IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


පෙළපොත තුළ තිබී හමුවූ රුපියල් විසිදාහ ආපසු දුන් දියණියගේ පිනෙන් පියාගේ දෑස් පෑදෙයි

 

 

 තමන්ට පාසලෙන් ලැබුණු පෙළ පොතක තිබූ අන්සතු මුදලක් අවංක චේතනාවෙන් ආපසු ලබා දුන් රත්තරන් දියණියකගේ පිනෙන් වසර එකොළහකට ආසන්න කාලයක් දෑස් නොපෙනී සිටි පියාට පසුගිය සතියේදී යළි පෙනුම ලැබුණි.   


ඔහු වසර එකොළහකට පසුව තම ආදරණීය දියණියන් දෙදෙනාගේ සහ ආදරණීය බිරිඳගේ මුහුණු පැහැදිලිවම දැක ගත්තේය.   


 මෙයද තවත් අපූරු කතා පුවතකි. සානුකම්පිත මිනිසුන් පිළිබඳව කියැවෙන කතාවකි.   


 මේ මහඟු‍ පිංකමට මඟ පෑදුනේ මේ අපූරු දියණිය පිළිබඳව පසුගිය පෙබරවාරි මස 7 වැනි දින “ඉරිදා ලංකාදීප”‍ පුවත්පතේ පළ කළ පුවතක් මූලික කර ගනිමින්ය. 

 
 ඉබ්බාගමුව ආදර්ශ මහා විදුහලේ හත්වැනි වසරේ ඉගෙනුම ලබන දීප්ති සුභාෂිණි දියණිය තම අවංකකමෙන් මුළු රටටම අපූරු පාඩමක් කියා දුන්නාය. ඒ කතාව මුළු රටටම මුලින්ම කීවේ ඉරිදා ලංකාදීපයයි. තමන්ට මේ වසර සඳහා පාසලෙන් ලැබුණු පෙළ පොතක පිටු අතරේ තිබී හමුවූ රුපියල් පන්දහසේ මුදල් නෝට්ටු හතරක් නැතිනම් රුපියල් විසිදහසක් වූ විශාල මුදලක් සුභාෂිණි දියණිය ඒ මොහොතේම තම පන්ති බාර ගුරුතුමිය වෙත නොපැකිලව බාර දුන්නේ තම අවංකත්වය කියා පාමින්ය.   


හදිසි අනතුරකින් දෙනෙත් අඳව සිය පවුලම අසරණභාවයට පත්ව එක් වේලකින් බඩගින්න නිවා ගනිමින් කුසගින්නේ අධ්‍යාපනය ලබමින් සිටි මේ දියණිය වටිනා මුදල් නෝට්ටු හමුවේ තම කුසගින්න පාවා නොදීමට තරම් අවංක දැරියක් වූවාය.   


මේ දියණියගේ අවංකත්වය ඉරිදා ලංකාදීපයෙන් මුළු රටම දැනගැනීමෙන් පසුව ඇය රටටම ලබා දුන් අවංකත්වයේ පාඩමෙන් අද ඇයගේ මුළු පවුලටම වාසනාව උදාකරදී ඇත. මේ පුවත දැනගත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කටුමැටි ගැසූ කුඩා පැලක ජීවත්වූ සුභාෂිණි දියණියට සහ ඇගේ පවුලේ සාමාජිකයන් හට අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් අනුව නිවාස රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ මෙහෙයවීමෙන් නිවාස සංවර්ධන අධිකාරිය විසින් නව නිවසක් ඉදිකර දීමට මේවනවිට පියවර ගෙන ඇත. ඒ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් අනුව ක්‍රියාත්මක අඩු ආදායම්ලාභි නිවාස ව්‍යාපෘතිය යටතේය.   


ඉතා හොඳින් දෑස් පෙනී දෑතේ මහන්සියෙන් පවුල සුරැකි සුභාෂිණි දියණියගේ පියා වන අජිත් වසන්ත මහතාගේ (50) දෑසම මීට වසර එකොළහකට පෙර සීයට අනූවකටත් වඩා නොපෙනී ගියේ ගසක් කැපීමට ගිය අවස්ථාවකදී එම ගසෙන් වෑහුණු කිරි ඇසට වැටීමෙන්ය. ඉන් පසුව අඳ පුද්ගලයෙකු බවට පත්වූ ඔහුට කණ වැල ඇල්ලු‍වේ බිරිඳ සහ දියණියන් දෙදෙනාය. බිරිඳ කියා දුන් ගීත බස් රථ වලට නැඟ ගයා ලැබෙන සොච්චම් මුදලින් ඔහු ඉතා අසීරුවෙන් තම දරු පවුල රැක්කේය. කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ඔහුට එම රැකියාවද අහිමි විය. ඉන් පසුව ඔවුන් ජීවිතය ගෙවුවේ දහසකුත් එකක් අසීරුතා මධ්‍යයේය.   
ඉරිදා ලංකාදීපයෙන් මේ කණගාටුදායක කතාව දැකගත් අයිඩීඑච් උණ රෝහලේ සාමාන්‍යාධිකාරි වෛද්‍ය ධනපාල මහතා තම මුදලින් රුපියල් ලක්ෂ 20 කට අධික මුදලක් වැය කරවා කරවන ලද සැත්කමකින් සුභාෂිණිගේ දෙනෙත් අඳ පියාට මේවනවිට නැවත පෙනීම ලබාදී ඇත. මේ මහඟු‍ පුණ්‍ය කටයුත්තට දායක වෙමින් ඔහුගේ අක්ෂි සැත්කම කර ඇත්තේ බදුල්ල මහ රෝහලේ විශේෂඥ අක්ෂි වෛද්‍ය චාමර මහතාය.   
පසුගිය සතියේ කරන ලද මේ සාර්ථක සැත්කමෙන් වසර එකොළහකට පසුව තම ආදරණීය දරුවන්ගේ බිරිඳගේ මුහුණු නිරෝගිමත් දෑසකින් දකින්නට තරම් වසන්ත මහතා වාසනාවන්තයකු විය. නොපෙනී ගිය දෑසේ පෙනුම සීයට අසූවකටත් වඩා ආපසු ලබා දීමට මේ සඳහා දායක වූ උතුම් වෛද්‍යවරුන් සමත්ව ඇත. ඔහුට ඒ අපූරු වරම ලැබුණේ තම අවංක දියණිය නිසාය. අවංකත්වය නිසාම රටක් දිනාගත් මේ දියණිය අවසානයේදී ඒ ක්‍රියාවෙන් තම පියාගේ දෑසද පාදා දුන් වාසනාවත්ත දරුවෙකු වූවාය. ස්වභාව ධර්මයාද යහපත් දේට උදව් කරන බව මෙම සිදුවීම්වලින් මනාව පැහැදිලි වේ.   


තම පාසලේ අධ්‍යාපනය ලබන සුභාෂිණි දියණිය කරන ලද මෙම ක්‍රියාව අගයමින් ඉබ්බාගමුව ආදර්ශ මහා විද්‍යාලයේ විදුහල්පතිනි කාන්ති රුකුණායක, නියෝජ්‍ය විදුහල්පති සරත් මුණසිංහ සහ සුභාෂිණිගේ පන්ති බාර ගුරුතුමිය වූ ෂකිලා මධූෂානී මහත්ම මහත්මීන් මේ කතාව ඉරිදා ලංකාදීපයට නොකීවානම් සුභාෂිණිගේ පියා ඉතිරි ජීවිත කාලයම අඳුරේ ගෙවීමට ඉඩ තිබුණි. මේ කතාව කියවූ රට පුරා සිටින ලංකාදීප පාඨකයන් ඉතා විශාල පිරිසක් සුභාෂිණි දියණියටත් ඇගේ පවුලටත් විවිධාකාරයෙන් උදවු උපකාර කීරීමට ඉදිරිපත් වූහ.   
මේ පිරිසට අමතරව ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වත්මන් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුමිත් උඩුකුඹුර මහතා ඔවුන්ගේ නිවස ඉදිකර දීම සඳහාද දායකවී සිටින අතර දෑස් පෙනීම ලද සුභාෂිණිගේ පියාට ලොතරැයි ටිකට්පත් අලෙවි කර ආදායමක් ඉපැයීමට ඉබ්බාගමුව නගරයේ ලොතරැයි අලෙවි කුටියක් ලබා දීමට පියවර ගෙන ඇත.

 

   
මීට අමතරව වසන්ත මහතාගේ අසරණ තත්ත්වය තේරුම් ගෙන ඔවුන්ට වාසස්ථානයක් ඉදිකර ගැනීමට තම ඉඩමකින් නොමසුරුව පර්චස් ගණනාවක්ම පරිත්‍යාග කළ වඩුපොළ එස්.බී. පියසේන මහතාට මෙන්ම නිවස ඉදිකිරීම සඳහා සහාය ලබා දෙමින් සිටින ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් වසන්තා වර්ණකුලසූරිය, වඩුපොළ ග්‍රාම නිලධාරි සුජාතා අමරසේකර, වයඹ පළාත් හිටපු සභා මන්ත්‍රී රණවිරු හේරත් මහත්ම මහත්මීන්ට මෙන්ම තම අසරණභාවය රටටම කියූ ඉරිදා ලංකාදීප පුවත්පතටද ඔවුහු තම ස්තුතිය පුද කළහ.   


ඉදිවෙමින් පවතින නිවස මෙම මස 25 වැනිදා අංග සම්පූර්ණ කර ගෙවැදීමට නියමිතය. ඔවුන් දැනට වෙසෙන කුඩා පැලේ කිසිදු ගෘහ භාණ්ඩයක් නැත. එබැවින් මේ අවංක පවුලට ලැබෙන නව නිවසට ගෘහ භාණ්ඩ ලබා දීමටද පරිත්‍යාගශීලින් හට ආරාධනය කරමු. කිසි දිනෙක රූපවාහිනියක් පරිහරණය කර නැති සුභාෂිණි සහ නැගණිය තම නිවසට රූපවාහිනියක් ලැබෙතැයි ඉතා ආසාවෙන් බලා හිඳිති. 

 
සුභාෂිණි දියණිය තම අවංකත්වය ගැන කියා දුන් පාඩම රටේ අනෙක් දරුවන්ටද පාඩමකි. ඒ අවංකත්වය නිසාම අද ඇයටත් ඇගේ පවුලටත් නොසිතූ වාසනාවක් උදාවී තිබේ. ඇගේ ඒ කතාව රටට කියමින් දෑසක් පෑදීමට ඉදිරිපත් වූ ඉරිදා ලංකාදීපයේ අපටද ඒ පිළිබඳව ඇත්තේ නිහතමානී සතුටකි.   

 

පුෂ්පකුමාර ජයරත්න සහ කුරුණෑගල අධිකරණ අනුර ජයන්ත 

 

 



අදහස් (0)

පෙළපොත තුළ තිබී හමුවූ රුපියල් විසිදාහ ආපසු දුන් දියණියගේ පිනෙන් පියාගේ දෑස් පෑදෙයි

ඔබේ අදහස් එවන්න

නිම්තෙර

හැම ඊර්ෂ්‍යාවකටම වඩා ලිංගික ඊර්ෂ්‍යාව භයානකයි
2024 අප්‍රේල් මස 02 228 0

“දිනක් බන්ධනාගාර භාරයේ සිට උපදේශනය සඳහා පැමිණි වයස අවුරුදු 50 පසුවෙන පමණ කාන්තාවක් හඬා වැටෙමින් පැවැසුවේ තම සැමියාට අනියම් සම්බන්ධයන් තිබුණාදැයි සැක


පනස් වසරකට පසු පෙරභවය සොයා යයි
2021 මැයි මස 01 16160 0

පෙරභවය හෙළි කළ දරුවන් මගින් අපූරු තොරතුරු වරින්වර අසන්නට ලැබේ. ඒ අතරින් අතිශය අසිරිමත් සිදුවීමක් පසුගිය දිනෙක සිදුවිය. එම පුනර්භව සාධකයට හේතු වූයේ මීට


රටින් ගෙනා ලක්ෂ විස්සක සුනඛ ජෝඩුව අභිජනනයට සූදානම්
2021 මැයි මස 01 7905 0

මිනිසාගේ පැරණිතම මිතුරෙකු වශයෙන් සැලකෙන සුනඛයා වත්මන් යුගය වන විට නිවෙසේ ආරක්ෂකයෙකු සේම සුරතලෙකු වශයෙන්ද ආරක්ෂක අංශවලට සම්බන්ධ වී විවිධ අපරාධ පුපුර


වතුකම්කරු මද්දට ලිවෙන කඳුකර කොටියා
2021 අප්‍රේල් මස 24 2791 0

මදු හා උඟුල් අටවා වන සතුන් දඩයම් කර ගැනීමට මෙරට බහුලව සිදුවෙන ක්‍රියාදාමකි. මෙරට බොහෝ වනාන්තර ආශ්‍රිතව වන සතුන් දඩයම් කර ගැනීම ඉලක්ක කර ගනිමින් මෙසේ මද


කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන්ට පිහිටක්
2021 අප්‍රේල් මස 03 5239 0

සන්නිවේදන පහසුකම් නැති කුප්පි ලාම්පුවෙන් එළිය දකින මහ කැලේ මැද කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන් හමුවීමට පසුගියදා මහනුවර මහ දිසාපති චන්දන තෙන්නකෝන් මහතා


බක්මහ අකුණු සෑදෙන්නේ මෙහෙමයි
2021 මාර්තු මස 27 3944 0

සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි අප්‍රේල්, මැයි මාසවල පතිත වන වර්ෂා සහිත කාලගුණයට බක්මහ අකුණු යයි කියමු. එම කාලයේදී පතිත වන අධික වර්ෂාපතනයත් සමග විදුලි කෙටීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 354 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1746 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1577 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site