(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට අවුරුදු දෙකකට වැඩි සිර දඬුවමක් දිය හැකි වරදකට මාස හයකට වැඩි කාලයක් සිර දඬුවමක් නියම කෙරුණහොත් ඔහුගේ මන්ත්‍රී ධූරය අහෝසි වන බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව දැක්වෙන්නේ යැයි මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පැවසීය.

එසේම එම මන්ත්‍රීවරයාට අවුරුදු හතක කාලයක් යනතුරු මැතිවරණයකට ඉදිරිපත්වීමට මෙන්ම ඡන්දය ප්‍රකාශ කිරීමටද හිමිකමක් නොලැබෙන බව හෙතෙම සඳහන් කළේය.

මේ අනුව සමගි ජන බලවේගයේ බදුල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක පමණ කාලයක සිර දඬුවමක් නියම කෙරුණු හෙයින් මන්ත්‍රී ධූරය අහෝසිවී යනු ඇත.

යම්කිසි තැනැත්තෙක් අවුරුදු දෙකකට නොඅඩු කාලයක් බන්ධනාගාර ගත කිරීමෙන් දඬුවම් කළ හැකි වරදකට කවර වූ හෝ අධිකරණයක් විසින් වරදකරු කරනු ලැබීමෙන් පසු නියම කරන ලද මාස හයකට නොඅඩු කාලයකට කවර වූ හෝ ආකාරයක බන්ධනාගාර ගත කිරීමේ දඬුවමක් විඳිමින් සිටී නම් නැතහොත් ගතවූ සත් අවුරුදු කාලය තුළ ඒ දඬුවම සම්පූර්ණයෙන්ම විඳ සිටියේ නම් නැතහොත් මරණ දණ්ඩනයට යටත්ව සිටී නම් නැතහොත් එවැනි දණ්ඩන නියාමයක් ක්‍රියාවේ යෙදවීම වෙනුවට හය මාසයකට නොඅඩු කාලයකට බන්ධනාගාර ගත කිරීමේ දඬුවමක් විඳිමින් සිටී නම් නැතහොත් ගතවූ සත් අවුරුදු කාලය තුළ ඒ දඬුවම සම්පූර්ණයෙන්ම විඳ සිටියේ නම් ඒ තැනැත්තා ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීමකදී හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීමකදී ඡන්දය දීමට හෝ සුදුස්සකු නොවන බවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89(ඈ) වගන්තියේ සඳහන් වෙයි.

කෙසේ වෙතත් එම තීරණයට එරෙහිව අදාළ මන්ත්‍රීවරයා අභියාචනයක් ඉදිරිපත් කළහොත් ඒ අවස්ථාවේ සිට මන්ත්‍රී ධූරය අහෝසිවීමක් සිදු නොවනු අැත. එසේම ජනාධිපති පොදු සමාවක් ලැබුණහොත් ඒ දුන් දිනයේ සිටද නුසුදුසුකම් සියල්ල අහෝසිවී යන්නේය.

දඩුවම් ලැබූ මන්ත්‍රීවරයාට දඬුවමට එරෙහිව මෙන්ම මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන්ද නියෝගයක් ගැනීමට අභියාචනයක් ඉදිරිපත් කළ හැකි බව මහානාම හේවා මහතා පැවසීය.

මේ කරැණු සඳහන් වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89(ඈ) වගන්තිය යටතේය.

දඩුවම් ලබ්න මන්ත්‍රීවරයාට අභියාචනාධිකරණයටද ඊට පසු ශ්‍රොෂ්ඨාධිකරණයටද අභියාචනා ඉදිරිපත් කළ හැකි බව නීති අංශ අාරංචි මාර්ග පවසයි