IMG-LOGO

2024 අප්‍රේල් මස 29 වන සඳුදා


ලංකා​වේ මුල්ම ‘පෝට් සිටිය’-ගාල්ල

 

 ගාල්ල කොටුව

 

  • බයිබලයේ  සඳහන් තාර්ෂිස් නගරය ගාල්ලය   
  • 1871 දී නැව් 110ක්ගාල්ලට ඇවිත්   

 

සියලු‍ සැප සම්පත් සහ පහසුකම්වලින් සමන්විත තාර්ෂිස් නමැති සුන්දර නගරයක් පිළිබඳ බයිබලයේ පැරැණි ඇස්තමේන්තුවේ සඳහන් වේ. ලොව සෑම දෙසින්ම නැව්වලින් පැමිණෙන වෙළෙඳුන් මේ අපූරු නගරයේ දී තමන් ගෙන එන භාණ්ඩ විකුණා තම රටට අවැසි ද්‍රව්‍ය මිලදී ගෙන ආපසු යන බවත් වරාය නගරයක් වූ මේ පුරවරය ලොව ඇති මනබන්ධනීය දියුණු නගරයක් බවත් එහි දැක්වෙයි.   


යෙරුසෙලමේ පාලකයා වූ සොලමන් රජුට ඇතුන් සහ මොනරුන් මෙන්ම මුතු මැණික් ද සැපැයුවේ ආසියාවේ පිහිටි මේ තාර්ෂිස් වරායෙන් බව සඳහන් වේ.   
පුරාණ අරාබි, පර්සියානු හා චීන වෙළෙඳුන්ගේ පමණක් නොව ඉසුරු සොයා පෙරදිග ආක්‍රමණය කර යුරෝපීය ජාතීන්ගේත් විශ්වාසය වූයේ එලෙස විස්තර කර ඇති “තාර්ෂිස්”‍ නගරය නම් ගාල්ල බවයි. ජේම්ස් එනර්සන් ටෙනන්ට් පවා පවසන්නේ මේ සමෘද්ධිමත් නගරය ගාල්ල වරාය බවයි. අතීතයේ ගාල්ල මහා වෙළෙඳ නගරයක් විය.   
යුරෝපීයයන් පැමිණීමට පෙර අපට ගාල්ල පිළිබඳ පැරැණිතම තොරතුරු හමුවන්නේ ග්‍රීක ජාතික කොස්මාස් ඉන්ඩිකැප්ලියුටස් ගේ වාර්තා අතරිනි. ක්‍රිස්තු වර්ෂ 545 දී ඔහු ගාල්ල වරාය හා ඒ ආශ්‍රිත නගරය පිළිබඳ සටහන් තබා තිබේ. ඔහුගේ සටහන් අනුව එවකට මෙරට පාලකයෝ දෙදෙනක් සිටියෝය. මෙරට සෑම දිසාවකම වරාය පිහිටි බවත් ඒවාට විදෙස් නැව් පැමිණි බවත් ඔහු සටහන් කර ඇත. දකුණේ වෙළෙඳ නගරයක් වෙනම රජ කෙනකු විසින් පාලනය කළ බවත් ඔහු විස්තර කර තිබේ. ක්‍රිස්තු වර්ෂ 1000 දී අල මසුදි නමැති ග්‍රීක ජාතිකයකු ද ගාල්ල පිළිබඳ සටහන් තබා තිබේ. 

 
ඉන් පසු ගාල්ල ගැන ලිඛිත සාක්ෂි ලැබෙන්නේ මහාවංශයෙනි. පෙ‍ළොන්නරු යුගයේ මහා පරාක්‍රමබාහු රජුගේ පාලන කාලයේ දී ය. මහාවංශයේ ගිං නදිය පිළිබඳවත් ගාල්ල අවට ගම්මාන පිළිබඳවත් තොරතුරු දැක්වෙයි. වර්ෂ 1344 දී මෙරටට පැමිණි ඉබන් බතූතා ගාල්ලට ගොඩබැස්ස විදෙස් යාත්‍රිකයෙකි. ගාල්ලේ වරාය පිළිබඳවත් වෙළෙඳ නගරය පිළිබඳවත් අපූරු විස්තරයක් කරන හෙතෙම ගාල්ලේ ඊබ්‍රහිම් නම් මුස්ලිම් ජාතික වෙළෙන්දකුගේ නිවසේ දී ලැබුණු සැලකිලි ගැන පවා සටහන් කර ඇත.   
වර්ෂ 1421 දී හෝ ඒ ආසන්න කාලයේ දී විශාල සේනාවක් සමග ගාල්ලට පැමිණි චීන ජාතික චිං හ චෙං හෝ නමැති සෙනෙවියා චීන, පර්සියන් හා දෙමළ භාෂාවලින් සටහන් තැබූ සෙල් ලිපියක් 1911 දී ගාල්ල නගරයෙන් සොයා ගැනීමත් සමග ගාල්ල වරායේ අතීත සම්බන්ධතා පිළිබඳ පැහැදිලි සාක්ෂියක් ලැබිණි.   
14 වැනි සහ 15 වැනි සියවස්වල ලියැවුණු මයුර, කෝකිල හා පරවි සංදේශවල ද ගාල්ල වෙළෙඳ නගරය පිළිබඳ වර්ණනා කර තිබේ.   


සීතාවක රාජධානි කාලයේ මායාදුන්නේ රජුගේ හේවායන් පිරිසක් රැඳවූ බළකොටුවක් ගාල්ලේ තිබූ බවත් ඔවුන් වරාය සහ නගරය පාලනය කළ බවත් වංශකතාවල දැක්වේ.   
පෘතුගීසීන් මෙරට මුහුදුබඩ ප්‍රදේශ අල්ලාගනිද්දී ගාල්ලේ සිටි සීතාවක රජුගේ හේවායන් පළවා හැර ඒ අසල තිබූ වරායත් ඔවුන්ගේ බළකොටුවත් අල්ලාගත් බව කියැවේ. අද දක්නට ඇති ගාල්ල කොටුව නිර්මාණය වන්නේ ඉන් පසුවය.   


ගාල්ල බළකොටුව යුද කටයුතු සඳහා හේවායන් රඳවා භාවිත කළ බළකොටුවක් පමණක් නොවේ. එය මහා නගරයකි. මෙරට මුහුදුබඩ ප්‍රදේශ පාලනය කළ පෘතුගීසීන් හා ලන්දේසීන් ද රටම නතු කරගත් බ්‍රිතාන්‍යයන් ද ගාල්ල මහා නගරයක් බවට පත්කර මෙරට පාලනය කළේ එම ස්ථානය මුල් තැන පවත්වා ගනිමිනි.   
මෙරට පැරැණි වරායන් අතරින් අතිශය වැදගත් හා ප්‍රධාන ස්ථානයක් ගන්නා ගාල්ල වරායේ වෙළෙඳාම ආශ්‍රිතව ගොඩනැගී තිබූ ගාල්ල නගරය වඩාත් සංවිධානාත්මකව ඔවුහු ගොඩනැඟූහ. ඔවුහු ගාල්ල මෙරට වරාය නගරයක් බවට පත්කරන ලදී. එහි නෂ්ටාවශේෂ අද ද ගාල්ලේ දක්නට ලැබේ.   
ගාල්ල ස්වභාවික වරාය ආශ්‍රිතව පෘතුගීසීන් විසින් ඉදිකරන ලද පැරැණි කොටු පවුර අදටත් සුරක්ෂිතව තිබෙන අතර එම කොටු පවුර ද සහිතව වඩාත් විශාල කර ගාල්ලේ මුහුදට නෙරාගිය තුඩුව වටා ඕලන්ද ජාතිකයන් විසින් ප්‍රාකාරයක් බඳවා නිර්මාණය කළ වරාය නගරයේ පැරැණි තේජස අදට ද විරාජමානව දක්නට ලැබේ.   
මේ වරායේ ඉතිහාසය තවමත් කිසිවකුට නිවැරැදිව කිව නොහැකිය. නමුත් ලෝකයේ මුහුදු ගමන් ආරම්භ වූ මුල් වකවානුවේදීම ගාල්ල වරාය පෙර අපරදිග යාත්‍රා කළ නාවිකයන්ගේ අපූරු නැවැතුම් ස්ථානයක් වූවාට සැකයක් නැත.   


රජු සහ වෙනත් ස්වදේශීය වෙළෙඳුන් විසින් අලෙවිය සඳහා ගෙන එන අලි ඇතුන්, මුතු මැණික්, කුරුඳු ඇතුළු කුළුබඩු වර්ග, පුවක් මෙන්ම කලා නිර්මාණ ද ගාල්ලේ දී විදේශ රටවලට ගෙන යාම සඳහා නැව්ගත කෙරිණි. ඒවා ගබඩා කිරීම සඳහා ඕලන්ද ජාතිකයන් විසින් ගාල්ල කොටු පවුරේ එක් පැති බැම්මක ඉදිකරන ලද සුවිසල් බඩු ගබඩාව අදට ද ගාල්ලේ වෙළෙඳාම කොතරම් විශාලව පවතින්න ඇත්ද යන්න පිළිබඳ හොඳ සාක්ෂියකි.   
මෙවැනි බඩු ගබඩා පමණක් නොව ගාල්ල වරාය නගරයේ පදිංචිකරුවන්ගේ පෞද්ගලික නිවාස, ආණ්ඩුකාරවරයාගේ නිල නිවස ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ නිල නිවාස, දේවස්ථාන, පරිපාලන ගොඩනැගිලි, වරාය ඔස්සේ රටට ඇතුළුවන අමුත්තන්ට නවාතැන් ගැනීමට තානායම්, රෝහල්, ආයුධ නිෂ්පාදනාගාර, වෙඩි බෙහෙත් ගබඩා, සිරකුටි, ආරක්ෂක භටයන්ගේ නවාතැන් ස්ථාන, සිරකුටි, අශ්ව ගාල්, දේවස්ථාන, සුසාන භූමි ආදී සියල්ලෙන් මේ නගරය සමන්විතව තිබිණි.   
ගාල්ල කොටුවේ එකිනෙකට සමාන්තරව හා තීර්යක් රේඛාවක් ලෙස දිවෙන වීදි දෙපස නිවාස ඇතුළු ගොඩනැගිලි ඉදිකර තිබූ අතර ඒ ඒ වීදි විවිධ කර්මාන්ත හා වෘත්තීන්ට අයත් වූවන් සඳහා වෙන් කර තිබුණේ වඩාත් සංවිධානාත්මක නගරයක් නිර්මාණය කරමිනි.   

 

නැව් සඳහා කඹ සැකැසූ පුද්ගලයන් සිටි ලේන්බාන් වීදියේ අද තත්ත්වය

 


ගාල්ල වරාය හා වරාය නගරය යුරෝපීය පාලන කාලයේ දී කොතරම් වැදගත් වූයේ ද යන්න සනාථ වන්නේ මෙරට මුල්ම ගැස්ට් පත්‍රය මුද්‍රණය කළ මුද්‍රණාලය පවා ගාල්ලේ කොටුවේ පිහිටුවීමෙනි. යුරෝපයේ සිට පැමිණෙන නැව්වලින් ලැබෙන පණිවිඩ කොළඹට ගෙන යාම සඳහා පරෙවි තැපැල් සේවයක් මුල් කාලයේ ගාල්ලේ ක්‍රියාත්මක වූ අතර පසුව තැපැල් කෝච්චිය හෙවත් අශ්වයන් බැඳි කරත්තයකින් තැපැල් මලු‍ රැගෙන යාම වැඩි දියුණු වීමත් සමග එම පරෙවි තැපැල් සේවය අවසන් වූයේය.   
යුරෝපීයයන් විසින් මෙරට ඉදිකළ පළමු විශාලතම හෝටලය ඔරියන්ට් හෝටලය නමින් ගාල්ලේ ඉදිකර ඇත්තේ වරාය නගරයක අවශ්‍යතා සියල්ල ඉටුකරමිනි. මහල් කිහිපයකින් යුතු මේ සුවිසල් හෝටලය අද අමාන් ගාල්ල යනුවෙන් හැඳින්වෙයි.   
ගාල්ල වරාය නගරය ආශ්‍රිතව ව්‍යාපාර රැසක් පැවැතිණි. මෙරට පැරැණි සුප්‍රසිද්ධ ව්‍යාපාර අතරින් විශාල ප්‍රමාණයක් ගාල්ලෙන් ආරම්භවීමෙන් ම ඒ බව සනාථ වෙයි.   
ලංකාවේ පළමු ප්‍රදීපාගාරය ගාල්ල කොටුවේ 1848 වර්ෂයේ දී බ්‍රිතාන්‍යයන් විසින් ඉදිකරන ලදී. ලෝහයෙන් නිර්මාණය කරන ලද ප්‍රදීපාගාරයේ ගෑස් සහ ගල් අඟු‍රු භාවිතයෙන් ආලෝකමත් කරන පහනක් තිබිණි. නැව්වලට මග පෙන්වීමට අත්‍යවශ්‍ය වූ ප්‍රදීපාගාරයක් මුල් වරට ගාල්ලේ ඉදිකිරීමෙන්ම ගාල්ල වරාය නගරය යුරෝපීයයන්ට කොතරම් වැදගත් ස්ථානයක් වූවේ ද යන්න පැහැදිලිය.   


ඕලන්ද හා බ්‍රිතාන්‍ය පාලන කාලයේ මෙරටට පැමිණි නැව්වලින් වැඩිම ප්‍රමාණයක් පැමිණ ඇත්තේ ගාල්ල වරායට බව ඔවුන්ගේ පැරැණි වාර්තා අනුව පෙනී යයි. කුරුඳු වෙළෙඳාමේ පරිහානියත් සමග ගාල්ල වරාය තරමක් පසුබෑමකට ලක්ව තිබුණ ද මධ්‍යධරණීය මුහුදු මර්ගය විවෘතවීමත් සමගම යළිත් ගාල්ල කාර්ය බහුල වරායක් බවට පත්ව තිබේ. එවකට එංගලන්තය, බොම්බාය, ජපානය, ඕස්ට්‍රේලියාව වැනි රටවල් අතර යාත්‍රා කළ දුම් නැව්වලට ගාල්ල ඉතා වැදගත් මධ්‍යස්ථානයක් වී තිබිණි. 1868 දී ගාල්ල වරායට නැව් 34ක් පැමිණ තිබූ අතර 1869 දී එම සංඛ්‍යාව 58ක් දක්වාත්, 1870 දී 82ක් දක්වාත් 1871 වනවිට එය 110ක් දක්වාත් ඉහළ ගොස් තිබිණි.   
මෙලෙස නැව් පැමිණීම වැඩිවීමත් ලෝකයේ නිෂ්පාදනය වන නැව් ප්‍රමාණයෙන් විශාල වන්නට වීමත් හේතුවෙන් ගාල්ල වරාය පුළුල් කිරීමේ අවශ්‍යතාවක් බ්‍රිතාන්‍ය පාලකයන්ට තිබිණි. නමුත් ගල්පරවලින් බහුල ගාල්ල වරාය වඩාත් විශාල කිරීම සුළුපටු කරුණක් වූයේ නැත. මේ නිසා ඔවුන්ගේ තීරණය වූයේ කොළඹ වරායේ දිය කඩනයක් ඉදිකර එය වඩාත් පුළුල් කිරීම වැඩි ලාභදායී බවයි. මේ අනුව ගාල්ල වරාය වෙනුවට කොළඹ වරාය පුළුල් කිරීමේ කටයුතු ආරම්භ කෙරිණි.   
පසුව කොළඹ වරායේ දිය කඩනය ඉදිකිරීමත් එය පුළුල් කිරීමත් හේතුවෙන් අතීතයේ ගාල්ල වරායට තිබූ වැදගත්කම ක්‍රමයෙන් අහිමිව ගියේය. එහෙත් වරාය සමග දියුණු වූ ගාල්ල වරාය නගරය යුරෝපීයයෝ තමන් රට හැර යන තුරුම ප්‍රධාන පෙළේ නගරයක් ලෙස භාවිත කළේ සියලු‍ කටයුතු ගාල්ල කොටුවේ පිහිටි එම වරාය නගරයේ සිට සිදුකරමිනි.   

 

 

පැරැණි ගොඩනැගිලි සහිත ඡායාරූපයක්

ගාල්ල වරාය ඉංග්‍රීසි පාලන කාලයේ දිස්වූ ආකාරය

ඔරියන්ටල් හෝටලය වර්තමානයේ අමාන් ගාල්ල නමින් දිස්වන ආකාරය

 


යුරෝපීය පාලන යුගයේ දී රටේ පාලන මර්මස්ථානයක් වූ ගාල්ල වරාය නගරය අදට ද වරාය නගරයක් ලෙස දැකිය හැකි මෙරට ඇති පැරැණිතම වරාය නගරයයි. අතීතයේ මෙරට තිබූ ගොඩවාය වරාය, මන්නාරම මාතොට වරාය වැනි වරාය ආශ්‍රිතව ද නගර ඉදිවී දියුණු වී තිබුණු බවට ඉතිහාස කතාන්තර ඇතත් ඒ කිසිවක් අද වනවිට සියැසින් දැකගැනීමට අවස්ථාවක් නැත. ඒ සියල්ල කාලයේ වැලි තලාවෙන් වැසී ගොසිනි.   


නමුත් ගාල්ල වරාය නගරය අදට ද සජීවී නගරයක් ලෙස පවතී. බැලූ බැල්මට යුදමය වශයෙන් වැදගත්වන මහ බළකොටුවක් ලෙස ඉදිවී ඇති ගාල්ල වරාය නගරයේ පෙර පැවැති රජයේ කාර්යාල ආදිය මේ වනවිට ක්‍රමයෙන් ඉවත් කරමින් පවතී. ගාල්ල පැරැණි වරාය නගරය දැන් සංචාරක පුරවරයකි. දේශීය හා විදේශීය ව්‍යාපාරිකයන් විසින් සංචාරකයන් සඳහාම පහසුකම් සපයන ස්ථාන රැසක් එහි පවත්වාගෙන යයි. 

 
අද කොළඹ ඉදිවන වරාය නගරය නවීන තාක්ෂණය අනුව දියුණු නගරයක් වනු ඇත. එසේ වුව ද අතීතයේ මෙරට තිබූ ගාල්ල වරාය නගරය ද ඒ කාලයේ ලෝකයේ දියුණුතම වරාය නගරයක් වන්නට ඇත. දැන් ඒ සියල්ල අතීතයට එක්ව ඇතත් තවමත් ගාල්ල වරාය නගරය යනු සජීවී ලෝක උරුමයකි. 

 

 

සටහන සහ ඡායාරූප
සජීව විජේවීර  

 



අදහස් (1)

ලංකා​වේ මුල්ම ‘පෝට් සිටිය’-ගාල්ල

Lelwala Saturday, 03 October 2020 05:15 PM

ඉතා රසවත්. ඔයාට බොහෝම ස්තූතියි . මෙය කියවන විට මට මගේ ළමා කාලය සිහිපත් විය.

:       0       0

ඔබේ අදහස් එවන්න

නිම්තෙර

හැම ඊර්ෂ්‍යාවකටම වඩා ලිංගික ඊර්ෂ්‍යාව භයානකයි
2024 අප්‍රේල් මස 02 239 0

“දිනක් බන්ධනාගාර භාරයේ සිට උපදේශනය සඳහා පැමිණි වයස අවුරුදු 50 පසුවෙන පමණ කාන්තාවක් හඬා වැටෙමින් පැවැසුවේ තම සැමියාට අනියම් සම්බන්ධයන් තිබුණාදැයි සැක


පනස් වසරකට පසු පෙරභවය සොයා යයි
2021 මැයි මස 01 16160 0

පෙරභවය හෙළි කළ දරුවන් මගින් අපූරු තොරතුරු වරින්වර අසන්නට ලැබේ. ඒ අතරින් අතිශය අසිරිමත් සිදුවීමක් පසුගිය දිනෙක සිදුවිය. එම පුනර්භව සාධකයට හේතු වූයේ මීට


රටින් ගෙනා ලක්ෂ විස්සක සුනඛ ජෝඩුව අභිජනනයට සූදානම්
2021 මැයි මස 01 7906 0

මිනිසාගේ පැරණිතම මිතුරෙකු වශයෙන් සැලකෙන සුනඛයා වත්මන් යුගය වන විට නිවෙසේ ආරක්ෂකයෙකු සේම සුරතලෙකු වශයෙන්ද ආරක්ෂක අංශවලට සම්බන්ධ වී විවිධ අපරාධ පුපුර


වතුකම්කරු මද්දට ලිවෙන කඳුකර කොටියා
2021 අප්‍රේල් මස 24 2796 0

මදු හා උඟුල් අටවා වන සතුන් දඩයම් කර ගැනීමට මෙරට බහුලව සිදුවෙන ක්‍රියාදාමකි. මෙරට බොහෝ වනාන්තර ආශ්‍රිතව වන සතුන් දඩයම් කර ගැනීම ඉලක්ක කර ගනිමින් මෙසේ මද


කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන්ට පිහිටක්
2021 අප්‍රේල් මස 03 5239 0

සන්නිවේදන පහසුකම් නැති කුප්පි ලාම්පුවෙන් එළිය දකින මහ කැලේ මැද කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන් හමුවීමට පසුගියදා මහනුවර මහ දිසාපති චන්දන තෙන්නකෝන් මහතා


බක්මහ අකුණු සෑදෙන්නේ මෙහෙමයි
2021 මාර්තු මස 27 3945 0

සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි අප්‍රේල්, මැයි මාසවල පතිත වන වර්ෂා සහිත කාලගුණයට බක්මහ අකුණු යයි කියමු. එම කාලයේදී පතිත වන අධික වර්ෂාපතනයත් සමග විදුලි කෙටීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 375 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1771 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1602 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site