(විමුක්ති එස් රුද්‍රිගූ)

ලොව ප්‍රකට සම්මානනීය හොලිවුඩ් රංගන ශිල්පිනී රොසමුන්ඩ් පයික් විශේෂ සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින බව බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලය පසුගියදා ප්‍රකාශ කළේය.

පසුගිය වසර 17 ක කාලය තුළදී ශ්‍රී ලංකාව බිම් බෝම්බ ලක්ෂ 10ක් ඉවත් කර තිබෙන බවත් එම සන්ධිස්ථානය සනිටුහන් කිරීමට පයික් මෙරටට පැමිණ සිටින බවත් එම කාර්යාලය පැවසුවේය.

බිම්බෝම්බ ඉවත් කිරීමේදී ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ප්‍රගතිය ඉන් පෙන්නුම් කරන බව මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේය.

සිය සංචාරයේදී මෙරට බිම් බෝම්බ ඉවත් කරන්නන් සමඟ පයික් කාලය ගත කරනු ඇති බවත් මන්නාරම් සහ මුලතිව් දිස්ත්‍රික්කවල තවමත් බිම් බෝම්බ ඉවත් කර නොමැති ප්‍රදේශ දෙකක ඇය සංචාරය කරනු ඇති බවත් මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය.

එසේම ඇය බිම් බෝම්බ හේතුවෙන් පීඩාවට පත් සිංහල හා දෙමළ ප්‍රජාව මුණගැසෙනු ඇති බවත් සොයා නොගත් බිම් බෝම්බයකින් මතුවන අවදානමකට මුහුණ දෙන ආකාරය පිළිබඳව පාසැල් ළමයින් දැනුවත් කිරීමේ වැඩසටහනකටද සහභාගී වනු ඇති බවත් මහා කොමසාරිස් කාර්යාලය පැවසුවේය.

රොසමුන්ඩ් පයික් සිය සංචාරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු පිරිසක් මුණ ගැසීමට නියමිත බවද මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේය.

බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා මෙරටට සහාය වන මැග් සංවිධානයේ තානාපතිවරිය ලෙස පයික් මෙරටට පැමිණෙන බව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය පෙන්වා දුන්නේය.

පයින් ගේ මෙරට සංචාරය පිළිබඳ අදහස් දක්වමින් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා ප්‍රකාශ කර සිටියේ බිම් බෝම්බ වලින් තොරවීම සඳහා යන ගමනේදී ශ්‍රී ලංකාව සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගෙන තිබෙන බවයි.

ඒ සඳහා ශ්‍රී ලංකා රජයේ ප්‍රධානියාට, මෙරට බිම් බෝම්බ ඉවත් කරන්නන්ට සහ ජාත්‍යන්තර හවුල්කරුවන්ට ප්‍රශංසා කළ යුතු බවද ඔහු පැවසුවේය.

එම උත්සාහය සඳහා එක්සත් රාජධානියටද සහාය වීමට හැකිවීම පිළිබඳව තමන් සතුටට පත්වන බව පැට්‍රික් මහතා ප්‍රකාශ කළේය.