කළුතර දිස්ත්‍රිකයේ අක්කර 42ක පමණ විශාල ඉඩමක සුන්දර කළුගඟ ට මායිම්ව පිහිටි “රිච්මන්ඩ් කාසල්”යනු තවත් එක් ගොඩනැගිල්ලක් පමණක් නොවේ. 

එය බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ පැවති අභිමානය, පෙරදිග හා අපරදිග සංස්කෘතික එකතුව මෙන්ම විසල් ප්‍රේමයක සහ එහි ඛේදනීය අවසානයක නිහඬ සාක්ෂිකරුවෙකි.

බ්‍රිතාන්‍ය එඩ්වර්ඩියානු මැනර් හවුස් වාස්තු විද්‍යාත්මක ශෛලිය මතක් කරවන මෙම අසිරිමත් මන්දිරය, දේශීය මෙන්ම විදේශීය සංචාරකයින්ගේද දැඩි ආකර්ෂණයට ලක්වූ විස්මිත නිර්මාණයකි.

රජමාලිගයක් බඳු මෙම අසිරිමත් මැඳුරේ ඉතිහාසය දිගහැරෙන්නේ 20 වැනි සියවසේ මුල් භාගයේදී ය. එවකට හෙළ දිවයිනේ සිටි ප්‍රකට ධනවතකු මෙන්ම ප්‍රාදේශීය පඩිකාර මුදලිවරයකු වූ එන්.ඩී. ආතර් ද සිල්වා විජේසිංහ සිරිවර්ධන මෙම අතිවිශාල මන්දිරයේ නිර්මාතෘවරයා ය. 

එංගලන්තයේ උසස් අධ්‍යාපනය ලබා පෙරළා දිවයිනට පැමිණි ඔහු ඉන්දියාවේ සංචාරයක නිරත වන අතරතුර දී ඉන්දියානු මහාරාජාවරයෙකුගේ අතිශය මනරම් මාලිගයක් දැක ඇත. එහි ගෘහ නිර්මාණ ශිල්පයට වශීවූ මුදලිතුමා එහි සැලැස්ම ඉල්ලා සිටිය ද එය ඔහුට නොලැබුණි. කෙසේ වෙතත් පසුබට නොවූ ඔහු, දේශීය වඩු කාර්මිකයන් සහ ශිල්පීන් ඉන්දියාවට යවා මාලිගයේ මුළු සැලැස්මම මතකයේ තබාගෙන ඒමට කටයුතු කළේය. ඒ අනුව 1900 වසරේ දී ආරම්භ කළ ඉදිකිරීම් 1910 වසර වන විට සාර්ථකව නිමකිරීමට සමත් විය.

රිච්මන්ඩ් කාසල් මන්දිරය නැරඹීමට යන ඕනෑම සංචාරකයකුගේ අවධානය යොමුවන්නේ එහි යොදාගෙන ඇති අසමසම අමුද්‍රව්‍ය දෙසටය. මුදලිතුමා සිය මන්දිරය තැනීම සඳහා එකල ලෝකයේ උසස්ම තාක්ෂණය සහ අමුද්‍රව්‍ය භාවිත කළේය. මෙහි ඇති දොර ජනෙල්, උළුවහු සහ අලංකාර කැටයම් නිර්මාණය කිරීම සඳහා බුරුමයෙන් ආනයනය කරන ලද උසස් තත්ත්වයේ තේක්ක දැව යොදාගෙන තිබේ. ගොඩනැගිල්ල ඉදිකිරීමට අවශ්‍ය ගඩොල් සහ උළු ඉන්දියාවෙන් ගෙන්වූ අතර, මෙහි පාදමට හා නානකාමර සදහා අතුරන ලද කිරිගරුඬ පුවරු ගෙන්වන ලද්දේ එංගලන්තයෙනි. මන්දිරයේ ජනෙල්වල සවිකර ඇති සිහින් මල් රටා සහ මිදි පොකුරු සහිත වීදුරු ස්කොට්ලන්තයේ නිර්මාණය කරන ලද අතර, අදටත් එම වීදුරු අතරින් හිරුඑළිය වැටෙනවිට මන්දිරය තුළ මැවෙන්නේ විස්මිත කලාත්මක සුන්දරත්වයකි.

කාමර 16කින්, උළුවහු 99කින් සහ ජනෙල් 38කින් සමන්විත මෙම දෙමහල් මන්දිරය තුළ ඇති සුවිශේෂීම ඉංජිනේරු නිර්මාණය වන්නේ එහි පවතින ස්වභාවික වායුසමීකරණ ක්‍රමයයි. මන්දිරයේ පිහිටි විශාල නර්තනාගාරය නිරන්තරයෙන්ම සිසිල්ව තබාගැනීම සඳහා ආසන්නයේ පිහිටි කළුගඟේ සිට සිසිල් වාතය ඇතුළට ගලා එන සේ විශේෂ නළ පද්ධතියක් සවිකර තිබුණි. එමෙන්ම නිදන කාමරවල බිත්ති ඉදිකිරීමේ දී ශබ්දය පිටතට යාම වැළැක්වීම සඳහා දැවපටි යොදාගනිමින් ශබ්ද වාරණ ක්‍රමයක් ද භාවිත කර තිබීම එකල පැවති දියුණු තාක්ෂණයට කදිම නිදසුනකි.

මෙම අතිශය මනරම් මන්දිරයට 1916 වසරේ දී මුදලිතුමා සිය ප්‍රේමවන්තිය වූ ක්ලැරිස් මැටිල්ඩා මෝඩ් සූරියබණ්ඩාර සමග විවාහ වී කැන්දාගෙන ආවේය. වසර ගණනාවක් ඉතා විසිතුරු, උත්කර්ෂවත් ප්‍රභූ ජීවිතයක් ගත කළද ඔවුන්ගේ විවාහයට දරු සම්පතක් අහිමිවීම මහත් ඛේදවාචකයක් විය. මුදලිතුමා දරුවන්ට දැඩි ලෙස ආදරය කළ නමුත් දරුවන් නොමැතිවීමේ දැඩි මානසික කනස්සල්ල නිසාම මන්දිරයේ එළිමහන් ගෙවත්තේ තැනින් තැන කුඩා දරුවන්ගේ සහ දරුවකු වඩාගත් මවකගේ ප්‍රතිමා ඉදිකරවීමට පවා මුදලිතුමා පෙලඹුණි.

කාලයාගේ ඇවෑමෙන් මෙම මානසික පීඩනය සහ අසමගිය නිසා ඔවුන්ගේ විවාහ දිවිය දෙදරා ගියේය. ජීවිතයේ සියල්ල එපාවූ ආතර් මුදලිතුමා 1941 වසරේ දී රිච්මන්ඩ් කාසල් මන්දිරය ඇතුළු තමා සතු අක්කර ගණනාවක අතිවිශාල දේපළ අනාථ දරුවන්ගේ සුබසාධනය උදෙසා ශ්‍රී ලංකාවේ මහා භාරකාර දෙපාර්තමේන්තුවට පවරා දුන්නේය. පසුව සියලු‍ සැපසම්පත් අතහැර දැමූ ඔහු 1947 වසරේ දී මහනුවර හෝටලයක දී හුදකලාව මෙලොවින් සමුගත්තේය.

ටජ්මහල මෙන්ම මේ මන්දිරය පිටුපසත් විශාල ප්‍රේම කතාවක් සහ ඛේදනීය අවසානයක් තිබීම හේතුකොටගෙන මෙම මන්දිරය පුංචි ටජ්මහල ලෙස හඳුන්වයි. අද වන විට මෙම සුවිශේෂී ගොඩනැගිල්ල පුරාවිද්‍යා වටිනාකම් රකිමින් සංචාරකයන් සඳහා විවෘත කර ඇති අතර, එහි කොටසක් පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වේ. යටත්විජිත සමයේ අසිරියත්, උසස් ගෘහ නිර්මාණ තාක්ෂණයත්, මිනිස් ජීවිතයේ ඛේදනීය යථාර්ථයත් එකලෙස කියාපාන කළුතර රිච්මන්ඩ් කාසල් යනු ශ්‍රී ලංකාවට පැමිණෙන ඕනෑම සංචාරකයකු අනිවාර්යයෙන්ම නැරඹිය යුතු ඓතිහාසික උරුමයකි.

අශිනි හෙට්ටිගේ
කැලණිය විශ්වවිද්‍යාලය