IMG-LOGO

අද අපි ඒ ඉතිහාසය වෙනස් කර ලාභ ලබන්න අඩිතාලම දැම්මා

(ශ්‍රී ජයවර්ධනපුර මුදිතා දයානන්ද)

වරාය අධිකාරියේ ලාභයෙන් වරාය සංවර්ධනය කරනවා වෙනුවට ලාභයක් නැති හම්බන්තොට වරාය නඩත්තු කරන්න අපිට සිදුවුණා.

අද අපි ඒ ඉතිහාසය වෙනස් කරමින් මහා භාණ්ඩාගාරයටත් විශාල මුදලක් එකතු කරමින් ලාභ නැති වරාය ලාභ ලබන තත්ත්වයකට පත් කරන්න අඩිතාලම දැම්මා යැයි හම්බන්තොට වරාය සංවර්ධනය කිරීම සඳහා චීන සමාගමක් සමග ගිවිසුම් අත්සන් කිරීම නිමිත්තෙන් පෙරේදා (29) පැවති උත්සවයේදී අදහස් දක්වමින් වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.

මෙම ගිවිසුම සඳහා ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එල්.පී. ජයසම්පත් හා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති පරාක්‍රම දිසානායක යන මහත්වරුද, චීන සමාගම වෙනුවෙන් චයිනා මර්චන්ට් සමූහයේ විධායක උප සභාපති ආචාර්ය හූ ජියැංහුආ මහතා ද අත්සන් තැබූහ.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

මෙම ගිවිසුම අත්සන් තැබීමත් සමග මහවැලි සංවර්ධන ව්‍යාපෘතියෙන් පසු මෙරටට ලැබෙන විශාල අයෝජනය මෙය බවට පත්වෙනවා. මේ වරාය ඉදිකිරීමට ගත් ණය පියවන්න සිදුවී තිබුණේ වරාය අධිකාරියටයි. රටේ සියලු වරායවලින් ලැබෙන ආදායම කිසිදු ආදායමක් නැති මේ වරායේ ණය ගෙවන්න යොදවන්න අපිට සිදුවුණා. ඒ ආදායම අපි යෙදවිය යුත්තේ වරායේ සේවකයන්ගේ සුබසාධනයට. ඒ ඒ වරායවල ඉදිරි සංවර්ධනයට. නමුත් පහුගිය කාලයේ අපිට ඒ කිසිවක් මේ ණය මුදල නිසා කරගන්න බැරිවුණා. අපේ ශුද්ධ ලාභයෙන් සියයට අනූවක් වැය කළේ මේ ණය ගෙවීමටයි. දැනට අපි බිලියන හතළිස් හතක් පසුගිය වසර කීපයේදී ගෙවා තිබුණා.

මේක දිගටම කරගෙන යාම ගැටලුවක් නිසා තමයි ජනාධිපතිතුමාගේ උපදෙස් මත අගමැතිතුමා චීනයට ගොස් මේ සම්බන්ධයෙන් චීන රජය සමග සාකච්ඡා කළේ. ඒ අනුව තමයි අපට ආයෝජකයෙක් සොයා දෙන්න චීන රජය එකඟ වුණේ.

චීන රජයෙන් රුපියල් බිලියන 193ක ණයක් අරන් තරමක් දුරට වරාය ඉදිකිරීමක් තමයි කර තිබුණේ. ඒ සඳහා වාණිජ ණයක් තමයි අරන් තිබුණේ. අද අපි මේ ගිවිසුමට අත්සන් කළ පසු ඇමරිකන් ඩොලර් බිලියන 1. 2ක විශාල මුදලක් අපේ භාණ්ඩාගාරයට ලැබෙනවා. මේ වෙලාවෙදී මම මතක් කරන්න අවශ්‍යයි, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයේදීත් මේ වගේම ගිවිසුමකට අත්සන් කරන්න ගියා. 2014 සැප්තැම්බර් 04වැනිදා එම ගිවිසුමට කැබිනට් අනුමැතිය ලැබුණා. ඒ අනුව එවකට හිටපු වරාය සභාපති ගිවිසුමකට අත්සන් තැබුවා. චීන සමාගමත් සමග හවුලේ ආයෝජනයක් කරන්න තමයි ගිවිසුමෙන් එකඟ වී තිබුණේ. ඒත් ඒ ගිවිසුමත් මේකත් අතර විශාල වෙනසක් තිබෙනවා.

එදා අත්සන් කරන්න ගිය ගිවිසුමෙන් අපේ මහාභාණ්ඩාගාරයට සත පහක්වත් ලැබෙන්නේ නැහැ. ඇමරිකන් ඩොලර් මිලියන 390ක මුදලක් වරාය සංවර්ධනයට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ලබාගැනීමට ලැබෙනවා විතරයි. නමුත් අද අපේ මහා භාණ්ඩාගාරයට විශාල මුදලක් ලැබෙන අතරේ මේ චීන සමාගම එකඟ වී තිබෙනවා අවම වශයෙන් තවත් ඇමරිකන් ඩොලර් මිලියන හයසීයක් වරායේ සංවර්ධනයට යොදවන්න. චීන සමාගමට සියයට හැත්තෑවක කොටසක් වරායෙන් ලැබෙන අතරේ අපිට සියයට තිහක් ලැබෙනවා. ඔවුන් එකඟ වී තිබෙනවා මේ වරාය ජාත්‍යන්තර වශයෙන් පිළිගත් වරායක් බවට පත් කරන්න. භූගෝලීය දේශපාලන ගැටලු පදනම් කරගන්නේ නැතිව අපේ රටේ ව්‍යවස්ථාවට යටත්ව වැඩ කරන්නත් මෙහි ආරක්ෂක කටයුතු සියල්ල අප අත තබන්නත් එකඟ වී තිබෙනවා. සේවකයන්ගේ රැකියා සුරක්ෂිතතාව ඔවුන් අරක්ෂා කරන්න එකඟවී තිබෙනවා.

ඒ අනුව සුදුසුකම් ඇති අය කිසිවකු ඉවත් කරන්නේ නැහැ. අනෙක් අය වන්දි දී ඉවත් කරනවා. මේ සියල්ල සිදුවන්නේ අපේ රටේ කම්කරු නීති රීතිවලට යටත්වයි.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ගිවිසුම නොවෙයි අත්සන් කළේ කියලා සමහරු කියනවා. එහෙම කිසිම වෙනසක් සිදුකර නැහැ. අපි මේ ගිවිසුම සකස් කර තිබෙන්නේ ඉදිරියේදී අවශ්‍ය අවස්ථාවලදී වෙනස්කම් කරන්නත් එකඟතා ඇතිකර ගත් වගන්තියක්ද ඇතිවයි. ඒ නිසා අපි ඉදිරියේදී කැබිනට් මණ්ඩලයේ දැනගැනීම පිණිස මේ අත්සන් කළ ගිවිසුමම ඉදිරිපත් කරනවා. ඒ වගේම මේ පිළිබඳ පාර්ලිමේන්තුවේ විවාදයක් ඉදිරියේදී පැවැත්වෙනවා. අවශ්‍ය නම් හොඳ යෝජනා ආවොත් ඒවා ඇතුළත් කරලා ගිවිසුමේ වෙනස්කම් කරන්න පුළුවන්.

මෙහිදී මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා මෙසේ පැවසීය.

මහවැලි අයෝජනයෙන් පසුව අපේ රටට ලැබුණු විශාලතම ආයෝජනය ලබාගැනීමේ මූලික ගිවිසුමට අපි අත්සන් තැබුවා. මහවැලියෙන් පසු මෙරට ඇතිවන විශාලතම සංවර්ධනය මෙරට ආරම්භ වෙනවා. ලෝකයේ තිබෙන විශාලතම වරාය කටයුතු සම්බන්ධ සමාගමක් සමග තමයි අපි ගිවිසුම් ගත වුණේ.

ලෝකයේ විශාලතම පිහිනුම් තටාකය නමින් හැඳින්වුණු මේ වරාය වරායක් බවට පත් කරන්න අපිට තවත් ඩොලර් මිලියන හයසීයකට වැඩි මුදලක් ලැබෙනවා. හම්බන්තොට වගේම ඒ අවට දිස්ත්‍රික්ක රැසකට මේ සංවර්ධනයේ ප්‍රතිපල ලැබෙනවා. අපි නොසිතු සංවර්ධනයකට දශක ගණනාවකට පසු ළඟාවෙන්න හැකිවෙනවා. සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය බවට කොළඹ පත්වී තිබු තත්ත්වය වෙනස් වී එය දකුණු පළාතටද යොමුවෙනවා. ඍජු හා වක්‍ර රැකියා අවස්ථා ලක්ෂ තුනක් පමණ ලැබෙනවා. තවත් ආයෝජකයින් විශාල ප්‍රමාණයක් අපේ රටේ ආයෝජනය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉන්දියාව, යුරෝපය, ජපානය, ඇමෙරිකාව වගේ රටවල අයෝජකයින් පවා අපේ රටට පැමිණෙන්න බලපොරොත්තු වෙනවා. මේ උදාවූ අවස්ථාව ශ්‍රී ලංකාවේ අනාගතයට නව පිටුවක් පෙරළනු ඇතැයි මා විශ්වාස කරනවා.

චීන සමාගමේ විධායක නියෝජ්‍ය සභාපති ආචාර්ය හූ ජියැංහුආ අදහස් දක්වමින් මෙසේ පැවසීය.
ශ්‍රී ලංකාව හා චීනය අතර මිත්‍රත්වයට වසර හැටක් ගතවී තිබෙනවා. අපි විශ්වාස කරනවා ඒ මිත්‍රත්වය තවත් ඉදිරියට ගෙනියන්න එය අර්ථවත් කරන්න මේක හොඳ අවස්ථාවක් කියලා. හැම පුද්ගලයකුටම තමන්ගේ වූ ජාතියක් තිබෙනවා. අපි එයට ගරු කළ යුතුයි. මේ ගිවිසුම අත්සන් කිරීමෙන් අපේ එක සේදමාවතක් ගොඩනැගීමේ වැඩපිළිවෙළට ලංකාවත් සම්බන්ධ කරගන්න අපිට අවස්ථාවක් ලැබෙනවා. රටක් සංවර්ධනය වෙන්න නම් ඒ රටේ ජනතාවට හොඳ අධ්‍යාපනයක්, හොඳ සෞඛ්‍ය පහසුකම් ලැබිය යුතුයි. එක සේදමාවතක් ගොඩනැගීමේ සංකල්පයේ අපේ අරමුණ එයට සම්බන්ධ කරගන්න රටවලද එවැනි ගුණාත්මක වෙනසක් ඇති කරමින් ආර්ථික සංවර්ධනයක් කරා ගමන් කිරීමයි. මේ අයෝජනයෙන් ලංකාවට ඒ සඳහා හොඳ අවස්ථාවක් ලැබෙනු ඇති. මේ වරාය ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ඉතාමත් වැදගත් වරායක් බවට පත් කිරීම අපේ අරමුණයි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ චීන තානාපති යී ෂියැංලියැං, උපායමාර්ගික සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම, විශේෂ ව්‍යාපෘති අමාත්‍ය සරත් අමුණුගම යන මහත්වරුද ඇතුළු ආරාධිතයෝ රැසක්ද වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීහු හා චයිනා මර්ච්න්ට් සමාගමේ නිලධාරීහු රැසක්ද සහභාගී වූහ.



අදහස් (1)

අද අපි ඒ ඉතිහාසය වෙනස් කර ලාභ ලබන්න අඩිතාලම දැම්මා

sanath Tuesday, 01 August 2017 08:07 AM

මෙයා දිනන්නේ කොයි පැත්තද මෙයා ඒ පැත්තේ. මම හරිද වැරිදද?

:       1       73

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 79 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 634 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site