ලාංකීය සිනමාවේ අතිවිශිෂ්ටතම රංගන ශිල්පිනිය නම් කරන ලෙස යමකු මගෙන් ඉල්ලා සිටියහොත් , මගේ පිළිතුර ලැබෙන්නෙ ටිකක් ප්‍රමාද වෙලා. මොකද ඒ විශිෂ්ටත්වය එක එක නිළියන් තුළ එක් එක් ආකාරයෙන් පිහිටා තිබෙනවා. 

සමහර රංගන ශිල්පිනියන් කලාත්මක සිනමාව තුළ ඉතාමත් දක්ෂයි. සමහර අය වාණිජ සිනමාව තුළ දක්ෂයි. හැබැයි ඉතින් අවසානයේ පිළිතුර ලෙස මම කියන්නෙ ස්වර්ණා මල්ලවාරච්චි කියන නම. මා මෙන්ම මගේ පිළිතුර අනුමත කරන බහුතර පිරිසක් සිටිනවාට සැකයක් නෑ.  

යමකුට අතිවිශිෂ්ට රංගන ශිල්පිනිය ලෙස වෙනත් නම් යෝජනා කිරීමට පුළුවන්. සාහිත්‍ය රසය පුද්ගලයාගෙන් පුද්ගලයාට එකිනෙකට වෙනස් සහ ඒ සම්බන්ධයෙන් පොදු  එකඟතාවක් නොවන බැවින් එය එසේ විය හැකියි.

සිරි ගුණසිංහයන් විසින් අධ්‍යක්ෂණය කළ සත් සමුදුර චිත්‍රපටයේ සෝමාගේ චරිතයට පණ පොවමින් ඇයගේ සිනමා සම්ප්‍රාප්තිය සිදුවුණා. 

තරු ගුණය අතින් ඇය සිටියේ නිළි රැජන ලෙස හඳුන්වන මාලිනී ෆොන්සේකා , ශ්‍රියානි අමරසේන වැනි නිළියන්ට පසුපසින්. තරු ගුණය ඉස්මතු වෙලා එන්නේ බාහිර රූපයත් එක්ක. ඒ අර්ථයෙන් ස්වර්ණා මල්ලවාරච්චි කියන්නෙ අධි ලස්සනකින් යුත් රූප රාජිණියක් නෙවෙයි. හැබැයි පෙර සඳහන් කළ අයට තරම් තරු ගුණයෙන් යම් අඩුවක් තිබුණත් ස්වර්ණා මල්ලවාරච්චි කියන්නේ ලාංකීය සිනමාවේ අත්හල නොහැකි ස්ත්‍රී රූපකායක්.

ලාංකීය සිනමා ඉතිහාසයේ වැඩිම වාර ගණනක් හොඳම නිළිය ලෙස සම්මානයට පත්වෙලා තියෙන්නේ වෙන කවුරුත් නෙවෙයි ස්වර්ණා මල්ලවාරච්චි. ඇය විශිෂ්ටතම රංග ශිල්පිනියක් ලෙස හඳුන්වන්න , එය ඔප්පු කර පෙන්වන්න පුළුවන් ඒ තරම් හොඳ සාක්ෂියක් තවත් නෑ. ඇය චිත්‍රපට 44 රඟපා තිබෙනවා. ඒ චිත්‍රපටවල රඟපාමින් දැක්වූ අසහාය රංගන කුසලතාව වෙනුවෙන් ඇය 26 වතාවක් හොඳම නිළිය සම්මානයෙන් පිදුම් ලබනවා.
හැබැයි ඇය එකම එක වතාවක්වත් ප්‍රේක්ෂකයාගේ සම්මානය වන ජනප්‍රියම නිළිය සම්මානය දිනාගෙන නැහැ.

වැඩිම වාර ගණනක් හොඳම නිළිය ලෙස සම්මාන ලබාගත්තත් , කෙතරම් දක්ෂ නිළියක වුණත් ලාංකීය සිනමාව තුළ ස්වර්ණා ගැන ප්‍රමාණවත් කතිකාවක් ඇතිවී නෑ. එමෙන්ම ඇයට ලැබිය යුතු නිසි ඇගයීම ලැබිලත් නෑ. ඇය ගැන ප්‍රමාණවත් කතිකාවක් ඇති නොවෙන්නේ හා නිසි ඇගයීමට ලක් නොවන්නේ ඇය ජනප්‍රියම නිළිය නොවීම නිසා  බවයි මගේ අදහස.ඇයට එකම අවස්ථාවකවත් ජනප්‍රියම නිළිය වීමට නොහැකි වූයේ ඇය සතු තරු ගුණයේ අඩුවක් වෙන්නත් පුළුවන්.

හැබැයි ඉතාමත් සියුම්ව නිරීක්ෂණය කළොත් ඊට එහා ගිය හේතුවක් හොයාගන්න පුළුවන්.. 

ස්වර්ණා රිදී තිරය තුළ රඟපාමින් පණ පෙව්වේ අතිශයින් බැරෑරුම් , තියුණු , විවාදාත්මක කාන්තා චරිතයන්ට. ඒ චරිතයන් අතරින් බොහොමයක් ඒවා රැඩිකල් කාන්තා චරිත කීවොත් නිවැරැදියි. ඒ වගෙම ඒ කාන්තා චරිත තුළින් වෙනත් නිළියන් රඟපාන කාන්තා චරිතවලට වඩා ස්ත්‍රීවාදය නිරූපණය වුණා.

ඇය රඟපෑ ඇතැම් චරිත තුළ මුළුගැන්වුණු සම්ප්‍රදායික , ගතානුගතික ලාංකීය ස්ත්‍රිය සිටියෙ නැහැ. ඇය නිරූපණය කළ ඇතැම් චරිත රැඩිකල් , බය නැති , ස්ත්‍රීවාදී , ගතානුගතිකත්වය හා සම්ප්‍රදායිකත්වය ප්‍රතික්ෂේප කළ නූතනවාදී කාන්තා චරිත ලෙස හදුන්වන්න පුළුවන්. 

එවැනි කාන්තා චරිත තෝරා ගැනීමටත් , ඒවා තුළ තම අසහාය රංගන කුසලතාව විදහා දැක්වීමටත් ඇයට , ඇගේ අධ්‍යාපනය , සමාජ දැනුම හා පෞද්ගලික දේශපාලන මතවාද බලපාන්නටත් ඇති. ඇය කාලයක් සක්‍රීයව කොමියුනිස්ට් පක්ෂය සමඟ දේශපාලනයේ නිරත වූ තැනැත්තියක්. ස්වර්ණා ඒ චරිතවලට සාධාරණය ඉටුකළා. ඇය ඒ චරිතවලට දීපු බර , තේජස , ගාම්භීරත්වය වෙනත් නිළියකට දෙන්න බැහැ.. ඇත්තෙන්ම ඇය සිදුකළේ රඟපෑම ඉක්මවා ගිය චරිත තුළ ජීවත් වීමක්..

අද වගේ තාක්ෂණයේ දියුණු නැති , සමාජ මාධ්‍ය නැති යුගයක ලාංකීය සිනමා ප්‍රේක්ෂකයන් සිනමා පටවල රඟපාන නළු නිළියන් තුළින් මහා සමාජයේ පුරුෂාර්ථ , සංස්කෘතික ලක්ෂණ හා ගතානුගතිකත්වය බලාපොරොත්තු වූවාට සැකයක් නෑ. අද යම් අඩුවක් තිබුණත් , බහුතරය තවමත් කැමති කිසිම අවස්ථාවක පිරිමියා ඉක්මවා නොයන , පිරිමියා පසුපසින් වැටෙන , පිරිමියා මතම යැපෙන සම්ප්‍රදායික ස්ත්‍රියට. 

ඉතින් ඔවුන් බලාපොරොත්තු වුණු ස්ත්‍රිය ස්වර්ණාගේ චරිතයන් තුළ සිටියේ නෑ.  විශේෂයෙන්ම ලාංකීය පිරිමියා අපේක්ෂා කළ ස්ත්‍රීත්වය කොහෙත්ම ස්වර්ණාගෙ චරිත නිරූපණයන් තුළ තිබුණේ නෑ. ඒ චරිතයන් තුළ තිබුණේ පුරුෂාධිපත්‍යයට අභියෝග කරන , විටෙක පුරුෂාධිපත්‍ය හා සමතැන් ගන්නා , තවත් විටෙක පිරිමියාගේ ආධිපත්‍යය ඉක්මවා යන ස්ත්‍රී ආත්මයන්.

සුද්දිලාගේ කතාව , භව දුක , භව කර්ම , අයෝමා , දඩයම , අනන්ත රාත්‍රිය , හංස විලක් , මීහරකා , සාගර ජලයත් මදි හැඬුවා ඔබ හින්දා එවැනි නිරූපණයන් සඳහා උදාහරණ කිහිපයක්. ඉහත කී චරිතවල නිරූපිත කාන්තා ගුණාංගයන් නිසා ප්‍රේක්ෂකයන් ඇයව වැළඳ ගත්තේ නැහැ. ඇය එක් වතාවක්වත් ජනප්‍රියම නිළිය ලෙස නොතේරෙන්නේ ඒ නිසයි..

ඒ වගෙම ප්‍රේක්ෂක ආකර්ෂණය අඩුවීමට ඇය රඟ පෑ චිත්‍රපට ප්‍රමාණයත් හේතුවක් විය හැකියි. නිළි රැජන මාලිනි ෆොන්සේකා චිත්‍රපට 150 කට වඩා රඟපාන කොට , ශ්‍රියානි අමරසේන සිනමාපට 100 කට වඩා රඟපානකොට ස්වර්ණා තම සිනමා දිවිය පුරාම රඟපා තිබුනෙ චිත්‍රපට 44 ක් වැනි ඉතාමත් සුළු ප්‍රමාණයක්. 

ස්වර්ණා වැඩිපුරම රඟපෑවේ කලාත්මක දහරාවේ සිනමාපට තුළ. ඒවා ඇය ඉතාමත් සාර්ථකයි. වාණිජ චිත්‍රපට සුළු ප්‍රමාණයකටත් ඇය ‍රංගනයෙන් දායක වුණා.නමුත් ඇයට වාණිජ සිනමාව තුළ ඒතරම් සාර්ථක වෙන්න බැරිවුණා.

ලාංකීය සිනමාව තුළ ස්වර්ණා මල්ලවාරච්චිගේ තැන ගන්න , ඇය වෙනුවෙන් ආදේශකයක් වෙන්න පුළුවන් නිළියක් කවදාවත් බිහිවෙන එකක් නෑ.