IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


රුවන්ට දේශපාලනයේත් - කැලණියේත් උරුමයක් තියෙනවා

(*** කැලණිය ලාල් එස්. කුමාර)

‘සේනානායක සහ විජයවර්ධන පරපුරේ කෙනකු හැටියට රුවන් විජයවර්ධන මහතාට මෙරට දේශපාලන ක්ෂේත්‍රය නියෝජනය කිරීමට වගේම කැලණිය මැතිවරණ කොට්ඨාසය නියෝජනය කිරීමට ද ඓතිහාසික බැඳියාවක් මෙන්ම ලේවලින් ද සම්බන්ධතාවක් තිබෙනවා’ යැයි කැලණිය රාජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියෝ පැවසූහ.

එක්සත් ජාතික පක්ෂයේ කැලණිය සංවිධායක වශයෙන් පත් වූ රුවන් විජයවර්ධන මහතා කැලණිය පුරවරයට පැමිණීම නිමිත්තෙන් වූ පිළිගැනීමේ ආශිර්වාද බෝධි පූජා පින්කම පෙරේදා (1) පැවැති අවස්ථාවේ දී අනුශාසනාව පැවැත්වූ මහින්ද සංඝරක්ඛිත නාහිමියෝ එසේ ප්‍රකාශ කළහ.

කැලණිය රජමහා විහාරස්ථානයේ වර්තමාන දියුණුවේ පුරෝගාමී වූ  හෙලේනා විජයවර්ධන ළමාතැනිය රුවන් විජයවර්ධන මහතාගේ මිත්තණියයි.

ඒ වගේම රොබට් සේනානායක මැතිඳුන්ගේ දියණිය රුවන් විජයවර්ධන මහතාගේ මෑණියන් වනවා. එබැවින් ඩී.එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක පරපුරේ කෙනකු හැටියටත් රුවන් විජයවර්ධන මහතා සඳහන් කළ හැකි යැයි ද කැලණිය රජමහා විහාරාධිපති නාහිමියෝ තවදුරටත් පැවසූහ.

රුවන් විජයවර්ධන මහතා සහ ඒ මහතාගේ පියාණන් වන රංජිත් විජයවර්ධන මහතා බියගම එජාප සංවිධායක ආචාර්ය ධනවර්ධන ගුරුගේ මහතා ද කැලණිය සහ බියගම ප්‍රදේශයේ එජාප පාක්ෂික පිරිසක් පින්කමට සහභාගි වූහ.

රුවන් විජයවර්ධන මහතා ඇතුළු පිරිස තුන්බෝධිය වන්දනාමාන කිරීමෙන් පසුව විහාරාධිපති නාහිමියන් බෝ සමිඳුන් ඉදිරිපිට දී ආශිර්වාද බෝධි පූජා පින්කම පැවැත්වූ අතර එහිදී අනුශාසනාව පවත්වමින් මහින්ද සංඝරක්ඛිත නාහිමියෝ මෙසේ ද පැවසූහ.
රුවන් විජයවර්ධන මහතා කැලණිය විහාරස්ථානයට පාරම්පරිකව සම්බන්ධ වන දායක මහත්මයෙක් ද වෙනවා. ඒ මහතාගේ පියාණන් රංජිත් විජයවර්ධන මහතා කැලණිය විහාරස්ථානය කෙරෙහි බොහොම භක්තියෙන් කටයුතු කරන දායක පවුලක් ලෙස අමරණීය සේවාවක් කරනවා.  

එක්සත් ජාතික පක්ෂයෙන් කැලණිය නියෝජනය කිරීමට රුවන්  විජයවර්ධන මහතාට පාරම්පරිකව අයිතියක් ද තිබෙනවා. එයට හේතුව කැලණිය විහාරස්ථානයේ වර්තමාන දියුණුවේ පුරෝගාමී කෙනා හැටියට සලකන හෙලේනා විජයවර්ධන ළමාතැනිය රුවන් විජයවර්ධන මහතාගේ මිත්තණිය වීමයි.

ඒ නිසා ලේවලින් සම්බන්ධ වී තිබෙනවා. එක පැත්තකින් විජයවර්ධන පවුල නිසාම ඒ ශක්තිය තිබෙනවා. රුවන් විජයවර්ධන මහතාගේ මවගේ පාර්ශ්වයෙන් රොබට් සේනානායක මැතිඳුන්ගේ දියණිය රුවන් විජයවර්ධන මහතාගේ මෑණියන් වනවා.
ඩී.එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක පරපුරෙන් ආපු ජාතික උරුමය සඳහා අමිල සේවාවක් සිද්ධ කළ ජන නායකයන් හැටියට අපට සේනානායක පරපුරේ අය පිළිබඳව සඳහන් කළ හැකියි. ඒ විතරක් ද නොවෙයි ජේ.ආර්. ජයවර්ධන මැතිඳුන් ද ඒ පරපුරේම කෙනෙකු වනවා.

ඩී.ආර්. විජයවර්ධන මැතිඳුන් මෙරට සිටි ඉතාමත් ප්‍රවීණ උගතකු වගේම පුවත්පත් කලාව සම්බන්ධව සලකන විට මෙරට පුවත්පත් නව දිසාවකට යොමු කළ කෙනකු හැටියට රංජිත් විජයවර්ධන මැතිඳුන්ගේ පියාණන් වූ ඩී.ආර්. විජයවර්ධන මැතිඳුන් සලකන්න පුළුවනි.
මෙරට විශිෂ්ට පුරවැසියන් දෙදෙනකු හා සේනානායක – විජයවර්ධන පරපුරවලට නෑකම්, උරුමකම් කියන ඒ අයගේ හදවත්වල රට හා සම්බන්ධ අපේකම එකතුකර ගන්න කෙනකු හැටියට රුවන් විජයවර්ධන මහතාට තම කටයුතු ඉතාමත් හොඳින් සිද්ධ කිරීමට හැකියාව තිබෙනවා.

ඒ නිසා කැලණිය නියෝජනය කිරීම සඳහා ඒ මහතාට අවකාශ ලැබීම ගැන අප සන්තෝෂ වනවා. ඒ වගේම ඒ මහතාගේ තිබෙන සම්බන්ධතාවත් එතුමාට ආශිර්වාදය  වනවා. ඒ නිසා ඒ මහතාට දේශපාලන ක්ෂේත්‍රය තුළ වගකීම්  සම්භාරයක් තිබෙනවා. ඒවා හඳුනාගෙන තේරුම් ගෙන රටේ, සංස්කෘතිය,  ආගම වගේම ජනතා චින්තනය හොඳින් තේරුම් ගෙන ජනතාව කෙරෙහි අනුකම්පාවෙන් කටයුතු කරන අදහස් සිත්හි දරාගෙන දේශපාලන ක්ෂේත්‍රය තුළ කටයුතු කිරීමට හැකිවේවායි ආශිර්වාද කරන බව ද නාහිමියෝ පැවසූහ.

ආශිර්වාද පින්කම අවසානයේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් රුවන් විජයවර්ධන මහතා කැලණිය ආසනයේ ජනතාව වෙනුවෙන් කටයුතු කිරීමට නිබඳවම කැපවන බවත් ඒ සඳහා කැලණිය ජනතාවගෙන් යහපත් ප්‍රතිචාර හිමිවනු ඇති බවට තමා බලාපොරොත්තු වන බවත් පැවසීය.

උරුමය රැක ගැනීමට වඩා ජනතාව වෙනුවෙන් සේවය කිරීම තම ඒකායන අධිෂ්ඨානය බව ද රුවන් විජයවර්ධන මහතා කීවේය.
මෙවර මහ මැතිවරණයට පක්ෂය ගත් තීරණය අනුව තමන් කැලණිය ආසනයෙන් තරග කිරීමට සූදානම් බව කී රුවන් විජයවර්ධන මහතා තමා බියගම ආසනය ද අමතක නොකරන බවට අවධාරණය කළේය.

සියලු දේටම වඩා කැලණිය ආසනයට තරග කිරීමට ලැබීම තම ජීවිතයේ ලත් විශාල අභිමානයක් යයි ද රුවන් විජයවර්ධන මහතා පැවසීය.

ආශිර්වාද  බෝධිපූජා පින්කම අවසානයේ ශ්‍රී විභීෂණ දෙවියන් උදෙසා විශේෂ දේව පූජාවක් ද පැවැත්විණි.

එක්සත් ජාතික පක්ෂයේ කැලණිය බල මණ්ඩලය මෙම පින්කම සංවිධානය කර තිබූ අතර ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මෙවර මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අපේක්ෂකයෝ රැසක් ද ඊට සහභාගි වූහ.



අදහස් (0)

රුවන්ට දේශපාලනයේත් - කැලණියේත් උරුමයක් තියෙනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1386 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1281 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 465 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site