IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


අපේ රටේ යහපත් දේ හොඳ දේ පිළිබඳ ප්‍රධාන පදනම බෞද්ධ දර්ශනයයි

(පොලොන්නරුව - ක.ග. කරුණාරත්න)

අපේ රටේ යහපත් දේ හොඳ දේ පිළිබඳ ප්‍රධාන පදනම බෞද්ධ දර්ශනය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  පොලොන්නරුවේදී ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ පොලොන්නරුව ඕනෑගම මැදමළුව විහාරස්ථානයේ පිහිටි බෝධීන්වහන්සේ වටා අභිනවයෙන් ඉදිකරන ලද බෝධිඝරය සහ රන්වැට විවෘත කිරීමෙන් අනතුරුව පැවැති උත්සව සභාව අමතමිනි. 
ඕනෑගම, මැදමළුව විහාරාධිපති විශ්‍රාමලත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ කඩුවාගම්මන විමලරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාව මෙම පින්කම සංවිධානය කළේය.

පොලොන්නරුව පුරාණ ඉසිපතානාරාමාධිපති, නැගෙනිහිර පොලොන්නරුව තමන්කඩුව තෙපළාතේ ප්‍රධාන සංඝනායක උඩගම ධම්මානන්ද නාහිමියෝ මෙහිදී ප්‍රථමයෙන් අනුශාසනාවක් කළහ.

තවදුරටත් උත්සව සභාව ඇමතූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද කීය.

“මැදමළුව විහාරස්ථානය මුල් කොටගෙන ඉතාමත් උතුම් මහා පුණ්‍ය කටයුත්තකට සම්බන්ධ වීමට ලැබීම ගැන මම ඉතාමත් සතුටු වෙනවා. ඒ වගේම අපේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ දායක සභාවට ගෞරවණීය ස්තූතිය පුද කරනවා මේ උතුම් පුණ්‍ය කටයුත්තට මා වෙත ආරාධනා කිරීම ගැන. බෝධිප්‍රාකාරයක් ගොඩනගමින් රන් වැටක් ඉදිකරමින් උතුම් බෝධීන් වහන්සේට කරන ලද ගෞරවය ඒ සඳහා දෙන ලද ආරක්‍ෂාව ඒ පූජනීයත්වය ඕනෑගම ප්‍රදේශවාසීන් විදිහට ඔබ සැම කෙනෙක්ම මේ උතුම් පුණ්‍ය කටයුත්ත නිසා ඉමහත් සතුටට පත්වෙනවා ඇති. උඩගම ධම්මානන්ද නායක ස්වාමීන් වහන්සේත් මැදමළුව විහාරාධිපති නායක ස්වාමීන් වහන්සේත් අනුශාසනා කළ පරිදි මේ මැදමළුව විහාරස්ථානය මට අලුත් ස්ථානයක් නුපුරුදු ස්ථානයක් නෙවෙයි. මෙහි සිටින වැඩිහිටි පිරිස් ඒ ගැන හොඳින්ම දන්නවා. අපවත් වී වදාළ දඹුල්ලේ ඉන්ද්‍රරතන ස්වාමීන් වහන්සේ වැඩ වසන කාලේ මේ උතුම් පූජනීය ස්ථානයට මම නිතර යන්න එන්න වෙච්ච කෙනෙක්.

උන් වහන්සේ සමග මගේ හිතවත් කිට්ටු ඇසුරක් තිබුණේ. උන් වහන්සේගේ අවවාද අනුශාසනා උපදෙස් මගේ දේශපාලන ජීවිතයට ඉතාමත් වැදගත් වුණා. මගේ මතකයේ හැටියට 1987, 1998 කාලේ ගත් විට සතියකට දෙවරක් වත් මේ මැදමළුව පන්සලට ඕනෑගම කාලිංග ඇළ මේ ප්‍රදේශයට යනවා එනවා. ඒ මගේ දේශපාලන ජීවිතයේ මුල් ආරම්භක කාලසීමාව. මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට 1989 පාර්ලිමේන්තුවට යන්න කලින් විශේෂයෙන්ම අපේ ඉසිපතනාරාමාධිපති ගෞරවනීය උඩගම ධම්මානන්ද ස්වාමීන් වහන්සේගේ විහාරස්ථානයත් ඒ සෙවනත් උන්වහන්සේගේ අනුශාසනාත් ඒ වගේම එවකට දඹුල්ලේ ඉන්ද්‍රරතන ස්වාමීන් වහන්සේ වැනි උතුම් ගෞරවනීය මහා සංඝරත්නයේ අනුශාසනා උපදෙස් මගපෙන්වීම් තුළ මම කටයුතු කළා. මා විශ්වාස කරනවා ඒ නිසා තමයි මට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙලා ජනාධිපති ධුරය දක්වා යන්න පුළුවන්කම ලැබුණේ. මාගේ මුල් අඩිතාලමේදී මඟ පෙන්වීම් අනුශාසනා කළේ මේ ගෞරවනීය මහා සංඝරත්නයයි. ගමේ විහාරස්ථානය, පංසල, විහාරාධිපති ස්වාමීන් වහන්සේ, බෞද්ධ භික්ෂුන් වහන්සේ අපි සැමවිටම ගුරු කොට සැලකිය යුතුයි. යහපත් සමාජයක් ගොඩනගන්න, යහපත් ජීවිතයක් ගොඩනගන්න, යහපත් ගමක්, රටක් හදාගන්න උන්වහන්සේලාගේ අවවාද මග පෙන්වීම් අනුශාසනා ඉතාම වැදගත් වෙනවා. 

අපේ රට තුළ අද යම් යහපත් දෙයක් හොඳ දෙයක් ඉතිරි වෙලා තියෙනවා නම් එයට ප්‍රධානම පදනම බෞද්ධ දර්ශනයයි අපේ බෞද්ධ සංස්කෘතියයි කියන එක ඔබ අප සෑම කෙනෙක්ම දන්නවා. අද විවිධ ක්‍ෂේත්‍ර තුළ එක් පැත්තකින් රටක් විදිහට සතුටු වෙනවා වගේම තවත් පැත්තකින් සතුටු විය නොහැකි බොහෝ දේවල් තිබෙනවා. අපි වාණිජ සාමාජයක බොහෝ අය මුදල් සෙවීමේ තරගයක යෙදී සිටින තරගකාරී සමාජයක සිටින්නේ. අද සෑම කෙනෙකුටම අවශ්‍ය දේ සීමාව ඉක්මවා සිතන බලාපොරොත්තු වන සමාජයක් තිබෙන්නේ. ඒ නිසා සෑම දෙයටම තරගකාරීත්වය වැඩියි. බොහෝ දේ මුදලට මුල් වෙලා. බොහෝ දේ මුදලේ වටිනාකම පෙන්වන දේවල්. ඒ නිසා ඇතැම් වෙලාවට අපි දකින සමාජයේ ශික්ෂණය විනය බොහෝ විට පිරිහිලා තිබෙනවා. 

ගමේ පන්සල ගමේ හාමුදුරුවෝ අපට මග පෙන්වනවා. ධර්ම දේශනා කරනවා වගේම ගමේ පාසල ගමේ විදුහල්පතිතුමා ගුරු දෙමව්පියෝ සැමවිටම සිය දැනුම හා අත්දැකීම් තුළ වඩා යහපත් රටක් සමාජයක් හදන්නයි දරුවන්ට නව පරපුරට මග පෙන්වන්නේ අවශ්‍ය උපදෙස් දෙන්නේ. මම අද කොළඹ ඉඳලා එන්න කලින් උදෙන්ම ගියේ කොළඹ රෝහලක සිටින ඊයේ පෙරේදා වෙඩි ප්‍රහාරයකට ලක් වෙච්ච කිරි වෙහෙර කතරගම නායක ස්වාමීන් වහන්සේගේ සුවදුක් බැලීමටයි. උන් වහන්සේ වෙඩි වැදිලා හම්බන්තොට රෝහලට ගෙනාවට පස්සේ මම ගුවන් යානයක් යවලා උන් වහන්සේව කොළඹට ගෙනාවා. ඒ වගේම ඔබ දැක්කා මාධ්‍යයේ අපි කවුරුත් දන්න ගෞරවණීය තරුණ භික්ෂූන් වහන්සේ නමක් අධිකරණයෙන් දඬුවමකට ලක්වුණා. ඒ වගේම ඔබ දකිනවා මේ දිනවල මාධ්‍ය තුළ විද්‍යුත් මාධ්‍යය මුද්‍රිත මාධ්‍යය මේ හැම එකකම අපේ අලුත් පළාත් පාලන ආයතනවල සභාපතිවරු මන්ත්‍රීවරු කොහොමද හැසිරෙන්නේ කියලා. දැන් නගරාධිපතිවරු සභාපතිවරු දිවුරුම් දීලා මාස 03 ක් වගේ කාලයක් ගෙවිලා තියෙන්නේ. ඔබ දකින්න ඇති මේ ටිකට කී දෙනෙක් හිරේ ගියාද කියලා. කී දෙනෙක් වෙඩිකාලා ජීවිතේ නැතිවුණාද කියලා. ගිය සතියේ නුවර එළියේ අලුත් සභාපතිවරයෙක් බරපතළ චෝදනා රාශියක්, දරුවෝ දෙදෙනෙක් සඟවා ගැනීම, ස්ත්‍රී දූෂණ මේ වගේ කරුණු ගණනාවක් මත සිරභාරයට ගත්තා. ගිය සතියේ ගාල්ලේ උප සභාපතිවරයෙක් වෙඩි තියලා මරලා දැම්මා. 

පොලොන්නරුව දිස්ත්‍රික්කය ගත්විට පසුගිය අවුරුදු තුන හමාරක කාලය තුළ සංවර්ධනයේ සිදුවන, සිදුවෙමින් පවතින මහා පෙරළිය කුමක්ද කියලා ඔබ දකිනවා. මීට පෙර කිසිම දවසක නොදුටු සංවර්ධනයක් සිදුවෙනවා. රෝහලද පාසලද පංසලද පානීය ජලයද මාර්ගද අනෙකුත් සමාජ සුභ සාධන කටයුතු ද මේ සඳහා පසුගිය අවුරුදු තුන හමාරක කාලය විතරක් ගතහොත් රුපියල් කෝටි දහස් ගණනක් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සංවර්ධනයට වැය කරලා තියෙනවා. චීනයෙන් ල ැබූ වකුගඩු රෝහල දැන් වැඩ පටන් අරගෙන තිබෙනවා. ඒ කොන්ත්‍රාත් සමාගම පැමිණිලා. ඉන්දීය රජයෙන් ලැබී තිබෙන ත්‍රෛභාෂා පාසලද ලංකාවේ පළමු පාසල සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම ඉගෙනුම් කටයුතු සිදුවන එවැනි අලුත් අත්දැකීමක් අධ්‍යාපනයට ලැබෙන. එහි වැඩ කෙරෙමින් පවතිනවා. 
අපි භෞතික සම්පත් දීලා ගම රට සංවර්ධනය කරනවා සේම යහපත් ජීවිත සකස් කරන්න කැප වෙන්න වෙනවා යැයිද කීය.    

ජනාධිපතිවරයා විසින් මැදමළුව විහාරාධිපති කඩුවාගම්මන විමලරතන හිමියන් වෙත සිහිවටන තිළිණයක් ද පිරිනමනු ලැබීය.

ජනාධිපතිවරයා ප්‍රමුඛ ජනතාවටත් රටටත් සෙත් පතා මහා සංඝරත්නය බෝධි පූජා පින්කමක්ද පැවැත්වූ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිස එම අවස්ථාවට සහභාගී වූහ.

පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිපාල ගම්ලත්, පොලොන්නරුව මහ නගර සභාවේ නගරාධිපති චානක සිදත් රණසිංහ, පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් රංජිත් ආරියරත්න, තමන්කඩුව ප්‍රාදේශීය මහලේකම් එන්.ඒ.ඒ.එස්. නිශ්ශංක ආරච්චි යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ. 

 



අදහස් (0)

අපේ රටේ යහපත් දේ හොඳ දේ පිළිබඳ ප්‍රධාන පදනම බෞද්ධ දර්ශනයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 640 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17658 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 729 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site