IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අනුර සහෝදරයාට ඉන්දියාවේ යන්න බැරිද ?

ජ.වි.පෙ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී

ජනතා විමුක්ති ⁣පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකගේ ඉන්දීය සංචාරය ගැන සමාජයේ කතාබහක් ඇතිවී තිබෙන මොහොතක ඒ පිළිබඳව මේ අදහස් දැක්වීම ජ.වි.පෙ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්තිගෙනි.


ප්‍ර: මේ දවස්වල රටේ කතාබහ අනුර දිසානායකගෙ ඉන්දියා සංචාරය ගැන. සමහරු නම් මේ දිහා බලන්නෙ ටිකක් වපර ඇහෙන් නේද?


ඇයි මොකද්ද ඒකෙ අවුල. ඕක මැජික් එකක් කරගන්නෙ මොකටද? අපිට නම් ඕකෙ කිසිම අවුලක්වත් අමුත්තක්වත් නෑ. අනුර සහෝදරයට ඉන්දියාවෙ යන්න බැරිද? අපි දිහා බලාගෙන ඉන්න ⁣අපේ සතුරු කඳවුරුවලට මේක මාර වැඩක් පේන්න පටන් අරගෙන.


අපි විවිධ රටවල් එක්ක විවිධ මට්ටමෙන් ගනුදෙනු කරනව. තානාපති කාර්යාල එක්ක ගනුදෙනු කරනව. නොයෙක් ජාත්‍යන්තර සංවිධාන එක්ක ගනුදෙනු කරනව.සමහරැ හිතන් ඉන්නව අපි ජාත්‍යන්තර ගනුදෙනු කරන්න අකමැති ළිඳේ ඉන්න මැඬියො වගේ කියල.ඒ අය හිතන් ඒ පටු අදහස් වැරදුණාම ඒකට රිදිල අපිට අවලාද ගහනව.මේක අපිට ඉන්දියාවෙන් ආපු ආරාධනාවකට අනුව සිදුවුණු ගමනක්.ඉන්දියාවට අදහසක් ඇති ඊළඟ ජනාධිපතිවරණයෙන් බලයට එන්නෙ කවුද කියන එක ගැන.ඉන්දියාවට කලින් අනුර සහෝදරයා චීනයටත් ගියා.අනික අපේ පක්ෂ කාර්යාලයේ අපි ඔය ගොඩක් රටවල තානාපතිවරු මුණගැහිල සාකච්ඡා කරනව.තානාපති කෙනෙක් අපිව හම්බවෙන්න එනව කියන්නෙම රටක් හැටියට එයාල අපිව පිළිගන්න එක. එයාල ඇවිත් නොයෙකුත් දේ ගැන අපි එක්ක සාකච්ඡා කරනව. ඒව අපිට නුහුරු දේවල් නෙවෙයි.  මීට කලින් ඉන්දියානු තානාපති කාර්යාලයේ අය අපේ පක්ෂ කාර්යාලයට ඇවිත් කතාබහ කරල තියෙනව. මේව නොදන්න අයට අනුර සහෝදරයාගෙ ගමන මැජික් එකක් වෙලා.


ප්‍ර:ඉන්දියාව සම්බන්ධව ඔබලගෙ තියෙන ප්‍රතිපත්තිමය දැක්මත් එක්ක නේද? මේ ප්‍රතිවිරෝධය ගොනුවෙන්නෙ.අනුර කුමාර වෙන රටවල්වලට ගියා වගේ නෙවෙයි ඉන්දියාවට යාපු යෑම.


පිළිතුර - ඉන්දියාව සම්බන්ධව අපේ ප්‍රතිචාරය තීරණය වෙන්නෙ ඔවුන්ගේ හැසිරීමට අනුව. මීට කලින් ඉන්දියාව ගැන අපේ මතය තීරණය වුණෙ ඒ වෙලාවෙ ඉන්දියාවෙ පාලකයන්ගෙ දේශපාලන ක්‍රියාමාර්ග මත. එහෙම නැතුව අපිට ඉන්දියාව කියන රට හෝ ඒ රටේ ජනතාව එක්ක ගැටලුවක් හෝ විරෝධයක් නෑ. ඉන්දියාව අපේ රට සම්බන්ධව ගත්ත දේශපාලන තීන්දු ගැන මීට පෙර අපට ප්‍රශ්නයක් තිබුණ. ඒ ගැන අපේ විරෝධයක් තිබුණ. ඒක අපි හංගගෙන කරපු දෙයක් නෙවෙයි. ඒක අපි විවෘතව කිව්ව. ඉන්දියාව අපේ රට සම්බන්ධව ගනු ලබන දේශපාලන ක්‍රියාමාර්ග අනුව තමයි ඉන්දියාව සම්බන්ධව අපේ අදහස තීරණය වෙන්නෙ.එහෙම නැතුව අපේ කෙනෙක් ඉන්දියාවෙ ගිය පමණින් ඒව වෙනස් වෙන්නෙ නෑ. කවුරු හරි එහෙම හිතනව නම් ඒ කෙනගෙ ඔළුව හොඳ නැති වෙන්න ඕන. අපි මීට කලින් ඉන්දියාව සම්බන්ධව මොන ස්ථාවරයෙ ද හිටියෙ කියල ඉන්දියාවත් දන්නව. හෙටත් ඉන්දියාව සම්බන්ධව අපේ ස්ථාවරය තීරණය වෙන්නෙ ඔවුන්ගේ වැඩපිළිවෙළ එක්ක. ඉන්දියාවෙ විදේශ ප්‍රතිපත්තිය අපේ රටට හානිකර නම් අපි හැම විටම ඊට විරුද්ධව කතා කරල තියෙනවා. ඉදිරියටත් ඒක එහෙමයි. ඒක නිසා අනුර සහෝදරයාගෙ මේ ගමනින් සියල්ල මනින්න ඉක්මන් වෙන්න එපා. අපි නූතනත්වය එක්ක ⁣අනාගතය වෙනුවෙන් දේශපාලනය කරන ව්‍යාපාරයක්. දැන් ඔය අනුර සහෝදරයගෙ ගමන ගැන හිත රිදෝගත්ත අයට අනුව අපි හැමදාම ඉන්දියාව එක්ක තරහවෙලා ඉන්න ඕන. එහෙම එකක් නෑ.


ප්‍ර:තව සමහරු කියනව අනුර කුමාරගෙ ඉන්දියානු ගමන රනිල් වික්‍රමසිංහගෙ මැදිහත්වීම උඩ සිද්ධ වෙච්ච එකක් කියලත්.


පිළිතුර - ඕන කෙනෙකුට ඕන කතාවක් කියන්න පුළුවන්. හැබැයි ඇත්ත කියල තියෙන්නෙ එකයි. අපි දේවල් කරන්නේ වික්‍රමසිංහලට, රාජපක්ෂලට ඕන විදියට නෙවෙයි. අනුර සහෝදරයාගෙ මේ ගමන ගැන කලබල වෙච්ච අය එක එක ආතබූත කතා කියනව. ඒ කට්ටිය මල පැනල මද කිපිල ඉන්නෙ මේ වැඩේ නිසා. අපිට නම් ඒ කලබල වෙච්ච අයගෙ හැසිරීම ගැන පුදුමයක් නෑ. මමත් දැක්ක නිමල් සිරිපාල කියල තියෙනවා රනිල් අපේ බ්‍රේන් වොෂ් කරල කියලා. ඉස්සර රනිල් රට විනාස කරනවයි, රනිල් මහ බැංකු හොරාය කියපු මේ මහත්තුරු දැන් රනිල්ගෙ ඔඩොක්කුවෙ ඉඳන් කියනව රනිල් අපේ බ්‍රේන් වොෂ් කරලා කියල. අපිට නිමල් සිරිපාලගෙන් අහන්න තියෙන්නෙ එහෙනං රනිල් ඔයාගෙ කොතන ද වොෂ් කළේ කියලා.


ප්‍ර:මේ ආරාධනය හරහා ඉඟිකරනව ද ලංකාවේ ඉදිරි දේශපාලන බල හුවමාරුවේ වැඩි වාසිය කාටද කියන එක ගැන ඉන්දියාව යම් තක්සේරුවක ඉන්නව කියල.


පිළිතුර - ඒක අපිට අදාළ නෑ. අපි නිකමට හිතමුකො ඕකෙ අනිත් පැත්ත වුණා නම් තත්ත්වය කොහොමද කියල. අපි මේ ආරාධනාව පිළිනොගෙන ප්‍රතික්ෂේප කරල මේ ගමන ගියෙ නැත්නම් දැන් ඔය එක එක කතන්දර කියන අය එතකොට මොකද කියන්නෙ. එතකොට කියන්නෙ ජේ.වී.පී. එක රාජ තාන්ත්‍රික ගනුදෙනු කරන්න දන්නෙ නෑ. අසල්වැසි රටවල් තරහ කරගන්න. තාම ඉන්නෙ පංති පහේ වගේ කතා තමයි එහෙනං මෙයාල කියන්නෙ. ජේ.වී.පී. එකට බලයක් ආවොත් ඉන්දියාවෙ සහය නැතිවෙයි වගේ කතා එහෙමත් කියයි. අපිට මේ වගේ අවලාද ගහන අය අපි මොන දේ කෙරුවත් හොඳක් දකින්නෙ නෑ. ඒක අපිට කිසි ප්‍රශ්නයක් නෙවෙයි. 


ප්‍ර:අනුර ටයි කෝට් ඇඳපු එකටත් සමහරු හිත රිද්දගෙන වගේ නේද?


පිළිතුර - ඒකටත් ඔය ගොඩක් අයට හරි අමාරුවක් වෙලානෙ ටයි කෝට් ඇඳන් ගියාම අහනව ඇයි එහෙම ඇන්දෙ කියල. අනුර සහෝදරයා මෙහේ ⁣රැස්වීමකට යනකොට ඇඳන් යන විදියට ඇඳන් ගියා නම් කියයි තැනකට ගැළපෙන විදියට අඳින්න දන්නෙ නෑ කියල. අපි මොන දේ කළත් අපේ සතුරට ඒක පේන්නෙ ඇදේට. ඒකෙන් පෙන්නන්නෙ අපේ සාර්ථකත්වය.මොකද එයාලට අපි මොනවද කරන්නේ කියල හොය හොයා ඒවයි ඇද කුද හොයනවට වැඩක් නෑ. දැන් අපි කොහේ හරි යනකොට මෙයාලගෙන් අහල එයාල නිර්දේශ කරන එකක් තමයි ඇඳන් යන්න ඕන.


තවත් සමහරු කලබල වෙලා තියෙනව අනුර සහෝදරයා ඉන්දියාවෙ ගිහින් ආවට පස්සෙ රනිල්ට ඕන හැටියට වැඩ කරයි කියල. කලබල වෙන්න එපා. ඉවසීමෙන් බලාගෙන ඉන්න අපි ඉදිරියෙදී වැඩ කරන විදිය. මේ ඔක්කොම කතා කියන්නෙ ඉදිරියෙ දී ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය ගැන පැහැදිලි චිත්‍රයක් දැන් රට පුරාම පේන නිසා. ඒකට තමයි මේ ඇවිස්සිලා තියෙන්නෙ. කොටින්ම මේ කතා කියන්නෙ දේශපාලන කුහකයො. ඒකෙත් වර්ග කීපයක් ඉන්නව. අපිට බණින විමල් වීරවංශට තියෙන්නෙ එක විදියක කුහකකමක්. මම ජේ.වී.පී. එකේ හිටිය නම් මමත් ඉන්දියාවෙ යනව නේද? වගේ හිත රිදීමක් වීරවංශට තියෙන්නෙ. ඒකට නම් අනුකම්පා කරන්න ඕන. 


රනිල්ලට තියෙන්නෙ එයාලගෙ පංතියෙන් පිට අපේ වගේ පක්ෂයකට මේ ආරාධනාව ලැබීමේ කුහකකම. තව කට්ටියක් හිතනව අනුරල ටයිකෝට් ගහගෙන යනකොට ටයිකෝට්ම දිගටම ඇඳගෙන ඉඳපු අයගෙ අභිමානය දෙදරනව වගේ එකක්. ටයිකෝට් ඇඳගෙන මේ රට කාබාසිනියා කරපු තක්කඩි රැළක් තමයි අනුර ටයි කෝට් ඇඳපු එකෙන් කලබල වෙලා තියෙන්නෙ. බාල බෙහෙත් ගෙනල්ලා මිනිස්සු මැරෙන තැනට වැඩ කරල කෙහෙළිය රඹුක්වැල්ල හිරේට යන්න බන්ධනාගාර බස් එකට නගිද්දිත් ටයිකෝට්  ඇඳන් ඉන්න එක ඔය අප්පුහාමිලට කිසි ප්‍රශ්නක් නෑ. අනුර දිසානායක රාජ තාන්ත්‍රික සංචාරයකදී ටයිකෝට් ඇඳපු එකට තමයි පශ්චාත්භාගය ගිනි ගත්ත වගේ දඟලන්නෙ. ටයි කෝට් ඇඳගෙන මහබැංකුව හොරකම් කරන්න පුළුවන්. ටයි කෝට් ඇඳගෙන මහජන මුදල් හොරා කන්න පුළුවන්. ඒව ශුද්ධයි. අපි රාජතාන්ත්‍රික ගමනකට එහෙම ඇන්දම ඒක අශුද්ධයි. මේක කුහකකම ඇරෙන්න වෙන දෙයක් නෙවෙයි.


අපි මේ පටන් ගත්ත විතරයි. බලන්නකො ඉස්සරට මොකද වෙන්නෙ කියල. ඔය දේශප්‍රේමී කියල බැටළු හම් පොරව ගෙන ඉන්න කට්ටියගෙ රෙදි ගැලවෙනව ඉදිරියෙදි. අපි ඉතාම බුද්ධිමත්ව කාලානුරූපීව දේශපාලනය කරන දේශපාලන ව්‍යාපාරයක්.


ප්‍ර:ජේ.වී.පී. එකේ පංති පහෙන් ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන හෙන තියරි දෙසපු කට්ටියගෙ තියරිවල පතුරු ගැලවෙනවද කියල කෙනෙකුට හිතෙන එක අසාධාරණද?


පිළිතුර - ඒ මතවාදවල වෙනසක් නෑ. එදා අපි එහෙම කිව්වේ තාර්කික පදනමක් ඇතුව. අපේ මතවාද එක විදේශ සංචාරයකින් වෙනස් වෙලා රටවල ඉදිරියෙ දණගහන තැනට වැටෙන එකක් නෙවෙයි. අද භූ දේශපාලන තත්ත්වය එදාටත් වඩා හොඳට අපි කියවගෙන තියෙන්නෙ.

 

 

ප්‍රියන්ත කොඩිප්පිලි



අදහස් (0)

අනුර සහෝදරයාට ඉන්දියාවේ යන්න බැරිද ?

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31203 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13363 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10970 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 70 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 905 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 272 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site