සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්‍ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන 
රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ  

රටේ අලුත් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්‍ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා සමග කළ සාකච්ඡාවකි.  


ප්‍රශ්නය- ලොහාන් රත්වත්තේ පිස්තෝල අරගෙන බන්ධනාගාරවලට යනවා. සිරකරුවන් කූඩුවලින් එළියට අරගෙන පිස්තෝලය ඔළුවට තියලා තර්ජනය කරනවා. මේකද රටේ ජනතාව බලාපොරොත්තු වෙච්ච රට?  


පිළිතුර- මෙහෙම සිදුවීම් බලාපොරොත්තු වුණේ නෑ. ඇත්තටම එතැන මොනවද වෙලා තියෙන්නේ කියලා අපි තවම හරියට දන්නේ නෑ. කොහොම වුණත් ජනාධිපතිතුමා ඒකට තීන්දුවක් අරගෙන තියෙනවා. ඇමැතිතුමා වගකීම බාර අරගෙන ඉල්ලා අස්වුණා.  


ප්‍රශ්නය- එය ප්‍රමාණවත්ද? දඬුවමක් නැද්ද?  


පිළිතුර- ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ වෙයි. තරාතිරම නොබලා මේ වගේ ප්‍රශ්නයකදි මේ ආණ්ඩුව ක්‍රියා කරනවා. නීතිය හැමෝටම එකයි කියන එක අද ඔප්පු වෙලා තියෙනවා.  


ප්‍රශ්නය- ලොහාන් රත්වත්තේ ඉල්ලා අස් වුණේ බන්ධනාගාර රාජ්‍ය ඇමැති ධුරයෙන් විතරයි. ඔහුට තව රාජ්‍ය ඇමැති ධුරයක් තියෙනවා. මේ ඉල්ලා අස්වීම මවාපෑමක්ද?  


පිළිතුර- එහෙම නොවෙයි. පරීක්ෂණයක් කෙරෙනතුරු අපට මේ ගැන මුකුත් කියන්න බෑනේ. පළමු අවස්ථාවෙදිම එතුමා ඉල්ලා අස්වුණා. ඒ විෂය පථයෙන් එතුමා ඉල්ලා අස්වුණා. පරීක්‍ෂණයක් කළාට පස්සේ ඒ සම්බන්ධයෙන් ජනාධිපතිතුමා තීන්දුවක් ගනීවි.  


ප්‍රශ්නය- පොදුජන පෙරමුණ හඳුන්වන්නේ රටේ තියෙන හොඳම විනය තියෙන පක්‍ෂය කියලනේ. පක්‍ෂය මේ සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නවද?  


පිළිතුර- පරීක්‍ෂණ වාර්තා ආවට පස්සෙ පක්‍ෂය තීන්දුවක් ගනීවි. දැනට මේ සිද්ධිය සම්බන්ධයෙන් එක පැත්තක කතාවක් විතරනෙ අපි දන්නෙ. මාධ්‍ය තුළ කතා වෙන දේවල් විතරනෙ අපි දන්නෙ. ඒ නිසා අපට නිශ්චිතව මේ ගැන කතා කරන්න බැහැනෙ, පරීක්‍ෂණ වාර්තාව එනකම් ඉමු. 


ප්‍රශ්නය- පරීක්‍ෂණයෙන් නම් ලොහාන් නිදහස් වේවි?  


පිළිතුර- එහෙම කියන්න එපා. සියල්ල විනිවිදව වගේම සාධාරණ විදියට සිද්ධ වේවි. මීට පෙර මේ වගේ සිද්ධිවලට ඇමැතිවරු ඉල්ලා අස්වෙලා නැහැනේ, අදාළ සම්පූර්ණ පරීක්‍ෂණ වාර්තාව ආවට පස්සෙ අවශ්‍ය තීන්දුව ජනාධිපතිතුමා ගනීවි.  


ප්‍රශ්නය- රටේ කිරි පිටි නෑ. සීනි නෑ. හිටපු ගමන් ගෑස් නෑ. තෙලුත් නෑති වෙනවලු. මොකද්ද මේ වෙලා තියෙන්නේ? ආණ්ඩුවෙ පාලනයෙන් රට ගිලිහිලාද?  


පිළිතුර- ඇත්තටම මුළු ලෝකයම කොරෝනා පාලනයට නතුවෙලා තියෙන්නේ. එතැනදි අපේ රටේ මුළු ජන ගහනයෙන් සියයට 50 ට වැඩියෙන් එන්නත් කරණය කරලා තියෙනවා. එන්නත් කරණයෙන් තමයි සෞඛ්‍යාරක්‍ෂිත පරිසරයක් හදන්නේ. ඒ පරිසරය හැදෙනකම් අපේ රටේ විතරක් නොවෙයි ලෝකයේ හැම රටකම යම්යම් අර්බුද ඇතිවුණා.  


ප්‍රශ්නය-  විපක්‍ෂය නම් කියන්නේ මෙහෙම වෙලා තියෙන්නේ ආණ්ඩුවේ නොහැකියාව නිසා කියලයි?  


පිළිතුර- විපක්‍ෂය මොනවද නොකියන්නේ. දැන් බලන්න අපි රටේ ආහාර හිඟයක් ඇති වෙන්න ඉඩ තිබේබේ නෑ. අපි සුබ සාධනය කප්පාදුවට ලක් කළේ නෑ. රජයේ සේවකයන්ගේ වැටුප්, විශ්‍රාමිකයන්ගේ වැටුප් කප්පාවට ලක් ​කළේ නෑ. මොන අමාරුකම් තිබුණත් අතිශය දුෂ්කර කාල පරිච්ඡේදයක්. විදේශ විනිමය ලැබෙන සියලුම මාර්ග ඇහිරිලා තියෙන්නේ. රජයට ආදායම් ලැබෙන සියලුම මාර්ග බිඳ වැටිලා තියෙන්නේ. අසීරු අභියෝගය අපි ජයගන්න සමත් වෙලා තියෙනවා. එන්නත්කරණය සම්පූර්ණ කරලා රට සෞඛ්‍යාරක්‍ෂිතව විවෘත කළාම මේ තත්ත්වය ඉතාමත් යහපත් තත්ත්වයට පත් වේවි. නමුත් මේ තත්ත්වය කඩාකප්පල් කරන්න හදන කුමන්ත්‍රණකාරයන් ඉන්නවා.  


ප්‍රශ්නය-  කොහෙද ඉන්නේ? සෞඛ්‍ය ක්ෂේත්‍රයේද, දේශපාලන ​ක්ෂේත්‍රයේද?  


පිළිතුර- විපක්‍ෂයේ. විපක්‍ෂයට සම්බන්ධ අය හා කොරෝනා ව්‍යසනය දේශපාලන වේදිකාවක් බවට පත් කරගෙන දවසගානේ නොයෙක් අභූත කතා කියන්න පටන් අරගෙන තියෙනවා. මුලින් කිව්වා අපට එන්නත් කරණය කරන්න බෑ කියලා. අපට සල්ලි නෑ කිව්වා. කිසිම රටක් අපට උදව් කරන්නේ නෑ කිව්වා. ඒ ඔක්කොම තර්ක අපි බොරු කරලා තියෙනවනේ.   


ජනාධිපතිතුමා අගමැතිතුමා පෞද්ගලිකව මැදිහත් වෙලා රටට අවශ්‍ය හැම දෙයක්ම කරලා තියෙනවා. අපි හිතනවා මේ අවුරුද්දේ අන්තිම කාර්තුවේදි රට යථා තත්ත්වයට පත් වෙයි කියලා. එතැන ඉඳලා 2022 අවුරුද්දේ ඉඳලා සාමාන්‍ය පරිදි කටයුතු කරගෙන යන්න පුළුවන්.  


ප්‍රශ්නය- සමහර ඇමැතිවරු කියනවා දෙවේලක් කන්න කියලා. රුපියල් ලක්‍ෂයකට වඩා පඩි ගන්න අයට බද්දක් ගහන්න කියලා. මේවා මේ ජනතාව බලාපොරොත්තු වෙච්ච දේවල්නම් නොවෙයි.  


පිළිතුර- නෑ.. එහෙම එකක් නෑ. රටේ ජනතාවට තුන් වේල කන්න පුළුවන් පරිසරය අපි ආරක්‍ෂා කරලා තියෙනවා. එන්නත්කරණය එක පැත්තකින් දෙද්දි තව පැත්තකින් රට වහන්න කියලා උද්ඝෝෂණය කරන්න කියලා කෑගැහුවා. රට වැහුවම රට විවෘත කරන්න කියලා බලපෑම් කරන්න පටන් ගන්නවා. ඔය හැමදෙයක් දිහාම බලල තමයි අපි ඔය තීන්දු තීරණ ගත්තේ. අපේ මූලික පරමාර්ථය එන්නත්කරණය සම්පූර්ණ කර ගැනීමයි. ඒ මූලික පරමාර්ථය ඔස්සේ අපි යනවා. එන්නත්කරණය නොකර අනික් කිසිම දෙයක් කළාට වැඩක් නෑ. ඒ නිසා ඒකට අපි ප්‍රමුඛත්වය දීල තියෙනවා. අපි දන්නව රට වහල තියන්න තියන්න දෛනිකව ආදායම් ලබන අය අසීරුතාවයට පත් වෙනවා. මේක නොතේරෙන කණ්ඩායමකුත් ඉන්නවා. තේරිලා නොතේරුණා වගේ ඉන්න පිරිසකුත් ඉන්නවා. බද්දක් ගහන්න කිසිම සාකච්ඡාවක්වත් කරලා නෑ. එක එක යෝජනා එක එක්කෙනාට කරන්න පුළුවන්. ඒවා ක්‍රියාත්මක කරනවද නැද්ද කියන එක ජනාධිපතිතුමා ඇතුළු රජය තීරණය කරලා තියෙනවා. අමතර බදු ගැසීම වෙනුවට අපේ රජය කරලා තියෙන්නේ බදු අඩු කිරීමක්. ඒකටත් දොස් කියනවනේ. අපි බදු අඩු කරපු නිසා තමයි රටේ මුදල් සංසරණයට අවශ්‍ය උත්තේජනය ලැබුණේ. ඒ​ වෙලාවේ සියයට 15 වැට් බද්ද සියයට 8 ට අඩු කළාම අපට බැන්නා. නමුත් ඒ මුදල් නැවත ආයෝජනය වුණා. අද ඇති වෙලා තියෙන තත්ත්වයට එදා බදු අඩු කිරීම අද සහනයක් වෙලා තියෙනවා.  


ප්‍රශ්නය- බදු අඩු කලේ ගජ මිතුරන්ට වාසි සලසන්න.  


පිළිතුර- ඕක නිකම් කට වචනයට කියන ඒවනේ. අපි එය විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් නිතරම අහනවනේ ගජ මිතුරන් කියලා කියන්නේ කාටද කියලා. එහෙම ඇහුවම විපක්‍ෂයට කොන්ද පණ නැහැනේ ඒ කවුද කියල කියන්න. ඇයි ඒ කියන්න බැරි? පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවෙලා කතා කරන එකත් එළියේ විවෘතව කතා කරන එකෙත් ලොකු වෙනසක් තියෙනවා. පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවෙලා කතා කරන එක වීරත්වය නොවෙයි.  


ප්‍රශ්නය- සීනි බද්ද ශත 25 ට අඩු කිරීම නිසා අති මහත් ලාභයක් ගන්න පිරිසක් ඉන්නවා?  


පිළිතුර- ඉන්න පුළුවන්. ඒවගේම ජනතාවටත් එයින් ප්‍රතිලාභ ලැබුණා. එහෙම බදුඅඩු කිරීමක් නොකළා නම් රුපියල් 220 ට 240 ට මිල ඉහළ යන්නේ අද ඊයේ නෙවෙයි, ඒ දවස්වලමයි. මෙතැන ප්‍රශ්නයක් තියෙනවනේ. බදු අඩු කරලත් සමහර අය සීනි හිඟයක් මවා පෑවනේ. මිල තීරණය වන්නේ ඉල්ලුම හා සැපයුම් අනුවනේ. එතකොට එයාල මොකද කළේ, සීනි හැංගුවා. බෙදා හැරීමේ ජාලය අක්‍රීය කළා. අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් කෙනෙක් ඉන්නේ රජයේ ප්‍රතිපත්ති වෙනුවෙන්. මේ විදියට කූඨ විදියට වැඩ කරනවානම් අපට සිද්ධ වෙනවා නීති රීති ගෙනල්ලා පාරිභොගිකයා ආරක්‍ෂා කරන්න. අපි නිෂ්පාදකයාත් පාරිභෝගිකයාත් කියන දෙගොල්ලොම ආරක්‍ෂා කරනවා. ඉතාම අසීරු කාලයක අපට සතුටු වෙන්න පුළුවන් ජනතාවට අවම බලපෑමක් එන විදියට රජය කටයුතු කරලා තියෙනවා. අනිත් රටවල් මීට වඩා දරුණු තත්ත්වයට ගිහින් තියෙනවා. දරුණු ආර්ථික අර්බුදවලට ගිහින් තියෙනවා. ඒ නිසා අපි රටක් විදියට සතුටු වෙන්න ඕනෑ. 2019 දී අපි බාර ගත්තේ ආසියාවේ දුර්වලම ආර්ථිකය තියෙන රටක්. සියයට 7ක් වගේ ශක්තිමත් ආර්ථික වර්ධන වේගයක් 2015 වෙනකම් තිබිලා 2015-2019 කාලයේ කරපු වැරැදි පාලනය නිසා අපි දෙවැනි වුණේ ඇෆ්ගනිස්තානයට පමණයි. එහෙම දුර්වල ආර්ථිකයක් අපට ලැබුණේ එදා 2015 දි අප බාර දුන්න ආර්ථිකය 2019 දී අපට ලබා දුන්නානම් අද මේ වගේවත් දුෂ්කරතාවයට මුහුණ දෙන්නේ නෑ. අපි කිසිම දෙයක් බෑ කිව්වේ නෑ, නතර කළේ නෑ. යහපාලන ආණ්ඩුව තිබුණා නම් කොරෝනා නිසා අරක බෑ මේක බෑ කිය කිය ඉඳියි. ජනතාව මොහොතකටවත් බිය වෙන්න අවශ්‍ය නෑ. සජිත් ප්‍රේමදාස වගේ කෙනෙකුට රට ගිහිල්ලා තිබුණා නම් බලන්න, එහෙමනම් දිනපතා දහස් ගණනින් මැරිලා. අපට කතා කරන්නවත් ජනතාවක් ඉතුරු වෙන්නේ නෑ. අපි අසීරුම යුගය පසු කරමින් ඉන්නේ. හෙට වඩාත් යහපත් වෙයි.  


ප්‍රශ්නය- ගොවියා කියනවා ආණ්ඩුවේ සහතික මිලට වී දෙන්න බෑ කියලා. ඔවුන් වී ගෙවල්වල ගොඩ ගහගෙන ඉන්නවා. ඉදිරියේදි දරුණු හාල් හිඟයක් ඇති වෙයි?  


පිළිතුර- නෑ. සහල් හිඟයක් ඇති වෙන්නේ නෑ. මූලිකවම අපි රුපියල් 55 දක්වා සහතික මිල අරන් ගියේ ගොවියාට ​රුපියල් 28 යි 32 යි අතර ලැබුණු යුගයක් අවසාන කරලා. රුපියල් 50 ට වී ටික ගන්න පොරොන්දු වෙච්ච යහපාලනය 28 හා 42 අතරට තමයි වී ගත්තේ. අපි ඒක රුපියල් 55 ට අරගෙන ගියා. ගොවියා අරක්‍ෂා කිරීම අතින් අපේ ආණ්ඩුවට කාටවත් ඇඟිල්ල දික් කරන්න බෑ. පාරිභෝගිකයාගේ පැත්තෙනුත් අපි මැදිහත්වීමක් කරලා තියෙනවා. වී මිලට සාපේක්‍ෂව නොවෙයි සහල් මිල ඉහළ ගියේ. පරිභෝගිකයා ආරක්‍ෂා කරන ගමන් වී නිෂ්පාදකයාත් අපි ආරක්‍ෂා කරනවා. ඒ නිසා ඊළඟට ආරම්භ වෙන මාස් කන්නයෙදි ගොවීන් වගා කරන්න පුළුවන්. ක්‍රමවේදයන්වල වෙනස්කම් තියෙනවා. කාබනික පොහොර අපි ලබා දෙනවා. 

 
ප්‍රශ්නය- මහ බැංකුවේ අධිපති ඉල්ලා අස්වුණා. වී අළෙවි මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වුණා. ඇයි ආණ්ඩුව මේ නිලධාරින්ට වැඩ කරන්න දෙන්නේ නැත්තේ?  


පිළිතුර- ඉල්ලා අස්වීමට ඕනෑම කෙනෙකුට අයිතියක් තියෙනවනේ. ඒ අයිතියට අපිට බාධා කරන්න බැහැනේ. අකමැති නිසානේ ඉල්ලා අස්වෙන්නේ. එහෙම අකමැති කෙනෙක්ව බලහත්කාරයෙන් තියාගන්න හොඳ නෑ. මෙතෙක් ආණ්ඩුවට දීපු සහයෝගය ගැන අපි කෘතවේදීව සිහිපත් කරනවා. ඔහොම ඉල්ලා අස්වීම් අද ඊයේ වෙච්ච දේවල් නෙවෙයි. ඉදිරියෙදිත් ඕවා වෙයි. කවුරු ඉල්ලා අස් වුණත් ඒක රජයේ වැඩපිළිවෙලට බාධාවක් කරගන්නේ නෑ.  


ප්‍රශ්නය- මට තියෙන ප්‍රශ්නය ආණ්ඩුවට වැඩ පිළිවෙළක් තියෙනවද කියන එකයි.  


පිළිතුර- ඇයි එහෙම අහන්නෙ? මේ වැඩපිළිවෙල නොතිබුණානම් අපේ රටේ ඉරණම බලා ගන්න තිබුණා. ඇත්තටම මේ ප්‍රථිඵල එනකොට ඔබ විමතියට පත්වේවි.  

 

 

සාකච්ඡා කළේ  
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්