IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


සිරි මැඳුර ධනවාදී සමාජයේ යාන්ත්‍රණය විදහා දැක්වීමක්

පිච්චැර් පිස්සා

ශූර මැණික් සැට්ටරයකු විසින් කපා ඔප දමා අමුණන ලද මිණි මාලාවක් බඳු ව මැනවින් රචනා කරන ලද රූප රාමු පෙළක් අප දෙනෙත් අබියස දිග හැරෙයි. ඒවා උචිත වර්ණ සංකලනයෙන් දිදුලයි. රූප රාමු වැලඳ නැඟෙන මියුරු සරින් දෙසවන් සැනසේ.

පහළ මැද පන්ති ජීවිතයෙහි ආර්ථික පීඩනයෙන් පැන නගිත අනුවේදනීය පුවත් සෝද සෝදා මඩේ දමමින් ද ද්විත්ව කරමින් ද දික් ගස්ස ගස්සා ඉදිරිපත් කෙරෙන ටෙලි නාටකය ඇති නරා වළෙන් ගොඩ ඒමට පරාක්‍රම නිරිඇල්ලට හැකියාව ඇද්දෝ යි පැවති සංශය මේ රූප රාමු පෙළ විසින් සාර්ථක ව බිඳ හෙළනු ලබයි.

අප වසන ධනවාදී සමාජය ක්‍රියාත්මක කොට පවත්වා ගෙන යන යාන්ත්‍රණයත් මේ සමාජය තුළ ම පවත්නා එය විනාශ කර දමන නාශක බීජ චලනය වන අයුරුත් මේ සුන්දර රූප රාමු පෙළෙහි දැවටී දිග හැරෙයි. දිගු කලකට පසු සිංහල සිනමාවෙන් නැණ නුවණ පොබයන අනුභූතියක් ලදිමි යි ප්‍රේක්ෂකයාට සිතෙන්නේ මෙහෙයිනි.

චිත්‍රපටය ඇරඹෙන්නේ සරුසාර කෙත්වතුවලින් වට වූ සව්සිරි සපිරි මහා මන්දිරයක් ප්‍රේක්ෂකයා අබියස විවර වීමෙනි. ධනවාදී සමාජ යාන්ත්‍රණයේ සියලු අංග මේ මහ මැඳුර තුළ ගැබ් වන සැටි වැඩි වේලා නො ගොස් ම ප්‍රේක්ෂකයාට දිස් වේ. එතුළ ධනපති පන්තියේ ජීවිතය ගැබ් වන අතර කම්කරු පන්තියේ වෘත්තීය සමිති ද ගැබ් වෙයි. කම්කරු පන්තියෙන් පිටස්තර අන්‍ය පීඩිත ජනයෝ ද එතුළ වෙසෙති. එහෙයින් 'සිරි මැඳුර' ධනවාදී සමාජයේ ම සංකේතයකි.

සිරිල්, සම්පත් හා නිර්මලා ධනපති හාමුලා ය. ඔවුහු ඉතා සුඛෝපභෝගී ජීවිතයක් ගෙන යති.ඔවුන්ගේ ජීවිත නෙත් සිත් පිනවන අපූරු වර්ණ සංකලනයන්ගෙන් වට වී ඇත. ඔවුහු ගත සිත පිනවන දුලබ සුරාවෙන් ඔද වැඩුණාහු රස නහර පිනවන සුවඳ බොජුනින් තුටු පහටු වෙති. කන්කලු සංගීත රාවය ඔවුන්ගේ සවනත දැවටෙයි. කාලිදාස කිවිඳුන් කියූ පරිදි,

කපුරු කළුවැල් අගිල් දුම් දුන්
සුගන්ධිත ප්‍රාසාද මනරම්
පිය ළඳුන් සුසුමින් සසල මධු
සුමුදු තත් අතරින් පෙරී එන
මන්මදා පුබුදා නැගිටුවන
වෙණ සර ද පසුබිමෙහි විහිදෙන
විඳිත් කාමී දන නිසා කල

මොවුන් උඩු මහලේ කරන මේ සුඛ විහරණට අවශ්‍ය සියල්ල සපයා දෙන්නෝ පහත මහලේ වෘත්තීය සමිති කාර්යාලයට රැස්වන සූරා කැවෙන කම්කරුවෝ හා කුස්සියේ වැසි පීඩිත මෙහෙකරුවෝ ය.

කුස්සියේ වැසි මෙහෙකාරිය වන ලීලා දෙගුණයක සූරා කෑමකට ගොදුරු කෙරී ඇත. ඇගේ ශ්‍රමය මුළු පවුල ම විසින් සූරා කනු ලැබේ. ඒ මදිවාට සම්පත් හාමු ලිංගික වසයෙන් ද ඇය සූරා කයි. ඔහුත් ඇයත් අතර පවත්නා සම්බන්ධය ප්‍රේමයක් ලෙස විවරණය කිරීමට ඇතැම් විචාරකයන් උත්සාහ කර ඇත. මෙය භ්‍රමයකි. ප්‍රේමයක් සඳහා දෙදෙනකුගේ සහභාගිත්වය අවශ්‍ය වෙයි. මෙහි දී සම්පත් හාමු තම ලිංගිකත්වය සූරා කෑම ඔහු තමා වෙත දක්වන ප්‍රේමයකැයි වරදවා වටහා ගන්නා ලීලා ඔහු කෙරේ මුළු හදින් භක්තිමත්ව ඇලුම් කරයි. පළමු අවස්ථාව ලද සැණින්ම සම්පත් හාමු නිර්මලා සමඟ රමණය කිරීමෙන් ඔහු තුළ ලීලා කෙරෙහි ප්‍රේමයක් නැති බව විදහා දැක්වෙයි.

සම්පත් ලීලාට ලොල් කිරීම ගැන සිරිල් විරුද්ධ වන්නේ ලිංගික සුරා කෑමට විරුද්ධ වීමක් ලෙස නොව එය එළිදරව් වුව හොත් තම දේශපාලන ජීවිතයට එයින් කැළලක් ඇති විය හැකි ය යන භීතිය නිසා ය. එම කැළල වළක්වනු වස් ඔහු ඕනෑ තරම් මුදල් විසි කිරීමට සුදානම් ය. මේ ධනපන්තියට තම තමන් ද අන්‍යයන් ද හුදු ද්‍රව්‍ය ය. ඔවුන් උනුත් අතර පවත්වන්නේ දේවල් දේවල් අතර පවත්නාක් බඳු සම්බන්ධයකි. සිරිල් නිර්මලා සමඟ විවාහ වූයේ ඇය වැදගත්', එනම්, ධනවත් පවුලක එකියක බැවිනි. ඔහු ඇය තම පවුලට ගැළපෙන එකියක බව සම්පත්ට පවසයි. ඇයත් සිරිලුත් අතර පවත්නේ හුදු යාන්ත්‍රික සම්බන්ධතාවකි. ඇය පාළුවෙන් පෙළෙයි. අවස්ථාව ලද සැණින් සම්පත් සමඟ රමණය කිරීමට ඇයට කිසිදු අමාරුවක් නැත. එහෙයින් මේ චිත්‍රපටය ත්‍රිකෝණ ප්‍රේම සම්බන්ධයක් බවට සිඳුවීමට තැත් කරන්නෝ රූප රාමුවලින් පිටුබල නො ලබන අතර එහි අගය හෑල්ලු කරති.

අප වසන සමාජයේ යුක්තිය පසිඳතැයි කියන නීති වෘත්තියේ යෙදෙන්නෝ ද දේශපාලනයෙහි ආධිපත්‍යය දරන්නෝ ද ධනපතියෝ ය. එමතු නොව කම්කරු පන්තියේ වෘත්තීය සමිති පාලනය කරන්නෝද ඔවුහුමය. වෘත්තීය සමිති නිලධාරි තන්ත්‍රය ධනවාදී සමාජ යාන්ත්‍රණයේ ම අවශ්‍ය කොටසක් බව මෙහි ඉතා විශද ලෙස ප්‍රදර්ශනය කෙරෙයි. වෘත්තීය සමිති කාර්යාලය ධනපතියාගේ මන්දිරයේ ම පිටුපස කොටසක පිහිටා තිබීම ධ්වනිතාර්ථපූර්ණ නොවේද? මුදල් උපයා, ඉඳුරන් පිනවා ඉතිරි වන කාලයක් ඇත්නම් ධනපතියා එය වැය කරන්නේ වෘත්තීය සමිති හරහා කම්කරුවන් දමනය ද පාලනය ද කිරීමට ය. වෘත්තීය සමිති නායකත්වය කම්කරුවන් ධනවාදී සමාජ ක්‍රමයට අභියෝග නො කරන ලෙස වග බලා ගනී. වෘත්තීය සමිති නායකත්වයේ මේ ද්‍රෝහිත්වය පළමු කොට කම්කරුවන් ස්වල්ප දෙනෙකුට ප්‍රත්‍යක්ෂ වෙයි. ඊට විසඳුම ලෙස ඔවුන් යෝජනා කරන්නේ කම්කරු පන්තියේ වැඩි එකමුතුවකි. කම්කරුවන්ගේ පළල් එකමුතුවක් ගැන ඇසූ සැණින් වෘත්තීය සමිති නායකත්වය මර බියට පැමිණෙයි.

වෘත්තීය සමිති නායකත්වය පසුගාමී කම්කරු කණ්ඩායමේ පිටුබලය ලැබ මේ යෝජනාවට මාරක ලෙස විරුද්ධ වෙයි. කම්හලින් දොට්ට දැමූ කම්කරුවන්ගේ ප්‍රශ්නයට විසඳුම ලෙස වෘත්තීය සමිති නායකත්වය කම්හල අයිති ධනපතියාට ම පෙත්සම් ලිවීමටත් එය අසාර්ථක වූ තැන උසාවි යෑමටත් යෝජනා කරයි. මෙලෙස කම්කරුවන් වංකගිරියක ගෙන යෑම මගින් වෘත්තීය සමිති නායකත්වය අපේක්ෂා කරන්නේ ඔවුන් හෙම්බත් කොට නිහඬ කරවීමට ය.

වෘත්තීය සමිති නායකත්වය කම්කරු පන්තිය තුළ ධනපති පන්තියේ අවශ්‍යතාව ඉටු කරන සැටි මෙලෙස මැනවින් ප්‍රකට කෙරෙයි. එහෙත් නඩුව පරදී; වෘත්තීය සමිති නායකත්ත්වයේ ද්‍රෝහිත්වය පිළිබඳව කම්කරුවන් ස්වල්ප දෙනෙකුට ඇති වූ අවබෝධය වැඩි දෙනාගේ අවබෝධය බවට පත් වෙයි. ඔවුහු "සිරි මැඳුර" වටලති. '' ද්‍රෝහියා ජුදාස් " යන පෝස්ටරය " සිරි මැඳුරේ '' ඇලවෙයි.

වැඩි එකමුතුව අවශ්‍ය වුවත් කම්කරුවන්ට එයින් පමණක් ධනවාදය අහෝසි කළ නොහැකි ය. එහෙත් කම්කරුවන් තම නායකත්වයේ ද්‍රෝහිත්වය වටහා ගැනීම ධනවාදය අහෝසි කිරීමේ මුල් ම පියවර යි. මෙලෙස පසු ගිය දශකවල ලංකාවේ කම්කරු පන්තිය තුළ වැඩී එන්ට පටන් ගත් විඥානය මේ සිනමාකරුවා මනා ලෙස ග්‍රහණය කොට ගෙන ඇත.

ලීලා නිර්මලාට හා සම්පත්ට වෙඩි තැබීමේ ක්‍රියාවට ගැඹුරු අර්ථ කැවීමේ තැතක් තන්හි තන්හි දිස් වෙයි. එය ලීලා තුළ ඇති වන පරාජිත හැඟීමෙන් මතු වන්නක් හෙයින් කතාවට අනුචිත නො වන අවසානයකි. එහි ඊට වැඩි ගැඹුරක් නැත. එයට ඊට වැඩි ගැඹුරක් ආරෝපණය කරන්ට තතනන්නෝ තෝරා ගත් ඉලක්කවලට තුවක්කුවලින් වෙඩි තැබීමෙන් ධනවාදය අහෝසි කළ හැකි ය යන සිය වරක් අතේ පත්තු වූ මිථ්‍යාවට යළි පණ දෙති. ධනවාදය අහෝසි කළ හැක්කේ කම්කරු පන්තියේ එකමුතුවෙන් හා නිවැරදි නායකත්වයෙන් විනා වෙනත් පන්තිවල තුවක්කුවලින් නො වේ. එහෙත් අවසානයේ දී කම්කරුවන් විසින් ලීලා බේරා ගැනීම නම් අගනා ධ්වනිතාර්ථයක් නඟයි. එනම් සියලු පීඩිතයන්ගේ විමුක්තිය පවතින්නේ කම්කරු පන්තියේ විමුක්තිය තුළ ය යන්න යි.

"සිරි මැඳුර" අප වසන සමාජයේ චලනය ගෙන හැර දක්වා අපගේ බුද්ධියේ නිම්වළලු ප්‍රසාරණය කරයි. කිසි යම් කලා කෘතියක් අප කවුද?අප වසන්නේ කොහි ද?අපගේ දිගංශය කවරේ ද? යනු අපට ම පෙන්වා දෙන්නේ නම් එය යහපත් කලා කෘතියක් බවට නො වරදින සාක්‍ෂිය එය ම වේ. එය මිනිසා පන්ති සමාජය නමැති වධකාගාරයෙන් නිදහස් වීම සඳහා ගෙන යන අරගලයේ අවියෝජනීය කොටසකි.



අදහස් (0)

සිරි මැඳුර ධනවාදී සමාජයේ යාන්ත්‍රණය විදහා දැක්වීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 522 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2252 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1683 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site