IMG-LOGO

2024 අප්‍රේල් මස 29 වන සඳුදා


කෑම නැතිව මැරෙන රජරට ගවයෝ

පාර අසබඩ තණ බුදින ගවයන් 

 

 

පදවිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මී ගවයින් 12,000කට අධික ප්‍රමාණයක් සිටින අතර වී වගාව හැර ජනතාවගේ දෙවැනි ජීවනෝපාය මාර්ගය වන්නේ කිරි ගව පාලනයයි. 


වර්ෂා කාලය හැර අනිකුත් මාසවල පමණක් මාසිකව රුපියල් ලක්‍ෂ 210ක් පමණ කිරිවලින් පමණක් ලබාගන්නා අතර මස් පිණිස විකිණීමෙන් ද මාසිකව රුපියල් ලක්‍ෂ 25ක් ඇතුළුව පදවියේ ගවයින්ගෙන් මාසිකව ලක්‍ෂ 235ක පමණ ආදායමක් ලබන බව පදවිය සත්ව නිෂ්පාදකයින්ගේ සමිතියේ එච්.කේ. කුසුම්සිරි මහතා අනාවරණය කළේය.


එහෙව් සුවිශාල මෙහෙවරක් කරන ගවයන් වෙනුවෙන් උන්ට ආහාර ලබාගැනීමට තෘණ භූමි වෙන් නොකිරීමටත් තාවකාලිකව වෙන්කර ඇති තෘණ භූමියේ ද ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ ආශිර්වාද මැද අනවසරයන් මෙම මාස කන්නයේ දී වී වගාකර ඇති බව ද ගව හිමියෝ පවසති.


පදවිය ව්‍යාපාරය අභ්‍යන්තරයේ ඇති කුඩා වැව් පමණක් නොව එකී වැව්වල ජල පෝෂක ඉඩම්වල ද වගාකර ඇති බව මෙම කන්නයේදී මනාව පෙනී යන බව ගව හිමියෝ පවසති. 
එවැනි අනවසර වගාකිරීම් නිසා තම ගවයන්ට කුසගින්නේ මියැදීමට සිදුවූ බව ද ඔවුහු පවසති. 


මේ පිළිබඳව තවදුරටත් අදහස් දැක්වූ පදවිය සත්ව නිෂ්පාදකයන්ගේ සමිතියේ සභාපතිවරයා මෙසේ ද කීය. 


“අපි 2020 ඔක්තෝබර් 28 වැනිදා මේ අනවසර වගා සම්බන්ධව වගකිව යුතු නිලධාරීන් ලිඛිතව දැනුම්වත් කළා. නමුත් එයට කඩිනම් පිළිතුරු නැහැ. එදා නිසි ප්‍රතිචාර දැක්වූයේ නම් මෙවැනි දෙයක් වීම අවම කරගන්න තිබුණා. වැලිඔය මහවැලි නේවාසික ව්‍යාපාර කාර්යාලය, පදවිය ගොවිජන සේවා කාර්යාලය, ඇතැම් ග්‍රාම නිලධාරීවරුන් හා පදවිය ප්‍රාදේශීය ලේකම්වරයාත් මේකට වගකිව යුතුයි. දේශපාලන අධිකාරියටත් මේ බව දන්වා තිබියදී කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. මියගිය ගවයන් ගණන 640කට වැඩියි. ආහාර නැතුව මැරුණු ගවයන්ගේ සාමාන්‍ය වටිනාකම රුපියල් දෙකෝටියට වැඩියි. මේ අලාබය කවුරුත් දෙන්නේ නැහැ. ඒ නිසයි අපි කියන්නේ රාජ්‍ය නිලධාරීන්ට හා දේශපාලන අධිකාරියට පදවියේ ගවයන් වෙනුවෙන් තෘණ භූමියක් ස්ථිරවම වෙන් කරදීමට කටයුතු කරන්න කියලා. මහවැලිය කියන විදිහට අපට කටයුතු කරන්න බැහැ. මහවැලිය අපේ ප්‍රශ්නය මගහැර කටයුතු කරනවා.” 

 

ආහාර නොමැතිව ලෙඩ වී මිය යාමට ආසන්න ගවයෙක් 

 

 


පදවියේ විශාල ගවපට්ටි හිමියකු වන ඩී 10 මෛත්‍රීපුර පදිංචි ඩී.එම්. සිරිවර්ධන මහතා මෙසේ කීය. 
“එළ ගවයින් 110ක් හිටපු මගේ ගව පට්ටියේ කන්න නැතුව ගවයින් 45ක් මේ වනවිට මියගිහිල්ලා තියෙනවා. තවත් පණ අදින හරක් ඉන්නවා. මේ හරක් 45ම මැරුණේ මාසයක් තුළදීයි. මේ නිසා මට රුපියල් ලක්‍ෂ 18කට වැඩි පාඩුවක් වුණා. මේවාට වගකියන්නේ වන්දි ගෙවන්නේ කවුද? 
මම වැඳලා කියන්නම් රජයේ වගකිව යුතු නිලධාරීන්ට රටේ කිරි නිෂ්පාදනය වැඩි කරන්න රාජකාරි කරන්න. කිරි ගොවියාට එය එපා කරවන්න කටයුතු කරන්න එපා. අපිට තෘණ පිටිය නීත්‍යනුකූල කරලා දෙන්න. ගවයන්ට තණ කැපීමට සුදුසු පරිදි සකසා ගන්න ඉඩ දෙන්න. ඒ මහා පින්කමට රජයේ වගකිව යුතු නිලධාරීන් මෙන්ම දේශපාලන අධිකාරියත් හවුල් වෙන්න කියලා මම නැවතත් දෙපා නමදිනවා.”


පදවිය බුද්ධංගල පදිංචි මහින්දසිරි රාජපක්‍ෂ මහතා ගවයින් 70ක් පමණ අඳයට බලන, දරු දෙදෙනකුගේ පියෙකි. ඔහු අපට කී කතාවයි මේ.
“මම, බිරිඳ සහ දරු දෙදෙනා ජීවත්වන්නේ අඳේට හරක් බලලා. මම හරක් 70ක් විතර රැකබලා ගන්නවා. මේ සැරේ හරිහැටි කන්න දෙන්න ඉඩකඩ නැති නිසා මම රැකබලාගත් ගවයන් 32ක් මැරුණා. ඒ අතර කිරි එළදෙනුන් 10ක්. තවත් මැරෙන්න ආසන්න ගවයන් ඉන්නවා.


අපිට කන්න දුන්න ගවයන් හාමතේ මියැදුණු එක හරිම ශෝකයක්. අපි මේවා නිලධාරීන්ට කීවා, එයාලා ගණන් ගත්තේ නැහැ. රජයේ ඉඩම්වල අනවසරයෙන් වගා නොකළා නම් අද අපට මෙවැනි තත්ත්වයක් වෙන්නේ නැහැ.


අපිට පදවිය වැවේ වාන් ඇළෙන් එහා අක්කර 500ක් පෙන්නුවා. ඒක ඇතුළෙත් මේ සැරේ අහස් දියෙන් අක්කර ගාණක් වී වගා කරලා.
මහවැලි නිලධාරීන් වී වගාවට මුල්තැන දෙනවා මිස කිරි ගව පාලනයට කුඩම්මාගෙ සැලකිලියි දක්වන්නේ. ඉදිරියේදීවත් මේ තෘණ භූමිය නීත්‍යනුකූලව අපට ලබාදෙන්න කියලයි ඉල්ලා සිටින්නේ.” 


පදවිය 40 කොලනියේ එන්.පී. බුද්ධික පුෂ්පකුමාර ගොවි මහතා මෙසේ කීය.
“මගේ එළ හරක් 80න් 33ක් මැරුණේ මේ සැරේ වැහි කාලෙට තණ කොළ කන්න තැනක් නැති නිසා. දහතුන් ලක්‍ෂයට වැඩිය මුදල්මය වශයෙන් පාඩු වුණා. ඊට අමතරව ගැබ්ගෙන සිටි එළදෙනුන් කීදෙනෙක් ගබ්සා වුණා ද? එහි පාඩුව කොච්චර ද? මේවා කාට ද කියන්නේ? කාගෙන්ද වන්දි ඉල්ලන්නේ? කවුද දෙන්නේ? 
රජයේ ඉඩම් කුඩා වැව් තාවුලු, ඇළ තාවුලු සියල්ල නීති විරෝධීව වගා කළා. ඒ පිළිබඳව නිලධාරීන්ට කිව්වත් ශත පහකටවත් ගණන් ගත්තේ නැහැ. 
පදවිය වැවේ වාන් වතුර ගලායන මා ඔයෙන් එපිට තණබිම් තීරුව අපේ ඉල්ලීමට අනුව උතුරුමැද පළාත් සභාවේ හිටපු කෘෂිකර්ම ඇමැති වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.එච්. නන්දසේන මහතා විසින් ඒ තෘණ භූමිය අපට ලබාගැනීමට කටයුතු කළා. නමුත් නිලධාරීන්ගේ නොසැලකිල්ලෙන් එය හරිහැටි ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ බිම් ප්‍රදේශයට විවිධ පිරිස් ඇතුළු වී අනවසරයෙන් වගා කරනවා.
නන්දසේන මහත්තයා දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති. එතුමාට දැන් බලය තියෙනවා එය විසඳලා දෙන්න. ජාතික කිරි නිෂ්පාදනයට අපෙනුත් කිරි ලීටර් 8000ක් පමණ දෛනිකව එකතු වෙනවා. මේ තත්ත්වය තවත් ඉහළ දැමිය හැකියි.”
පදවිය බුද්ධංගල සත්ව නිෂ්පාදකයින්ගේ සමිති ශාඛාවේ සභාපති ඩී. ලසන්ත මහතා මෙසේ කියයි. 
“පදවිය ජනතාවගේ ප්‍රධානතම ජීවනෝපාය මාර්ගයක් වන කිරි ගව පාලනය තව තවත් ඉහළ නැංවීම සඳහා 2002 සිටම තෘණ භූමියක් ඉල්ලා තිබෙනවා. එදා යුද කාලයේ සිටම පදවියේ විශාල ගව පට්ටි හිමියන් තම ගවයන්ට තෘණ කැවීම සඳහා යොදා ගත්තේ පදවිය වැවේ පිටාර ජලය බැසයන මා ඔය ආරම්භයේ සිට වැලිඔය යුද හමුදා කඳවුර ආසන්නය දක්වා කිලෝ මීටර් 15ක් පමණ දිග මා ඔයේ සිට කිලෝමීටරයක් පමණ පළල වූ බිම් තීරයයි. මෙම බිම් තීරුව ගවයන්ට ඉතාමත් හිතකර වන්නේ නියං කාලයේ ද මා ඔයේ ජලය පවතින නිසයි. මේ බිම් තීරුවේ අක්කර40,000ක් පමණ තියෙනවා. 
මෙම බිම් තීරුව පදවිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ තිබුණ ද ඉඩම් අයිතිය ඇත්තේ වැලිඔය මහවැලි එල් කලාපයටයි. ඒ නිසා අපිට ගැටලු රාශියකට මුහුණ දෙන්න වෙලා තියෙනවා. 
උතුරුමැද පළාත් සභාවේ කෘෂිකර්ම හා පශු සම්පත් ඇමැතිවරයා ලෙස හිටියේ පදවියේ පදිංචිව සිටි වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.එච්. නන්දසේන මහත්තයායි. පළාත් ඇමැතිවරයා ලෙස සිටියදී එතුමා මෙම බිම් තීරුව ගවයින්ට සුදුසු තෘණ භූමියක් ලෙස හඳුනා ගත්තා. 
ඒ අනවු මෙම බිම් තීරුවේ කිසිදු ඉඩම් බලපත්‍රයක් හෝ ඉදිකිරීමක් කර නොමැති බැවින් යුද්ධය අවසන් වූ වහාම තෘණ භූමියක් ලෙස ලබාදෙන බව එවකට සිටි ප්‍රාදේශීය ලේකම්වරු අපට ලිඛිතව දැන්වූවා. නමුත් අද තත්ත්වය හරිම කනගාටුදායකයි. ඒ නිසාම තමයි මේ මාස් කන්නයේදී අපව පෝෂණීය කළ අපේ ගවයින් 700ක් පමණ බඩගින්නේ මිය ගියේ.


තෘණ බිමක් ලෙස හඳුනාගත් බිම් තීරුවේ මේ වනවිට සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් වී වගා කරනවා. ඒ ප්‍රදේශය ඉස්සර අපේ ගවයින්ට තණ කැවූ භූමියයි. ඒ වගේම පදවිය ගොවි ජනපදයේ කුඹුරු ඉඩම් ඇති ඇතැම් ගොවි මුදලාලිලා අක්කර ගණන් මේ සැරේ වී වගා කරලා. ඒ අයට රජයේ නිලධාරීන්ගේ ආශිර්වාදය ලැබී තිබෙනවා. පදවිය පරාක්‍රමපුර ගොවිජන සේවා මධ්‍යස්ථානයේ මේ අය ගොවි සංවිධානත් ලියාපදිංචි කරලා කියලා ආරංචියක් තියෙනවා. යෝජිත තෘණ භූමිය තුළ මේවා කරන්න රජයේ නිලධාරීන් උදව් කරනවා. නමුත් අපේ ගවයින්ට තණ කවන්න එහි ඇති කටු පඳුරු කපන්නවත් අපිට අවසරය දෙන්නේ නැහැ. 
අපි ඉල්ලන්නේ අපිට වෙන වෙනම ඉඩම් කැබැලි එපා, පොදු වශයෙන් අපට තෘණ භූමියක් වෙන් කරලා දෙන්න කියලයි.”
පදවිය ගොවිජන සේවා නව ප්‍රාදේශීය නිලධාරිනී දර්ශිකා සෙනෙවිරත්න මහත්මියගෙන් මේ පිළිබඳව විමසූ විට ඕ මෙසේ කීවාය. 
“කුඩා වැව්වල රක්ෂිත වගා කරනවා කියලා මට තොරතුරක් ආවේ බුද්ධංගල කුඩා වැව සම්බන්ධයෙන් විතරයි. ඒ වැව් රක්ෂිතයේ වී වගා කිරීමට සී සාලා තිබුණේ භික්ෂූන්වහන්සේ නමක්. ඒ වගාව නතර කරන්න කියලා මා උපදෙස් දුන්නා. එවිට භික්ෂූන්වහන්සේ කීවේ දැනට වී ඉහලා තියෙන්නේ, ආයේ මොකුත් කරන්නේ නැහැ කියලයි. ලබන වසරේ වගා කරන්නේ නැහැ කියලත් කිව්වා.


පදවියේ වෙනත් කුඩා වැව් ආශ්‍රිත රක්‍ෂිත ඉඩම්වල අනවසර වගා සම්බන්ධයෙන් වාර්තා වෙන්නේ නෑ.” 


 වැලිඔය මහවැලි එල් කලාප නේවාසික ව්‍යාපාර කළමනාකාර ආර්.එම්.කේ.ඩී. රන්දෙණිය මහතාගෙන් පදවියේ ගව හිමියන් ඉල්ලනු ලබන තෘණ භූමිය හා මියගිය ගවයින් සම්බන්ධයෙන් කළ විමසුමකදී මෙසේ කීය. 


“පදවියේ ගව හිමියන්ගේ ගවයින් මැරුණේ තණකොළ කන්න නැතුව නොවෙයි. වැසි කාලයේ වෙනත් රෝගයක් හැදිලායි මැරුණේ. මහවැලියේ අපි කිරි ගව පාලනයට ඉඩම් දෙන්නේ ඒ ඒ ගවයන් සංඛ්‍යාව අනුවයි. ගව හිමියන්ට වෙන වෙනම ඉඩම් දෙනවා මිස පොදුවේ ඉඩම් දෙන්නේ නැහැ. කිරි ගව පාලනය සංවර්ධනයට අපි සහයෝගය දෙනවා. ඉදිරියේදී ගව හිමියන් හඳුනාගෙන ගවයින් ප්‍රමාණය අනුව ඉඩම් ප්‍රමාණයක් ලබාදෙනවා.” 


මහවැලියට අයිති යෝජිත තෘණ භූමිය තුළ අනවසර වගා කර තිබේදැයි ඇසූ පැනයට කළමනාකාරවරයා පැවැසුවේ ඒ ගැන සොයා බලන බවයි. කම්බිලියා වැව පාලම අසල සිවිල් ආරක්‍ෂක භටයින් විසින් වගා කරන ඉඩම් නීත්‍යනුකූලව ලබා දී තිබේ දැයි ඇසූ පැනයට ද කළමනාකාරවරයාගේ පිළිතුර වූයේ ඒ ගැන ද සොයා බලන බවයි. 
පදවියේ ගවයන් ආහාර නොමැතිව මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අප පදවිය ප්‍රාදේශීය ලේකම් ජේ. රලියුදීන් මහතාගෙන් විමසීමේදී මෙසේ කීය.
“දැනට මම මෙම තෘණ භූමි සම්බන්ධයෙන් දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවටත් ඉදිරිපත් කර තිබෙනවා. කුඩා වැව් ආශ්‍රිත රක්ෂිත ඉඩම්වල වගා කිරීම සම්බන්ධව ගොවිජන සේවා කාර්යාලය කටයුතු කළ යුතුයි. රජයේ නිලධාරියෙක් හැටියට මා හට ගත හැකි ක්‍රියාමාර්ග ගත්තා. වෙනත් අනවසර වගා කිරීම් සම්බන්ධව මට වාර්තා වුණේ නැහැ. වාර්තා වුණා නම් මා දැඩි පියවර ගන්නවා.”


ආහාර නැතුව ගවයින් 700කට ආසන්න පිරිසක් මියගියේ යැයි කියන සිද්ධිය සම්බන්ධව පදවිය පශු වෛද්‍ය නිලධාරි කේ.එච්.එම්.පී. බන්දුසිරි මහතාගෙන් තොරතුරු විමසීමේදී මෙසේ කීය.


“පදවියේ ගවයන් ආහාර නැතුව මිය යාම සම්බන්ධයෙන් ‘ලංකාදීප’ පුවත්පතේ පළවූ පුවතට අනුව පශු වෛද්‍යවරුන් කණ්ඩායමක් පැමිණ මියගිය ගවයින්ගේ පශ්චාත් මරණ පරීක්ෂණයක් කළා. එහිදී තහවුරු වී තිබෙන්නේ පෝෂණ ඌණතා ඒ කියන්නේ මන්දපෝෂණය නිසා ගවයින් මියගොස් ඇති බවයි. මේ පිළිබඳව වගකිව යුතු අංශ දැනුම්වත් කර තිබෙනවා.


මාසයකට ලක්‍ෂ 235ක් විතර මුදල් ගලා එන මෙම ගව පාලනය තව තවත් දියුණු කරන්න නම් පොදු තෘණ භූමියක් තිබිය යුතුමයි.” 
උතුරුමැද පළාත් සභාවේ හිටපු ඇමැති, වත්මන් අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති කේ.එච්. නන්දසේන මහතාගෙන් විමසූ විට මෙසේ කීවේය. 


“මමත් පදවියේ නිසා මම දන්නවා වී වගාව හැර ඊළඟට ජනතාව ජීවත් වෙන්නේ කිරි ගව පාලනයෙන්. මේ සැරේ තණකොළ කන්න නැති නිසාම විශාල ගවයින් ප්‍රමාණයක් මැරුණු බව දැනගත්තායින් පසු මමත් දුක්වුණා. 
මේ ජනතාව කියන තෘණ භූමිය වෙන්කර දෙන්න මම කටයුතු කළා. යුද්ධයත් සමඟ එය පමා වුණා. පදවියේ ගවයින්ට තෘණ පිටියක් අවශ්‍යමයි. එය ලබාගන්න කටයුතු කරනවා.
පදවියේ කිරි ගව හිමියන් ඉල්ලන්නේ පොදු තෘණ භූමියක්. ඔය යෝජිත තෘණ භූමි ප්‍රදේශයේ අපේ පැරැන්නන් පවා හරකුන්ට කන්න දුන්නා. ගොවිතැන් කළා. යුද්ධ කාලයේදීත් හරක් බලන්න ගිය අපේ ජනතාව කොටින්ට බිලිවුණා. ඒ නිසා මම මේ ගැන විශේෂත්වයක් කොට කටයුතු කරනවා.”

 

 

 

සටහන හා ඡායාරූප 
පදවිය පියදාස සමරවීර

 



අදහස් (0)

කෑම නැතිව මැරෙන රජරට ගවයෝ

ඔබේ අදහස් එවන්න

නිම්තෙර

හැම ඊර්ෂ්‍යාවකටම වඩා ලිංගික ඊර්ෂ්‍යාව භයානකයි
2024 අප්‍රේල් මස 02 239 0

“දිනක් බන්ධනාගාර භාරයේ සිට උපදේශනය සඳහා පැමිණි වයස අවුරුදු 50 පසුවෙන පමණ කාන්තාවක් හඬා වැටෙමින් පැවැසුවේ තම සැමියාට අනියම් සම්බන්ධයන් තිබුණාදැයි සැක


පනස් වසරකට පසු පෙරභවය සොයා යයි
2021 මැයි මස 01 16160 0

පෙරභවය හෙළි කළ දරුවන් මගින් අපූරු තොරතුරු වරින්වර අසන්නට ලැබේ. ඒ අතරින් අතිශය අසිරිමත් සිදුවීමක් පසුගිය දිනෙක සිදුවිය. එම පුනර්භව සාධකයට හේතු වූයේ මීට


රටින් ගෙනා ලක්ෂ විස්සක සුනඛ ජෝඩුව අභිජනනයට සූදානම්
2021 මැයි මස 01 7906 0

මිනිසාගේ පැරණිතම මිතුරෙකු වශයෙන් සැලකෙන සුනඛයා වත්මන් යුගය වන විට නිවෙසේ ආරක්ෂකයෙකු සේම සුරතලෙකු වශයෙන්ද ආරක්ෂක අංශවලට සම්බන්ධ වී විවිධ අපරාධ පුපුර


වතුකම්කරු මද්දට ලිවෙන කඳුකර කොටියා
2021 අප්‍රේල් මස 24 2796 0

මදු හා උඟුල් අටවා වන සතුන් දඩයම් කර ගැනීමට මෙරට බහුලව සිදුවෙන ක්‍රියාදාමකි. මෙරට බොහෝ වනාන්තර ආශ්‍රිතව වන සතුන් දඩයම් කර ගැනීම ඉලක්ක කර ගනිමින් මෙසේ මද


කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන්ට පිහිටක්
2021 අප්‍රේල් මස 03 5239 0

සන්නිවේදන පහසුකම් නැති කුප්පි ලාම්පුවෙන් එළිය දකින මහ කැලේ මැද කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන් හමුවීමට පසුගියදා මහනුවර මහ දිසාපති චන්දන තෙන්නකෝන් මහතා


බක්මහ අකුණු සෑදෙන්නේ මෙහෙමයි
2021 මාර්තු මස 27 3945 0

සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි අප්‍රේල්, මැයි මාසවල පතිත වන වර්ෂා සහිත කාලගුණයට බක්මහ අකුණු යයි කියමු. එම කාලයේදී පතිත වන අධික වර්ෂාපතනයත් සමග විදුලි කෙටීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 374 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1769 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1601 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site