අම්පාර දිස්ත්‍රික්කයේ තිඹිරිගොල්ල - බක්මිටියාව රක්ෂිතයට අයත් වට්ටමඩු තෘණභූමියට කිරිගව පට්ටිහිමියන්ට ඇතුළුවීම වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තහනම් කිරීමත් සමග - මේ වනවිට රක්ෂිතය තුළට මුදාහැර සිටින කිරිගවයින් ගේ හිමිකරුවන් දැඩි අර්බුදයකට මුහුණපා සිටිති.

මෙම තෘණභූමියට වාර්ෂිකව කිරිගවයින් 40,000 ක් පමණ ඇතුළු කරන අතර - මේ වනවිට තෘණභූමියෙහි කිරිගවයින් 20,000 කට ආසන්න ප්‍රමාණයක් රැඳී සිටින බවත්, තෘණභූමියට ඇතුළු‍වීම සම්පූර්ණයෙන්ම තහනම්කර ඇති නිසා එම සතුන්ගේ සෞඛ්‍ය තත්ත්වය, ආරක්ෂාව, රක්ෂිතයෙන් පිටතට පැමිණ ආසන්නයේ වගාබිම් වෙත ඇතුළුවීම වැනි  ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සොයාබැලීම සහ ඒ සඳහා පිළියම් යෙදීමට හෝ ගවයින් ඉවත්කර ගැනීමට නොහැකිවී ඇති බවට, ඔවුහු මැසිවිලි නගති.

තෘණභූමියට වෙන්කළ කොටසට පිරිසක් ඇතුළු වී කුඹුරු ඉඩම් සීසෑමට උත්සාහ කිරීමත් සමග කිරි ගවපට්ටිකරුවන් අභියාචනාධිකරණයේ තහනම් රීට් ආඥාවක් ඉල්ලා නඩුවක් ගොනුකළ අතර, ප්‍රකාශයට පත්කර ඇති ගැසට් නිවේදනය නීත්‍යානුල තත්ත්වයෙන්  නොපැවතීම නිසා, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රීට් ආඥාවක් නිකුත්කිරීම ප්‍රතික්ෂේප කිරීමත් සමග නැවතත් ගැටලුව මතුවී ඇතිබව ඔවුහු ප්‍රකාශ කරති.

පසුගිය වසර කීපයක පටන් මෙම ගැටලුව පැවති නමුත්, මෙම වසරේ දී  එක්තරා පිරිසක් සීසෑමට ට්‍රැක්ටර් ඇතුළුකිරීමත් සමග තත්ත්වය උණුසුම් වූ බවත්, ඔවුහු නිලධාරීන්ට තර්ජනය කරමින් කිරි හරක් ඇතුළු කිරීම තහනම් කරන ලෙස බලකරන බවත්, ඔවුහු අවධාරණය කරති.

අනවසර වගාකරුවන්ට වහාම සීසෑම අත්හිටුවා රක්ෂිතයෙන් පිටවන ලෙස වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ශබ්ද විකාශන යන්ත්‍ර උපයෝගීකර ගනිමින් දැනුවත් කලත්, ඔව්හු ඉතා සූක්ෂම ලෙස හොර රහසේ ට්‍රැක්ටර් රථ රක්ෂිතයට ඇතුළුකර වගා ඉඩම් සීසෑමට උත්සාහ කරන බවට, ඔවුහු චෝදනා කරති.

එබැවින් මේ සම්බන්ධයෙන් අවධානය යොමුකර කඩිනම් විසඳුමක් ලබාදෙන ලෙස ඔවුහු ජනාධිපතිවරයා ඇතුළු වගකිවයුත්තන්ගෙන් ඉල්ලති.

කිරිපට්ටි හිමිකරුවෙකුවන ජෙගනාදන් නිත්‍යානන්දන් - 

“වට්ටමඩු කියන්නෙ 1972 ඉඳන් 1976 වනතුරු මිණුම් කටයුතු කරලා  ගැසට් පත්‍රයක් මගින් තෘණභූමියක් ලෙස ප්‍රකාශයට පත්කරපු රජයේ රක්ෂිතයක්. දැන් ගතකරන්නේ කිරි කර්මාන්තය සිදුකරන තුන්වන පරම්පරාව.අපට යුදමය වාතාවරණයත්  එක්ක කිරිගොවි කර්මාන්තය හරියට කරගෙන යන්න බැරි තත්ත්වයක් මතුවුණා. ත්‍රස්තවාදීන් මේ ප්‍රදේශවල ගැවසුන නිසා ප්‍රදේශය කිරි ගොවින්ට තහනම් කරලා තිබුණා. කිරි ගොවියන් බහුතරයක් දමිළ ප්‍රජාව නිසා අපිට සාගම වැවෙන් මෙහාට එන්න ලැබුණෙ නෑ. 2009 වසර අවසන් වනවිට අපේ කිරි හරක් රැගෙන නැවත වට්ටමඩුවට ආවා. නමුත් ඇවිත් බලනවිට අපි දැක්කා යම් පිරිසක් තෘණභූමිය විනාශ කරලා කුඹුරු ඉඩම් බවට පත්කරලා තියන බව. අපි රජයේ නිලධාරින්ගෙන් අපේ කිරි කර්මාන්තය ස්වාධීනව කරගෙන යන්න උදව් ඉල්ලු‍වා. 2010 ඔක්තෝබර් 01 දින පරිසර අමාත්‍යංශය සමග වන සංරක්ෂණ දෙපාරතමේන්තුව එකතුවෙලා ගැසට් එකකින් බක්මිටියාව - තිඹිරිගොල්ල ප්‍රදේශය රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත්කළා. එම කොටසට වට්ටමඩු තෘණභූමිය ඇතුලත් කරලා. අපිට අවුරුද්දක්වත් නිදහසේ කිරි කර්මාන්තය කරගෙන යන්න හැකියාවක් ලැබුණෙ නෑ. මෙම ගැසට් පත්‍රය නිසා ලොකු බලපෑමක් සිදුවුණා. වර්තමානයේ දැනගන්න තියන විදියට යම් යම් බලපෑම් මත මෙහි අනවසරයෙන් වගාකළ ඉඩම් රක්ෂිතයෙන් නිදහස් කරලා එම පුද්ගලයින්ටම   වගාකටයුතු සදහා ලබාදීමේ උත්සාහයක් තියනවා. එහෙම වුණොත් ඒක කිරි ගොවියන්ට සිදුකරන ලොකුම අසාධාරණයක්. කිරි කර්මාන්තය නිසා විශාල පිරිසක් ජිවත් වෙනවා. මෙම ගැටළුව නිසා ඔවුන්ගේ ජීවනෝපායන් සම්පූර්ණයෙන්ම අඩාළ වෙනවා. මෙම භූමිය සම්බන්ධයෙන් සම්පූර්ණ අධ්‍යයනයක් කරලා, නිවැරදිභාවය හඳුනාගෙන, මෙම තෘණභූමිය කිරි කර්මාන්තය පවත්වාගැනීම සඳහා ආරක්ෂා කරලා දෙන්න කියලා. අපි ජනාධිපතිතුමාගෙන් කාරුණිකව ඉල්ලනවා.”

වී වගාකරුවන්  වෙනුවෙන් පෙනීසිටින නීතිඥ රාසික් මොහොමඩ් -  

“වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව වැරදි ක්‍රමවේදයක් යටතේ 2010.10.01 දින බක්මිටියාව - තිඹිරිගොල්ල රක්ෂිතය ගැසට් කරලා තියෙන්නෙ. මෙම රක්ෂිත ප්‍රදේශයට බක්මිටියාව, තයාවේදායුධපුරම් දමිළ ගම්මානය ග්‍රාම නිලධාරි වසම් 09 ක්, පාසැල් 03 ක්, වගාකළ කුඹුරු යායවල් 44 ක් ඇතුළත් කරලා. වට්ටමඩුව ඉන් එකක්. අක්කර 1186 ක් වට්ටමඩුව යායට අයත් වෙනවා. වට්ටමඩුව හැර අනෙක් සියලුම යායවල් වගාකරනවා. වට්ටමඩුව වගාකරන්න දෙන්නෙ නෑ. වනසංරක්ෂණ ආඥා පනත යටතේ ගම්මාන සහ පාසල් ඇතුළත් කිරිම වැරද්දක්. 7. 1 වගන්තිය යටතේ වගාකිරීම වැරැද්දක්. 7.1ඊ යටතේ හරක් දැමීම වැරැද්දක්. අපි ඒක පැහැදිලිව කිව්වා. මේවා වැරදි නම් අනිත් යායවල්වලට පොහොර සහනාධාරය දෙන්නෙ කොහොමද? කන්න රැස්විම් තියන්නෙ කොහොම ද? මේ ඔක්කොම රක්ෂිත තුළ තියන ඉඩම්. වට්ටමඩුවට වෙනම නීතියක්. වට්ටමඩු යාය 1985 ඉඳන් වගාකරලා තියනවා. 2023 අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුව “තිරසර වනාන්තර කළමනාකරණය තුළින් ඉඩම් ගැටලු නිරාකරණය” යන වැඩසටහන යටතේ රක්ෂිත වනාන්තර තුළ පිහිටි ජනතාව විසින් දීර්ඝ කාලයක් වගාකළ  ප්‍රශ්නගත ඉඩම ඇතුළු හෙක්ටයාර් 400 ක් හඳුනාගෙන ඉඩම් කොමසාරිස් ජනරාල් වෙත මුදාහැරිමට අන්තර් අමාත්‍යාංශ කමිටුවට යෝජනා කරලා තියනවා. ප්‍රශ්නය නිරාකරණය වෙනකම් වගාකරන්න දෙන්නෙ නැත්නම්, හරක් දාන්නත් බෑ. නීතිය කාටත් සමානව ක්‍රියාත්මක වෙන්න ඕන.”

පරිසර ක්‍රියාකාරිකයකුවන අචල උපේන්ද්‍ර - 

“සාම්ප්‍රදායිකව වසර 100 ක් පමණ කාලයක් තිස්සේ පවත්වාගෙන එන පාරම්පරිකව කිරි ගොවිතැනහි යෙදෙන පිරිස වෙනුවෙන් එවකට හිටපු අම්පාර දිස්ත්‍රික් ලේකම්වරයා 1974 වසරේ දී තිරුක්කෝවිල් සාගම ප්‍රදේශයේ අක්කර 4700ක භූමියක් මිනින්දෝරු දෙපාර්තමේන්තුව මගින් මැණුම් සිදුකර තෘණභූමියක් ලෙස වෙන්කිරිම සඳහා කටයුතුකර සාගම රෑපස්කුලම් හා වම්මිඅඩිකුලම් වැව් අතර පිහිටි අක්කර 4000 ක්  රජයේ ඉඩම් ප්‍රමාණයක් තෘණභූමියක් ලෙස ප්‍රකාශයට පත්කර, 1976.09.17 දිනැති අංක. 231 දරන ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත්කරලා තියනවා.  පසු කලක එල්.ටී.ටී.ඊ. ප්‍රධාන කදවුරක් වන කංචිකුඩිච්චිආරු කඳවුර ආසන්නයේ පිහිටීම හේතුවෙන්  එම ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරකම් වැඩිවීමත් සමග ඇතිවූ බලපෑමත් සමග සාගම ප්‍රදේශයෙන්  රක්ෂිතයට  ඇතුළුවීම ආරක්ෂක අංශ විසින් ආරක්ෂක හේතූන් මත කිරිගොවියන්ට තහනම් කරලා තියනවා. එයින් ප්‍රයෝජනගත් තවත් පිරිසක් මෙම භූමියට ඇතුළුවෙලා  නීතිවිරෝධී ලෙස ගොවිතැන් කරලා තියනවා. 2007 වනවිට නැගෙනහිර පළාතේ යුද්ධය මදක් සමනයවීමත් සමග කිරි ගොවියන් නැවතත් රක්ෂිතයට යනවිට යම් පිරිසක් බලහත්කාරයෙන් වී වගාකර ඇති බව දැකීමත් සමග දෙපිරිස අතර යම් ආරාවුල් සහගත තත්ත්වයක් මතුවී ඇති පසුබිමක වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව 2010.10.01 දින  තෘණභූමිය අයත් ප්‍රදේශය ද ඇතුළුකර  බක්මිටියාව - තිඹිරිගොල්ල රක්ෂිතය ප්‍රකාශයට පත්කරනවා. ඔවුන් 2011 වසරේ සිට වසර කීපයක් අනවසර වගාවන් සිදුකරන්න ඉඩදීලා තියනවා.

අචල උපේන්ද්‍ර, ජෙගනාදන් නිත්‍යානන්දන්, නීතිඥ රාසික් මොහොමඩ්

ඇතිවූ තත්ත්වය මත කිරිගොවියන් මෙම ප්‍රදේශය අනවසර වගාකරුවන්ගෙන් නිදහස් කරදෙන ලෙස අභියාචනාධිකරණයේ නඩුවක් ගොනුකර තියනවා. හදිසි නීතිය යටතේ ගැසට් පත්‍රය ප්‍රකාරයට පත්කර ඇති බැවින්, හදිසි නීතිය ඉවත්කළ පසු ගැසට් නිවේදනයේ නීතිමය ස්වභාවයක් නොමැති, තීන්දු කරමින් 2026.03.27 දින අභියාචනාධිකරණය පෙත්සම නිෂ්ප්‍රභා කරනවා. ඉන්පසු වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් තිරසාර ඉඩම් කළමනාකරණ වැඩසටහන මගින් ජනතාවට වගාවන් සදහා ඉඩම් නිදහස් කිරීම යටතේ තෘණභූමියේ ඉඩම් හෙක්ටයාර් 450 ආසන්න ප්‍රමාණයක් වී වගාකිරීම වෙනුවෙන් නිදහස් කිරීම සඳහා යෝජනා ඉදිරිපත්වීමෙන් පසු  අම්පාර දිස්ත්‍රික් ඉඩම් අනුකමිටුව විසින් අන්තර් අමාත්‍යංශ කමිටුව වෙත  යොමුකරලා තියනවා. මෙය සම්පූර්ණයෙන්ම නීතිවිරෝධී ක්‍රමවේදයක්. දැන් වී වගාකරුවන් අනවසරයෙන් රක්ෂිතයට ඇතුළුවෙලා සී සානවා. මෙම ස්ථානයේ ගැටුමක් ඇතිවිය හැකි බවට අම්පාර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා දැනුවත් කිරීමෙන් පසු  අක්කරපත්තුව භාර සහකාර පොලිස් අධිකාරිවරයා සහ පොලිස් ස්ථානාධිපතිවරයා ඒ සඳහා යොමුකරලා තියනවා. පශු සම්පත් දෙපාර්තමේන්තුවේ දත්ත අනුව එළ ගවයින්, මී ගවයින් සහ  එළුවන් 40,000 ක් පමණ සංඛ්‍යාවක් මේ භූමිය පරිහරණය කරන බවට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට දැනුම්දීලා තියනවා. මෙයින්  ඇතිවන බරපතළ කරුණ නම්  සත්ත්ව පාලන කටයුතු සඳහා ගවපට්ටි හිමිකරුවන්ට මෙම භූමිය අහිමි වුණොත්, මෙම ප්‍රදේශය අවට නීත්‍යනුකූල වී වගාකරුවන්ගේ ඉඩම්වලට ගවයින් ඇතුළුවුවහොත් එය ඔවුන්ගේ ගොවිතැන් කටයුතුවලට ඍජුවම බලපානවා. එය අනාගතයේ දී කිරි ගොවියන් සහ වී ගොවියන් අතර බරපතළ ගැටුමක් දක්වා වර්ධනය වී මේ ප්‍රවණතාවක් ඇතිවෙලා තියනවා. මේ ගැටුමට සාධාරණ විසදුමක් ලබාදෙන්න අම්පාරේ කිසිම රාජ්‍ය නිලධාරියෙක් කටයුතු කරන්නෙ නෑ. මේක අවාසනාවන්ත කරුණක්.”

අම්පාර දිසා වනනිලධාරි ඒ. ඒ. සරත්චන්ද්‍ර රණවීර  

“බක්මිටියාව - තිඹිරිගොල්ල රක්ෂිත ප්‍රදේශය හෙක්ටයාර් 47,000 ක් ලෙස සලකුණු කරලා තියනවා. මෙම ප්‍රමාණයෙන් අක්කර 1200 ක් වගාකරන්න අවසර දීලා තියනවා. අක්කර 4000 ක් තෘණභූමියක් ලෙස 2010 වසරේදි ගැසට් කරලා තියනවා. වගාකරන්න අවසරදීපු ඉඩම් අක්කර 1000 ක් පමණ තෘණභූමියක් ලෙස ගැසට් කරපු කොටසට අයත් වෙලා. තමන්ට ලබාදී පසුව තෘණභූමියට අයත් වූ ඉඩම්වල වගාකිරීමට උත්සාහ කිරීමත් සමග කිරි ගවපට්ටි හිමියන් සහ ගොවියන් අතර ගැටළුව ආරම්භවෙලා තියෙන්නෙ.”

“ගැටළුව විසඳන තෙක් කිසිදු පුද්ගලයෙකුට අනවසරයෙන් රක්ෂිත ප්‍රදේශයට ඇතුල් වෙන්න තහනම් කරලා තියනවා. 19 වන දිනයෙන් පසු  දෙපාර්ශ්වයෙන්ම රක්ෂිතයට ඇතුල් වූ ට්‍රැක්ටර් 03 ක්, යතුරුපැදි 03 ක්, සැකකරුවන් 10 ක් අත්අඩංගුවට අරගෙන තියනවා. අපි අධිකරණයට කරුණු වාර්තා කරලා තියනවා.” 

“වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පවතින ඉඩම් නිසා සම්පූර්ණ හිමිකම තියෙන්නෙ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට. ඒ නිසා ගැටලු මතුවෙන හැම වෙලාවකම දෙපාර්ශ්වයෙම ඇඟිල්ල දික්වෙන්නෙ අපේ දිහාට. අපි තිරසර වනාන්තර කළමනාකරණ කමිටුවට යෝජනා කරලා තියනවා,මෙම ඉඩම් අක්කර 4000 ක ප්‍රමාණය නිදහස් කරන්න කියලා. 2027 මාර්තු මාසය වනවිට එම කටයුතු අවසන් කරන්න පුළුවන් වෙයි. ඊට පස්සෙ ඉඩම් හිමිකම ඉඩම් කොමසාරිස්වරයා සතුවෙනවා. ඉන්පසු තීරණයක් ගන්නකම්  කිසිම  පුද්ගලයෙකුට  රක්ෂිතයට අනවසරයෙන් ඇතුළුවෙන්න බෑ.  ඇතුළුවුණොත් අත්අඩංගුවට අරගෙන නීතිය ක්‍රියාත්මක කරනවා.”

අම්පාර  දිස්ත්‍රික් ලේකම් අනුපම මංගල වික්‍රමාරච්චි 

“මධ්‍යම හා නැගෙනහිර පළාත් වන සංරක්ෂක දේවානි ජයතිලක මහත්මිය ඇතුළු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරින්, කිරිගවපට්ටි හිමියන් සහ වගාකරුවන් අතර 19 දින අම්පාර දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන්  දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් පසු තීරණයක් ගත්තා, ගැටළුව විසදෙන තෙක් කිසිදු පාර්ශ්වයකට රක්ෂිත භූමියට අනවසරයෙන් ඇතුළුවීම  සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට. මාර්තු 01 දින වනවිට මේ සම්බන්ධයෙන් අවසාන  තීරණයක් ගන්න පුළුවන් වෙයි.” 

දිගාමඩුල්ල විශේෂ 
ඩී. ඥානසිරි හෙට්ටිආරච්චිගේ