IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලද කෙටිකතාකාරිය ඇලිස් මුන්රෝ

නොසැලෙන පන්හිඳ -7

Alice munro

 

 

ලෝකෙට ව්‍යසනය කැඳවපු, එහෙමත් නැත්නම් මානව සමාජයට විපත් රැගෙන ආ මිනිසුන් හෝ ගැහැනුන් කලින් කලට ඉපදී මිය යනවා. ඒ සංසිද්ධිය මතු මත්තටත් එසේම සිදුවේවි. මානව සංහතියටම සාපයක් වුණ එවැනි චරිත ගැන අපේ සිත්වල පවතින්නේ අප‍්‍රසන්න හැගීමක්. ඔවුන්ව සිහියට නැගෙන හැම විටකම සාප කරනු මිස වෙනත් සිතුවිලි මාත‍්‍රයක්වත් අපගේ කල්පනාවන්ට එන්නෙ නැහැ.

ඒ වගේම ලෝකයට හා මිනිස් සංහතියට වැඩදායක මෙහෙවරක් කරපු යහපත් චරිත මතකයට නැගෙන විට අප තුළ හටගන්නේ ප‍්‍රසන්න හැගීමක්. කාලෙන් කාලෙට අපි ඔවුන්ගේ වටිනාකම් අනුස්මරණය කරන්නේ ඒ නිසයි.

අද අපි නොසැලෙන පන්හිඳින් ඇගැයුමට ලක් කරන්නෙත් එවැනි විශිෂ්ට මනුෂ්‍ය දියණියක්. ඇය තමා 2013 දී සාහිත්‍ය සඳහා නොබෙල් ත්‍යාගය දිනාගත් කැනේඩියානු කෙටිකතාකාරියක් වන ඇලිස් ඇන් මුන්රෝ ලේඛිකාව.  ඇගේ පන්හිඳ නිහඩ වුණේ මීට දවස් කීපෙකට පෙරයි. එනම් 2024 මැයි 13 වැනිදා. මීට අවුරුදු අනූ තුනකට කලින්,  මුන්රෝ මොලොව එළිය දකින්නේ 1931 ජූලි 10 දා. 

මුන්රෝගේ ප‍්‍රබන්ධ බොහොමයක් ලියවී තිබෙන්නෙ නිරිතදිග ඔන්ටාරියෝ හි ඇගේ උපන් ප‍්‍රදේශය වන හූරොන් ප‍්‍රාන්තය පසුබිම් කරගෙනයි. සංකීර්ණ නොවූ ගද්‍ය ශෛලියකින් මානව සංකීර්ණතා ගවේෂණය කරන්නියක් හැටියටයි ඇය සමකාලීන පාඨක විචාරක ප‍්‍රජාව අතරේ ප‍්‍රකටව සිටින්නෙ. ඇන්ටන් චෙකොෆ්ගේ ශෛලිය අනුගමනය කළ  විශිෂ්ට කතුවරියක් ලෙසත් ඇයගේ කීර්තිය එකල ලෝක සාහිත්‍ය ක්ෂේත්‍රය පුරා පැතිර ගියා. නොබෙල් ත්‍යාගය හැරුණු විට මුන්රෝට සමකාලීන කෙටිකතා කලාවේ ප‍්‍රගතිය උදෙසා ලබා දුන් දායකත්වය අගය කරනු වස්  සම්මාන රැසක් හිමිව තිබෙනවා. මුන්රෝ  2009 දී මෑන් බුකර් ජාත්‍යන්තර ත්‍යාගයෙන් පිදුම් ලැබුවේ ඇයගේ ජීවිත කාලය පුරාවටම සාහිත්‍යයට කළ සේවය වෙනුවෙන්. ඇගේ ප‍්‍රබන්ධ ශූූරත්වයට ප‍්‍රණාමයක් වශයෙන් තුන් වතාවක්ම කැනඩාවේ ආණ්ඩුකාර ජනරාල් සම්මානයෙන් පිදුම් ලැබීමත් සුවිශේෂ ජයග‍්‍රාහණයක් ලෙස සැලකෙනවා.  ඒ අතර මුන්රෝ,  1996දී කැනඩාවේ ලේඛකයන්ගේ භාරයේ මේරියන් එංගල් සම්මානය සහ 2004දී රොජර්ස් රයිටර්ස් ට‍්‍රස්ට් ප‍්‍රබන්ධ ත්‍යාගය ගත්තා.  2013 දී නොබෙල් ත්‍යාගය දිනාගැනීමෙන් පසුව මුන්රෝ  පන්හිඳට විශ‍්‍රාම දුන් බවත් පැවසෙනවා. ඇගේ අවසන් කෘතිය වන්නේ 2012දී රචිත Dear Life  නම් කෙටිකතා සංග‍්‍රහයයි.

මුන්රෝගේ පියා, රොබට් එරික් ලයිඞ්ලෝ, සත්ව ගොවිපොළක් පවත්වාගෙන ගිය ගොවියයකු වූ අතර, ඇගේ මව, ඈන් ක්ලාක් ලයිඞ්ලාව් පාසල් ගුරුවරියක්. ඇගේ පියා ස්කොට්ලන්ත කවියෙකු වූ ජේම්ස් හොග්ගෙන් පැවත එන්නෙක් බවත් පැවසෙනවා. නව යොවුන් වියේදී ලිවීමට පටන් ගත් මුන්රෝට වසර දෙකක ශිෂ්‍යත්වයක් දිනා ගන්නට වාසනාව පෑදුණා. 1950 දී ඇගේ පළමු කතාව වන  කුඩා නගරයක් වන  The Dance of a happy Shade ප‍්‍රකාශයට පත් වෙන්නේ බටහිර ඔන්ටාරියෝ විශ්ව විද්‍යාලයේ ඉංග‍්‍රීසි සහ පුවත්පත් කලාව හදාරමින් සිටියදී.

නොසැලෙන පන්හිඳවල් දැරූ ලෝකයේ වෙනත් බෙහොමයක් ලේඛක ලේඛිකාවන් මෙන්  මොන්රෝද ආගේ අධ්‍යාපන කටයුතු සපල කරගත්තේ අපමණ බාධක මැදයි. මෙම කාලය තුළ ඇය වේටර්වරියක්, දුම්කොළ අහුලන්නියක් සහ පුස්තකාල ලිපිකාරිනියක ලෙස ජීවිතය ගැටගසා ගත් බවයි ඇගේ ජීවන අන්දරයේ සඳහන්ව ඇත්තේ. 1977දී ඇමරිකාවේ  ප‍්‍රකට වාරික සගරාවක් වන නිව්යෝක් හි පළ වූ   මුන්රෝගේ  Royal Beatings නම් කෙටිකතාව ළමා වියේ ඇය විඳි දුක්වේදනා පිළිබඳ කදිම නිදසුනක්. එම කතාවට පසුබිම් වන්නේ ළමා වියේදි ඇගේ පියාගේ අඩන්්තේට්ටම්වලට ලක්වීමෙන් ලද අත්දැකීමක්. 1951දී, ඇය විශ්වවිද්‍යාලයෙන් සමුගෙන 1949 සිට දැන හඳුනාගෙන සිටි සරසවි සගයකු වන ජේම්ස් මුන්රෝ සමඟ විවාහ වෙනවා. 1963 දී, වික්ටෝරියා වෙත සංක‍්‍රමණය වන මුන්රෝ  යුවළ  එහිදී  Munro’s Books   නමින් පොත් සාප්පුවක් විවෘත කළ අතර එය අදටත් ක‍්‍රියාත්මක වන බවයි ආරංචි මාර්ග පවසන්නේ. 

ඉහළම පිළිගැනීමට ලක් වූ මුන්රෝගේ  කතා එකතුවක් වන ඩාන්ස් ඔෆ් ද හැපි ෂේඞ්ස් කැනඩාවේ ඉහළම සාහිත්‍ය ත්‍යාගය ලෙස සැලකෙන ආණ්ඩුකාරවරයාගේ සම්මානය දිනා ගන්නේ 1968දි. එම සාර්ථකත්වයෙන් පසුව ඇය ලයිව්ස් ඔෆ් ගර්ල්ස් ඇන්ඞ් විමන් 1971 දි රචනා කරන අතර  මෙම පොතට මුන්රෝට දෙවන වරටත් ආණ්ඩුකාර ජෙනරාල්ගේ සාහිත්‍ය සම්මානය හිමි වෙනවා.  ජීවිත කාලයටම එක් වරක් පමණක් හිමි වන මෑන්  බුකර් සම්මානය  2009 දී ඇයට පිරිනමමින්  ඇගයීම් මණ්ඩලය මෙසේ ප‍්‍රකාශ කරනවා. ” මුන්රෝගේ කෙටිකතා කියවන්නකුට  තමා ඊට පෙර කිසි විටෙකත් නොසිතූ විරූ ආකාරයේ නව හැ`ගීම් පහළ වනු ඇත.”.

1979 සිට 1982 දක්වා, මුන්රෝ  ඕස්ටේ‍්‍රලියාව, චීනය සහ ස්කැන්ඩිනේවියාව ඇතු`ඵ රටවල් ගණනක  සංචාරයක නිරත වන්නේ  එම රටවල සාහිත්‍ය පිළිබඳ හදාරනු පිණිසයි. 1980 දී, ඇය බි‍්‍රතාන්‍ය කොලොම්බියා විශ්ව විද්‍යාලය සහ ක්වීන්ස්ලන්ත විශ්වවිද්‍යාලය යන දෙකේම සාහිත්‍ය අංශ වලට සම්බන්ධ වී කටයුතු කළ බවත් සඳහන් වෙනවා. 1980 සිට 2012 දක්වා මුන්රෝ අවම වශයෙන් සෑම වසර හතරකට වරක් කෙටිකතා එකතුවක් ප‍්‍රකාශයට පත් කිරීමට සමත්ව තිබෙනවා. මුන්රෝ ලෝක පූකට ලියන්නියක් බවට පත් වන්නේ  ඇගේ කථාවල  අනුවාද අත්ලාන්තික් මාසිකය, ග‍්‍රෑන්ඞ් ස්ට‍්‍රීට්, හාපර්ස් සඟරාව, මැඩමොයිසෙල්, ද නිව් යෝර්කර්, සහ පැරිස් රිවීව් වැනි සඟරාවල පළ වීම හේතුවෙන්. ඇගේ කතා සංග‍්‍රහා භාෂා 13කට පරිවර්තනය කර තිබීමෙන් පැහැදිලි වන්නේ ලොව පුරා පාඨකයන් ඇයට දැක්වූ ආදරයයි. 2013 ඔක්තෝබර් 10 දින, මුන්රෝට සාහිත්‍ය සඳහා නොබෙල් ත්‍යාගය පිරිනමන්නේ  ඇය ”‍සමකාලීන කෙටිකතාවේ විශිෂ්ටතමයා”‍ ලෙසින් නම් කරමින්. ඇය සාහිත්‍ය සඳහා නොබෙල් ත්‍යාගය ලැබූ පළමු කැනේඩියානු ජාතිකයා වගේම 13 වැනි කාන්තාවද වෙනවා.

ඹුන්රොගේ ජනප‍්‍රියත්වය විශාල ජන සමාජයක් අතර පැතිර යාමට තවත් ප‍්‍රධාන හේතුවක් වන්නේ ඇගේ  කෘතීන් 20ක් පමණ වෙබ් අඩවියේ නොමිලේ බාගත කරගැනීමේ පහසුකම් සලසා තිබීමයි.  එසේම මුන්රෝගේ Martha, Ruth and Edie (1988), Edge of Madness (2002), Away from Her (2006), Hateship, Loveship (2013) and Julieta (2016)  යන කෙටිකතා ඇසුරු කරගෙන නිර්මාණය වූ චිත‍්‍රපට පේ‍්‍රක්ෂකයන්ගේ ඉමහත් ප‍්‍රසාදයට පාත‍්‍ර වීමත් ඇය ලැබූ අමතර වාසියක්.  

මුන්රෝගේ කථා බොහොමයක් කලාපීය ජනයාගේ අවධානය දිනාගැනීමට හේතුව ලෙස සැලකෙන්නේ ඇගේ ප‍්‍රබන්ධවල ජන ජීවිතය අව්‍යාජ ලෙස විවරණය කර තිබීමයි.  ඇය නොබෙල් ත්‍යාගය දිනූ පසු , ”‍ කැනේඩියානු ජනජීවිතයේ කුඩා ප‍්‍රදේශයක් විස්තර කිරීමේදී එතරම් රසවත් විය හැක්කේ කුමක් ද?”‍ කියා  විමසූ විට ඇය දුන්නේ ඉතාම කෙටි පිළිතුරක්, ”‍ඔබත් එහි සිටියා නම් තේරුම් ගනියි.”‍ යන වචන කිහිපය ඈ ඉතා නිහතමානි ලෙස ප‍්‍රකාශ කළා. ඇගේ නිර්මාණවල තවත් කැපි පෙනෙන  ලක්ෂණයක් ලෙස විචාරකයන් පෙන්වා දෙන්නේ  ලෝක ධර්මතා පිළිබඳ පොදු හැඟීමක් ඇති කිරීමට දක්වන සමත්බවයි.

”ඇලිස් මොන්රෝ යනු ජාතික සම්පතකි. ගැඹුරු  ජීවිතාවබෝධයකින් හා මානව හැ`ගීමකින් යුතුව ප‍්‍රබන්ධ කලාවේ නිරත වූ ලේඛිකාවකි. කැනඩාවේ මතු නොව සමස්ත ලෝකය පුරාම පාඨක ජනයා ඇගේ කෘති මහත් අභිරුචියකින් හා ප‍්‍රශංසාත්මකව කියවූ බව මම දනිමි.  

ඇලිස් මුන්රෝ පිළිබඳව විශේෂ ප‍්‍රකාශයක් නිකුත් කරමින් එසේ පවසන්නේ  කැනඩාවේ  Penguin Randam House  ප‍්‍රකාශන ආයතනයේ ප‍්‍රධාන විධායක ක‍්‍රිස්ටින් කොච්රේන්. දශක නවයකටත් වැඩි කාලයක් පුරා ලෝක පාඨක පර්ෂදවල  ආදිය දිනා සිටි ඇලිස් එස් මොන්රෝ තවත් ශතක ගණනාවක් පුරාමත් සාහිත්‍යකාමීන්ගේ හදවත්වල ලැගුම් ගනු ඒකාන්තයි. අනාගත ලෝකයේ නව ලේඛක පරපුර ඔබේ නම දිව මතුරක් සේ වහරමින් කෙටිකතා කලාවේ නව මං සොයන විට ලොවට යහපතක් කර සමුගත් සුවහසක් නොසැලෙන පන්හිඳවල්  අතර ඔබේ නාමය තවත් බැබළේවි දයාබර ලේඛිකාවනි..



අදහස් (0)

නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලද කෙටිකතාකාරිය ඇලිස් මුන්රෝ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1587 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1379 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 491 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site