(*** හිඟු‍රානේ නවරත්න සමරතුංග)

 

‍කොරෝනා වසංගතය නිසා රටේම ජනතාව පීඩාවට පත්ව සිටින මොහොතක අමාරු‍වෙන් ජීවත් වන අම්පාරේ ගොවි ජනතාවට ‍පො‍හොර ටික ලබාදෙන්න මේ ආණ්ඩුව අසමත් වී සිටින බවත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන ඉකුත්29 වැනිදා අම්පාරේ දී පැවසීය.

අවස්ථාවාදී දේශපාලනය කරනවා නම්, පාර්ලිමේන්තුවට යන්න කෑදරකම් තිබුණා නම් සමගි ජන බලවේගයට යන්න තිබුණ බවත් එවිට මහ මැතිවරණයේ දී ලෙහෙසියෙන්ම ආසනයක් ගන්න තිබු නමුත් එසේ නොකළේ දැවැන්ත පක්ෂය ආරක්ෂා කර ගැනීම සඳහා බවත් එජාප නියෝජ්‍ය නායකවරයා සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂය නැවත ප්‍රතිසංවිධානය කිරී‍මේ ඉදිරි ජාතික වැඩ පිළිවෙළ සකස් කිරීම සඳහා දිස්ත්‍රික් මට්ටමෙන් පක්ෂ ක්‍රියාකාරීන් හමුවී අදහස් යෝජනා ගැනීමේ අම්පාර දිස්ත්‍රික් වැඩසටහනට සහභාගි වීමට පැමිණි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය  නායක රුවන් විජයවර්ධන මහතා මේ බව පැවසීය.

පක්ෂ ක්‍රියාකාරීන්ගේ රැස්වීමට සහභාගි වීමට පෙර අම්පාර නගරයේ ඩී.එස්. සේනානායක පිළිරුවට සහ එහි දෙපස ඇති ඩෙන්සිල් කොබ්බෑකඩුව, අනගාරික ධර්මපාල පිළිරූවලට නියෝජ්‍ය නායකවරයා ඇතුළු පිරිස පුෂ්පෝපහාර දැක් වූහ.

එක්ව ඉදිරියට එක්ව ගමනක්’ තේමාව යටතේ අම්පාර දයා ඇපරල් ආයතනයේ පැවති රැස්වීම අමතා තවදුරටත් අදහස් දැක්වූ එජාප’නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මෙ‍සේ ද කීවේය.

ඩී.එස්. සේනානායක, ඩඩ්ලි ‍සේනානායක, සර් ජෝන් කොතලාවල රණසිංහ ප්‍රේමදාස ජේ.ආර්. ජයවර්ධන, ඩී.බී. විජේතුංග ‍මෙන්ම වත්මන් රනිල් වික්‍රමසිංහ වැනි ඉතාම ‍හොඳ දැවැන්ත නායකත්වයක් යටතේ පක්ෂය ඉදිරියට ගියා.

රටට විශාල සේවයක් මේ පක්ෂය කළා. ආර්ථික හා කෘෂිකාර්මික වශයෙන් විශාල දියුණුවක් ඇති කළ පක්ෂය නිකම් විනාශ ‍වෙන්න ඉඩ ‍දෙන්න බැහැ.

ඒක අපි ආරක්ෂා කර ගන්න ඕනෑ. එදා හිටපු නායකයන් ගැන තමුන්නාන්සෙලා දන්නවා. තමන්ගේ ‍දේපළ ජනතාවට කැප කර තමයි ඒ අය වැඩකටයුතු කෙරුවේ.

ඩඩ්ලි සේනානානයක මැතිතුමා නැති වෙනකොට එතුමාගේ බැංකු ගිණුමේ තිබුණේ රුපියල් හාරසීයයි. තමන්‍් ගේ ඉඩම් ටික රටට පූජා කළා. තමන්ගේ ධනය ජනතාවට පූජා කෙරුවා. එවැනි දැවැන්ත නායකවරුන් තමයි එදා හිටියේ.

වර්තමාන ‍දේශපාලන සංස්කෘතිය තුළ එවැනි නායකයන්  ‍හොයාගන්නත් නෑ. අද රටේ සම්පත් සූරාකන තමන්ගේ සාක්කු පුරවන දේශපාලනඥයින් ඉන්නවා.. එහෙම්නම් ආපසු මහාමාන්‍ය ඩී.එස්. සේනානායක ඩඩ්ලි සේනානායක වැනි නායකයන්ගේ දේශපාලන සංස්කෘතියට ආපසු යන්නට ඕනෑ.

ස්වාධීන ‍කොමිෂන් ටික ගත්තොත්  ස්වාධීනත්වය නෑ.  ර‍ටේ නායකයන්ට ඕනෑ විදියට තමයි කොමිෂන්වලට කට්ටිය පුරවන් නේ. අද රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ. ස්වාධීන මාධ්‍යයක් නෑ. එහෙම නම් මිත්‍රවරුණී කොහොමද රට ඉදිරියට යන්නේ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා

මේ ආණ්ඩුව නැවත ගැසට් ගහනවා. මේගොල්ලන්ට කරන්න තිබෙන එකම වැඩේ ගැසට් ගැහිල්ල. අවුරුද්දක් තිස්සේ ගෝඨාභය ගැසට්ම ගැහුවා. ඉඩම් ටික ප්‍රාදේශීය ලේකම්ලා යටතට ගත්තා.

ස්වාධීන කොමිෂන් සභා සියල්ල සංශෝධනය කළා. දැන් රජයේ සේවකයා කුක්කා වගේ රාජපක්ෂලාට වැඩ කළ යුතුව ති‍බෙනවා. වහලෙක් වගේ වෙලා තියෙනවා. දැන් ප්‍රාදේශීය ‍ලේකම්ලාට කරන්න දෙයක් නෑ. අකමැත්තෙන් වුණත් ‍මේවා කරන්න සිද්ධ වෙලා. ඒනිසා පරිසරය විනාශ කරමින් බඩ ඉරිඟු‍ වවන්න අක්කර දහස් ගණන්  ආණ්ඩුව කොම්පැනිවලට දීගෙන යනවා.

එක්සත් ජාතික පක්ෂ ලක් වනිතා සභාපතිනී හිටපු නියෝජ්‍ය ඇමතිනී අනෝමා ගමගේ මහත්මිය රැස්වීම සංවිධානය කර තබුණ අතර එය සෞඛ්‍ය නීති පිළිපදිමින් සමාජ දුරස්ථභාවය ඇතිව පැවැත්වීමට කටයුතු යොදා තිබිණි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  පාලිත තෙවරප්පෙරුම, හිටපු පළාත් සභා මන්ත්‍රීණී ශාන්තිනී කෝන්ගහගේ යන මහත්ම මහත්මීහු ද කතා කළ අතර මෙම අවස්ථාවට සන්දිත් සමරසිංහ, ආශු මාරසිංහ, සමන් රත්නප්‍රිය යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.