‍(අංජුල මහික වීරරත්න)

සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවයට අවශ්‍ය දේශීය වශයෙන් නිෂ්පාදනය කළ සහල්, එළවළු, බිත්තර, කුකුළු මස් හා පලතුරු කිසිදු හිඟයකින් තොරව  සැපයීමට හැකි ව ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

මීට මාසයකට පමණ පෙර ශීඝ්‍රයෙන්  වැඩි වූ එළවළු මිල මෙන්ම පැවැති එළවළු හිඟය ද මේ වනවිට මුලුමනින්ම අවසන් වී ඇතැයි කී අමාත්‍යවරයා රජය විසින් රටේ නිෂ්පාදන ඉහළ නැංවීමට ගෙන ගිය වැඩ පිළිවෙළ යටතේ මේ වනවිට කුකුළු මස්, බිත්තර, එළවළු, පළතුරු හා සහල් වලින් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වෙළෙඳපලට පැමිණ ඇති බව සඳහන් කළේය.

 අවුරුදු සමයේ කැරට් කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 5000 දක්වා  ඉහළ යනු ඇතැයි බොහෝ දෙනෙක් පැවසූ බව කී අමාත්‍යවරයා නමුත්  මේ වනවිට කැරට් මිල පමණක් නොව අනෙකුත් එළවළු සියල්ලෙහිම මිල පහළ ගොස් තිබෙන බව කීය.

මැයි මාසය වනවිට බිත්තරයක මිල රුපියල් තිස් ගණනක් දක්වා අඩුවනු ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.