(උපාලි ආනන්ද)

හිටපු පොලිස්පති චන්දන දීපාල් වික්‍රමරත්න මහතාට වෙඩි වැදීම සිදුවූ බවට සැක කෙරෙන මිලිමීටර 9 පිස්තෝල වර්ගයේ ගිණි අවිය, ඊට භාවිතා කොට ඇති පතරම් වල කොපු සහ මෙම අපරාධයට අදාල අනෙකුත් සියලුම නඩු භාණ්ඩ එළැඹෙන 28 වැනිදා අධිකරණයට ඉදිරිපත් කර අනතුරුව රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා ඊට අදාල රස පරීක්ෂක වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා බස්නාහිර දකුණ විශේෂ විමර්ශන ඒකකයට නියෝග කළේය.

මහේස්ත්‍රාත්වරයා මෙසේ නියෝග කලේ හිටපු පොලිස්පති චන්දන දීපාල් වික්‍රමරත්න මහතා වෙඩි වැදී මියයෑමේ සිද්ධියට අදාලව මාලබේ පොලිසිය මගින් මීට පෙර අධිකරණය හමුවේ ගොනු කොට තිබු බී 16426/2026 අංක දරණ නඩුකරය බස්නාහිර දකුණ විශේෂ විමර්ශන ඒකකය මෝසමක් මගින් යළි කැදවු අවස්ථාවේදීය.

මෝසමක් මගින් මෙම නඩුකරය කැදවු අවස්ථාවේ බස්නාහිර දකුණ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් අධිකරණයට කරුනු දක්වමින් පවසා සිටියේ හිටපු පොලිස්පතිවරයකු වන චන්දන දීපාල් වික්‍රමරත්න මහතා වෙඩි වැදී මිය යෑමේ සිද්ධියට අදාලව මෙතෙක් මාලබේ පොලිසිය මගින් සිදුකළ විමර්ශන බස්නාහිර දකුණ විශේෂ විමර්ශන ඒකකය යටතට පත් කර ගෙන සියලු ඉදිරි විමර්ශන කටයුතු සිදු කරන ලෙසට අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 125 වන වගන්තිය මගින් තමාට පැවරී ඇති බලතල ප්‍රකාරව බස්නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් තම ඒකකයට නියෝග ලබාදී ඇති බවයි.

ඒ අනුව, හිටපු පොලිස්පතිවරයා වෙඩි වැදී මියෑමේ සිද්ධියට අදාලව මාලබේ පොලිසිය මගින් මේ දක්වා සිදුකළ සියලු විමර්ශන කටයුතු තම ඒකකය යටතට පත්කර ගන්නා බව අධිකරණයට දැනුම් දුන් බස්නාහිර දකුණ විශේෂ විමර්ශන ඒකකය ඒ සදහා අධිකරණයේ අවසරය ලබාදෙන ලෙස ද ඉල්ලා සිටියේය.

බස්නාහිර දකුණ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් අධිකරණයට කල කරුණු දැක්වීම සැලකිල්ලට ගත් කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා හිටපු පොලිස්පතිවරයා වෙඩි වැදී මිය යෑමේ සිද්ධියට අදාලව මේ දක්වා මාලබේ පොලිසිය මගින් සිදු කල විමර්ශන බස්නාහිර දකුණ විශේෂ විමර්ශන ඒකකය යටතට පවරා ගැනීමට අධිකරණයේ අවසරය ලබා දුන්නේය.