(ඩයනා උදයංගනී)

කැසිනෝ ව්‍යාපාර (නියාමනය කිරීමේ) පනත යටතේ වන නියෝග ඇතුළු කරුණු හා පනවා ඇති බදු ගණනාවක් සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සාකඡාවට ලක් වූ බව එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සිය ට්විටර් ගිණුමෙහි සටහනක් යොදමින් සඳහන් කර ඇත.

රටේ සංවර්ධනයට වඩාත් ඵලදායි වන අයුරින් සකස් කිරීමෙන් අනතුරුව මෙහි සංශෝධන පිළිබඳ සලකා බැලීම වඩාත් සුදුසු බව කාරක සභා සාමාජිකයන්ගේ මතය විණි යැයි ද සභාපතිවරයා සටහන් කර තිබේ.

කැසිනෝ ව්‍යාපාර අදාළ බදු ගෙවන්නේද යන්න සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී ඇති අතර, කිසිඳු කැසිනෝ ශාලාවක් මෙතෙක් ඩොලර් 100ක ආගන්තුක බද්දක් ගෙවා නොමැති බව මෙහිදී හෙළි වී ඇත.

කැසිනෝ නියාමන අධිකාරියක් නොමැති වීම හේතුවෙන් පවතින ගැටලු සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු වූ බව සභාපතිවරයා පවසයි.

අපනයනකරුවන්ට පනවන සියයට 30 ක බද්ද හා සියයට 36ක ආදායම් බදු සලකන විට කැසිනෝ සඳහා යෝජිත සියයට 10ක බද්ද ප්‍රමාණවත් නැති බව ද සාකච්ඡා වී ඇත.

එමෙන්ම බිත්තරයක මිල රුපියල් 43ක් ලෙස සඳහන් කිරීම සම්බන්ධයෙන් විද්‍යාත්මක පදනමක් නොමැති බැවින්, බිත්තරයක් විකිණිය හැකි නිසි මිල සතියක් ඇතුලත ගණනය කොට ලබාදෙන ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාව මුදල් සහ වෙළඳ අමාත්‍යාංශ නිලධාරීන්ට නියෝග කළ බව ඔහු සඳහන් කර ඇත.

කුකුළු කෑම බදු ඉවත් කිරීමෙන් වෙළඳපලෙහි බිත්තර මිල අඩුවිය යුතු බව ද මෙහිදී සාකච්ඡා වී තිබේ.

මිලදීගෙන ඇති නිවාස සඳහා බද්දක් පැනවීම අසාධාරණ බව කාරක සභාවේ දී සාකච්ඡා වූ බව ද මන්ත්‍රීවරයා සිය සටහන මගින් ප්‍රකාශ කර ඇත.