(අංජුල මහික වීරරත්න)
ණය ප්‍රතිව්‍යුහගතකරණය සාර්ථක කරගෙන නිවැරදි ආර්ථික කළමනාකරණයක් ඇති කිරීමට රජය සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.
බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙම විශේෂ ප්‍රකාශය සිදු කළේය.
රටේ අදායම වැඩි නොකර ආර්ථිකය ශක්තිමත් කිරීමට හැකියාවක් නොමැති බව කී ජනාධිපතිවරයා රට ගොඩගැනීමට නම් අකමැත්තෙන් වුවද අසීරු තීන්දු තීරණවලට එළැඹිමට සිදු වන බව පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශය කරමින් මෙසේද පැවසීය.
ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනේ වැදගත් පියවරක් පසුගිය සතියේ සිදු වුණා. මුදල් රාජ්‍ය ඇමතිතුමා යටතේ කණ්ඩායමක් වොෂින්ටන් නුවර පැවැති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික (ඔක්තෝබර් 07) රැස්වීමට සහභාගී වුණා. ඒ අවස්ථාවේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානත්වයෙන් ලංකාවට ණය ලබා දුන් රටවල් හා ණය ලබාදුන් සමහර පුද්ගලික ආයතන සමඟ රැස්වීමක් පැවැත්වූවා. 75 දෙනෙකුට වැඩි පිරිසක් සෘජුව සහ සූම් තාක්ෂණය ඔස්සේ එම රැස්වීමට සහභාගී වුණා.
ලංකාවට ණය ලබාදුන් ප්‍රධාන රටවල් තුන වන ජපානය, චීනය සහ ඉන්දියාව සමඟ පොදු වේදිකාවකට පැමිණ සහන ලබාදීමට ගතයුතු ඉදිරි පියවර කුමක්ද යන්න සාකච්ඡා කිරීම මෙහි මූලික අරමුණ වුණා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත්, ශ්‍රී ලංකාවත් මේ රැස්වීමේ දී පෙන්වා දුන්නේ, පොදු වේදිකාවක තිබෙන අවශ්‍යතාවයි. ඉන්දියාව සහ චීනය ඒ පිළිබඳ තවදුරටත් විමර්ශනය කර පිළිතුරු ලබා දෙන බව දන්වා තිබෙනවා. ඒ වගේම ද්වී පාර්ශ්වික සාකච්ඡාත් අවශ්‍ය වෙන්න පුළුවන් කියා දැනුම් දී තිබෙනවා.
තවත් රටවල් ගණනාවක් මෙයට සහභාගී වුණා. විශේෂයෙන් ඇමරිකාවේ, භාණ්ඩාගාරයේ සහකාර ලේකම්වරයෙක් මේ සාකච්ඡාවට පැමිණියා. මේ සියල්ල සිදු කිරීමට අපිට අවස්ථාව ලැබුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර අපි ගත් තීන්දු ක්‍රියාත්මක කරන නිසයි.
ලංකා රජයේ ආදායම් පිළිබඳව එක් කාරණයක් මතුව තිබෙනවා. 2015 ජාත්‍යන්තර මූල්‍ය සංවිධානයේ නියෝජිතයන් මෙරටට පැමිණි අවස්ථාවේ ප්‍රාථමික අය වැයෙහි අතිරික්තයක් අවශ්‍ය බව අපිට දැනුම් දුන්නා.
ඒ වගේම අපි 2017-2018 වර්ෂවල ඒ අතිරික්තය ලබා දුන්නා. නමුත් 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය නිසා එය අඩු වුණා. ඒ ගැන විශාල ප්‍රශ්නයක් ඇති වුණේ නැහැ. අපිට ප්‍රාථමික අය වැයෙහි අතිරික්තයක් තිබෙන නිසා අපේ ආදායම වැඩිකරගන්න අපිට පුළුවන් වෙයි කියා ඒ අය බලාපොරොත්තු වුණා.
එදා අපේ ආදායම තිබුණේ දළ දේශීය නිෂ්පාදනයෙන් 14.5%ක් - 15%ක් අතර ප්‍රමාණයක්. එහෙත් ක්‍රමානුකූලව මෙය 17%-18%කට වැඩි කරගන්න පුළුවන් කියලා තමයි අපි එකඟ වුණේ.
නමුත් 2019 නොවැම්බර් මාසයේදී මේ රටේ බදු විශාල ලෙස අඩු කළා. එවිට රජයේ ආදායම 8.5%කට අඩු වුණා. එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම ගිවිසුම්වලින් ඈත් වෙලා ආධාර ලබා දීමට නොහැකි බව ප්‍රකාශ කළා.
අපිට රුපියල් බිලියන 600ක්, 700ක් විතර පමණ ඒ වසරේ අහිමි වුණා. ඒ එක්කම කොවිඩ් වසංගතයටත් අපිට මුහුණ දීමට සිදු වුණා. ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට ප්‍රධාන හේතු වුණේ මෙම තත්ත්වයයි.
අපේ ප්‍රාථමික අය වැයේ අතිරික්තයත් ලබාගත යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපිට දැනුම් දුන්නා. ඔවුන්ගේ සහාය අවශ්‍ය නිසා අපිත් එයට එකඟ වුණා.
අනිත් කරුණ තමයි රටේ ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 8.5% සිට 14.5%ක් දක්වා වැඩි කිරීමට තීරණය කිරීම. එය එකවර සිදු කිරීම අසීරු කාර්යයක්. ඒ නිසා 2026 වන විට රටේ දළ දේශීය නිෂ්පාදනයෙන් 14.5%ක් දක්වා ආදායම වැඩිකර ගැනීමට අපි සැලසුම් කර තිබෙනවා. රටේ ආදායම් වැඩි කරගන්නේ කෙසේ ද කියා පළමුවෙන්ම අපට සිතන්න සිදු වෙනවා. අදායම අඩු වූ නිසා අපි මුදල් මුද්‍රණය කර තිබෙනවා. ඒ අනුව පසුගිය වසර දෙකේ දී මුද්‍රණය කළ මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 2300ක්. ඒ නිසා උද්ධමනය 70% - 75%ක් දක්වා ඉහළ ගියා. ඒ වගේම ආහාර උද්ධමනය ඊටත් වඩා වැඩි වී තිබෙනවා.
මේවා පාලනය කිරීමත් අවශ්‍යයි. ඒ වගේම ආදායම ලබා ගැනීමටත් අවශ්‍යයි. එබැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවති මෙම සාකච්ඡාවලදී අලුත් බදු ක්‍රමයක් ඉදිරිපත් වුණා. අපනයන කර්මාන්තවලටත් බදු ගෙවන්න අවශ්‍යයි කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනුම් දී තිබුණා.
අපනයන ආර්ථිකයක් තිබෙන රටවල් බදු ගෙවන බව ඔවුන් පෙන්වා දුන්නා. ඒ වගේම ඔවුන් සඳහන් කළේ අපේ පළමුවෙනි අපනයන ආර්ථිකය වුණේ වැවිලි කර්මාන්තය බවත්, බ්‍රිතාන්‍ය පාලන කාලයේ දී තේ, පොල්, රබර් සෑම වැවිලි ක්ෂේත්‍රයකින්ම බදු ගෙවීම සිදු කළ බවත්ය. ඒ නිසා අපි එම ඉලක්කයට ගමන් කරනවා නම් බදු ගෙවන්න සිදු වෙයි කියා දැනුම් දුන්නා. ඒ ගැන දැන් අපනයන ක්ෂේත්‍ර අපෙන් ප්‍රශ්න කර තිබෙනවා. එම කරුණු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
දෙවන කාරණය පුද්ගලික බදු. අපි වැඩිපුරම බදු ලබාගත්තේ වක්‍ර බදු ලෙසයි. රටේ දුප්පත් සාමාන්‍ය ජනතාවටත් එම වක්‍ර බදු ගෙවීමට සිදු වුණා. අපි සෘජුව ලබාගත් බදු ආදායම 20%යි. 80%ක ප්‍රමණයක් ලබාගත්තේ වක්‍ර බදුවලින්.
විශේෂයෙන්ම ඒ පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ප්‍රශ්න තිබුණා, ඒ අය කිව්වේ සෘජු බදුවලින් ලබාගන්න බදු ප්‍රමාණය 20%කට වඩා වැඩි විය යුතු බවයි. නැත්නම් මෙය සාර්ථක නොවන බවත්, සාමාන්‍ය ජනතාවටත් බදු ගෙවීමට සිදුවන බවත් ඔවුන් පෙන්වා දුන්නා.
ඒ නිසා මෙම ක්‍රමවේදයට අනුවත්, 2026 ඉලක්ක ළඟා කර ගැනීම සඳහාත් මෙම බදු අය කිරීම ලක්ෂ 02ක අදායමක් ලබන අයගෙන් සීමා කළ හැකි ද යන්න පිළිබඳව භාණ්ඩාගාරයත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සාකච්ඡා කළා, එහෙත් ඒ අරමුණ ඉටු වුණේ නැහැ. අවසානයේ සිදු වුණේ ලක්ෂයකට වැඩි ආදායමක් ලබන පිරිසගෙනුත් ආදායම් බදු අය කිරීමයි. මේ පිළිබඳ රටේ විශාල ප්‍රශ්නයක් ඇති වී තිබෙනවා.
මෙවන් පසුබිමක් තුළ මෙම බදු ක්‍රමය අනුගමනය නොකළහොත් අපිට අවශ්‍ය ඉලක්ක කරා ළඟා වීමට නොහැකි විය හැකියි.
අපි එකඟ වූ ඉලක්ක වන්නේ 2026 වන විට දළ දේශීය නිෂ්පාදනයෙන් 14.5%ක - 15%ක ආදායමක් ලබා ගැනීමයි. අපි මේ වැඩපිළිවෙළින් ඉවත් වුණොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර අපිට ලැබෙන්නේ නැහැ. ජත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහතිකය ලැබෙන්නේ නැත්නම් ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි ජාත්‍යන්තර මුල්‍ය ආයතනවලත්, සහයෝගය ලබාදෙන අනෙකුත් රටවලත් සහාය අපිට හිමි වන්නේ නැහැ. එහෙම වුණොත් අපිට නැවත පෝලිම් යුගයට යන්න වෙනවා.
මීටත් වඩා අසීරු කාලයක් අපට ඉදිරියේදී ඇති විය හැකියි. මෙම ණය ලබාගෙන ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළට අපි යා යුතුයි. අපි මේ කටයුතු කැමැත්තෙන් කරන්නේ නැහැ. අකමැත්තෙන් හෝ අපිට සමහර තීරණ ගන්න සිදු වෙනවා. ඒවගේම එම තීරණ පිළිබඳ අපි විටින් විට සලකා බලනවා.
ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන සාර්ථක කර ගන්නවා වගේම, මහකන්නයේ අපිට හොඳ අස්වැන්නක් ලැබුණාම එයින් ආර්ථික වාසියක් ලබාගෙන ඉදිරියට යන්න අපි බලාපොරොත්තු වෙනවා. එමගින් අපිට තිබෙන ආර්ථික පීඩාව අඩු වෙනවා. ඒ වගේම අපේ විදේශ විනිමය සංචිතය වැඩි කර ගැනීම පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා. මෙම පියවර කිහිපය ක්‍රියාත්මක කළ විට අපිට ඉදිරියට යා හැකියි.
අද අපේ රට ඉතා අසීරු කාලයකට මුහුණ පා සිටිනවා. ඒ අසීරු කාලයේ අසීරු තීරණ ගන්න වෙනවා. වෙන කවුරුත් ඉදිරිපත් නොවූ අවස්ථාවක මම ඒ අසීරු කටයුත්ත භාරගත්තා. ඉතින් මම හිතුවා මේ පසුබිම ගැන සියලුදෙනා දැනුවත් කරන්න මට යුතුකමක් තිබෙනවා කියලා. මේ ගැන තවදුරටත් සාකච්ඡා කරන්න ආණ්ඩුව සූදානම් බවද සඳහන් කරන්න කැමතියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ එතකොට IMF එකෙන් කිව්වේ බදු වැඩිකරන්න කියලා විතරද?. හොරාකන්න එපා කිව්වේ නැද්ද? හොරකන් කරපුවා හොයන්න කිව්වේ නැද්ද? ආණ්ඩුවේ පින් බතාලා එලවන්න කිව්වේ නැද්ද? අනේ ඔයාගේ IMF. මෙච්චරකල් නුඹලා කලේ IMF කියපුවාම වෙන්න ඇති...!
2019 අවුරුද්දේ බදු විශාල ලෙස අඩුකරලා රජයේ ආදායම රු. බිලියන 600ක් විතර අහිමිකර ගත්තා. මේවා කළේ කිසිම ප්‍රතිපත්තියක් නැතුව දේශපාලන වාසි බලාගෙන. මේ සැරේ වුවමනාවටත් වඩා බදු අනුපාත ඉහළ දමා තිබෙනවා. 2019ට පෙර තිබූ බදු ක්‍රමය දිගටම ගෙන ගියා නම් අද වගේ මෙතරම් ඉහළ බදු අනුපාත අයකරන්න වෙන්නේ නෑ... ඇයි මේ රටට ස්ථාවර බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්න බැරි? බලයට පත්වන හැම ආණ්ඩුවක්ම බදු ප්‍රතිපත්තයට ඇඟිලි ගහලා බදු ගෙවන්නන් අසීරුතාවයට පත්කරනවා...!
ඉන්න බවත් මොනවා හරි කරනවා බවත්, ජනතාව ටිකක් සනසලා පස්සට කරලා තියාගන්න මොනවා හරි කියලා දානව සතියකට මාසෙකට වරක්, අර මුදල් රාජ්‍ය ඇමති කළ සාකච්ඡාවද? ඒක නම් වැඩකට නැතිවෙයි, ඔය ඇමැති වැඩ කරන්නේ බැසිල් මේසේ යට දමාගෙන, ඔය සෙට් එක රටරටවල ගිහින් කොච්චර කතා කළත් ඒ අය හිනාවෙලා ප්‍රතිචාර දැක්වූවත් ඒ අය දන්නවා ආර්ථිකය විනාශ කලේ තමුන්ලා බව, බොරුවැඩ නැතිව ජනතාව කැමැති පාලනයකට ඉඩදීලා රටේ නොසන්සුන්කම අවසන් කරන්න. වයසක දෙපල විශ්‍රාම ගන්න.. අනිත් වයසක සෙට් එකත් එක්කම, රට හරියයි...
අමාරුවෙන් හරි බදු ගෙව්වා කියමු. ඒත් ඒ බදු මුදල් නාස්තියට, දූෂණයට යට වෙනකොට ඉවසන්න පුළුවන්ද? ඒවා නවත්තන්න ගන්න පියවරවල් ඉස්සෙල්ලා කියලා ඉන්න...
හරි තැනට කවදාවත් එන්න බෑ... ආයුබෝවන් ඔය යන විදිහට ගියොත් අපේ රීරීමාංසේටත් බද්දක් ගහයි.. බොල මහ බැංකුව ගැන හාන් කවිසියක් නෑ.. එහෙන් බොරතෙල් වලින් හොරු බිහිවෙලා එහෙන් ගෑස් හොරු දැන් බලන් ගියාම රටේ මිනිස්සු තමයි මේ රටේ වැඩියෙන්ම හොරු නැද්ද ආයුබෝවන්ඩ.. යසයි යසයි අපිට යසයි... අපි තවමත් නැගිටිනවා අපේ අප්පච්චිට පුළුවන් මේ රට ණය බරින් මුදවලා මේක අසියාවේ ආශ්චර්යය කරවන්න උන්දෑ ගන්න ඒ මහන්සියට දණිස් පොල්කටු ගෙවිලා ගෙවිලා දැන් යා ගන්නත් බෑ. පවු බොල රාක්ෂ පක්ෂ උන්නැහේ...!
හරි තැනට ගැහුවා නම් කෝ ප්‍රතිඵල...? හරි තැනට ගැහුවේ පරයින්නේ...
ඕකට කියන්නේ "බොටුව මිරිකලා හරි සල්ලි හම්බ කරනවා" කියලා...
විනිවිද භාවයකින් මේ දේවල් කරනවා නම්, අවංකව... රනිල් ඔබට සුබ පතනවා...
අවුරදු 45 ක් පාර්ලිමේන්තුවේ හිටපු , විවිද රජයන් කරපු , ඇමතිකම් කරපු රනිල් ලගේ කෙරුවාව හින්ද තමයි අද අපේ රටට IMF එකේ ණය නැතිව රට දුවන්න බැරි තත්වෙට පත්වෙලා තියෙන්නේ , උන්දැ දැන් කිසිම ලැජ්ජාවක් නැතිව මිනිසුන්ට කියනව IMF එකේ අය කියපු හින්දා බදු වැඩි කරන්න වෙනවලු. ඕක කියන්න ජනාදිපති කෙනෙක් ඕනෙද ?
හරි තැනකට එන්න, යන පාරවත් හරියට දන්නේ නැත.
කියල තියෙන විදිහට ආදායම් අඩුවීම දේශපාලන තීන්දුවල වැරැද්දක්. ඒ නිසා හොරා කෑ සල්ලි මුලින්ම ගන්ඩ. මිනිස්සුන්ට බර පටවන්ඩ එපා
කරන්නසිද්ද වෙනවා කියල මෙයා කියන්නේ හරියට අපි කරපු වැරද්දක් වගේ . රනිල් අද ආණ්ඩුව කරන්නේ මේ තත්වෙට වග කිව යුතු පොහොට්ටුවෝ ටික එක්ක. සිනි බදු වංචාවෙන් , සුදුළුනු වංචාවෙන් රටට අහිමි උන අදායම බිලියන ගණන් , තව රාජ්‍ය බැංකු වලට බිලියන ගණන පොලු තියපු අය අද රනිල්ගේ ආණ්ඩුවේ ඇමති කම් පවා දරනවා. මේව අයකරගන්නා හැටි ගැන කිසි සඳහනක් නැහැ .
රටේ අධ්‍යාපනය, සෞඛ්‍ය, පොදු ප්‍රවාහනය වැඩිදියුණු කිරීමේ වගකීම පාලකයන් අවබෝධ කරගත යුතුය. අධිවේගී මාර්ග ඉදිකිරීමට වැයකරන තරම් මුදලක් පොදු ප්‍රවාහනයේ සංවර්ධනයට වැය නොකරයි. රට පුරා අධිවේගී මාර්ග ඉදිවුණත් පොදු ජනතාවට සුව පහසුවෙන් ගමන් කිරීමට අවශ්‍ය තරම් බස් හා දුම්රිය නැත. රට ගැඹුරු අගාධයක වැටී සිටියදී මෙතරම් විශාල අමාත්‍ය මණ්ඩලයක් අවශ්‍යයද? රටක් හැටියට අප කළයුතු වියදම් සහ නොකළ යුතු වියදම් පිළිබඳ මනා වැටහීමක් ලබාගෙන ඒ අනුව ක්‍රියාත්මක වෙන්නේ කවදාද? අරගලය විසින් ඔප්පු කරනු ලැබුවේ ජනතාවට යම් බලයක් තිබෙන බවය. ආණ්ඩු නිවැරැදි මාවතකට ගැනීමට ජනතාව තමන් සතු ඒ බලය අභ්‍යාස කළ යුතුය.