(මනෝප්‍රිය ගුණසේකර)

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට අනුකූල නොවන බව සඳහන් කරන ලෙසද පනත් කෙටුම්පත ජනමත විචාරණයකට සහ විශේෂ බහුතර මන්ත්‍රී සංඛයාවකින් සම්මත කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙසද ඉල්ලා ගොනුකර ඇති පෙත්සම්වල විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය අදාල තීන්දුව ඉදිරි කාලයේදී කථානායක යොමු කරන බව නිවේදනය කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ශිරාන් ගුණරත්න, මහින්ද සමයවර්ධන සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පෙතසම් විභාගයට ගැනිණි.

මහාචාර්ය ජී.පීරිස් මාධ්‍යවේදී මාලිංග සෙනෙවිරත්න යන මහත්වරුද සහ ලීඩියා ලෝ ෆෝරම් ආයතනය ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම් ගොනු කර ඇත.

තේසම් විභාගයට ගත් අවස්ථාවේදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ නෙරින් පුල්ලේ මහතා මෙසේ පැවසීය.

පෙත්සම්කාර පාර්ශ්වය මූලික වශයෙන් කරුණු දැක්වූයේ මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද නැද්ද යන්න පිළිබඳව නොවෙයි, මූලිකව කරුණු දක්වා ඇත්තේ ප්‍රතිපත්තිමය තීරණ උපකල්පිත ඉදිරි අනුමාන කිරිම් ආදිය සම්බන්ධවයි. ඔබතුමන්ලාගේ අධිකරණය මගින් ප්‍රකාශයට මීට පෙර පත්කළ නඩු තීන්දු අනුව මෙවැනි අවස්ථාවක මෙවැනි කරුණු දැක්වීම් සලකා බලන්නේ නැහැ. සැලකිය යුත්තේ මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද? නැද්ද? යන්න පමණයි.

මේ පිළිබඳ පූර්වාදර්ශන නඩු කීපයක් අධිකරණයට ඉදිරිපත් කරන්න මා බලාපොරොත්තු වෙනවා ‘ෆෝට් සිටි’ නඩු තීන්දුව අනුව පැහැදිලිව සඳහන් කර තිබෙනවා උපකල්පිත ප්‍රතිපත්තිමය තීරණ වෙනත් කරුණු දැක්වීම ව්‍යස්ථානුකූල භාවය සම්බන්ධ සලකා බැලීම පමණක් යන්න වශයෙන්.

මෙම පනත් කෙටුම්පතේ ජාතික ආරක්ෂාවටත් සම්බන්ධයි. ජාතික ආරක්ෂාව කියන්නේ රටේ ආරක්ෂාව පමණක් නොවෙයි ආර්ථික ආරක්ෂාවත් තිබෙනවා. ආර්ථික ආරක්ෂාවට අවශ්‍ය පියවර මින් සඳහන් කර තියෙනවා” ආර්ථික ආරක්ෂා නොකරගෙන රටක් ඉදිරියට ගෙනියන්න බැහැ.

පැමිණිල්ලෙන් තවත් චෝදනාවක් කරනවා පනත් කෙටුම්පත මගින් අධිකරණයේ බලය හෑල්ලුවට පත්වෙනවා කියලා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හතරවෙනි අනු ව්‍යවස්ථාවන් අධිකරණ බලය ක්‍රියාත්මක වන ආයතන සඳහන් වෙලා තියෙනවා. මෙහි අධිකරණ බලය එක් ආයතනයක සිට තවත් ආයතනයකට යම් බල ප්‍රමාණයක් හුවමාරු කිරීමක් පමණයි සිදුවන්නේ ඒ අනුව කිසි විටෙක අධිකරණයේ බලය හෑල්ලු වීමක් සිදුවන්නේ නැහැ.

ඒ අනුව මෙම පනත් කෙටුම්පත මගින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු වගන්තියක් උල්ලංඝනය නොවන බැවින් පතන් කෙටුමිපත ආණ්ඩුක්‍රම වස්ථාවට අනුකූල බවත් සරල බහුතරයකින් සම්මත කළ හැකි බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

දෙපාර්ශවයේ කරුණු සැලකිල්ලට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව ඉදිරි කාලයේදී කතානායකවරයාට යොමු කරන බව නිවේදනය කළේය.

පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන රොමේෂ් ද සිල්වා, ඉරාජ් ද සිල්වා, අලි සබ්රි, විරාන් කොරයා යන මහත්වරුද නීතිඥ ලක්ෂාන් ඩයස් මහතාද පෙනී සිටියහ.

නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය සමඟ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නෙරින් පුල්ලේ මහතා පෙනී සිටියේය.