(ටී.කේ.ජී.කපිල )

ව්‍යාජ තොරතුරු සපයා , මැලේසියානු බලධාරීන් රවටා , සූක්ෂම ලෙස ලබා ගත් ගමන්  බලපත්‍රයක් උපයෝගී කර ගෙන ජෝර්දානය වෙත පළා යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයෙකු අද (03) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

 මොහු යාපනය , කයිට්ස් ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකි .

මොහු  අද අලුයම 03.30 ට එයාර් ඇරේබියා ගුවන් සේවයේ ජී.- 9501 දරන ගුවන් යානයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඔස්සේ ජෝර්දානය වෙත පළා යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

එහිදී තම නිශ්කාශන කටයුතු සිදු කර ගැනීම සදහා එයාර් ඇරේබියා ගුවන් සේවා කවුළුව වෙත පැමිණි මොහු ඔවුන් වෙත ඉදිරිපත් කළ ගමන් බලපත්‍රය ඇතුළු ලියකියවිලි පිළිබඳ ඇති වූ සැකය මත ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත භාර දී තිබේ .