(සුජිත් හේවාජුලිගේ )

ජාතික ජන බලවේගයේ සාමාජිකයන් "හිඟන්නන්" පිරිසක් නොවන බවත්, ඔවුන්ගේ වත්කම් සම්බන්ධයෙන් පවතින විවේචන ජනතාවගෙන් පැනනැගුණු ඒවා නොව විපක්ෂය සහ ඇතැම් කල්ලි විසින් පතුරුවා හරින ලද ඒවා  බවත් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

ඔහු මෙසේ පැවසුවේ  රූපවාහිනි සාකච්ඡාවකදීය

රජයේ පාර්ශවකරුවන්ගේ වත්කම් බැරකම්, නිවාස සහ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් සමාජය තුළ මතුව ඇති කතාබහ පිළිබඳව අදහස් දක්වමින් ඇමැතිවරයා පැවසුවේ   එම වත්කම් පිළිබඳව සාමාන්‍ය ජනතාව ප්‍රශ්න නොකරන බවයි.

"මේ වත්කම් බැරකම් ගැන මිනිස්සු නෙමෙයි ඇත්තටම ප්‍රශ්න කරන්නේ. විපක්ෂය සහ යම් යම් කල්ලි" යනුවෙන් ඔහු සඳහන් කළේය.

ජාතික ජන බලවේග නියෝජනය කරන පිරිස් හට මුදල් තිබිය නොහැකි බවටත් ඔවුන් "හිඟන්නන්" විය යුතු බවටත් විපක්ෂය  ගොඩනගා ඇති මතවාදය අමාත්‍යවරයා මෙහිදී ප්‍රතික්ෂේප කළේය.

තමන් ඇතුළු කණ්ඩායමේ සියලු දෙනාගේ වත්කම් බැරකම් ප්‍රකාශ කර ඇති බැවින් ඕනෑම අයෙකුට ඒ පිළිබඳව කතා කිරීමට අවස්ථාව ලැබී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

යම් යම් අවස්ථාවල පක්ෂයේ සාමාජිකයන්ගේ මුවින් පිටවූ සමහර වචන අල්ලාගෙන විපක්ෂය විවිධ කතා ගොඩනගා ඇති බව පිළිගත් අමාත්‍යවරයා, එය කිසිසේත්ම ප්‍රතිපත්තිමය වරදක් හෝ තීන්දු ගැනීමේ වරදක් නොවන බව පැහැදිලි කළේය.