'නසරානි' යන්නට ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංග වියතාණන්ගේ 'මහා සිංහල ශබ්ද කෝෂයෙහි' දී ඇති අර්ථය වන්නේ 'කාටත් යටත් පහත්කම් දක්වන නිවටකම' යනුවෙනි. 'දුර්වල', 'පහත්' යන තේරුම්ද එහි වේ. 'නසරානියා' යනු කාටත් හිස පාත් කරන්නෙකි. දුර්වලයෙකි. මෙම දුර්වලකම කිසියම් රෝගී තත්වයක් මත හට ගන්නක් නොව අවස්ථාවාදී ස්වාත්ම හා පරාත්ම විකාර ස්වරූපයකි. එනම් තමා පිළිබඳව තමා තුළම නාභිගත වන මානසික අපිළිවෙළයි. තම දුෂ්ට අදහස් වෙනත් පුද්ගලයන්ට ආරෝපණය කිරීමයි.
සිනමාකරුවා යනු තම ආයෝජකයන්ට යටහත් පහත් වන්නකු නොවේ. ක්ෂණික මූල්‍ය ප්‍රතිලාභ හමුවෙහි නිවට වන්නකු නොවේ. බලකාමී දේශපාලකයන්ගේ සිතැඟි වෙනුවෙන් දුර්වල වන්නකු නොවේ. නළුවකුට හෝ නිළියකට හිස පාත් කරන්නකු නොවේ. ඔවුන්ගේ සිහින සඵල කරනු සඳහා සිත මරා දමන්නකු නොවේ. මේ කිසිවකු නොවේ. මන්ද යත් ඔහු සිනමාකරුවෙකි.
යම් නිර්මාණයකට නිදහසේ කතා කරන්නට ඉඩනොදී එහි නිර්මාණකරුවාටම සිය නිර්මාණය ගැන කතා කරන්නට සිදු වන්නේ ඇයි ? නිර්මාණය ජන සන්තක කළ පසු ඒ ගැන නිර්මාණකරුවා මැදට පැන කරුණු දැක්විය යුතුද.? නිර්මාණය ගැන නිර්මාණකරුවාගේ නිදහසට කාරණා කුමකටද? නිර්මාණකරුවාගේ අර්ථකථන, විග්‍රහ සහ සිය පශ්චාත්තාප වීම් යනු කුමක්ද? හෝ විරුද්ධවාදීන්ට පිළිතුරුදීම් අවශ්‍ය වන්නේ එම නිර්මාණය හුදු නිර්මාණයක් පමණක් නොවී කිසියම් ව්‍යාපෘතියක් වූ විටය. එකල්හි සිනමාකරුවාගේ ස්වීයත්වය දුබල වෙයි. එය මමංකාර උන්මාද ස්වරූප ගන්නකි.
ප්‍රබන්ධය උදෙසා සත්‍යය වරදවා දැකීම
'රාණි' චිත්‍රපටයට විෂය වූ සත්‍ය චරිත හා සැබෑ සිද්ධි හමුවේ නිර්මාණකරුවා යටහත් පහත්කම් දක්වයි. ඒ බව මේ නිර්මාණකරුවාගේ නිදහසට කරුණු දැක්වීම්වලින්ම ගම්‍ය වෙයි. එම සත්‍ය චරිත වෙතින් ආ විරෝධතා හමුවෙහි මෙම විප්ලවකාර සිනමාකාරුවා උත්තර බඳියි. නිදහසට කරුණු පාමින් නිවට වෙයි. සත්‍යය ඇසුරෙන් ප්‍රබන්ධ කරන බව සිරස්තල යොදමින්ම තම නිර්මාණ කාර්යය අරඹන්නට තරම් මෙම සිනමාකරුවා යටහත් වෙයි. නිර්මාණයක් යනු ප්‍රබන්ධයකි. එය සත්‍යය නොව එහි මායාවකි. ප්‍රබන්ධය පරිකල්පනය කරන්නේ සත්‍යය ආශ්‍රයෙනි. නිර්මාණකරුට ඒ බව අමුතුවෙන් ඇඟිල්ලෙන් ඇන කියන්නට සිදුවන්නේ ඇයි.? මෙම චිත්‍රපටයේ ප්‍රධානතම දුබලතාව වනුයේ සත්‍යය හා ප්‍රබන්ධය පටලවා ගැනීමයි. එනම් ප්‍රබන්ධය උදෙසා සත්‍යය වරදවා දැකීමයි. සත්‍ය සිදුවීම් හා සත්‍ය චරිත එලෙසම ගැනීමෙන් ඒවා මායාවන් සේ දැක්වීමයි. සත්‍යය වරදවා හැසිරවීමෙන් මතු වන දුබලතා යටපත් කිරීමේ උපක්‍රමක් ලෙස එකී සත්‍යයන් ප්‍රබන්ධ විය හැකි බවට නිදහසට කරුණු පෑමයි. නිර්මාණය හඬ නැගිය යුතු අතර නිර්මාණකරුවා සිය නිර්මාණය ගැන කතා කළ යුතු නැත.
තුන් තේරවිල්ල
'රාණි' චිත්‍රපටයේ සත්‍ය චරිත පහත් කොට දක්වමින් සිනමාකරුවා දක්වන දුර්වලතා චිත්‍රපටයෙහි දුට හැකිය. එම දුර්වලතා මෙහි ඇති සිනමාත්මක ස්වරූප යටපත් කරමින් ප්‍රදර්ශනාත්මක විය. එවිට නිර්මාණය යටපත් වී ඊට ප්‍රස්තුත වූ බාහිර කාරණා ඉස්මතු විය. 'රාණි' ජනාකර්ෂණය කළේ එම බාහිර කාරණා මිස කෘතිය නොවේ. තම නිර්මාණ ජීවිතයේ පළමු වරට නිෂ්පාදකයකු තමා සොයා ආ බව මෙම පෙරළිකාර සිනමාකරුවා උදම් අනයි. යටහත් පහත් වූවකුට තම කෘතියෙහි ස්වීයත්වය වෙනුවෙන් නැගී සිටීමට නුපුළුවන. සැබෑ චරිත පහතට හෙළමින් හෝ විකෘති කරමින් සිනමාකරුවා එම දැවැන්ත චරිත හමුවේ යටහත් පහත් වෙයි. එකී සත්‍ය චරිත සමඟ සමීපව ඇසුරු කළ අය 'රාණි' ගැන ලියූ පුවත්පත් ලිපිවල මේ බව දැක්වෙයි. 'රාණි' යනු පහත්කම් හා නිවටකම් පානා දුර්වල නිර්මාණයකැයි අප අනුමාන කරන්නේ එබැවිනි. සත්‍ය චරිත පහතට හෙළීමේ හඳගමගේ මේ ඇබ්බැහිකම මීට පෙරද ඔහු තම චිත්‍රපටවලින්ම ප්‍රදර්ශනය කර ඇත. ලයනල් වෙන්ඩ්ට් හෙළුවැල්ලෙන් වැල්ලේ දුවවන ඔහු පැබ්ලෝ නෙරුදා ස්ත්‍රී දූෂකයකු ලෙස දක්වමින් සක්කිලි ගැහැනියක හඹා දුවවා සිය පරාම විකාරය ප්‍රදර්ශනය කළේය.
මේ සැබෑ මනෝරාණි නොව තමා ප්‍රබන්ධ කළ තමන්ගේ රාණි යැයි පවසන හඳගම මෙ තමන්ගේ රාණිට එරෙහි ව ඇතැමුන් හිතාමතා ප්‍රබන්ධ කළ මනෝරාණි කෙනෙකු සිටින බවද කියයි. එනම් මනෝරාණිලා තුන් දෙනෙකි. මෙම තුන් තේරවිල්ලට අනුව ඇත්ත 'රාණි' ඔහු මවාපාන 'රාණි' සහ ඒ මවාපෑමට එරෙහිව සිය විරුද්ධවාදීන් මවාපාන 'රාණි'ය. තම විරුද්ධවාදීන්ගේ මනෝරාජික මනෝරාණිට වඩා ප්‍රේක්ෂකයන් කැමති වූයේ සිනමාපටයේ මැවුණු රාණිට බව සිනමාකරුවා පවසයි. මනෝරාණි මිය ගොස් ඇති නිසා ඇය පිළිබඳව ඉතිරිව ඇත්තේ ප්‍රබන්ධ කතා පමණකැයි පවසන සිනමාකරුවා ඇය පිළිබඳ තම ප්‍රබන්ධය සිනමාවෙන් කියූ බව ද පවසයි. නමුත් නිරෝගී නිරවුල් මැදිහත් කල්පනා ශක්තියක් ඇති අය විශ්වාස කරන්නේ හඳගමගේ ප්‍රබන්ධ රාණි සහ ඊට විරුධව අයගේ මනෝරාජික රාණි හැර සත්‍ය මනෝරාණි කෙනකු ජීවත්ව සිටි බවයි. එම සත්‍ය මනෝරාණි ජීවතුන් අතර නැති නිසා දැන් තිබිය හැක්කේ සහ තිබිය යුත්තේ ප්‍රබන්ධ පමණකැයි සිතීමම ඇයට කරන නිගරුවකි.
නිර්මාණය යනු සත්‍යය ඇසුරෙන් කරන ප්‍රබන්ධයකි. සත්‍ය එලෙසම පෙන්වීම යනු නිර්මාණය නොවේ. සත්‍යය පෙන්වීම වරද්දවා ගත් විට එය ප්‍රබන්ධයකැයි නිදහසට කරුණු කියා පැන යාම සැබෑ නිර්මාණකරුවකුට කළ හැකි නොවේ. 'රාණි' වැනි හදිසි කටයුත්තක නිරත නිර්මාණකරුවාට කළ හැකි අන් යමක් නැත.
අදෘශ්‍ය ව්‍යාපෘතිය
මෙය නිර්මාණයක් නොව ඒ සඳහා අනුබල වූ ව්‍යාපෘතියකි. අප විචාරවත් වන්නේ නිර්මාණය ගැන නොව එම ව්‍යාපෘතිය ගැනය. විචාරශීලී විය යුත්තේ සහ විය හැක්කේ චිත්‍රපටයක් ගැන මිස ව්‍යාපෘතියක් පිළිබඳව නොවේ. 'රාණි' යනු එම සන්නාම නාමයෙන් හා චිත්‍රපට වේශයෙන් සක්‍රීය වී ඇති අදෘශ්‍ය ව්‍යාපෘතියකි. එය අශෝක හඳගමගේ චිත්‍රපටයක් නොවන්නේ යැයි අනුමාන කරන්නට ඔහුගේම කටඋත්තර, පාපොච්චාරණද ප්‍රමාණවත් වෙයි. තම නිර්මාණයට නිදහසේ ජනසන්තක වන්නට ඉඩ නොදී ඒ ගැන විස්තරකථන වර්ණනා හා නිදහසට කාරණා කියන දුගී තත්වයට සිනමාකරුවා පත්ව ඇත. නිර්මාණකරුවා තම නිර්මාණය සිදු කළාට අමතරව ඒ ගැන කතා කරන තත්වයට පත් වන විට විචාරකයාගේ කාර්යභාරය අහෝසි වෙයි.
තවද ඔහුගේ පෙර සිනමා කෘති සියල්ල සමග සසඳන විටද 'රාණි' යනු තම පෙර චිත්‍රපටවලට වඩා වෙනස්ම එකක් බව ඔහුම පවසන්නේය. පෙර නිර්මාණවලට වඩා මෙම ක්ෂණික නිෂ්පාදනය වෙනස්යැයි අප සිතන්නේ 'රාණි' තවමත් පවතින්නේ ඊට සම්බන්ධ අදෘශ්‍ය ව්‍යාපෘති තුළ දැයි අනුමාන වන නිසාය.
චිත්‍රපටය ගැන විචාරවත් වන්නට පෙර මෙය චිත්‍රපටයක් නොවන්නේ කෙසේදැයි නිරාකරණය කළ යුතුව ඇත. එබැවින් මෙය චිත්‍රපටය ගැන ලියැවෙන විචාරයක් නොවේ. විචාරවත් වන්නට පෙර කෘතිය නිරවුල් හා නිවහල් කර ගත යුතුය.
විචාර ව්‍යාපෘතිය
'රාණි' අරබයා පමණක් හදිසියේ විචාරවත් වන සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ විචාර කියවන විට හැඟෙන යමක් ඇත. එනම් මෙම හදිසි කටයුත්තට එම හදිසිය නිසාම මුසුව ඇති වැරදි, අතපසුවීම් යටපත් කරන එම ආකර්ෂණීය රචනා මාලාවද පූර්ව සැලසුම් ව්‍යාපෘතියක විලාස ගන්නා බවයි. කෘතිය පිළිබඳ සැබෑ විචාරය හා අවශ්‍ය සංවාදය ඉන් මගහැරී ඇත. නිර්මාණකරුවාම තම නිර්මාණය විචාරය කරමින් දක්ෂ ව්‍යාපෘති සම්බන්ධිකාරකයකු ලෙස පෙනී සිටී. හඳගමගේ චිත්‍රපට ගැන පමණක් විචාරශීලී වන ඔහුගේ කල්ලියේ විචාරකයන්ද මෙම සමාජ මාධ්‍ය විචාර ව්‍යාපෘතිය තව දුරටත් මුවහත් කරයි. 'රාණි' යනු චිත්‍රපටයකටත් වඩා ව්‍යාපෘතියක් ලෙස සක්‍රීය වන්නට මෙම විචාර ව්‍යාපෘති හේතු විය.
'මනෝරාණි කරන්න ඕන වුණේ ස්වර්ණාට' බව කියන මෙම සිනමාකරුවා නොකියා කියන්නේ තමන්ට මෙවන් චිත්‍රපටයක් කරන්නට අවශ්‍යතාවක් නොතිබුණු බවයි. චිත්‍රපටය පුරා ඇත්තේ ප්‍රවෘත්ති ලෙස පැවති සිද්ධි සහ චරිත ඇයගේ දෘෂ්ටිකෝණයෙන් ගොඩනැංවීමක් බව සිනමාකරුවාම කියයි. එබැවින් මෙම සිද්ධිදාමයේ ප්‍රධාන චරිතය නපුංසකයකු ලෙස අමුවෙන්ම කීම ගැන අප කලබල විය යුතු නැත. මළගිය ප්‍රධාන ප්‍රාණකාරයාගේ බොටුව මිරිකා සිය මෑණියන් වීරත්වයට නැංවීමෙන් එම චරිතය රඟපාන නිළියගේ සිහින සැබෑ කරන තරමට සිනමාකරුවා යටහත් පහත් වී ඇත. එහි ලක්ෂණ කෘතිය තුළින් දිස්වීම නිසා පළමු වතාවට ඔහුටම තම නිර්මාණය ගැන අඛණ්ඩව ෆේස්බුක් සටහන් තබමින් කට අරින්නට සිදුවිය.
තම අසනීප තත්වයත් සමග මෙතරම් ඉක්මනට චිත්‍රපටයක් කරන්න ලැබෙයි කියා සිතුවේ නැතැයි සිනමාකරුවා කියයි. මේ චිත්‍රපටය කරන්නට ආරාධනා ලැබෙන විට එය ප්‍රක්ෂේප කරන්නට අසනීපය හැර අන් හේතුවක් ඔහුට තිබී නැත. සිනමාකරුවාගේ එම විවෘත හෙළිකිරීමෙන් සාක්ෂාත් වන්නේ සිය රෝගී තත්වය මෙම නිර්මාණයට බාධාවක්ව තිබුණු බවයි. අසනීපයෙන් ගොඩ එන්නට එය හිතින් බැහැර කිරීම සඳහා මේ චිත්‍රපටය යොදාගත් බව කියන්නටද සිනමාකරුවා නිහතමානී වෙයි. මින් අනුමාන කළ හැකි තවත් භයානක සත්‍යයක් වන්නේ හඳගම මෙම චිත්‍රපටය නිමවා ඇත්තේ රෝගීව සිටියදී බවයි. රිචඩ්, මනෝරාණි, ප්‍රේමදාස, මංගල, ලලිත්, මහින්ද, ප්‍රේමකීර්ති, නිර්මලා, රොනී වැනි වගකිව යුතු ජීවිත සමග සෙල්ලම් කරද්දී නිර්මාණකරුවා නිරෝගීව සිටියා නම් සත්‍යය සහ එහි ප්‍රබන්ධය නිරවුල්ව පරිකල්පනය කරන්නට මෙම සිනමාකරුවාට හැකිව තිබිණි. 'රාණි' නසරානී වන්නේ එලෙසය.
අහම්බෙන් හඳගමගේ ඇඟේ වැදුණු චිත්‍රපටය
මෙය අහම්බෙන් හඳගමගේ ඇඟේ වැදුණු චිත්‍රපටයකි. ස්වර්ණා තම චරිතයට වසර 27 සිහින මැවූවද හඳගමට මෙහි පිටපත ලියන්නට සිදුවූයේ මාස තුනකිනි. ව්‍යාපෘතියක් කලා කෘතියක් බවට පත්වන්නට වසර 27ක් අවශ්‍ය නොවුණත් මාස තුනක් ප්‍රමාණවත් නොවන බව හඳගමගේ සෙසු චිත්‍රපට සමග තබා මේ ක්ෂණික නිෂ්පාදනය දෙස බලන විට සිතෙයි. ක්ෂණික සහනය සඳහා බෙහෙතක් බොනවා හැරෙන්නට ක්ෂණික චිත්‍රපට කළ යුතු නැත.
නිෂ්පාදකයකු මෙම නිර්මාණකරුවා සොයා එන පළමු අවස්ථාව මෙයයි. පළමු වරට නිෂ්පාදකයකු තමා සොයා ආ විට තමා තිගැස්සී සිටි බව (ෂොක් වූ බව) හඳගම කියයි. ස්වර්ණා තම 27 වසරක සිහිනය සැබෑ කරගන්නට තෝරා ගන්නේ අසනීපව සිටි හඳගමය. චිත්‍රපටයක් සිනමාකරුවාගේ සිහිනය නොවී නිළියකගේ සිහිනය වූ විට සිදු විය හැක්කේ එම නිළිය රඟපාන චරිතය වඩාත් ඉස්මතු කිරීමට සිනමාකරුට සිදුවීමය. ඒ සඳහා එම චරිතයට වඩා යෝධ චරිත, ප්‍රේමදාස වැනි ජනාධිපතිවරු, මංගල, මහින්ද වැනි ඇමතිවරු, රිචඩ් වැනි ලෝප්‍රකට මාධ්‍යවේදීන්, ප්‍රේමකීර්ති වැනි කවීන්, නිර්මලා වැනි බිරින්දෑවරු, රොනී වැනි පොලිස් ලොක්කන් තුට්ටු දෙකට දමා අපහාසාත්මකව නිරූපණය කරන්නට සිනමාකරුවකුට සිදුවිය හැකිය. මෙහි ඝාතනයන් එද්දී පිටුපස දොරින් පැනයන ගීත රචකයා ප්‍රේමකීර්ති නම් රිචඩ්ට වශී වී සිටින මෙහි පෙම්වත් රසිකාවිය නිර්මලාද? සත්‍යය ඇසුරෙන් ප්‍රබන්ධය පරිකල්පනය කළ හැකි බව කියන සිනමාකරුවාට න්‍යායික කටඋත්තරයක් ඊට තිබිය හැක. නමුත් ප්‍රබන්ධයේ නාමයෙන් සත්‍යය විකෘති කරන්නට සිදුවන්නේ නිර්මාණය අභිබවා යන ව්‍යාපෘතියකදීය.
මීට පෙර ඔහු හඳගම කළ චිත්‍රපටයේ (අල්බොරාදා) පිටපත ලියද්දී එම චරිත කිසිවක් අද නැති නිසා නිදහස තිබුණු බව ඔහු කියා ඇත. ලයනල් වෙන්ඩ්ට් නිර්වස්ත්‍ර කරනුයේ ඒ අනුවය. නමුත් මේ පිටපත ලියද්දී මේ චරිතවලට සම්බන්ධ චරිත අද ජීවත්වන නිසා සහ මාධ්‍ය මගින් ප්‍රචලිතව මිනිස්සු දන්නා කතාවක් නිසා මෙම කතාව වෙනස් කරන්නට වුවමනා වූයේ නැති බව ඔහු කියයි. අනික් අතින් මේ 'රාණී' ගැන තමන්ගේ පරිකල්පිත කතාව බවද කියයි. කාගේ හෝ ව්‍යාපෘතියක සහ හඳගමගේ චිත්‍රපටයක මනෝරාණි උභතෝකෝටික වන්නේ එලෙසය. 'රාණී' සත්‍යක්ද ප්‍රබන්ධයක්ද යන්න නිර්මාණාකරුවාද නිශ්චිතව නොකියයි. පළමුව ඔහු කීවේ මෙය රිචඩ් ගැන බවයි. චිත්‍රපටය තිරයට ආපසු කීවේ රිචඩ් නොව සිය මව ගැන බවයි. මනෝරාණිගේ සමීපතමයින් ඉදිරියට පැමිණ සැබෑ මනෝරාණි ගැන හෙළි කළ විට දැන් හඳගම කියන්නේ තමා පෙන්නුවේ ඒ මනෝරාණි නොව තමාගේ මනෝරාණි බවයි. ඔහුට සත්‍යය හා පරිකල්පනය දෙකොන මාරුවන්නේ එලෙසටය.
ස්වර්ණා හදිසියේ තරුවක් වී
'රාණී' චිත්‍රපටය වෙනුවෙන් පර්යේෂණ කරන්නට මහන්සි නොවුණු බව කියන හඳගම, අන්තර්ජාලයේ විස්තර තියෙන නිසා ඒ තොරතුරු තමන් අවශ්‍ය පරිදි අර්ථනිරූපණය කිරීමේ අභියෝගය ගැන පමණක් සැලකිලිමත් වී ඇත. මනෝරාණි ගැන විවිධ අයගේ විවිධ කතා අතර මෙය තමාගේ අර්ථකථනය බව සිනමාකරුවාට කිව හැකිය. සත්‍යය සහ මවාපෑම නිර්මාණකරණයේදී පටලවා ගත යුතු නැත. ව්‍යාපෘතිකරුවන්ට මේ අන්ත දෙක පාලනය කරන්නට යොමු වනුයේ සිය පැවැත්ම වෙනුවෙනි. මින් පෙර කිසිදු දිනක තමා රඟපෑ චිත්‍රපටයක් වෙනුවෙන් ප්‍රවර්ධන ව්‍යාපෘතිවලට පාවිච්චි නොවූ ස්වර්ණා පළමු වරට තරු පරිවරාගෙන පාරට බැස තිබේ. තරු සමඟ සිනමාශාලා කරා යයි. ස්වර්ණා තරුවක්ද? තරුවක් ලෙස හඳුන්වන්නේ මේ චිත්‍රපට ව්‍යාපෘතියේදීය. තාරකා මේඝයෙන් ඔබ්බට සිටි ස්වර්ණා හදිසියේ තරුවක් වී 'අතුරුදන් වූ මව්වරුන්ගේ විරෝධතා' වෙත පවා ගොස් ඔවුන්ගේ දුක අසයි. ඒවා රූප ගත කොට නිෂ්පාදකගේ ටීවී චැනලයේ දමයි. නිර්මාණය අතික්‍රමණය කළ ව්‍යාපෘතියක හැසිරීම එබඳුය. 'රාණී' යනු චිත්‍රපටයක් නොව ව්‍යාපෘතියකැයි අප සිතන්නේ එබැවිනි.
රාණි මහජන ප්‍රදර්ශනය අරඹන දා ස්වර්ණා පළමුව ස්තුති කර තිබුණේ යේසුස් වහන්සේට හා දෙවනුව සුබාෂ්කරන්ට හා ජානකීටය. හඳගමට ස්තුති කර තිබුණේ තෙවනුවයි. ඒ ඔහුගේ සිනමාවට නොව සිය නිර්භීතකමටයි. ඇයගේ විශිෂ්ටතම රංගනයක් සහිත 'දඩයම' දෙවැනි තැනට දමා 'රාණි' රංගනය අංක එකට දමා ඇයම වර්ණනා කරන්නේ 'දඩයම'ට නොලැබුණු සම්මානයක සිහිනය සඵල කරගන්නටද? මෙරට බොහෝ නිළියන් ලද ජාත්‍යන්තර සම්මානයක්ද එම සිහිනය තුළ ඇති සිහිනයක් විය හැකිය. මේ සිහින සමූහයම නිර්මාණ වේශයෙන් එළිදකින ව්‍යාපෘතියක විලාස ගනී.
කොස්ගස් හන්දියේ ස්වර්ණාට කුරුඳුවත්තේ මනෝරාණි හමුවී නැත
චිත්‍රපටය 'ඇතුළත' සහ 'පිටත' යනුවෙන් මෙහි චිත්‍රපට දෙකකි. චිත්‍රපටයෙන් පිටත මවා පෑ 'රාණි' දෙස බලා අප දකින්නේ චිත්‍රපටයක් නොව අදෘශ්‍ය ව්‍යාපෘතියකි. මෙම චිත්‍රපටයේ සිනමාත්මක ඇතුළාන්තය පිටත 'රාණි' ගිලදමයි. ඇතුළාන්ත 'රාණි'ට බාධා කරන්නේ පිටත සිටින නිර්මාණකරුවා සහ නිළියයි. කොස්ගස් හන්දියේ ස්වර්ණාට කුරුඳුවත්තේ මනෝරාණි හමුවී නැත. එබැවින් මෙය ඇගේ දුර්වල චරිත නිරූපණයකි. ස්වර්ණා මිස මනෝරාණි මෙහි නැත. මනොරාණිගේ සාරිය සහ මොට්ටුව පමණක් නොව ඇයගේ මත්පැන් වීදුරුව හා සිගරැට්ටුවවත් මේ නිළිය දැන හිඳ නැත. මෙහි සිටින්නේ හඳගමගේ මනෝරාජික මනෝරාණි සහ ස්වර්ණා සිහින දකිමින් සිටි මනෝරාණි බව මෙබඳු අදෘශ්‍යමාන භාවිතයන් ගෙන්ම පැහැදිලි වෙයි. සත්‍ය මනෝරාණි ඇන්දේ ස්වර්ණා අඳින ඉන්දියානු කපු සාරි නොව මල් රටා මුද්‍රිත නයිලෙක්ස් සාරි බව ඇගේ සමීපතමයන් කියා ඇත. ඇය නළලත මත තැබුවේ ස්වර්ණා තබන ස්ටිකර් පොට්ටු නොව පවුඩර් පොට්ටුය. ඇය තම නිවසෙහි මත්පැන් තබාගෙන සිටියේ නැත. ඇය සිය මෙහෙකරුවන්ද සමග මත්පැන් පානය කළ බේබදු කාන්තාවක නොවේ. ඇය රිචඩ් ඇමතුවේ එනමින් හෝ පුතා කියා හෝ නොවේ. චරිතයේ දෘෂ්‍යමානයෙන් ඔබ්බට ගොස් ඇගේ චිත්ත සංකීර්ණය සිනමාකරුවා හෝ නිළිය දැක නැත. දශක 3ක් සිහින මැවූ නිළිය හෝ තෙමසකින් පිටපත ලියූ සිනමාකරු හෝ එය අධ්‍යයනය කර නැත. මෙහි පිටපත දුර්වල වන්නේ එබැවිනි. එවිට මෙහි අප හඳුනාගන්නා ප්‍රශස්ත කැමරාකරණය හා කාලෝචිත වර්ණ ගැළපීම, බාහිර ස්වරූප අභිබවන විශිෂ්ට රංගනය, කාල ගළපන සුභාවිත සංස්කරණය, නාමාවලි අග රඳවන මනරම් ගායනය හා අර්ථවත් ශ්‍රව්‍යමය යෙදුම් හුදෙකලා ඇමිණුම් වී නිමැවුම හා සංයුක්ත නොවෙයි.
බයෝපික් චිත්‍රපට..
ඉතිහාසමය වැදගත්කමකින් යුත් චරිතයක් සිය සැබෑ නමින්ම ඉදිරිපත් කරන බැවින් 'රාණි' යනු බයෝපික් චිත්‍රපටයකි. 'බයෝපික් ෆිල්ම්' යනු යනු සැබෑ පුද්ගලයකුගේ ජීවිතය සිනමා මාධ්‍යය තුළ නාට්‍යානුසාරයෙන් ඉදිරිපත් කිරීමකි. රජකු, දේශපාලන නායකයකු, සුප්‍රකට කලාකරුවකු මෙම බයෝපික් සිනමාවට වස්තුබීජ කර ගැනේ. 'බයෝපික්' යන වදන නැගෙනුයේ 'බයෝග්‍රැපිකල් පික්චර්' යන අර්ථය සංක්ෂිප්ත වීමෙනි. මෙය සිංහල බසින් චරිතාපදාන චිත්‍රපටය ලෙස ගත හැකිය.
බයෝපික් සිනමාව වාර්තා චිත්‍රපටයකට (ඩොකියු ඩ්‍රාමා) හෝ ඓතිහාසික චිත්‍රපටකට (හිස්ටොරිකල් ඩ්‍රාමා) වඩා වෙනස් වන්නේ තනි පුද්ගලයකුගේ ජීවිත කතාව ප්‍රස්තුත කර ගන්නා බැවිනි. අදාළ සුවිශේෂ පුද්ගලයාගේ ජීවිත කාලය හෝ සිය ජීවිතයේ වැදගත් කාල පරිච්ඡේදයක් පසුබිම් කර ගැනේ. 'රාණි' චිත්‍රපටයේ පිටපත දුර්වල හෝ අසම්පූර්ණ වන්නේ එම සැබෑ පුද්ගල චරිත ප්‍රමාණවත් ගවේශනයකට ලක් කර නැති බැවිනි. ස්වර්ණා රඟපාන මනෝරාණි යනු සත්‍ය මනොරාණි නොව ඇය විසින් වසර 27ක් සිහින මැවූ ස්වප්නමය සාවද්‍ය චරිතයක් බව මේ වන විට හෙළිදරව් වී ඇත. මෙය ඇයගේ දුර්වල රගපෑමක් වන්නට එයද හේතුවකි. 'රාණි' රංගනය වසන්ත ඔබේසේකරගේ 'දඩයම' චිත්‍රපටයත් වඩා ඉහළ තැනක තිබෙන බව එම රංගන ශිල්පිනියටම පවසන්නට සිදුවන්නේ ඒ බව ඇය දන්නා නිසාය. ජීවතුන් අතර නැති ජ්‍යෙෂ්ඨ සිනමාකරුවකු විසින් මෙහෙයවන ලද විශිෂ්ට රංගනයක් දෙවැනි තැනට පහත් කොට 'රාණි' රංගනය ඉහළ දමන නිළිය හමුවෙහි මේ විශිෂ්ට සිනමාකරුවා යටහත් පහත් ලෙස නිහඬව සිටින්නේ වුවද මෙම දුර්වලතාව ඔහුද මැනවින් දන්නා නිසා විය හැකිය. 'රාණි' නසරානිකරණය වනුයේ එලෙසය.
'රාණි' චිත්‍රපටයේ අත්‍යවශ්‍ය පුද්ගල චරිත විග්‍රහ අභිබවා පුද්ගල සැමරුම්, පුද්ගලාභිවාදන හා විකෘතීන් ප්‍රභලව ඉස්මතු වෙයි. ඇතැම් චරිත හා සිදුවීම් නිදොස් කොට නිදහස් කිරීම් මෙන්ම අතිශයෝක්තීන් ද දක්නට ලැබේ. ඒවා ඇති වන්නේ සිනමාකරුවාගේ අරමුණු මතය. රිචඩ් වැනි ප්‍රකට චරිතයක අතීත වාර්තා සහ අප්‍රකට ජීවන තොරතුරු දැන ගැනීමේ අතීතකාමය සමග මෙම බයෝපික් චිත්‍රපටය සැබැඳී තිබේ. තමා රාණි හෝ රිචඩ් ගැන චරිතාපදානයක් නොකළ බව හඳගම මුලින් කීවේ නැත. දැන් කියයි.
සත්‍යය විකෘති වීම
මනොරාණි, රිචඩ්, ප්‍රේමදාස, ලලිත්, මංගල මහින්ද, ලලිත් වැනි සත්‍ය චරිත සමග 'රාණි' චිත්‍රපටයේ චරිත ගළපමින් නිෂ්පාදකයන් සිදු කරන පූර්ව ප්‍රචාර හමුවේ මෙම ශික්ෂිත නිර්මාණරුවා කිසිදු විරෝධතාවක් නොපා නිශ්ශබ්දව සිටීම සැක මතු කරයි. මෙය තමාගේ චිත්‍රපට විලාසයෙන් වෙනස් වූවක් බව ඔහු ප්‍රකාශ කර ඇත. සත්‍ය සිදුවීම් මත තමා කළ චිත්‍රපටය මිනිසුන්ගේ හැඟීම් ඇවිස්සූ බව මේ වගකිව යුතු සිනමාවේදියා පවසයි. තමා රෝගීව සිටියදී තමන්ගේ ඇගේ හැපුණු මෙම චිත්‍රපටය අප දකින්නේ සිය චිත්‍රපට නාමාවලියෙහි දුර්වල සිනමා කෘතියක් ලෙසයි. 'රාණි' පමණක් නරඹා විචාර ලියන අයට සහ හඳගමගේ චිත්‍රපට ගැන පමණක් චිචාරශීලී වන අයට හඳගමගේ ඊඵඟ චිත්‍රපට ව්‍යාපෘතිය එන තෙක් මෙය විශාල වස්තුවකි.
'රාණි' යනු සත්‍යය ඇසුරෙන් ගොඩනඟන ලද ප්‍රබන්ධයක්ය යන හතරබීරි කතාව පළමුව අපට කියා ඇඟබේරා ගන්නට මෙම කෘතහස්ත සිනමාකරුවාට සිදුවන්නේ ඇයි.? නිර්මාණය ප්‍රබන්ධයක් මිස සත්‍යය නොවේ. සත්‍යය ඇසුරෙන් ප්‍රබන්ධ පරිකල්පනය කළ හැකිය. එවිට සත්‍යය නිරවුල් විය යුතුය. නොදැනුවත්කම, හදිසිය, නොහික්මීම, නොසැලකිල්ල හෝ කිසියම් රෝගී තත්වයක් නිසා සත්‍යය විකෘති කළ යුතු නැත. සත්‍යය පිළිබඳ සිය පුද්ගල මතය පොදු මතය බවට ප්‍රසිද්ධ කළ යුතුද නැත. එවිට සිදු වන්නේ සත්‍යය විකෘති වීමක් මිස ප්‍රබන්ධ වීමක් නොවේ.
විවිධ අය මනෝරාණි ගැන විවිධ කතා කියා ඇති අතරේ අශෝකටද කියන්නට කතාවක් තිබෙන්නට පුළුවන. එය ඔහුගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියකි. මෙය රිචඩ් ගැන සහ මනෝරාණි ගැන තමාගේ කතාව වන බැවින් මෙය ප්‍රබන්ධයක් බව සිනමාකරුවා ප්‍රකාශ කර තිබේ. එසේ නම් මෙය සත්‍ය කතාව නොවේ. නිර්මාණකරුවා තම පරිකල්පන බලපත්‍රය මත ප්‍රසිද්ධ කරන තම මනෝගතයයි. එසේ නම් මෙය මවාපෑමක් බව සිතන්නට ඔහුම ඉඩ නොතබන්නේ ඇයි? රිචඩ්ගේ ඝාතන වරදින් ප්‍රේමදාස නිදොස් කොට නිදහස් කිරීම වැනි සත්‍යයේ ප්‍රබන්ධ මත මේ සිනමාකරුවා යැපෙයි. සත්‍යය තිබියදී නිර්මාණකරුවා තම ප්‍රබන්ධය සත්‍යයක් සේ හඟවන්නේ කුමන යටි අරමුණකින්ද? සත්‍ය චරිතවලට සමාන ස්වරූප ඇති නළුනිළියන් ගැනීමෙන් සිනමාකරුවා පෙලඹෙන්නේ තමාගේ මේ මවාපෑම සත්‍යයක් සේ ඒත්තු ගන්වන්නටය. කවර අරමුණකින්ද?
සත්‍යය සෙවීම පොලීසියට අයත් වැඩිදුර පරීක්ෂණයක් වන අතර කල්පිතයෙන් සත්‍යය දැකීම කලාකරුවාගේ කාර්යයයි. ඉහළ ඉපැයීම් හැර 'රාණි' සාර්ථක සිනමාකෘතියක් වී නම් නිර්මාණකරුවා තම නිර්මාණය මෙලෙස විස්තර කළ යුතු නැත. නිදහසට කරුණු ගෙන හැර පෑ යුතු ද නැත.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
රාණී නසරානී වීම