා. නැවත රටේ ආර්ථිකය ගොඩගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වෙනවා.

අද එංගලන්තයේ ආර්ථිකයට මෙය දැඩි ලෙස බලපා තිබෙනවා. එංගලන්තයට ගොඩඑන්න බැරිනම් අපි කොහොමද ගොඩඑන්නේ. අපේ ප්‍රධානතම කාර්යය විය යුත්තේ කොරෝනා දෙවැනි රැල්ල වළක්වා ගැනීමයි. එය කොහොමද කරන්නේ ? පළමු වටයේදී කොරෝනා පැමිණි අවස්ථාවේ දී ජනාධිපතිතුමා එය මැඩපැවැත්වීම සඳහා නියෝග ලබාදෙමින් පියවර රැසක් ගනු ලැබුවා. එක්සත් ජාතික පක්ෂය ලෙස අපත් මේ සඳහා විවිධ ක්‍රමවේදයන් යෝජනා කළා. ඒ නිසා මේ වැඩපිළිවෙළ සාර්ථක වුණා.

මේ වැඩපිළිවෙළේ දී අප යෝජනා කළ ක්‍රමවේදයන්ද අනුගමනය කළ නිසා අපි ඊට විරුද්ධ වුණේ නැහැ. අපිත් ජනතාවට ප්‍රකාශ කර සිටියේ රජය ලබාදෙන නියෝග අනුව ක්‍රියා කරන ලෙසයි. අප ගත් ඒ පියවර නිසා මේ රටේ ජනතාවට ඉන් විශාල සෙතක් සැලසුණා. අප ඒ කටයුතු එලෙස සිදු කරන විට ඇතැම් පාර්ශ්ව ප්‍රකාශ කර සිටියේ මම ආණ්ඩුව සමග ඩීල් දැම්මා කියායි. මේ අයගෙන් මා විමසා සිටින්නේ තමුන්ට විකල්ප විසඳුමක් තිබුණා නම් ඉදිරිපත් නොකළේ මන්ද කියායි. මේ රටේ ජනතාවගේ සෞඛ්‍ය ප්‍රශ්නය වෙනුවෙන් අප පෙනී සිටියේ ඉතා සද්භාවයෙන් බව සිහිපත් කළ යුතුයි. ඔබේ සෞඛ්‍ය ප්‍රශ්නය කෙරෙහි අවධානය යොමු කරමින් ඒ පිළිබඳව අපේ විකල්ප යෝජනා ඉදිරිපත් කිරීම ඩීල් දැමීමක් නොවේ. මා ඒ ඩීල් එක දැම්මේ මේ රටේ ජනතාව සමගයි.

නමුත් දැන් මේ ආණ්ඩුවේ ක්‍රියාකලාපය ගැන අපට ප්‍රශ්න තිබෙනවා. පළමු පියවර අපට අනුමත කළ හැකියි. නමුත් පළමු වටයේ අඩු වෙනකොට තහනම ඉවත් කරන්න තිබුණා. ඒ අනුව කොරෝනා පාලනය කිරීම සඳහා අලු‍ත් පනතක් ගෙන ඒමට අවස්ථාව තිබුණා. එහෙත් එය හදිසියේ කළ නොහැකියි. මේ සම්බන්ධව අප මේ ආණ්ඩුවට විවිධ යෝජනා ඉදිරිපත් කළා. පරීක්ෂණ වැඩි කරන ලෙසත් අපි ඉල්ලා සිටියා. නමුත් ආණ්ඩුව ඒ එකක්වත් පිළිගත්තේ නැහැ. අප මේ සහයෝගය ලබාදුන්නේ මේ රටේ ජනතාව වෙනුවෙන්. මේ ඉල්ලීම් කළේ ජනතාව වෙනුවෙන්.

 හදිසි සෞඛ්‍ය අවස්ථාවක දී ජනතාව ගත යුතු පියවර නමින් කොරෝනා පාලනය කිරීම සඳහා කෙටුම්පතක් අප සකස් කර තිබෙනවා. මේ එකක්වත් නිත්‍යානුකූල නැහැ. නමුත් ආණ්ඩුව මේ යෝජනා සම්මත කරගන්න අපෙන් ඉල්ලු‍වේ නැහැ.

කොරෝනා දෙවැනි රැල්ල දැන් ආරම්භ වී තිබෙනවා. එය ඇමෙරිකාවේ තිබෙනවා. චීනය කිව්වා වූහාන්වලින් පස්සේ කොරොනා නැහැ කියලා. නමුත් දැන් බීජිංවලටත් එය ව්‍යාප්ත වී තිබෙනවා. ට්‍රම්ප් ජනාධිපතිතුමා ප්‍රකාශ කළා අපට කොරොනා ප්‍රශ්නයක් නැහැ කියලා. නමුත් මේ වනවිට එරට කොරෝනාවලින් මියගිය සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා.

ඉන්දියාවට ද පළමු වටයේ පාලනය කර ගැනීමට හැකිවුණා. දැන් දිල්ලි අගනුවර, චෙන්නායි, මුම්බායි යන ප්‍රදේශවලද ඉතා සීඝ්‍රයෙන් කොරෝනා පැතිරී ගොස් තිබෙනවා. මේ වන විට යුරෝපයේ ඇතැම් ප්‍රදේශවල නැවත කොරෝනා දෙවැනි රැල්ල මතුව තිබෙනවා. එංගලන්තයේ ලෙස්ටර් නගරය වසා දැමීමට සිදුව තිබෙනවා. මේ වෛරසය කුමක්ද කියා අප දන්නේ නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කොට තිබෙන්නේ කොරෝනා දෙවැනි රැල්ල නැවත මතුවන බවයි.

මේ අවදානම නිසා පරීක්ෂණ තවත් වැඩිකළ යුතුයි. මේ සඳහා මුදල් නැහැ කියමින් කල් මරන්න එපා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශයෙන් පසු මා එදා මෙරටට ඩොලර් මිලියන 230 ක් ලැබුණු බව ප්‍රකාශ කළා. නමුත් සෞඛ්‍ය ඇමතිතුමිය කියා සිටියේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඩොලර් මිලියන 1.9 ක් ලැබුණු බවයි. සැබවින්ම මුදල් තිබෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නොවේ. ඇමරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබාදෙන මුදල් කපා හැරීමෙන් පසු ඒ මුදල් ලෝක බැංකුවෙන් හා යුරෝපා සංගමයෙන් මෙන්ම තවත් රටවල් කිහිපයකින් ලැබුණු බව කිව යුතුයි. ඒ අනුව ඒ මුදල් අපට ද ලැබුණා. මේ පිළිබඳව නිවැරදි ලැයිස්තුව මා ඉදිරිපත් කළා. ඒ අනුව දැනට අප සොයාගෙන තිබෙනවා ඩොලර් මිලියන 200 ක්. එය වැරදි නම් නිවැරදි ගණන කොපමණද කියා වහා ප්‍රකාශ කළ යුතුයි. එය ඩොලර් මිලියන 200 ක්ද 250 ක්ද එහෙමත් නැතිනම් වෙනත් ගණනක්ද කියා හෙළි කරන ලෙස අප ඉල්ලා සිටිනවා.

එපමණක් නොවේ ඊට පසු විවිධ භාණ්ඩ ලබාගැනීමට මුදල් ලැබුණා. ඒ මුදල්වලට සිදුවූයේ කුමක්ද? මේ භාණ්ඩ මිලදී නොගත්තේ ඇයි? පරීක්ෂණ සිදුනොකරන්නේ ඇයි? සෞඛ්‍ය සේවාවල නියැළී ඉන්න අයට ඒවගේම ආරක්ෂක අංශයේ අයට ආරක්ෂාව සඳහා උවමනා ඇඳුම් කට්ටල නොදුන්නේ ඇයි?

නාවික හමුදාවේ භටයින්ට කොරෝනා වෛරසය ඇතුළු වුණා. දැන් ප්‍රකාශ කරන්නේ මේ රටට කොරෝනා ඇතිවුණේ වැලිසර නාවික හමුදා කඳවුරෙන් කියායි. මේ හමුදාවේ අයට කොරෝනා තිබුණත් ඒ වෙනුවෙන් ඔවුන්ට අප දොස් කියන්න යන්නේ නැහැ. ඒ අයට අවශ්‍ය කරන ආරක්ෂාව නිසි ලෙස ලබාදුන්නේ නම් එවැනි තත්ත්වයකට ඔවුන් පත් වන්නේ නැහැ.
කොරෝනා දෙවැනි රැල්ලට මුහුණදීම සඳහා දැන්වත් අප සූදානම් විය යුතුයි. නමුත් අවාසනාවකට මෙන් ඒ දෙවැනි රැල්ලට මුහුණදීම සඳහා අදාළ පියවර ගැනීමට මේ ආණ්ඩුවට තවමත් නොහැකි වී තිබෙනවා. මේ නිසා මෙයට මුහුණදීමට වැඩපිළිවෙළක් සැලැස්මක් නැති මේ ආණ්ඩුව වහා ඉවත් කොට මෙම අභියෝගයට සාර්ථකව මුහුණ දිය හැකි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් අගෝස්තු මාසයේ අප පිහිටුවා ගත යුතුයි.

රටේ  උද්ගතව තිබෙන තත්ත්වය හමුවේ ජනතාව දැඩි පීඩාවන්ට පත්ව සිටිනවා. එදා ත්‍රී විල් රථයකින් තම ගමන් පහසුව සලසා ගත් අය අද අතේ මුදල් නැති නිසා ත්‍රී විල් රථයකට ගොඩවන්නේ නැහැ. මේ නිසා ත්‍රී විල් රථ රියදුරන්ගේ ආදායම කඩා වැටී තිබෙනවා. ඒ වගේම සිල්ලර වෙළඳසැල් හිමියන්ට ඒවා පවත්වාගෙන යාමට හැකියාවක් නැහැ. එමෙන්ම රටේ අනෙකුත් ව්‍යාපාර කඩාවැටීමකට ලක්ව තිබෙනවා. මේ තත්ත්වයෙන් අප ගොඩ ආ යුතුයි. ලැබුණු මුදල්වලට සිදුවූයේ කුමක්ද කියා මා නැවතත් ප්‍රශ්න කර සිටිනවා.

 



අදහස් (4)

කොරෝනා දෙවැනි රැල්ලට ආණ්ඩුව නිහඬයි

Raveendra Thursday, 02 July 2020 10:36 AM

ආසියාවේ දැනට සිටින මෝඩ අලින් කියන කතා දෙස බැලූ කල අප රටේ මොනතරම් මිනිසුන් මෝඩද? මෙවැනි වැදගැම්මකට නැති අයව මහජන නියෝජිතයන් ලෙස දියවන්නාවට පත් කිරීමට ගත් තීරණය...

:       44       226

සරත් Thursday, 02 July 2020 10:26 PM

වැදගැම්මකට නැහැ...

:       0       33

sunil Friday, 03 July 2020 11:12 AM

දැන් කොරෝනා ගැන දොඩවනවා. තමුන්ගේ කාලේ මිනිසුන් 360 ක් බෝම්බ වලින් මැරෙන එක වළක්වා ගන්ට බැරිවුණා...

:       0       46

Bamunuarachchi Saturday, 04 July 2020 02:11 PM

මෙන්න මෙයා මුහුද හත්ගව්වක් තියලා අමුඩේ ගහනවා. ඔය කියන්නේ අපිට නොවෙයි එජාපයින්ටයි ජෙප්පන්ටයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 48 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 434 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 873 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site