(කේ බුද්ධික කුමාරසිරි)

දිවා කාලයේ වසා තිබෙන නිවාසවලට ඇතුලු වී සොරාගත් රුපියල් ලක්ෂ පණහකට වැඩි වටිනාකමින් යුත් රත්‍රං භාණ්ඩ තොගයක් සමග යුද හමුදාවෙන් පලා ගිය සෙබළකු අත් අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි.

සැකකටයුතු ලෙස හැසිරෙන පුද්ගලයකු පිළිබදව අතුරුගිරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාරද ප්‍රනාන්දු මහතාට ලද තොරතුරක් මත හබරකඩ සමුපකාර මාවත බෝධිරාජ පෙදෙසේ දී සැකකරු අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මෙම නිවාස බිඳීම් පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වූ බවද පොලිසිය පවසයි.

අතුරුගිරිය, මීගොඩ, මාලබේ, හෝමාගම, කිරිබත්ගොඩ පොලිස් වසම්වල නිවාස 11 කින් මෙලෙස භාණ්ඩ සොරාගෙන ඇත.

සැකකරු සාමාන්‍ය පෙළ විභාගයෙන් විෂයන් දහයෙන් නවයක් සමත්ව උසස් පෙළ සදහා සුදුසුකම් ලැබුවද නිවසේ තිබූ ආර්ථික අපහසුතා නිසාවෙන් උසස් පෙළ විභාගයට මුහුණ නොදී යුද හමුදා සේවයට එක්ව ඇති බවත් යුද හමුදාවට එක්වීමට පෙර ද නිවාසවලට සොරෙන් ඇතුලු වී ආහාරපාන සොරා ගැනීමට පුරුදුව සිට ඇතැයිද අනාවරණය වූ බවද පොලිසිය පවසයි.