(ඩයනා උදයංගනී)

පොදු ව්‍යාපාර පිළිබඳ පාර් ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති තතනතුර සඳහා ආණ්ඩු පක්‍ෂයේම මන්ත්‍රීවරයකු පත්කරගෙන ඇත්තේ ආණ්ඩුව විසින් සිදුකරන වංචා, දූෂණ සහ හොරකම් හෙළිවීම වළක්වාගැනීමේ අරමුණින් විය යුතු බව එම තනතුර සඳහා සමඟි ජන බලවේගය නියෝජනය කරමින් ඉදිරිපත් කර සිටි පාර් ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා ලංකාදීපයට පැවසීය.

එම කමිටුව සඳහා ආණ්ඩු පක්‍ෂයෙන් පත්කර සිටින සෙසු පිරිසේ නම් දෙස බැලීමේදීත් ඒ බව තහවුරු වන්නේ යැයි මන්ත්‍රීවරයා සඳහන් කළේය.

කෝප් කමිටුවේ සභාපතිධූරය සඳහා පත්වූ මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ගැන තමන්ට පෞද්ගලික මතවාදයක් නැතත් මෙවැනි කමිටුවක සභාපතිධූරය විපක්‍ෂ මන්ත්‍රීවරයකුට හිමිවිය යුතු බව ද හෙතෙම කීය.

කෝප් කමිටුව පත්කෙරෙන්නේ රාජ්‍ය ආයතනවල සිදුවන දූෂණ, වංචා, හොරකම් හා වැරදි කළමනාකාරීත්වයන් ආදිය සම්බන්ධයෙන් සොයාබැලීමට බවත්, එම වැරදි සිදුවන්නේ පාලක පක්‍ෂයෙන් බැවින් කමිටු සභාපතිධූරයට විපක්‍ෂ මන්ත්‍රීවරයකුට ලබාදීම මූලධර්මය වියයුතු බවත් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේය.

තමන් නියෝජනය කළ ආණ්ඩු මගින් මෙම තනතුර ලබාදුන්නේ විපක්‍ෂ මන්ත්‍රීවරුන්ට බවත්, පාර්ලිමේන්තු කමිටුවල බහුතර නියෝජනය හිමිවන්නේ ආණ්ඩු පක්‍ෂයට බැවින් ඡන්ද පවත්වා මෙම තනතුරු විපක්‍ෂයට ලබාදිය නොහැකි බවත් මන්ත්‍රීවරයා පැවසීය.