(යොහාන් භාසුර)

මහපොළ ශිෂ්‍යත්ව අරමුදලෙන් උසස් අධ්‍යාපනයට ප්‍රතිලාභ ලබන දරුවන් එම ශිෂ්‍යත්වය ඔබට ලැබුණු තනි දෙයක් ලෙස නොසළකා උසස් අධ්‍යාපන ලබාගැනීමේ ප්‍රවේශය තහවුරු කිරීම හරහා රටට සේවක් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අද (12) පැවසුවාය.

“මගෙන් මහපොළට - මහපොළෙන් දරුවන්ට” යන තේමාව යටතේ මහපොළ ඇලුමිනි ආදි විද්‍යාර්ථ වෙබ් අඩවිය එළිදැක්වීම වෙනුවෙන් කොළඹ පදනම් ආයතනයේදී ඊයේ (12) පැවැති විශේෂ උත්සවයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමේදී මහපොළ ශිෂ්‍යත්ව අරමුදලේ දායකත්වය ලැබූවන්ගේ දායකත්වය එම අරමුදලට ලබාගැනීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණය.

www.alumini.mahapola.lk යන වෙබ් අඩවියට පිවිස මහපොළ ශිෂ්‍යත්ව ආදි විද්‍යාර්ථයන්ට මෙම ව්‍යාපෘතියට සම්බන්ධ වියහැකිය.

මහපොළ අරමුදල යනු ලලිත් ඇතුළත්මුදලි මහතා ආරම්භ කළ සියලුම දෙනා ආදරය කරන ආයතනයක් බවත් මහපොළ අරමුදලේ දායකත්වයෙන් උසස් අධ්‍යාපනය ලබා දේශීයව මෙන්ම විදේශීයව ද විවිධ තැන්වල සේවය කතරන බවත් අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

ඔවුන්ට අධ්‍යාපනයෙන් එවැනි ඉහළ තැන්වලට ඒමට මහපොළ ශිෂ්‍යත්ව අරමුදල පාර කැපූ බව කී හරිනි අමරසූරිය මෙනෙවිය ශ්‍රී ලංකාවේ උසස් අධයාපන පද්ධතිය ශක්තිමත් කිරීමට සහ මෙරට ශිෂ්‍ය පරපුරේ උසස් අධ්‍යාපන සිහින සැබෑකිරීම වෙනුවෙන් මෙම අරමුදල විශිෂ්ට කාර්යභාරයක් ඉටුකළ බව ද සඳහන් කළාය.

මෙම අරමුදලෙන් සහයක් සහ උපකාරයක් ලැබූ සියලු දෙනා එකතු කරමින් ඔවුන්ගේ ජීවිත කතා හරහා තවත් පරපුරක් ගොඩනැගීමට එම අරමුදල තවත් ශක්තිමත් කිරීමට මෙම ව්‍යාපෘතිය අරම්භ කළ බවත් මෙම අරමුදලට සහයෝග දැක්වීමට මහපොළ අරමුදලේ දායකත්වය ලැබූවන්ට පමණක් නොව විදේශවල සිටින සෙසු උපාධිධාරීන් ඇතුළු වෘත්තිකයන්ට මෙයට උපකාර කළ හැකි බවත් අග්‍රාමාත්‍යවරිය කීවාය.

ප්‍රාථමික අධ්‍යාපන ලැබිය යුතු දරුවන්ගෙන් සියයට 98 ක ප්‍රතිශතයක් පළමු වසරට ශිෂ්‍ය ශිෂ්‍යාවන් ලෙස පාසල් පද්ධතියට ඇතුළත් වුවද එයට සාපේක්‍ෂව කුඩා ප්‍රතිශතයක් උසස් අධයාපන අවස්ථාව ලැබීම මෙරට මුහුණදී සිටින ප්‍රධාන ප්‍රශ්නයක් බවත් සාමාන්‍ය පෙළ සිටම උසස් අධයාපනය සඳහා ප්‍රවේශ වන දරුවන් ප්‍රමාණය අඩු වෙමින් පවතින බවත් ඇය පැවසුවාය.

සාක්‍ෂරතාව පමණක් නොව උසස් අධ්‍යාපනයේදී ලබන පුහුණුව, වෘත්තීය භාවය, ලෝකය දෙ පුළුල්ල බැලීමට ලැබෙන අත්දැකීම් රටේ ඊළග නායකත්වය බිහිකිරීමට අතිශයින් වැඳගත් වන බවත් පොදුවේ උසස් අධ්‍යාපනයට ඇති ප්‍රවේශය පුළුල්කිරීම සහ ඒ සඳහා ඇති අවස්ථා පුළුල් කිරීම අතිශයින්ම වැඳගත් බවත් ඇය සඳහන් කළාය.

වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්‍ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා එහිදී පැවසුවේ මහපොළ ශිෂ්‍යත්ව අරමුදලේ හැකියව තව දුරටත් ඉහළ නංවමින් දරුවන්ට තව දුරටත් පහසුකම් දීම කටයුතු කරන බවත් මහපොළ ශිෂ්‍යත්ව අරමුදලේ දායකත්වය ලබාගෙන ඉහළ තැනවල සිටින අයට මෙම අරමුදලට දායකත්වය ලබාදීම මෙහි අරමුණ බවත්ය.

මහපොළ ඹශිෂ්‍යත්ව අරමුදලට ලැබිය යුතු සමහර ආදායම් මාර්ග අතරමගදී වසා ඇති අතර එම ආදායම් මාර්ග නැවත ගැනීමට මේ වන විට කටයුතු කරමින් සිටින බවත් මහපොළ අරමුදලේ මුදල්වලින් ආරම්භ කළ අධයාපන ආයතන හිටපු පාලකයන් වැරදි ගිවිසුම් ගසා වෙනත් පාර්ශවලට පවරා ඇති බවත් අමාත්‍යවරයා කීය.

එවැනි ක්‍රියාවන් පිළිබඳව සොයාබලා එම මුදල් නැවත මහපොළ ශිෂ්‍යත්ව අරමුදලට ගැනීමට කටයුතු කරනමින් සිටින බව කී අමාත්‍යවසන්ත සමරසිංහ මහතා එය එසේ වුවද වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මහපොළ ශිෂ්‍යත්ව මාසික දීමනාව රුපියල් 5,000 කින් වැඩි කර රුපියල් 10,000 ක් බවට පත්කළ බව ද සඳහන් කළේය.

මහපොළ ශිෂ්‍යත්ව අරමුදලේ සභාපති විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ මහතා පැවසුවේ ලලිත් ඇතුළත්මුදලි උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදල 1981 වසරේ සිට ලක්‍ෂ සංඛ්‍යාත ශිෂ්‍යයන් සංඛ්‍යාවකට දායකත්වය සපයා ඇති බවත් එසේ අධ්‍යාපන ලැබූ පුද්ගලයන්ගේ දායකත්වය අනාගත පරපුරට ලබාගැනීම මෙම ව්‍යාපෘතියේ අරමුණ බවත්ය.

එසේ මහපොළ ශිෂ්‍යත්ව අරමුදලේ දායකත්වය ලැබූ හාරලක්‍ෂ පනස්දායක් පමණ වන විද්‍යාර්ථයන්ගේ වෘත්තිය හැකියාව සහ තාක්‍ෂණ හැකියාව ගැනීමට නොහැකි වීම දීර්ඝ කාලයක් තිස්සේ ගැටලුවක් බවට පත්ව තිබූ බව ද විජිත් මලල්ගොඩ මහතා සඳහන් කළේය.  

වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්‍ෂිතතා සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය  අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන, මහපොළ ශිෂ්‍යත්ව අරමුදලේ ඩී. ආර්. ජයවර්ධන යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

ඡායාරූප: ඉසුරු පෙරේරා