IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


රාජ්‍ය ආයතනවල උපාධිධාරී කම්කරුවන්ට මොකද වෙන්නේ ?

උපාධිධාරින් 1257 ක් සුළු සේවාවල

චක්‍රලේඛයක් හරස්වීමෙන් ඉහළට යන්න ක්‍රමයක් නෑ

සාක්ෂරතාව අතින් ආසියාවේ ඉදිරියෙන්ම සිටින රට ශ්‍රී ලංකාවයි. මෙලොව එළිය දකින සෑම දරුවකුටම නිසි අධ්‍යාපනයක් ලබාදීමේ අරමුණ පෙරදැරිව ක්‍රියාත්මකවෙන විවිධාකාරයේ වැඩ පිළිවෙළවල් සමඟ දරුවන්ගේ නුවණැස පෑදීමට බොහෝ දෙනා උත්සුක වෙන්නේ අධ්‍යාපනයේ ඇති වැදගත්කම හේතුකොට ගෙනය.
මීට දශක කිහිපයකට පෙර, අපේ රට තුළ පැවැති අධ්‍යාපන ක්‍රමවේදය තුළ පැවැතියේ, බස් රථයක බෝඩ් ලෑල්ල කියවීමට පමණක් අකුරක් දැන සිටියානම් ප්‍රමාණවත්ය යන්න, අද වෙනවිට තත්ත්වය, තරාතිරම නොබලා අධ්‍යාපනය වෙනුවෙන් සෑම දෙනකුම එකාමෙන් වෙහෙසෙන්නේ උගත්කම තම ජීවිතයට ලැබෙන ඉහළම වරප්‍රසාදය බව ඒත්තු ගනිමිනි. එය අවබෝධ කරගත් මෙරට පාලනය කළ සෑම රජයක්ම පාහේ, අධ්‍යාපනය ඉහළ නැංවීමට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළ අතර, අයවැයෙන් පවා සෑම වසරකම සැලකියයුතු මුදලක්  අධ්‍යාපනය වෙනුවෙන් වෙන්වන්නේ එම නිසාමය.
අපේ රටේ දරුවන්ගේ අධ්‍යාපන රටාව පෙර පාසලෙන් ඇරඹෙන අතර එය අවසන් වෙන්නේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙනි. එහෙත් ඉන් එහා ට වුවද බොහෝ දෙනකුට උසස් අධ්‍යාපනය ලැබිය හැකි අතර එතුළින් පසක් වෙන්නේ යම් අයකුට අධ්‍යාපනය ලැබීමට නිසි වයසක්, කාල සීමාවක් අදාළ නොවෙන බවයි.
දරුවකුට වසර දහතුනක් පාසල් අධ්‍යාපනය ලබාදීමටත් ඉන්පසු වසර තුනක් හෝ හතරක් ඉන් වැඩි මිස අඩු නොවූ කාලයක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබාදීමටත් අපේ රටේ මවුපියවරු වැය කරන මුදල අති විශාලය. දරිද්‍රතාව දෝතට ගත් අහිසංක මිනිසුන් බහුතරයක් ජීවත්වෙන අපේ රටේ, මවුපියවරුන් තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ඒ කාල සීමාව තුළ වැය කරන මුදල සුළුපටු නොවේ.
එය එසේ වුවද, අපේ රටේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා උපාධියක් සහිතව සමාජගතවෙන තරුණ පරපුර උදෙසා තම උපාධියට සරිලන රැකියාවක් සොයාගැනීමේ ගැටලු‍ව පැනනැගුණේ අද ඊයෙක සිට නොවේ. අතීතයට වඩා වර්තමානය තූළ, වසරකට විශ්වවිද්‍යාල තුළින් උපාධි සහිතව පිටවන සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ ගොස් ඇති අතර ඒ සඳහා රාජ්‍ය අංශයේ රැකියා ගැටලු‍ව මේ වෙනවිටද උග්‍රව පවතී.


මේ හේතුව මත, බොහෝ උපාධිධාරීන් තම උපාධිය මොහොතකට අමතකකර දමා පෞද්ගලික අංශයේ හෝ උපාධි සහතිකයට පවා නොගැලපෙන රැකියා සඳහා යොමුවෙන්නේ තවදුරටත් තම පවුලට, රටට බරක්වීමට නොහැකි තැනය. වසර ගණනාවක් තිස්සේ හරිහැටි නොකා නොබී, හරිහැටි ඇඳුමක් නොඇඳ, තමන් සතු සියලු‍ම දෑ විකුණා, දරුවන්ට අධ්‍යාපනය දුන් මවුපියන්ට තව දුරටත් බරක් වීමට නොහැකි තැන, බොහෝ තරුණ තරුණියෝ අවසානයේ අමතකකර දමන්නේ උපාධියයි.
මෙම ඛේදවාචකයට මුහුණ දුන් අපේ රටේ බොහෝ තරුණ තරුණියෝ තම උපාධි සහතිකය පැත්තකට දමා රාජ්‍ය සේවයේම කම්කරුවන්, කාර්යාල සහායකයන්, මුරකරුවන් ලෙස වසර ගණනාවක් තිස්සේ සේවය කරන බව බොහෝ දෙනකු නොදන්නා කාරණාවකි.
ඒ පිළිබඳව අදහස් දැක්වූයේ සමස්ත ලංකා රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරී ඌණ සේවා ඒකාබද්ධ සංගමයයි.


‘‘රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවයේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලවල සේවයකරන උපාධිධාරීන් 1257ක් සිටිනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය තමයි මේ පිළිබඳව ගණනය කර ඇත්තේ. මේ පිරිස ලංකාව පුරාම ඇති රාජ්‍ය ආයතනවල කම්කරුවන්, කාර්යාල සහායකයන්, මුරකරුවන් ලෙස සේවය කරනවා. හැබැයි මේ සියලු‍මදෙනාටම ලංකාවේ විශ්වවිද්‍යාලයකින් උපාධියක් තියෙනවා. බාහිර උපාධිධාරීනුත් මේ අතර ඉන්නවා. අපි සියලු‍ දෙනාම රාජ්‍ය ආයතනවල සේවය කරන්නේ උපාධියට සුදුසු තනතුරක නෙමෙයි. කනිෂ්‍ඨ කාර්ය මණ්ඩලයට තමයි අයත්වෙන්නේ.
මෙම රාජ්‍ය ආයතනවල පසුගිය කාලවල තිබුණු පුරප්පාඩුවලට තමයි අපි සියලු‍ම දෙනා රැකියා පිණිස සම්මුඛ පරීක්ෂණයකින් බඳවාගත්තේ. එහි අවම සුදුසුකම් වූයේ අපොස සාමාන්‍ය පෙළ සමත්වීම පමණයි. අපි උපාධියක් තියාගෙන මේ වගේ තනතුරක් සඳහා රාජ්‍ය සේවයට බැඳුණේ වෙන කරන්න දෙයක් නැති නිසා. අපේ මව්පියෝ අපි වෙනුවෙන් අන්තිම සතයත් ඉගෙන ගන්න වියදම් කළාට පසුව, උපාධි සහතිකය තියාගෙන ගෙදර ඉන්න බැරිකමට අපි මේ වගේ තනතුරුවලට රාජ්‍ය සේවයට එක්වුණා’’ ඔවුන් පවසන පරිදි මෙම සියලු‍ම දෙනා රාජ්‍ය අංශයේ විවිධ ආයතන, දෙපාර්තමේන්තුවල කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයන් ලෙස කටයුතු කරන බැවින් ඔවුන්ට තම උපාධියට සරිලන පරිදි රැකියාවකට, උසස්වීමකට යාමට ඇති වරප්‍රසදය අහිමි කර ඇති බවයි ඔවුන් පවසන්නේ. 
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව යටතේ 2019 වසරේ උපාධිධාරීන් 60,000ක් රාජ්‍ය සේවයට එක්කර ගැනීමේදී රාජ්‍ය පරිපාලන අමාත්‍යාශය හා ජනාධිපති ලේකම් කාර්යාලය නිකුත්කළ චක්‍රලේඛයක් නිසා මෙම වරප්‍රසාදය අහිමිවී ඇති බවයි.
‘එම චක්‍රලේඛය අනුව, රාජ්‍ය සේවයට බඳවාගත්තේ රැකියා විරහිත උපාධිධාරීන් පමණයි. ඒ වෙනවිට අපි රාජ්‍ය සේවයේ සිටින නිසා අපිට ඒ සඳහා ඉල්ලු‍ම් කරන්න බැරිවුණා චක්‍රලේඛයක් ගහපු නිසා. 
නමුත් අපි සියලු‍ දෙනාම රජයේ රැකියාවක නියැලී සිටින්නේ උපාධියට සුදුසු තනතුරක නෙමෙයි. අපි මේ රස්සාවට ආවේ අපේ අසරණකම, දුප්පත්කම නිසා. තවදුරටත් ගෙවල්වලට බරක් වෙන්න බැරි නිසා’
මේ පිළිබඳව පසුගිය ආණ්ඩු සමයේ ජනපතිවරයාට, අගමැතිවරයාට මෙන්ම රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඇතුළු බොහෝ රාජ්‍ය ආයතන, නිලධාරීන්ට, මැති ඇමැතිවරුන්ට ලිඛිතව දැන්වූවත් ඒ තුළින් කිසිදු සහනයක් නොවූ බව සමස්ත ලංකා රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරී ඌණ සේවා ඒකාබද්ධ සංගමය පවසයි. 
රාජ්‍ය සේවයේ  පහළ සේවයේ නියුතු සේවකයන්ටද මෙම ගැටලු‍ව බලපා ඇති බවත් එමෙන්ම මෙම උපාධිධාරී පිරිස අතර වයස අවුරුදු 45 ඉක්ම වූ කිහිපදෙනකුද සිටින අතර ඔවුනටද සාධාරණයක් ඉටුවිය යුතු බවත් ඔවුන්ගේ අදහසයි.
‘අපි මේ ගැටලු‍ව ගැන එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායකට ලිඛිතව දන්වා යැවූ පසු එතුමාගෙන් යහපත් ප්‍රතිචාර ලැබුණා, ඔවුන්ගේ නව රජයක් යටතේ මේ පිළිබඳව සොයා බලා කටයුතු කරන බවට. 
අපි ඉල්ලන්නේ මේ රැකියාවෙන් ඉවත්වෙලා හෝ අපේ උපාධියට ගැලපෙන පරිදි රජයේ රැකියා අවස්ථාවකට යන්න ක්‍රමවේදයක් හදලා දෙන්න කියලා. මොකද, අපට තරග විභාගයකටවත් ඉදිරිපත්වෙලා ඉහළට යන්න පුළුවන්කමක් නැහැ. ඒවගේම තමයි, මේ වෙද්දි ලංකාවේ රාජ්‍ය ආයතනවල කනිෂ්ඨ කාර්ය මණ්ඩලවල අතිරික්තයක් තිබෙනවා. අපි වෙනත් තනතුරුවලට යොමු කිරීමේදි එතැනට පාඩුවක් සිදුවෙන්නේ නැහැ.
අපි දහදුක් විඳලා විශ්වවිද්‍යාල අධ්‍යපනය දක්වා ආවෙ. එතැනින් පස්සෙ උපාධියට ගැලපෙන රස්සාවක් නොලැබණු තැන තමයි මේ විදිහට රාජ්‍ය සේවයට එක්වුණේ. මේ ගැටලු‍ව නිරාකරණය නොවීමෙන් අපි හැමෝම ඉන්නේ ලොකු මානසික පීඩනයකින්. අපේ මවුපියො, බිරින්දෑවරු, දූ දරුවො පවා ඉන්නේ ලොකු පීඩනයක. 


වත්මන් රජයවත් අපේ මේ ගැටලු‍ව දෙස සානුකම්පිතව බලලා ඉක්මන් විසඳුමක් ලබාදෙනවානම් ඒක ඇත්තටම පිනක්. මොකද, ආයතනයක වැඩ කරද්දී අපිට අපි ගැනම අනුකම්පාවක් ඇතිවෙනවා. ඒත් කරන්න දෙයක් නැති කමටයි මේ රැකියාව රැකගෙන ඉන්නේ’
මේ පිළිබඳව තොරතුරු විමසීමට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියකු සම්බන්ධ කරගැනීමට දුරකථන ඇමතුම් කිහිපයක් ගත්තද එම උත්සාහය ව්‍යර්ථ විය.
සුජිත් ප්‍රසංග



අදහස් (0)

රාජ්‍ය ආයතනවල උපාධිධාරී කම්කරුවන්ට මොකද වෙන්නේ ?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1301 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1239 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 450 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site