
සෑම හදවතකම සිහිනයක් තිබේ. අභියෝග හමුවේ නොසැලී, තමන්ගේ සිහිනය වෙනුවෙන්ම ජීවිතය කැප කළ තරුෂා හේවාපතිරණ ඒ සියල්ල අබිබවා ගිය තරුණියකි.
ඇයටද සිහිනයක් තිබිණි. ඒ විශ්වවිද්‍යාලයකින් උපාධියක් ලබාගත් උපාධිධාරිනියක වීමේ සිහිනයයි. උපතින්ම ලැබුණු ශාරීරික අභියෝග හමුවේ වුවද ඒ සිහිනය අත්නොහැර ගිය තරුෂා, රුහුණු විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් අවසානයේ එය සැබෑ කරගත්තාය.
උපාධි සහතිකය අතට ගැනීමට පවා ශාරීරිකව අපහසු වූ ඇය, කිසිවකුගේ වරුවක් නොමැතිව තමන්ගේ දෙපයින් නැඟී සිට ඒ අභිමානවත් මොහොතට මුහුණ දුන්නාය. ඇයගේ උපාධි සහතිකය පිරිනැමූ රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති අකුරැටියේ නන්ද නාහිමියන් පවා අසුනින් නැඟී සිටියේ ඒ ධෛර්යයට ගෞරවයක් පුද කරමිනි. එය තරුෂාගේ ජීවිතයේ එක් ජයග්‍රහණයක් පමණක් නොව, සිහිනයක් වෙනුවෙන් නොසැලී ගිය හදවතකට ලැබුණු අභිමානවත් උපහාරයක්ද විය.
බන්දුල සහ පද්මිණීගේ කැදැල්ලට එක්වූ කුලුඳුල් දියණිය වූයේ තරුෂා හේවාපතිරණය. මාතර, වැලිගම ප්‍රදේශයේ ජීවත් වූ මේ දෙපළගේ ජීවිතයට 1999 පෙබරවාරි දෙවැනිදා ඒ පුංචි දියණිය එක්වූයේ මවුපිය සිහින රැසක්ද සමඟිනි.
පළමු දරු උපතක් වෙනුවෙන් සෑම මවක්ම පියෙක්ම විශේෂයෙන් සැලකිලිමත් වෙති. ඒ නිසාම පද්මිණීත් බන්දුලත් තම කුලුඳුල් දරුවා මෙලොවට බිහිවන තුරුම වෛද්‍ය උපදෙස් නිසි පරිදි පිළිපදිමින් අවශ්‍ය වෛද්‍ය පරීක්ෂණවලටද යොමු වූහ. එහෙත් ඒ කිසිදු අවස්ථාවක පද්මිණීගේ කුස තුළ වැඩෙන දරුවා සම්බන්ධයෙන් විශේෂ අවිනිශ්චිතතාවක් හෝ අනතුරු ඇඟවීමක් වෛද්‍යවරුන්ගෙන් ඔවුන්ට අසන්නට ලැබුණේ නැත.
අවසානයේ 1999 පෙබරවාරි දෙවැනිදා ඔවුන්ගේ බලාපොරොත්තු මල්ඵල ගන්වමින් පුංචි දියණිය මෙලොව එළිය දුටුවාය. එහෙත් දරු උපතත් සමඟ මවුපියන් බලාපොරොත්තු වන ඒ සතුටුදායක හැඬුම් හඬ තරුෂාගෙන් ඇසුණේ නැත. උපන් සැණින් හඬා වැටීමක් නොපෙන්වූ නිසා වෛද්‍යවරු ඇයව නොමේරූ ළදරු ඒකකයට ඇතුළත් කිරීමට පියවර ගත්හ.
දින කිහිපයකට පසු පද්මිණී සිය කුලුඳුල් දියණියද රැගෙන නිවසට පැමිණියාය. ඒ වන විටත් තරුෂාගේ වෙනසක් හෝ විශේෂ ගැටලුවක් පිළිබඳව ඔවුන්ට පැහැදිලි අවබෝධයක් තිබුණේ නැත. අනාගතයේදී තම දියණියගේ ජීවිතය අභියෝග රැසකට මුහුණ දෙනු ඇතැයි ඒ මොහොතේ මේ මවුපියන් කිසිසේත්ම නොසිතන්නට ඇත.
එහෙත් කාලය ගෙවී යද්දී සාමාන්‍ය දරුවකුගෙන් දකින්නට ලැබෙන වර්ධන ලක්ෂණ තරුෂාගෙන් දක්නට ලැබුණේ නැත. වයසට අනුව දරුවකු සිදු කළ යුතු ක්‍රියාකාරකම් එකින් එක මඟහැරෙද්දී, අඩුම තරමින් නියමිත කාලයේදී හිස එසවීමටවත් ඇයට හැකියාවක් ලැබුණේ නැත. තම දියණියගේ මේ වෙනස මවුපියන්ගේ සිත්වල ඇති කළේ නොසන්සුන්තාවකි. ඒ නිසාම ඇයව විවිධ වෛද්‍යවරුන් වෙත රැගෙන ගියද, තරුෂාගේ තත්ත්වය පිළිබඳ නිශ්චිත නිගමනයකට එළැඹීමට කිසිවකුට හැකි වූයේ නැත.
අවසානයේදී තරුෂාට මාස නවයක් පමණ ගතවූ පසු හමුවූ වෛද්‍යවරියක ඇයගේ තත්ත්වය පිළිබඳ යම් පැහැදිලි කිරීමක් කළාය.
”දරුවාගේ යම් රෝගී තත්ත්වයක් හේතුවෙන් ක්‍රියාකාරකම් ප්‍රමාද වෙනවා. ඒ වෙනුවෙන් අවශ්‍ය ව්‍යායාම නිසි පරිදි සිදු කරන්න.”

වෛද්‍යවරියගේ ඒ උපදෙස් අනුව එතැන් සිට තරුෂාට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම ආරම්භ විය. විවිධ රෝහල්වලට යමින්, විවිධ වෛද්‍යවරුන් හමුවෙමින් ඇයගේ තත්ත්වය යහපත් කරගැනීමේ අරමුණින් බන්දුලත් පද්මිණීත් නොගත් උත්සාහයක් නැති තරම්ය. තම පුංචි දියණියට හැකි උපරිමයෙන් ප්‍රතිකාර ලබාදෙමින් ඇයගේ අනාගතය වෙනුවෙන් මේ මවුපියෝ නිහඬ අරගලයක නිරත වූහ.
කාලයත් සමඟ ලබාදුන් ප්‍රතිකාර සහ ව්‍යායාමවල ප්‍රතිඵලයක් ලෙස තරුෂා හෙමින් හෙමින් ඇවිදීමට පටන් ගත්තාය. ඇයගේ ඒ පුංචි පියවර පවා බන්දුලටත් පද්මිණීටත් මහත් සතුටක් ගෙන දෙන්නට ඇත. තරුෂාගේ මතකයේ රැඳී ඇති ඒ අතීතයද අපූරුය.
“ඉස්සර අම්මයි තාත්තයි මට රුපියලක් පෙන්නලා ඒක ගන්න ගෙදර එහාට මෙහාට ඇවිද්දවනවා. මාව ඇවිද්දවන්න ඒ දෙන්නා ගොඩක් මහන්සි වුණා. මගේ අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරු. ඒ නිසා ගෙදරදී අම්මා මට හැමදේම කියලා දුන්නා. මට ඉගැන්නුවා. මගේ අධ්‍යාපන කටයුතු ගැනත් විශේෂයෙන්ම සොයා බැලුවා.”
මේ සියලු අදහස් තරුෂාගේමය. එහෙත් ඇය පවසන දේ ඇතැම් විට පැහැදිලිව වටහා ගැනීම අපහසුය. ඒ නිසාම තරුෂාගේ සිතුවිලි සහ අත්දැකීම් අප වෙත සමීප කරවීමට ඇයගේ නැඟණිය වූ ඒෂානිගෙන් ලැබුණේ මහත් සහයෝගයකි. සිය සහෝදරිය අසලින්ම රැඳී සිටිමින් ඇය පවසන සෑම අදහසක්ම අපට පැහැදිලි කර දුන්නේ ඇයගේ නැඟණියයි. ඒ අනුව තරුෂාගේ හඬත්, ඇයගේ ජීවිත අත්දැකීම්ත් මෙලෙස ඉරිදා ලංකාදීපය වෙත සමීප වූයේ ආදරණීය සහෝදරියකගේ ඒ මැදිහත්වීම නිසාය.
තරුෂාගේ අධ්‍යාපන ගමන ආරම්භ වූයේ ඇයගේ පුංචි අවධියේදීමය. වයස අවුරුදු තුනක් පමණ වන විට මවුපියන් ඇයට අකුරු කියා දීමට පටන් ගෙන තිබිණි. පෙර පාසල් අධ්‍යාපනය ලැබුවේ වාකිෂ්ට ගුරුතුමිය යටතේය. තරුෂාගේ අධ්‍යාපන ජීවිතයේ මුල් අඩිතාලම දැමූ ඒ ගුරුතුමිය ඇයට අකුරු පමණක් නොව බොහෝ දේ කියා දුන් බව ඇයගේ නැඟණිය සිහිපත් කළාය.
“අක්කා මුලින්ම ඉගෙන ගත්තේ මාර/නිලංගල කනිෂ්ඨ විද්‍යාලයෙන්. ඊට පස්සේ හය වසරේ ඉඳලා වැලිගම ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවා. අක්කා ශිෂ්‍යත්ව විභාගයටත් පෙනී සිටියා. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගවලදී අක්කාට විශේෂ සහයෝගයක් අවශ්‍ය වුණා. නමුත් ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන කාලයේදී අක්කාට ඒ විදිහට උදව් කරන්න කෙනෙක් හිටියේ නැහැ. ඒත් ශිෂ්‍යත්ව විභාගයේ ඉරි ගහන ප්‍රශ්න පත්‍රයට පමණක් ලකුණු 97ක් ලබාගන්න අක්කාට හැකි වුණා.
සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගවලදී නම් අක්කාට උදව් කරන්න දෙදෙනෙක් හිටියා. එක් අයෙක් ප්‍රශ්න පැහැදිලි කර දෙනවා. අක්කා පිළිතුරු කියද්දී අනෙක් කෙනා ඒවා ලියාගන්නවා. විශ්වවිද්‍යාල අනෙකුත් විභාගවලදීත් ඒ ආකාරයෙන්ම සහයෝගය ලැබුණා.”
තරුෂාගේ නැඟණිය ඒෂානි ඉරිදා ලංකාදීපයට පැවසුවාය.
තරුෂාගේ ජීවිතයේ වාසනාවකට මෙන් පාසල් කාලයේදී මෙන්ම විශ්වවිද්‍යාල ජීවිතයේදීත් ඇයට ආදරණීය මිතුරු මිතුරියන් පිරිසක් මුණගැසිණි. වැලිගම ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලයේ ගුරුවරියක වූ ඇයගේ මව වන පද්මිණී, විවේක කාලයේදී සිය දියණියට ආහාර කැවීම සඳහා පන්ති කාමරයට පැමිණෙන අවස්ථා තිබිණි. එහෙත් බොහෝ දිනවල මව පන්තියට පැමිණෙන විටත් තරුෂාගේ අවශ්‍යතා ඉටුකර අවසන්ය. ඒ වන විටත් ඇයගේ ආදරණීය මිතුරියන් තරුෂාට ආහාර ලබාදී ඇය පිළිබඳව සොයා බලා තිබිණි.

අධ්‍යාපන කටයුතුවලදී පමණක් නොව දෛනික ජීවිතයේදීත් තරුෂාට අවශ්‍ය වූ සහයෝගය ලබාදීමට ඒ මිතුරියෝ නිරන්තරයෙන් ඉදිරිපත් වූහ. ඇයගේ සතුටේදී මෙන්ම අපහසුතාවලදීත් ළඟින්ම සිටි ඔවුහු තරුෂාගේ ජීවිතයට සෙවණැල්ලක් බඳු වූහ. ඇයට ලැබුණු ඒ මිතුරුකමත් ආදරයත් ඇයගේ ජීවන ගමන තව තවත් ශක්තිමත් කළ බව නිසැකය.
“මම අක්කාට වඩා අවුරුදු හයක් බාලයි. මට මතක ඇති කාලයේ ඉඳලම අක්කාව මම දැක්කේ වෙනස් කෙනෙක් විදිහට නෙමෙයි. අදටත් මට අක්කා කියන්නේ මගේ සහෝදරිය විතරයි. ඇය වෙනස් කෙනෙක් කියලා මට කවදාවත් හිතිලා නැහැ. පුංචි කාලේ අක්කා වැඩිපුරම සෙල්ලම් කළේ ලොකු තාත්තාගේ පුතාලා දෙන්නත් එක්කයි. මම ඉපදුණේ අක්කාට වඩා අවුරුදු හයකට පස්සේ. ඊට පස්සේ මාත් අක්කලා එක්ක එකතු වෙලා සෙල්ලම් කළා.
අක්කා ඉගෙන ගත්තේත් සාමාන්‍ය පාසලක සාමාන්‍ය දරුවන් ඉගෙන ගන්න පන්ති කාමරයකයි. හය වසර වෙනකම්ම ලොකු අම්මා අක්කාත් එක්ක පාසලට ගියා. පාසලේදී අක්කාගේ අවශ්‍යතා ගැන සොයා බැලුවේ ලොකු අම්මා. ගෙදර ආවට පස්සේ අක්කාගේ වැඩකටයුතුවලට නැන්දා උදව් කළා. අක්කා පන්ති කාමරයේදී ගුරුවරුන් උගන්වන හැමදේම හොඳින් අහගෙන ඉන්නවා. ඒත් ඇයට සටහන් ලියාගැනීමේදී සහයෝගය අවශ්‍ය වුණා. ඒ නිසා හැමදාම පාසල අවසන් වෙලා ගෙදර එන්නේ යාළුවකුගෙන් පොත් ඉල්ලාගෙනයි. ඒ පොත්වල තිබුණු සටහන් අපි අක්කාගේ පොත්වල ලියලා දුන්නා. සමහර සටහන් මුද්‍රණය කරගෙනත් ලබාදුන්නා. මේ විදිහට පවුලේ හැමෝම අක්කාගේ අධ්‍යාපන ගමනට තම තමන්ට හැකි අයුරින් උදව් කළා.
මගේ අක්කා හරිම උත්සාහවන්ත කෙනෙක්. එයාගේම කියලා ව්‍යාපාරයක් ආරම්භ කළේ මීට කාලයකට උඩදීයි. මේ වන විට අක්කා පොත් හතරක් මුද්‍රණය කර තිබෙනවා. ඒ අතරින් පොත් තුනක්ම පෙරපාසල් දරුවන් වෙනුවෙන් සකස් කරපු ඒවායි. අනෙක් පොත පාසල් දරුවන් වෙනුවෙන් සකස් කළ එකක්. අද වෙද්දී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් එයාගේ පොත්වලට ඇණවුම් ලැබෙනවා. තමන්ගේම උත්සාහයෙන් යමක් ගොඩනඟා ගන්න අක්කාට තිබුණේ පුදුමාකාර කැමැත්තක්. අක්කා පුංචි කාලයේ ඉඳලම ව්‍යවසායිකාවක් වෙන්න හරිම ආසයි. කවදාහරි ලොකු වුණාම මම ව්‍යාපාරිකාවක් වෙනවා’ කියන එක තමයි එයා නිතරම කිව්වේ. උසස් පෙළටත් අක්කා හැදෑරුවේ කලා විෂය ධාරාවෙන්. අද අක්කා තමන්ගේම ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා දකිද්දී අපටත් ලොකු සතුටක් දැනෙනවා.
මම ඉපදෙන්න ළං වෙද්දීත් අක්කා අම්මාට කියලා තිබුණේ නංගි කෙනෙක්ම ඕනෑ කියලයි. මම ඉපදුණු දවසේ ඉඳලම අක්කා මට හරිම ආදරයි. අදටත් ඒ ආදරයේ වෙනසක් නැහැ. මට අක්කා කියන්නේ සහෝදරියකටත් වඩා මගේ ජීවිතයේ විශේෂ කෙනෙක්.”
ඒෂානි පවසයි.
තරුෂා රුහුණු විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයෙන් උසස් අධ්‍යාපනය ලැබුවාය. ඇයගේ අධ්‍යාපන ගමනේදී මෙන්ම දෛනික ජීවිතයේදීත් විශ්වවිද්‍යාල මිතුරු කැලෙන් ලැබුණු සහයෝගය හා ආදරය අමිල ශක්තියක් විය.

“අක්කාට විශ්වවිද්‍යාලයේදීත් හරිම ආදරණීය යාළුවෝ පිරිසක් මුණගැසුණා. විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ අක්කාගේ එදිනෙදා අවශ්‍යතා සියල්ලටම වගේ උදව් කළේ ඒ යාළුවෝයි. සනුරි අක්කා කියන්නේ උසස් පෙළ පන්තියේ ඉඳන්ම අක්කාගේ හොඳම යාළුවෙක්. සනුරි අක්කත් අක්කා වගේම විශ්වවිද්‍යාලයට තේරුණා. ඒ නිසා විශ්වවිද්‍යාලයට යන කාලය ගැන අපේ හිතේ ලොකු බයක් තිබුණේ නැහැ. අක්කා තනිවෙන්නේ නැහැ කියන විශ්වාසය අපට තිබුණා. සනුරි අක්කා විතරක් නෙමෙයි, තාරිකා අක්කා සහ පියුමි අක්කාත් අපේ අක්කාට ගොඩක් උදව් කළා. එයාලා අක්කාගේ මිතුරන් විතරක් නොවෙයි, අක්කාට අවශ්‍ය හැම වෙලාවකම ළඟින් සිටි ආදරණීය සහෝදරියන් පිරිසක් වුණා. ඒ හැමෝගෙම ආදරය සහ සහයෝගය නිසා අක්කාට විශ්වවිද්‍යාල ජීවිතය සතුටින් ගත කරන්න හැකි වුණා.”
තම සහෝදරියගේ ජයග්‍රහණය ගැන නැඟණිය පැවසුවේ එලෙසය.
“ලැබූ ජයග්‍රහණය ගැන අද මොකද හිතෙන්නේ?” යනුවෙන් අප තරුෂාගෙන් විමසූ පැනයට ඇය ලබාදුන්නේ අපූරු පිළිතුරකි.
“මට හරිම සතුටුයි. ඉදිරියේදී මගේම ව්‍යාපාරයක් කරගන්නත්, කවුන්සලින් කරන්නත් මම කැමතියි.”
අද වන විට තරුෂාගේ නැඟණියද විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන සිසුවියකි. ඇයගේ අධ්‍යාපනික ගමනට දිරි දෙමින් විශ්වවිද්‍යාලයට පිවිසීමට වැඩිම උනන්දුවක් දක්වූයේද තරුෂාය. සිය නැඟණියගේ අනාගතය පිළිබඳව ඇය තුළ ඇත්තේ විශාල බලාපොරොත්තුවකි.
පවුලේ කටයුතුවලදී පවා මවුපියන්ට උපදෙස් දෙමින් නිවැරදි තීරණ ගැනීමට මඟ පෙන්වන්නේ බොහෝ විට තරුෂාය. සෑම දෙයක්ම දුරදිග සිතා බලා කටයුතු කරන ඇය පවුලේ සියලු දෙනාගේ ආදරය මෙන්ම විශ්වාසයද දිනාගත් බුද්ධිමත් දියණියකි.
අද ඇය උපාධිධාරිනියකි. තමන්ගේම ව්‍යාපාරයක් ගොඩනඟාගත් තරුණියකි. තවත් බොහෝ සිහින හදවතේ තබාගෙන හෙට දවස දෙස බලා සිටින දිරිය දියණියකි. ඇයගේ කතාව අවසන් වන්නේ උපාධි සහතිකය අතට ගත් තැනින් නොවේ. සැබෑවටම එය තවත් අලුත් ගමනක ආරම්භයකි.
දිශානි ජයමාලි කරුණාරත්න

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd