IMG-LOGO

රූමත් ගණිකාවකට වහ වැටුණු බිලියනපති පුතකුගේ කතාව Anora

පිච්චැර් පිස්සා

 


ඇමෙරිකාවේ රාත්‍රි සමාජ ශාලාවක වැඩ කරන ලිංගික ශ්‍රමිකයකු සහ බිලියනපති ව්‍යාපාරිකයකුගේ තරුණ පුතකු අතර ඇති වන ලිංගික ආදර සම්බන්ධයක් තමයි මේ චිත්‍රපටයට පසුබිම් වෙන්නෙ. මේකෙ නම "Anora". බටහිර සිනමාව ගැන උනන්දුව දක්වන සිනමාලෝලීන් දැනටමත් මේ චිත්‍රපටය ගැන අසා ඇතුවාට සැකයක් නැහැ. ඒ බොහෝ දෙනෙක් මේ වනවිට මෙය නරඹලත් ඇති.
දක්ෂ අධ්‍යක්ෂවරයකු වන ෂෝන් බේකර් විසින් අධ්‍යක්ෂණය කරන ලද "Anora" බොහෝ සිනමා විචාරකයන්ගේ වගේම රසිකයන්ගෙත් අගැයුමට ලක් වූ සිනමා කෘතියක්. එය සම්මාන පිට සම්මාන ලබපු නිර්මාණයක් හැටියටත් හඳුන්වන්න පුළුවන්. 2024 කාන් සිනමා උළෙලේ  Palme d' Or සම්මානය දිනා ගත්තේ මේ සිනමාපටය යි. ප්‍රංශයේ පැවැත්වෙන කාන් සිනමා උළෙල ලෝකයේ ඉහළම මට්ටමේ සිනමා සම්මාන උළෙල කිහිපයෙන් එකක්.

Palme d' Or සම්මානය කියන්නේ මෙම උළෙලේ පිරිනැමෙන ඉහළම සම්මානය යි.
පසුගිය මාසයේ පැවති ඔස්කාර් සම්මාන උළෙලේත් හොඳම චිත්‍රපටය සම්මානය දිනාගත්තේ "Anora" යි. ඊට අමතරව තවත් ඔස්කාර් සම්මාන හතරක් ඊට හිමි වුණා. ඒ, හොඳම අධ්‍යක්ෂණය, හොඳම නිළිය, හොඳම සංස්කරණය, හොඳම ස්වතන්ත්‍ර තිර රචනය යන සම්මාන යි. හොඳම අධ්‍යක්ෂණය, හොඳම සංස්කරණය, හොඳම තිර රචනය යන සම්මාන තුනම හිමි වුණේ ෂෝන් බේකර්ට වීම විශේෂත්වයක්.
හොඳම නිළිය සම්මානය පිරිනැමුණේ  ඇමෙරිකානු  ලිංගික ශ්‍රමිකයකු ලෙස සුවිශේෂී රංගනයක යෙදෙන  25  හැවිරිදි මයිකි මැඩිසන්ට.
තවත් ජාත්‍යන්තර සම්මාන උළෙල රැසකදී "Anora" අගැයීමට පාත්‍ර වුණා.
ඉතා අපූරු චරිතයක් තමයි මෙහි ප්‍රධාන චරිතය හැටියට අප හමුවට එන්නෙ. ඇගේ නම අනෝරා 'ඇනී' මයිකීවා. ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පිහිටි, කාම පරාදීසයක් වැනි සමාජ ශාලාවක ලිංගික ශ්‍රමිකයකු ලෙස සේවය කරන අනෝරා හෙවත් ඇනීට එක් දවසක තවත් අපූරු ගනුදෙනුකරුවකු හඳුනා ගන්න ලැබෙනවා. ඉතා තරුණ වයසේ පසුවන විනෝදකාමී, සෙල්ලක්කාරයකු වන ඔහුගේ නම වන්‍යා සකරෝව්.
අනෝරා ඇමෙරිකානු තරුණියක වන අතර වන්‍යා රුසියානු ජාතිකයෙක්. ජාතීන් වශයෙන් වගේම පන්තිමය වශයෙන් ද ඔවුන් දෙදෙනා අතර ලොකු වෙනස්කම් තිබෙනවා. අනෝරා ආර්ථික අතින් පහළ මට්ටමක  ජීවත්වන කෙනෙක්. වන්‍යා රුසියාවේ ඉහළම තලයේ බිලියනපතියදකුගේ පුතෙක්.
චිත්‍රපටය ආරම්භ වන්නේ අනෝරා සේවය කරන සමාජ ශාලාව තුළ විවිධ ගනුදෙනුකරුවන් සහ ලිංගික ශ්‍රමිකයන් අතර සිදුවන කාම සම්භෝගයන් මාලාවක දර්ශන පෙළකින්.  සංගීතයෙන් සහ  නර්තනයෙන් ද  වර්ණවත් වන, මත් ද්‍රව්‍යවලින් ද අඩුවක් නැති  සමාජ ශාලාව සැණකෙළි බිමක් වගෙ යි. එය ඇමෙරිකාවේ පරිභෝජනවාදී, කාම සුඛල්ලිකානුයෝගී සමාජයේ ගති ස්වභාවය පිළිබිඹු කරන රූපකයක් හා සමාන යි. මේ තුළ ලිංගික සම්බන්ධතා ඇතුළු සියල්ල සිදුවන්නේ ගනුදෙනු ස්වරූපයෙන්. එහි සේවය කරන තරුණියන්ට  පිරිමින්ගේ ලිංගික කෙළි බඩු බවට පත්වීමෙන් එහාට වෙන  ජීවිතයක් ඇත්තේ නැහැ.
සමාජවාදී අතීතයක් උරුම කරගත් රුසියාවේ සිට අධ්‍යාපන කටයුතු සඳහා ඇමෙරිකාවට පැමිණ සිටින කෙළිලොල් වන්‍යාට මේ සමාජශාලාව දැනෙන්නේ ජීවිතයේ නිදහස උපරිමයෙන් විඳින්නට ඉඩ විවර කරන පාරාදීසයක් හැටියට යි. එහිදී ඔහුට මුණ ගැසෙන රූමත් සරාගී අනෝරාගේ සිරුරේ  ස්පර්ශය හරහා වන්‍යා මේ නිදහස් ලෝකයේ සුරතාන්තය සාක්ෂාත් කර ගන්නවා. ඔවුන් දෙදෙනා අතර ඉතා උද්වේගකර ලිංගික චාරිකාවක් ආරම්භ වෙනවා.
මෙයින් වන්‍යා මොන තරම් උද්දාමයට පත් වන්නේ ද යත් දින කිහිපයකට පසු ඔහු  අනෝරාට විවාහ යෝජනාවක් ගෙන එනවා. නමුත් එය ආදරය පදනම් කරගත් යෝජනාවක් ද යන්න ගැටලුවක්. සැබැවින්ම ඔහුට වුවමනා වන්නේ  අනෝරා විවාහ කරගෙන  ඇමෙරිකාවේ පුරවැසිභාවය ලබා ගැනීමට යි.
අනෝරා මේ විවාහ යෝජනාවට කැමැති වෙනවා. ඒ වනවිට වන්‍යා ජීවත්වන සුවිසල් සුඛෝපභෝගී මන්දිරයේ රෑ කිහිපයක් විනෝද සුවයෙන් ගත කර ඇති අනෝරාට වන්‍යාගේ ධනවත්භාවයේ රහ හොඳින්ම දැනිලයි තියෙන්නේ. වන්‍යා ඇය විවාහ කර ගන්නට යන්නේ පුරවැසිභාවය ලබා ගැනීම අරමුණු කරගෙන වුවත් ඇයට එය ගැටලුවක් වන්නේ නැහැ. මෙම විවාහය හරහා තමා ජීවිතයේ මෙතෙක් අත් නොවිඳි සුඛෝපභෝගී සුරපුරයකට, ධනවත් පෙලැන්තියකට ඇතුළු  වීමේ වාසනාව තමාට හිමි වන බව ඇය දන්නවා. සමාජ ශාලාවට කොටුවුණු ඒකාකාරී, යාන්ත්‍රික  ජීවිතයෙන්, වන්‍යා හරහා  නිදහස ලැබීම  අනෝරාගේ සිහිනය බවට පත්වෙනවා.
මේ අනුව ඔවුන් දෙදෙනා විවාහ වන අතර  එම විවාහයේ ගනුදෙනුමය ස්වරූපය ඉතා පැහැදිලිව දැකගත හැකියි.  ඔවුන්ගේ "ආදරයේ" ස්වභාවය  ගොඩ නැගෙන්නේ මේ ගනුදෙනුමය අවශ්‍යතාවන් පදනම කරගෙන යි.
කෙසේ හෝ වේවා, කිසි කරදරයකින්, කිසි බාධාවකින් තොරව අති මිහිරි ලෙස ගලා යන වන්‍යාගේත්, අනෝරාගේත් සම්බන්ධය  කුණාටුවකට හසු වන්නට පටන් ගන්නේ රුසියාවේ සිටින වන්‍යාගේ මවුපියන්ට.විශේෂයෙන් ඔහුගේ මව වන ගලීනා සකරෝවාට මේ විවාහය ගැන ආරංචි වීමත් සමග යි.
තම පුත්‍රයා "ගණිකාවක" විවාහ කර ගැනීම ගලීනා තුළ සුවිසල් කම්පනයක් ඇති කරන්නක් බවට පත් වෙනවා. ඇය වහාම ඇමෙරිකාවේ සිටින ඔවුන්ගේ සේවකයන්ට සහ හෙංචයියන්ට කතා කර පවසන්නේ කෙසේ හෝ මෙම විවාහය අවලංගු කිරීම සඳහා කටයුතු සූදානම් කරන ලෙස යි. ඒ අතර ඇයත්, ඇගේ සැමියා, එනම් වන්‍යාගේ පියා වන නිකොලායි සකරෝව්ත් ඇමෙරිකාව බලා එන්නට පිටත් වෙනවා. එයින් පසු ඇති වන්නේ ඉතාම ගැටුම්කාරී, උද්වේගකර තත්වයක්.
"Anora"  සිනමාපටය මට දැනුණේ එක පැත්තකින් ධනවාදී,  පරිභෝජනවාදී, ගනුදෙනුකාර සමාජ සංස්කෘතික  ව්‍යූහයන් සහ අනෙක් පැත්තෙන් වැඩවසම්, රදළවාදී ආධිපත්‍යයන් අතර සිරවෙන කාන්තාවකගේ ඉරණම පිළිබඳ කතාවක් කියන සිනමා කෘතියක් හැටියට යි. අධ්‍යක්ෂ ෂෝන් බේකර්  මෙහිදී  ඇමෙරිකාව සහ රුසියාව යොදා ගන්නේ ඉහත කී සමාජ සංස්කෘතික ව්‍යූහයන්  නියෝජනය කරන පසුතලයන් දෙකක් හැටියට බවයි මට හිතුණේ.
ධනේශ්වර වේවා, වැඩවසම් වේවා, මේ සියලු සමාජ තත්වයන් තුළ අනෝරාට ඇගේ සිහින  අහිමි කරනු ලබන  ආකාරය පිළිබඳ හැඟීමක් චිත්‍රපටය අවසානයේ අප තුළ ප්‍රබල ලෙස ඇති කරනු ලබනවා.
ඇගේ සිහින සියල්ල අවසන් වන්නේ තර්ජනය කිරීම්, බිය වැද්දීම්, පාවා දීම් සහ රැවටීම් මාලාවක් හරහා යි.

 


චිත්‍රපටයේ අවසන් ජවනිකාව මට හැඟුණේ සමස්ත සිනමා කෘතිය තුළ දිග හැරෙන මානව ඛේදවාචකය  හකුලා ප්‍රේක්ෂකයාට දැනෙන්නට සලස්වන ජවනිකාවක් හැටියට යි. එම රූපරාමු තුළ පැතිරුණු හිමෙන් වැසුණු සීතල පරිසරයත්  එකී ඛේදවාචකය සිනමා රූපයට නගන්නට උදව් වෙනවා.
චිත්‍රපටය තුළ  ඇනීට දයාවක්, කරුණාවක්  පෙන්වන එකම පුද්ගලයා ඉගෝර්  නමැති හෙංචයියා පමණ යි.  මෙම චරිතය නිරූපණය කරන්නේ දක්ෂ රුසියානු නළුවකු වන  යූරි බොරිසෝව්. අවසන් ජවනිකාවේ, හිම වැටෙන අඳුරු  සැන්දෑවක  ඉගෝර් ගේ මෝටර් රිය තුළ ඇනී ඔහු සමග ලිංගිකව එක්වන අවස්ථාව  ගැඹුරු, සංවේදී අරුතක්  ජනිත කරන අවස්ථාවක් කියා මට හිතුණා. චිත්‍රපටය පුරා අනෝරා හෙවත් ඇනී මොන තරම් සම්භෝගයන්හි යෙදුණත් ඇයට ඒ සෑම සම්භෝගයක් ම ගනුදෙනුවක් පමණ යි. ඇය තමාගේම යයි කිව හැකි සුරතාන්තයක ආස්වාදය විඳින්නට සැරසෙන්නේ ඉගෝර් සමග ඇති වන එම අවසන් සම්භෝගයේදී දී පමණ යි. සියල්ල අවසානයේ ඇය ඔහු වැළඳ ගෙන කරන හැඬීම චිත්‍රපටයේ ගඹුරුම තැනකට අප රැගෙන යන්නක්. චිත්‍රපටය පුරාම අනෝරා අත්විඳි සියලු පීඩා, දුක්ඛ දෝමනස්සයන්, ඉච්ඡාභංගත්වයන් පිළිබඳ වේදනාව  මේ හැඬීම තුළ දෝරේ ගලන්නට පටන් ගන්නවා.
මේ සිදුවීම් දාමය තුළ අනෝරා පමණක් නොව මතු පිටින් දුෂ්ටයන් සේ පෙනෙන වන්‍යා, ටොරෝස්, ගාර්නික් වැනි අය පවා අප තුළ ඇති කරන්නේ කෝපයක් නොවෙයි. ඔවුනුත් විවිධ බලවේගවල සහ යාන්ත්‍රනයන් හි ගොදුරු බවට පත්ව ඇති ආකාරයක් අපට දැනෙනවා. එම හැඟීම ඇති කිරීමේ දී අධ්‍යක්ෂ බේකර් ප්‍රහසන ශෛලිය ව්‍යක්ත ලෙස භාවිතයට ගන්නා ආකාරය අපූරු යි.
ජීවිතය, සමාජය පිළිබඳ ගැඹුරු අරුත් මතු කළත් අධ්‍යක්ෂවරයා සිනමාපටය තුළ යොදා ගන්නේ කාටත් පහසුවෙන් ග්‍රහණය කරගත හැකි,  මුල සිට අග දක්වා ප්‍රේක්ෂකයා ඇදබැඳ තබා ගන්නා සරල ආකර්ෂණීය ශෛලියක්.
අනෝරා හෙවත් ඇනීගේ චරිතය රඟපාන මයිකි මැඩිසන් ගේ සුවිශේෂී, ජව සම්පන්න රංගනය ගැන සඳහන් නොකරම බැහැ. චිත්‍රපටයේ සම්පූර්ණ බරෙන් සියයට අනූවකටත් වඩා ඇය තමයි කර තියාගෙන යන්නේ.
මෙම චිත්‍රපටය නිර්මාණය කරද් දී ෂෝන් බේකර් සැබෑ ලිංගික ශ්‍රමිකයන් උපදේශිකාවන් ලෙස යොදා ගත් බව පැවසෙනවා. මයිකි ව සාර්ථක ලෙස මෙහෙයවන්නට මෙයින් ද මහත් රුකුලක් ලැබෙන්නට ඇතුවාට සැකයක් නැහැ.

 

 



අදහස් (0)

රූමත් ගණිකාවකට වහ වැටුණු බිලියනපති පුතකුගේ කතාව Anora

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 323 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 801 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 146 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site