උපන් දා සිට මාස 19 ක් හිස්කබලෙන් බද්ධ වී සිටි නයිජීරියානු ජාතික නිවුන් දැරියන් දෙදෙනකු සැත්කම් මාලාවකින් පසු සාර්ථකව වෙන් කිරීමට වෛද්‍යවරුන් සමත්ව තිබේ. මෙම සංකීර්ණ සැත්නම් සිදු කර ඇත්තේ කෘතිම බුද්ධි තාක්ෂණය උපයෝගී කරගනිමින් වීම ද විශේෂත්වයකි.

මර්සි සහ ගුඩ්නස් නමැති මෙම දැරියන් දෙදෙනා, කිසිදු ගැටලුවක් නොමැතිව, සුවය ලබමින් සිටින බවත්, ඔවුන් ඔවුන්ගේ තෙවැනි උපන්දිනය සැමරූ බවත් විදෙස් මාධ්‍ය පවසයි.

හිස්කබලෙන් බද්ධ වූ මෙම නිවුන් දරුවන්, සැත්කමට භාජන කිරීමට මැදිහත්වී ඇත්තේ බ්‍රිතාන්‍යයේ ‘ජෙමිනි අන්ට්වයින්ඩ්’ නමැති පුණ්‍යායතනයයි.

දැරියන් දෙදෙනා උපත ලබා තිබුණේ 2023 ජුනි මාසයේදී නයිජීරියාවේ එලිටි ප්‍රාන්තයේදීය. උපතේදී ඔවුන්ගේ හිස්කබල් එකිනෙකට බද්ධ වී තිබූ අතර, මොළයේ පටක සහ ප්‍රධාන රුධිර වාහිනී ද එකිනෙකා සමඟ බෙදී පවත්නා ආකාරයෙන් පිහිටා තිබුණි.

දැරියන්ට මාස හයක් පිරෙද්දී, ඔවුන්ව වැඩිදුර ප්‍රතිකාර සඳහා ලන්ඩන් නුවර ග්‍රේට් ඕමන්ඩ් ස්ට්‍රීට් රෝහලේ ළමා ස්නායු ශල්‍ය වෛද්‍යවරයකු මෙන්ම ‘ජෙමිනි අන්ට්වයින්ඩ්’ආයතනයේ නිර්මාතෘවරයා වන මහාචාර්ය නූර් උල් ඔවාසේ ජිලානි වෙත යොමු කෙරැණු බව ද පැවැසෙයි.

එහිදී නවීනතම කෘතිම බුද්ධි තාක්ෂණය සහ ත්‍රිමාණ තාක්ෂණය උපයෝගී කරගනිමින් දැරියන්ගේ මොළයේ සැකැස්ම සහ රුධිර වාහිනී බෙදී පවතින ආකාරය ඉතා නිවැරදිව හඳුනා ගැනීමට වෛද්‍ය කණ්ඩායම පියවර ගත්තේය.

ශල්‍යකර්මයේදී සිදුවිය හැකි අවදානම අවම කරගනිමින්, අදියර කිහිපයකින් යුත් සුවිශේෂී සැත්කම් මාලාවක් සාර්ථකව නිම කිරීමට වෛද්‍යවරුන්ට හැකියාව ලැබුණු බව පැවැසෙයි.