IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


කැබිනට් වර්ජන, සංශෝධන අස්සේ නායකයෝ පඹගාලක

(ජයන්ත සමරකෝන්)

පක්ෂ ප්‍රතිසංස්කරණ කැබිනට් වර්ජන හා සංශෝධන අස්සේ නායක කාරකාදීන් දේශපාලන පඹගාලක පැටලී සිටියදී ජාවාරම්කාරයින් පිරිසක් රටට හානිකර ගිවිසුම්, යෝජනා ගෙනෙමින් මහා පරිමාන ව්‍යාපෘතීන් සඳහා කොමිස් කුට්ටි කඩාගැනිමේ උත්සාහයක නිරතවන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පෙරේදා (10) පැවැසීය.

එහි ප්‍රතිඵලයක් ලෙස විදුලිබල ක්ෂේත්‍රය තුළ බරපතළ අර්බුදයක් නිර්මාණය කරන එල්.එන්.ජී. ජාත්‍යන්තර ගෑස් ව්‍යාපෘතිය පිළිගත් ටෙන්ඩර් ප්‍රතිපත්තියෙන් තොරව රහසිගතව ක්‍රියාත්මක වන බවද එය වහාම අත්හිටුවන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද මන්ත්‍රීවරයා කීය.

කොළඹ 10, වජිරාශ්‍රම බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැති මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය විසින් සංවිධානය කර තිබුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීය.

අගමැතිවරයාගේ අනුදැනුම මත මෙතෙක් ක්‍රියාත්මකවූ ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කිරීමෙන් පමණක් මෙරට ආර්ථිකයට සිදුවී ඇති හානිය නිවැරදි කරන්නට බැහැ.

එමගින් ක්‍රියාත්මක කිරීමට යෝජිත සියලුම ගිවිසුම් පිළිබඳව සමාලෝචනයක් කළ යුතුයි.2019 වනවිට රටේ විශාල විදුලි අර්බුදයක් සිදුවෙනවා.

ආණ්ඩුවේ අද කැබිනට් අර්බුදය, මෙම අරාජික තත්ත්වයක ජාත්‍යන්තර බලපෑම් මත අහිතකර ගිවිසුම් හා ගනුදෙනු හොර රහසේ නිර්මාණය වෙමින් පවතිනවා.

අවුරුදු නිවාඩුවෙන් පසුව මෙම 20 වෙනිදා සිට ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ව්‍යපාරයක් ආරම්භ කරනවා.

ලංකාව, ජපානය, ඉන්දියාව අතර සිදුවන ගිවිසුමකට අනුව ආරම්භ කෙරුන එල්.එන්.ජී. විදුලි බල උත්පාදන ව්‍යාපෘතියට එරෙහිව සිදුවන විදුලි සේවක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඉදිරියේදී වැඩ වර්ජනයකට පවා යාමට නියමිතයි.

විදුලි ඉංජිනේරුවන් ඒ පිළිබඳව දැනටමත් අනතුරු අඟවලා. මෙම බලශක්ති අර්බුදය ගැන රජය නෑසූ කන් ඇතිව සිටිමින් රටට අහිතකර විවිධ ව්‍යාපෘතීන් ඒ වෙනුවෙන් හොර රහසේම ක්‍රියාත්මක කරමින් සිටිනවා.විදුලිබල ඉල්ලීම හා සැපයුම අතර පවතින අසමතුලිත බව දිගින් දිගටම ඉහළ යනවා.

ජල විදුලි උත්පාදනය ප්‍රමාණවත් නොවීම නිසා ඉන්ධන පාවිච්චියෙන් විදුලි බිල ඉදිරියේදී විශාල ලෙස වැඩිවෙනවා.
2012 වසර වනවිට විදුලි ඒකකයක් නිපදවීම සඳහා රුපියල් 23.66 ක් මණ්ඩලයට වැයවුණා.

ඊට විකල්පයක් ලෙස කොතෙකුත් බාධා පැමිණියද නොරොච්චෝලේ තාප විදුලිබලාගාරය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව හැදුව නිසා විදුලිය මෙගාවොට් 900 ක් උත්පාදනය කිරීමට හැකිවුණා.

එහි ප්‍රතිඵලයක් හැටියට විදුලිය නිෂ්පාදන පිරිවැයේ අඩුවීම නිසා 2015 දී විදුලි ඒකකයක් රුපියල් 15.06 ට අඩුවුණා.
ඒ අනුව විදුලි පාරිභෝගිකයින්ගේ බිල්පතින් සියයට 25 ක් අඩුවුණා.

ජනතාවගේ විදුලි බිල්පත අඩුකළ එකම නායකයා මහින්ද රාජපක්ෂ පමණයි. 2015 ජනාධිපතිවරණ සටනේදී විරුද්ධවාදීන් කිව්වේ මෙය මහින්ද රාජපක්ෂගේ ඡන්ද ගුණ්ඩුවක් කියලයි.

නොරොච්චෝලේ හදනකොට එදා විපක්ෂය විවිධ බාධා කළා.අද වනවිට මෙම ව්‍යාපෘතිය රටට හිතකර විශාල ආයෝජනයක් බව නොදන්නා කෙනෙක් නැහැ.

රටේ විදුලිබල ඉල්ලුම ඉහළ යාමට සාපේක්ෂව ඉන් පස්සේ සාම්පූර් බලාගාරය හදන්නට සැලසුම් කළා.මේ රජය එම ව්‍යාපෘතිය නතර කළා.

දැන් මොකද වෙලා තියෙන්නේ. විදුලි ඒකකයක් පෞද්ගලික අංශයෙන් රුපියල් 30 කට ගන්නවා.ඒක අඩු කරගන්නට කියලා තමයි එල්.එන්.ජී. ගෑස් ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය ලබාගන්නේ.

ගෑස්වලින් විදුලිය නිපදවන මෙම ව්‍යාපෘතියට විවෘත ටෙන්ඩර් කැඳවීමක් කර නැහැ.සරත් අමුණුගම මහතා ඇතුළු කැබිනට් අනුකාරක සභාවක්ද මේ සඳහා පත්කර තිබුණා. ජාත්‍යන්තරව පිළිගත් සමාගමකින් ඒ දේ කරගන්නටයි නිර්දේශ කර තිබුණේ.

මේ ව්‍යාපෘතිය පිළිබඳව මලික් සමරවික්‍රම ඇමැතිවරයා පවා කැමැත්තක් දක්වා තිබුණේ නැහැ. රහසිගත ලංසු තැබීමකින් තොරව කළ මෙම යෝජනාවට කැබිනට් අනුමැතිය ලබාගෙන ඇති බවද ඔහු කියා තිබෙනවා.

අගමැතිගේ ආර්ථික කමිටුව හරහා මේක සිදුවී තිබෙනවා. මෙම කමිටුව නිසා සියලුම ක්ෂේත්‍රවල විනාශයක් දකිනවා. ප්‍රතිපත්ති තීරණ ගන්නේ එම කමිටුව මගින් නිසයි මේ වගේ ව්‍යාපෘතිවලට ඉඩ ලැබී ඇත්තේ.

මෙම හොර ගිවිසුම වහාම අත්හිටුවන ලෙසට විදුලි පාරිභෝගිකයින් වෙනුවෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලනවා.
2019 වනවිට විශාල විදුලි අර්බුදයක් සිදුවන එක වළක්වන්නට බැහැ.

මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අදහස් දක්වමින් මෙසේ කීය.

එදා විශ්වාසභංගය ඡන්ද විමසීමේදී ශ්‍රීලනිපය දෙකඩ වුණේ නැත්නම්, එජාපයේ 20-25 ත් ඊට පක්ෂව ඡන්දය දෙන්නට හිටියා. ශ්‍රීලනිප 42 දෙනා එකම මතයක හිටියානම්, දේශපාලන ක්ෂේත්‍රයේ විශාල වෙනසක් සිදුවන්නට ඉඩ තිබුණා.

එහෙම වුණානම්, ටී.එන්.ඒ. එකට, සිය ඉල්ලීම් සම්බන්ධයෙන් බලකරන්නට බැරිවෙනවා.
උතුරු නැගෙනහිර පළාත්වලට දිස්ත්‍රික් ලේකම්වරුන් පත්කරන විට දෙමළ ජාතිකයින් පමණක් පත්කරන ලෙසට බල කරන ඉල්ලීම කරන්නට බැරිවෙනවා.

දැන් රටේ වර්ජන මදිවට කැබිනට් වර්ජන ඇවිත් කැබිනට් ඇමැතිවරුන් වර්ජනයේ.පරිපාලනය කඩාවැටිලා. රට අයාලයේ යනවා. කැබිනට් ඇමැතිකම් ගන්නවා හැරුණුවිට, රටේ දැවෙන ප්‍රශ්න ඒ අයට ප්‍රශ්න නොවෙයි.
ඒකයි පහුගියදා රාජ්‍ය ඇමැතිවරයෙකුට රුපියල් ලක්ෂ 430 කට වාහනයක් මිලදී ගන්නට පරිපූරක ඇස්තමේන්තුවක් දැම්මේ.

මීට දින 4 කට පෙර රුපියල් දස ලක්ෂ දස ලක්ෂයක මුදල් නෝට්ට අච්චු ගහලා රට බංකාලොත්.මේ විදියට උද්ධමනය නතර කරන්නට පුළුවන්ද? අවුරුද්දක් ළඟ එනවා. බඩු මිල ඉහළ යනවා. හෙට අනිද්දා වනවිට තෙල් මිල ඉහළ යන බවට අමාත්‍යාංශ ලේකම්වරයා ඉඟි පළ කරනවා.

මේ ආණ්ඩුවට ජනතා ප්‍රශ්න විසඳීමේ කිසිම වැඩපිළිවෙළක් නැහැ. විශ්වවිද්‍යාල අනධ්‍යයන වැඩ වර්ජනයට දින 40 යි. විශ්වවිද්‍යාල පද්ධතියම අද කඩාවැටිලා. උසස් අධ්‍යාපනය අකර්මන්‍යවෙලා.

දැන් මේ දේශපාලන අර්බුද අස්සේ මහබැංකු මගඩිය අමතක වෙලා. අර්ජුන් මහේන්ද්‍රන් නිදැල්ලේ. පර්පෙචුවල් ටේ‍රෂරීස් සමාගමට අයත් මෙන්ඩිස් සමාගම අමතක වෙලා. රුපියල් ලක්ෂ 1200 අල්ලසක් දෙන්නට ගිය සිද්ධිය ගැන අල්ලස් කොමිසමත් නිහඬයි.

දැන් ඒ මෙන්ඩිස් සමාගම විකුණන්නට යනවා. අද රටේ විනයක් නීතියක් නැහැ. පොලිස්පතිවරයා පොලිස් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්නේ නැහැ.

ස්වාධීන කොමිසම් ගැන පම්පෝරි ගැහුවා. දැන් මොකද වෙලා තියෙන්නේ.මැතිවරණ කොමිසමේ සභාපති එදා සිටි කොමසාරිස් නොවෙයි. පොලිස් කොමිසමත් ඒ වගෙයි.

 



අදහස් (0)

කැබිනට් වර්ජන, සංශෝධන අස්සේ නායකයෝ පඹගාලක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17598 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site