
(මහින්ද නිශ්ශංක, කීර්ති ප්‍රනාන්දු සහ තිලකරත්න දිසානායක)
අඩු බර පාන් අලෙවි කළ වෙළෙඳසල් 70 ක් පමණ ඊයේ( 22 )දින අල්ලා ගැනීමට හැකි වූ බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.
මෙම අඩු බර පාන් අලෙවි කළ වෙළඳසැල් හිමියන් ට විරුද්ධව පාරිභෝගික පනත යටතේ නඩු පැවරීමට අධිකාරිය පියවර ගෙන ඇතැයිද අධිකාරියේ උසස් නිලධාරියකු පැවසීය.
මේ අතර අඩු බර පාන් නිෂ්පාදනය කළ බේකරි හිමියන් ගෙන් ද ප්‍රකාශ සටහන් කරගත් බවත් ඔවුන්ට ද විරුද්ධව නඩු පැවරීමට කටයුතු කරන බවද එම නිලධාරියා කීය.
දැනට රුපියල් 180 ක් පමණ මිලකට අලෙවි කෙරෙන සාමාන්‍ය පාන් ගෙඩියක බර ග්‍රෑම් 450 ක බරින් යුක්ත විය යුතු වුවද බොහෝ බේකරි සහ වෙළඳසල්වල අලෙවි කිරීමට ඇති පාන් ගෙඩියක බර ග්‍රෑම් 350 ක් සහ ඊටත් අඩු බරින් පවතින බව ප්‍රදේශ කිහිපයකම පාරිභෝගිකයින් පෙන්වා දෙනු ලැබූහ.
මේ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට ඇති රාජ්‍ය ආයතනයන් තම කාර්ය භාරය පාරිභෝගිකයින් වෙනුවෙන් ඉටු නොවීම පිළිබඳව ජනතාව දැඩි අප්‍රසාදය පළ කරන අතර මේ සම්බන්ධයෙන් ඉහළ බලධාරීන් සොයා නොබලන්නේ මන්දැයි ප්‍රශ්ණ කරති.
ජනතාව නගන චෝදනා සම්බන්ධයෙන් අප කළ සොයා බැලීමේදී බොහෝ බේකරිවල නිපදවනු ලබන පාන්වල නියමිත බර ප්‍රමාණය නොමැති බව පෙනී ගිය අතර සුපිරි වෙළඳසල්වල අලෙවිය පිනිස ඇති සාමාන්‍ය පාන් ගෙඩියක බර ග්‍රෑම් 450 ඉක්මවා ග්‍රෑම් 470 ක පවා බරකින් තිබූ ආකාරයක් දක්නට ලැබිණි.
පාන් මිල අධිකව පැවතියදී තිබිය යුතු බර ප්‍රමාණය නොමැතිවීම සම්බන්ධයෙන්, පරීක්ෂා කිරීම් සහ නීතිමය පියවර නොගන්නේ මන්දැයි කිරුම් මිනුම් ඒකක ප්‍රමිති ආයතනයෙහි ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය වෙතින් අප පුවත්පත කළ විමසිමේදී එහි නිලධාරියෙකු සදහන් කර සිටියේ, වැටලීම් සදහා යාම පිනිස කොළඹ ප්‍රධාන කාර්යාලයෙන් වාහනයක් ඉල්ලා සිටියද ඉන්ධන ගැටළුව මත වාහනයක් නොලැබීම හේතුවෙන් වැටලීම් සිදු කිරීමට නොහැකිවී ඇති බවය.
අඩු බර පාන් සම්බන්ධව පාරිභෝගිකයින්ගෙන් ලැබුණු පැමිණිලි අනුව ඊයේ (22 ) දිනය තුළ පාරිභෝගික සේවා අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් රට පුරා විශේෂ වැටලීම් 100ක් පමණ සිදු කළ අතර එහිදී මෙම අඩු බර සහිත පාන් අලෙවි කළ වෙළඳ සැල් හිමියන් 70 ට විරුද්ධව නඩු පැවරීමට හැකි වූ බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
තවද අඩු බර පාන් අලෙවි කිරීමට අමතරව පාන් මිල ප්‍රදර්ශනය නොකිරීම සහ තරාදියක් සන්තකයේ තබා නොගැනීම සම්බන්ධයෙන් ද එම වෙළඳුන්ට විරුද්ධව නීතිමය පියවර ගන්නා බවද එම නිලධාරියා කීය.
තවදුරටත් රට පුරා අඩු බර සහිත පාන් අලෙවි කරන වෙළඳුන් සහ එම පාන් නිපදවන බේකරි සොයා වැටලීම් අඛණ්ඩව සිදුකරන බවද පාරිභෝගික සේවා අධිකාරිය කියා සිටී.
ඡායාරූප :- කීර්ති ප්‍රනාන්දු
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි කච්චේරියේ වැඩ කරන කාලයේ මෙන්ම දැනුත් කිරුම් මිණුම් හා මිල පාලන අංශය තිබුනේ දිසාපති කාර්‍යාලයේ එක් අංශයක් විදියට. ඒ කියන්නේ දිසාපති නැත්නම් දැන් කියන ලෙසට දිස්ත්‍රික් ලේකම් යටතේ. ඉතින් දිස්ත්‍රික් ලේකම් කියන්නේත් ප්‍රාදේශීය ලේකම් කියන්නෙත් එම කටයුතු බාර දිස්ත්‍රික්කයේ බලධාරින් තමයි එහෙම නම් වැටලීම සඳහා යාමට ප්‍රධාන කාර්යාලයෙන් වාහනයක් ඉල්ලුවා ලැබුනෙ නැහැ කියන්නේ (Sit and no) නොකෙරෙන වෙදකමට කෝඳුරුතෙල් හත් පට්ටයක් සෙවීමක් කියන්න පුළුවන්... ඒ වුණාට බලන්න මාසය අන්තිමේ නිළධාරින්ගේ ගමන් වියදම් ඉල්ලීම් කොහොමද කියලා කොහොම නමුත් මම අද හවස චූන් පාන් ගෙඩියක් ගත්තා. ගෙදර ළඟදීම. ගෙට ගෙනැවිත් කිරුවා ග්‍රෑම් 350 යි. සුපිරි කඩවල 450 තියෙනවා තමයි.. නමුත් පිපුම්කාරක හා වතුර පමණක් යොදා හදන එම පාන් කන්න පුළුවන් වෙන්නේ හරකුන්ට පමණයි. මොකද මට නම් පාන්වල ලුණු රසක් අවශ්‍ය නිසා එහෙම කියන්න වෙනවා...
කරුණාකර මාලිගාවත්තට පැමිණ check කරන්න. ඔය හොර ජාවාරම හොඳටම කරගෙන යන අය ඉන්නවා.