(රංජන් කස්තුරි)

රජයට රුපියල් කෝටි ගණනක බදු මුදල් නොගෙවා ජාවාරම්කරුවන් පිරිසක් විසින් අලෙවි කිරීමට සූදානම් කර තිබූ ව්‍යාජ ආරක්ෂික ස්ටිකර් ඇලවූ තත්වයෙන් බාල මත්පැන් බෝතල් තොගයක් සොයාගත් බව සුරාබදු දෙපාර්තුමේන්තුව සඳහන් කරයි.

සුරාබදු දෙපාර්තුමේන්තුවේ විශේෂ වැටලීම් කණ්ඩායමක් තඹුත්තේගම, තලාව, නෙළුබෑව සහ කහටගස්දිගිලිය යන ප්‍රදේශවලින් එම ව්‍යාජ ස්ටිකර් ඇලවූ මත්පැන් බෝතල් තොගය සොයාගත් බවද සුරාබදු දෙපාර්තුමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පැවසීය.

මත්පැන් බෝතල්වල අලවා තිබූ මෙම ව්‍යාජ ස්ටිකර් පරිගණක පද්ධතිය මගින් නිවැරදි දත්ත ලබා නොදෙන ඒවා වන අතර එමගින් රජයට විශාල බදුමුදලක් වංචා කරන බවද ඔහු කීය.

ආරක්ෂක ස්ටිකර් මුද්‍රණය සඳහා තෝරාගෙන ඇති සමාගමට අක්‍රමිකතා චෝදනා රැසක් තිබෙන අතර එම සමාගම නීත්‍යානුකූලව ස්ටිකර් තොගයක් ලබාදුනහොත් එවැනිම හොර ස්ටිකර් තොගයක් ජාවාරම්කරුවන්ට ලබාදෙන බවද ඇතැම් පාර්ශ්ව චෝදනා කරයි.